​හෙට දින සංස්කෘතිය උදෙසා විවෘත වේදිකාව​...

kinihiraya.com
  • ප්‍රවර්ග
    • සාහිත්‍ය කලා
    • දර්ශනවාදය
    • වෙනත්
  • ලේඛනාගාරය
  • ලේඛක සෙවීම්
  • Bookcrow
  • Contact Us
  • සංස්කාරක සටහන්

මරණය යනු කුමක්ද ? මියගිය පසු කුමක් සිදුවේද ?

​⚈ ඒ.ඩී.ගුණසේකර  - A.D. Gunasekara
2020 නොවැම්බර් 19
Picture
යම් ජීවියකුගේ  පැවැත්ම රඳා පවතින සියලුම ජෛව ක්‍රියා ස්ථිර ලෙස අවසාන වීම එම ජීවියාගේ මරණය ලෙස හැඳින්විය හැකිය. එහෙත් යමෙකු මියගිය වේලාව කුමක්දැයි සෙවීමේදී ගැටලු පැනනගී. එයට හේතුව යමෙකු මිය යෑමේ දී ශරීරයේ සියලුම අවයව සහ ඉන්ද්‍රියන් එකවර මිය යන්නේ නැති නිසාය. මේ නිසා යමකු මියගිය පසු එම අයගේ වකුගඩු, හෘදය වස්තුව සහ අක්මාව වැනි ඉන්ද්‍රියන් වෙනත් අයකුට බද්ධ කිරීමට හැකි වී ඇත.

​කලකට පෙර හෘදය වස්තුව අක්‍රිය වූ අවස්ථාව මියගිය අවස්ථාව ලෙස සැලකුවද එවැනි අයගේ හෘදය විවිධ ක්‍රම මගින් ක්‍රියාත්මක කර එම පුද්ගලයා නැවත ජීවත් කිරීමට හැකිවීම නිසා දැන් වෛද්‍ය විද්‍යාත්මකව සහ නීතිමය වශයෙන් මරණය සිදුවූ අවස්ථාව ලෙස සලකුණු ලබන්නේ  මොළයේ මරණය සිදුවූ අවස්ථාවය. මොළේ මියගිය අවස්ථාව ලෙස  සලකන්නේ  විද්‍යුත් ක්‍රියාකාරීත්වය අවසාන  වූ විටය. මොළයේ විද්‍යුත් ක්‍රියාකාරීත්වය මනිනු ලබන්නේ විද්‍යුත්නිකර්පරරේඛය (EEG, Electroencephalogram) නැමැති පරීක්ෂාව මගිනි. මෙම පරීක්ෂාව සිදු කිරීමේ දී කුඩා පැතලි ලෝහ ඉලෙක්ට්‍රෝඩ හිස් කබලට සවි කර  පරිගණකයට සම්බන්ධ කර ඉලෙක්ට්‍රෝඩ වලින් ලබාගන්නා මොළයේ විද්‍යුත් ක්‍රියාකාරීත්වය විශ්ලේෂණය කරනු ලැබේ.
​
මොළය මියගිය විට විද්‍යුත් ක්‍රියාකාරීත්වයක් නැත. එහෙත් බොහෝ රෝහල්වල මොළය මිය ගොස් ද යන්න සොයන්නේ පහත දැක්වෙන පරීක්ෂණ සිදු කිරීමෙනි. 

1. විදුලි පන්දමක ආලෝකය ඇස් දෙකටම යොමු කර  වීම ආලෝකයට ඇස් ප්‍රතිචාර දක්වන්නේ දැයි සෙවීම.

2. ඇස් තුනී කඩදාසියකින් හෝ පුළුන් කැබැල්ලකින් ස්පර්ශ කර ප්‍රතිචාර දක්වන්නේ දැයි බැලීම.

3. නළල තදින් තද කර නාසය කොනිත්තා යම් චලනයක්  දක්වයි දැයි සෙවීමවී

4. අයිස් වතුර කන්දෙක තුළට වක්කර ඇස්වල ප්‍රතිචාරයක් සිදුවේදැයි  බැලීම.

5. හීන් ප්ලාස්ටික් නලයක් ස්වසන නාලය තුළට යවා ප්‍රතික්‍රියාවක් සිදු වේදැයි බැලීම.

6. ශ්වසන උපකරණය විසන්ධි කර මද වේලාවක් තබා එම තැනැත්තා හුස්ම ගැනීමට උත්සාහ කරන්නේ දැයි බැලීම.

මෙම සියලුම පරීක්ෂාවලට ප්‍රතිචාර නොදක්වයි නම් මොළේ මිය ගොස් ඇති බව නිගමනය කෙරේ. එම අවස්ථාව යම් පුද්ගලයකු මිය ගිය අවස්ථාව ලෙස සැලකේ.  මොළය මිය යාමට හේතු වන්නේ එහි ක්‍රියාකාරීත්වයට අවශ්‍ය රුධිර සැපයුම නැවතීම ය. සාමාන්‍ය වැඩිහිටියෙකුගේ මොළයට මිනිත්තුවකට රුධිරය මිලිලීටර් 750 ක් පමණ අවශ්‍යය. මෙය හෘද වස්තුව මුළු ශරීරයටම සපයන රුධිර ප්‍රමාණයෙන් සියයට පහළොවක් පමණ වේ. මොළයේ ක්‍රියාකාරිත්වය සඳහා පැයකට ග්ලූකෝස් ග්‍රෑම් එකසිය විස්සක් පමණ අවශ්‍ය වේ එම ග්ලූකෝස් ප්‍රමාණය සහ එයින් ශක්තිය ලබාගැනීමට අවශ්‍ය වන ඔක්සිජන් ප්‍රමාණයද සැපයෙන්නේ රුධිරය මඟිනි. මොළය මගින් ග්ලූකෝස්වලින් ලබා ගන්නා රසායනික ශක්තිය පැයකට කිලෝ කැලරි හාරසිය විස්සක් හෙවත් කිලෝ ජූල් 1760 පමණ වේ. පහත දැක්වෙන හේතු නිසා මොළයට ඔක්සිජන් සහ ග්ලූකෝස් නොලැබීමෙන් මොළය මිය යයි.

1. හෘදයාබාධයක් නිසා හෘදය වස්තුව ස්පන්දනය නැවතීම නිසා මොළයට රුධිර සැපයුම නැවතීම.
 
2. ආඝාතය (stroke) හෙවත් මොළයට රුධිරය සපයන රුධිර නාලයක රුධිර කැටි ගැසීමක් නිසා මොළයට රුධිර සැපයුම අවහිර වීම.

3. මොළයේ ලේ  ගැලීමත් ඇතිවීම.

4. මොළයට බරපතළ තුවාලයක් සිදු වීම.

5. නිධිකර්පදාහය හෙවත් මොලය ඉදිමීමේ රෝගය (encephalitis). 

6. මොලයේ අර්බුදයක් හෙවත් ගෙඩියක් (brain tumor) සෑදීම

මරණය ආසන්නයේදී යමෙකුට ලැබෙන අත්දැකීම් මොනවාද යන්න පිළිබඳව හෘදයාබාධ, දියේ ගිලීම, උසකින් වැටීම ආදියෙන් මරණාසන්න ව සිට ප්‍රකෘති සිහිය ලැබූ පුද්ගලයන් පවසා ඇති අත්දැකීම් ගැන විවිධ පර්යේෂකයන් වාර්තා සපයා ඇත. මෙම අත්දැකීම් මරණාසන්න අත්දැකීම් (near death experience) ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇත. මෙම අත්දැකීම් ගැන පරීක්ෂණ කළ අය එම අත්දැකීම් වල අඩංගු පොදු කරුණු මොනවාදැයි සොයා ගෙන ඇත. ඒවා මෙසේය,

1. මියගොස් ඇති බවට හැඟීම.

2. සාමකාමී හැඟීමක් ශරීර සනීපයක් දැනීම (well being).

3. වේදනා නැති බව දැනීම, ධනාත්මක හැගීම්, ලොවින් ඉවත් වන්නේය යන හැඟීම

4. ශරීරයෙන් පිටත අත්දැකීමක්, ශරීරයෙන් පිටත සිට තම ශරීරය දැකීම. සමහර විට වෛද්‍යවරුන් නැවත සිහිය ලබා දීමට උත්සාහ කරන අන්දම දැකීම.

5. උමගක් තුලින් යෑමේ අත්දැකීම හෝ අඳුරක් තුලට ගමන් කිරීම. ඉහලට ගමන් කරන බවට හෝ යම් මාර්ගයක් තුළින් හෝ පඩිපෙළකින් ඉහලට යන බවට හැඟීම.

6. කොන්දේසි විරහිත ආදරය ගැන ප්‍රබල හැඟීමක් සහ පිළිගැනීමක්.

7. ප්‍රබල ආලෝකයක් දෙසට වේගයෙන් ගමන් කිරීම හෝ එම ආලෝකයේ ක්ෂණිකව ගිලීම  හෝ (ආලෝකමත් ජීවීන්) හා එය තමා සමග සන්නිවේදනය කිරීම.

8. ජීවිතය ගැන සමාලෝචනයක් ලැබීම. මෙය පොදු වශයෙන් තමාගේ ඇස් ඉදිරියේ තමාගේ ජීවිතය දර්ශනය වීම ලෙස පැවසේ.

9. යම් සීමාවකට පැමිණීම හෝ තමා හෝ අන් අය විසින් තමා ගේ ශරීරය වෙත ආපසු යෑමට තීරණය කිරීම. බොහෝ විට ඒ සමගම ආපසු ශරීරයට යෑමට අකමැති බව දැනීම.

10. හදිස්සියෙම තමා තම ශරීරය තුළටම නැවත සිටින බව දැන ගැනීම.

11. තමාගේ සංස්කෘතික විශ්වාස වලට යම් සම්බන්ධතාවක් දැමීම. 

කෙනත් රින්ග් (Kenath Ring) විසින් මරණාසන්න අත්දැකීම් අඛණ්ඩවක් ඇති අවස්ථා පහකට වෙන් කර ඇත. එම අවස්ථා නම්,

1. සමාදානය (peace).

2. ශරීරයෙන් වෙන් වීම.

3. අඳුරකට ඇතුලුවීම.

4. ආලෝකය දැකීම

5. ආලෝකයට ඇතුළු වීම.

මරණාසන්න අත්දැකීම් එකසිය පනස් හතරක් ගැන පර්යේෂණය කළ බෙල්ජියමේ ලීග්(Liege) විශ්ව විද්‍යාලයේ කණ්ඩායමක නායකයා වූ චාලට් මාර්ෂල් (charlotte martial) පවසා ඇත්තේ ඉහත සඳහන් අවස්ථාවල නියත පිළිවෙළක් නැති බවය.
 
මෙම අත්දැකීම් පුද්ගලයන්ගේ ආගමික විශ්වාස සමඟ සම්බන්ධතාවක් ඇති බව පෙනී ගොස් ඇත. ඇමරිකාවේ ජනගහනයෙන් සියයට හතළිස් හයක් පමණ ආරක්ෂක දේවදූතයන් (Guardian Angels) ගැන විශ්වාස කරන නිසා එවැනි අය තමා දකින අය දේවදූතයන් හෝ මියගිය ඥාතීන් ලෙස අර්ථ දක්වන අතර හින්දු භක්තිකයන් ඒ අය හඳුන්වන්නේ මරණයට අධිපති දෙවියා ගේ පණිවිඩකරුවන් ලෙසය.

මරණාසන්න නොවන අවස්ථාවල ද මෙම අත්දැකීම් ලබා ඇත. උස පලංචිවලින් වැටුණු අය ද තුවාල ලැබූ යුද භටයන් ද ඉහළ ස්ථානවල සිට  වැටුණු කඳු නගින්නන් ද මෙම අත්දැකීම් වාර්තා කර ඇත.

තමා සිහිනයක් දකින බව හැඟෙන අවස්ථාවල එම සිහිනය ආරම්භ වීමට පෙර, තමාට ශරීරයෙන් පිටත අත්දැකීම් ලැබුණු බව වාර්තා කළ අයද ඇත. මෙම අවස්ථා වැඩි ප්‍රතිශතයක් ගැඹුරු නින්ද නොගිය අවස්ථා බවද සමහරු එම අත්දැකීම් ලබන විට සිහියෙන් සිටි බවද පවසා ඇත. 

බාරහිරව ඇතිකරන ලද තත්ත්ව නිසාද  ශරීරයෙන් පිටත අත්දැකීම් ලබාදීමට හැකිවී ඇත. එක් ක්‍රමයක් නම් භ්‍රාන්තිය (hallucination) ඇති කරන රසායනික ද්‍රව්‍ය ලබාදීම ය.  එම ද්‍රව්‍ය කිහිපයක් නම් සයිලොසයිබින් (psilocybin), කෙටමින් (ketamine), ඩයිමෙතිල් ට්‍රිප්ටමින් (dimethyltryptamine, DMT)  සහ ඇසිඩ් (Acid) වශයෙන් ද හැඳින්වෙන ලයිසර්ජික් ඇසිඩ් ඩයිඑතිල්ඇමනයිඩ් (Lysergic acid diethylamide, LSD)  වේ 

 අනිත් ක්‍රම මෙසේය

1. මොලය චුම්භක ක්ෂේත්‍රයක් මගින් උත්තේජනය කර වීම.

2. මොළයේ ආලින්ද බාහිකය (vestibular cortex)  නැමැති කොටස උත්තේජනය කිරීම.

3. මොළය විද්‍යුතය මගින් උත්තේජනය කිරීම ( විශේෂයෙන් ශංඛක පාර්ශවීය සන්ධිය
(temporoparietal junction) උත්තේජනය කිරීම.

4. මොළයට සංවේදක විරහිතතාව. (sensory deprivation)  ඇති කිරීම. මෙම ක්‍රමයේදී මොළයට අවකාශය සහ කාලය ගැන දැනීමක් ලැබීම වැළැක්වීමට විවිධ උපක්‍රම යොදනු ලැබේ. බොහෝවිට පා කරන ටැංකි (floatation tanks)  යොදාගැනීම හෝ විශේෂ ශබ්ද තරංග හෙඩ්ෆෝනයක් (headphone) මගින් ලබාදීම හෝ සිදු කෙරේ. 

5. මොළයට සංවේදක (sensations) විශාල ප්‍රමාණයක් ලබාදීම. නිදසුන්; යමකු විශේෂයෙන් තැනූ තොටිල්ලක දීර්ඝ කාලයක්  පැදවීම මගින් හෝ පීඩාකාරී ආලෝක වලට නිරාවරණය කිරීම.

සමහර අය තමා ශරීරයෙන් පිටවී ඉහළ ගොස් සිටි විට තම ශරීරය දුටු බව ද වෛද්‍යවරුන් සහ හෙදියන් දුටු බවද පවසා ඇත. මේ අත්දැකීම සත්‍ය දැයි සෙවීම සඳහා මරණාසන්න රෝගියාගේ ඇඳේ  වියන මත ඉහළ සිට බැලූ විට මිස නොපෙනෙන වචනයක් ලියා කරන ලද පරීක්ෂණවලදී එම වචනය කීමට ද කිසිවෙකු මෙතෙක් සමත් වී නැත. 

මරණාසන්න අත්දැකීම් විවිධ ක්‍රම මගින් ලබා දිය හැකි නිසා, විද්‍යාත්මක හේතු පැහැදිලි කිරීම වන්නේ මරණාසන්නයේ දී මොළයේ ස්නායු සෛල වලට ඔක්සිජන් සහ ග්ලූකෝස් හීනවීම නිසා සමහර ස්නායු සෛල මිය යන අතර ඉතිරි ස්නායු සෛලවල ක්‍රියාකාරිත්වය නිසා  ඉන් ඇති කරන මනස, තමාගේ අත්දැකීම්, මතක සහ සංස්කෘතික බලාපොරොත්තු සහිත කතාන්දරයක් කීම ලෙසිනි.
​
Picture

මරණින් පසු සිදුවන දේ
​
මොළයේ සෛල මිය ගිය විට අපගේ මනස හෙවත් සිත ස්ථිර ලෙස අක්‍රිය වෙයි. මනස යනු මොළයේ ක්‍රියාකාරීත්වය පමණි. මොළේ මිය යන විට ම සිත හෙවත් මනස ද විනාශ වේ. ස්නායුවල යම්  විද්‍යුත් ශක්තියක්  පවතී නම් එය තාප ශක්තිය ලෙස ශරීරයෙන් පිට වේ. ශරීරයේ තාප ශක්තිය පිට වී ශරීර උෂ්ණත්වය බාහිර උෂ්ණත්වය ට පැමිණේ

මරණය සිදුවී මිනිත්තු කිහිපයකට පසු සෛලවල අඩංගු එන්සයිම මගින් සෛල විනාශ වීම ඇරඹේ. ඔක්සිජන් නැතිවීම නිසා සෛල විනාශ වීමේදී සෑදෙන ද්‍රව්‍ය සෛල තුළට රැස්වී ඒවායේ ආම්ලිකතාව වැඩි වේ. සෛල බිත්ති එන්සයිම මගින් විනාශ වීම නිසා එම එන්සයිම පිටතට කාන්දු වේ. මෙය මුලින් මොලේ සහ අක්මාවේ සෛල වන සිදුවේ. ක්‍රමයෙන් මේ අන්දමට ශරීරය අනිත් පටක ද ඉන්ද්‍රියන් ද විනාශ වේ. හානියට පත් රුධිර සෛල බිඳී ගිය රුධිර නාල වලින් පිටතට පැමිණ කුඩා ශිරාවල එකතුවී හමෙහි පැහැය වෙනස් කරයි.

ඉන් පසු ශරීරය දැඩි බවට පත්වේ (දරදඬු වේ). මෙසේ දරදඬු වීම ඇස් පිහාටු වලින් ද හක්කේ සහ බෙල්ලේ මාංශ පේශ  වලින් ආරම්භ වී කඳ ට ද ඉන්පසු අත් පා වලට ද පැතිරේ. 

 ආහාර ජීරණ පද්ධතිය තුළ අඩංගු වන බැක්ටීරියා වර්ග ජීර්ණ පද්ධතියේ සෛල ආහාරයට ගෙන වර්ධනය වේ. ඉන් පසු ඉන් පිටතට ගමන් කරන බැක්ටීරියා අක්මාවට ද ප්ලිහාවටද හෘදයට සහ මොළයට ද පැතිරේ.

පර්යේෂකයන්ට පෙනී ඇත්තේ මරණයෙන් පැය 20 කදී බැක්ටීරියා වර්ග අක්මාවට පැතිරුණු අතර අනික් අවයව කරා  පැතිරයාමට  පැය පනස් අටක් පමණ ගත වූ බවය.

මේ අන්දමට ශරීරය බැක්ටීරියා වර්ග මගින් ආහාරයට ගන්නා විට ආහාර ජීරණ පද්ධතියෙන් එළියට පැමිණේ. එවිට ශරීරය කුණු වීම ආරම්භ වී මෘදු පටක බිඳී වායු වර්ග ද දියර වර්ග ද සාදයි. මේ සමගම නිර්වායු බැක්ටීරියා වර්ග වැවී  ශරීර ජීරණය කර මේතේන්, හයිඩ්‍රජන් සල්ෆයිඩ්  සහ ඇමෝනියා යන වායු වර්ග  සාදයි. මෙම වායු ශරීරය තුළ එකතු වී ශරීරය ඉදිමේ. අවසානයේදී වායු වර්ග සහ දියර වර්ග ශරීරයෙන් වැගිරේ.

ස්වභාවයට විවෘත සිරුරක් නම් එහි කෘමීන් බිත්තර දැමීම ද එම පණුවන්  එය ආහාර කරගැනීමද වෙනත් සතුන් ශරීර කොටස් අනුභව කිරීමද සිදු වී අවසානයේ ඇටසැකිල්ල ඉතිරි වේ. එය විනාශ වීමට අවුරුදු ගණනක් ගත වේ.

මරණින් පසු සිදුවන බැක්ටීරියා වර්ධනය හා වෙනත් ජීවින් ශරීර කොටස් ආහාරයට ගැනීමේදී සෛලවල තිබූ ද්‍රව්‍යවල අඩංගු විවිධ මූල්‍ය සංයෝග එම ජීවීන්ගේ ශරීර වලට ලැබේ. සිරුරේ සෛලවල තිබූ ද්‍රව්‍ය වල අඩංගු රසායනික ශක්තිය එම ජීවීන්ට ලැබේ.

මේ නිසා මිය යන විට වෙනත් ලොවකට හෝ වෙනත් පැවැත්මකට යන ශක්තියක් හෝ තරංග හෝ අංශු හෝ කිසිවක් නැත.

අපගේ ජීවය අප මැරුණු පසු පවතින්නේ දරුවන් තුළ පමණි. එසේ පවතින්නේ ඩී.එන්.ඒ  (DNA) (Deoxyribo Nucleic Acid)  ලෙස ඒ අයගේ සෛල තුළ ය.

මියගිය පසු තවත් ජීවිතයක් හෙවත් නැවත ඉපදීමක් හෙවත් පුනරුප්පත්තියක් හෙවත් පුනර්භවයක් ඇතැයි යන මතය කිසිම සාක්ෂියක් නැති වැරදි විශ්වාසයක් පමණි. 
​

වැඩිදුර පැහැදිලි කර ගැනීම සදහා පහත ලිපිය බලන්න
-

මරණාසන්නයේ දී ඇති වන අත්දැකීම්

    ඔබගේ අදහස් අපට එවන්න.

    Max file size: 20MB
Submit
Back To Home
Powered by Create your own unique website with customizable templates.
  • ප්‍රවර්ග
    • සාහිත්‍ය කලා
    • දර්ශනවාදය
    • වෙනත්
  • ලේඛනාගාරය
  • ලේඛක සෙවීම්
  • Bookcrow
  • Contact Us
  • සංස්කාරක සටහන්