හෙට දින සංස්කෘතිය උදෙසා විවෘත වේදිකාව​...​

kinihiraya.com
  • ප්‍රවර්ග
    • සාහිත්‍ය කලා
    • දර්ශනවාදය
    • වෙනත්
  • ලේඛනාගාරය
  • ලේඛක සෙවීම්
  • Bookcrow
  • Contact Us
  • සංස්කාරක සටහන්

හෙගලියානු අඩවිය: ආශාවේ දයලෙක්තිකය (ස්වාමි - සේවක සබඳතාව)

​⚈ ආචාර්ය සමන් පුෂ්පකුමාර - Dr. Saman Pushpakumara
​
​​​2020 ඔක්තෝබර් 9
Georg Wilhelm Friedrich Hegel Artical by Dr. Saman Pushpakumara
Georg Wilhelm Friedrich Hegel
ආශාවේ දයලෙක්තිකය (Dialectic of Desire) හෙගල්ගේ “පරමාත්මයේ ප්‍රපංචවිද්‍යාව” කෘතියේ එන ප්‍රධාන තේමාවකි. 20 වන සියවසේ ප්‍රංශ දර්ශනය තුළ හෙගල්ගේ ආශාව පිළිබඳ සංකල්පයට විශේෂ අවධානයක් යොමු විය. ඇලෙක්සැන්ඩර් කොජෙව්, ෂොන් හිපොලිට්, ජීන් පෝල් සාත්, ජක් ලැකාන් ආශාව යන්න තෘප්තිමක් කළ හැකි දෙයක් ද යන්න සාකච්ඡා කිරීමේ දී හෙගල් කියූ දෑ විමර්ශනය කර ඇත. ආශාවේ ආත්මය (subject of desire) කුමන කොන්දේසි යටතේ සිය තෘප්තිමත්භාවය ලබා ගන්නේ ද යන්න මෙහි දී ප්‍රශ්න කෙරිණි. ආශාවේ තර්කය ක්‍රියාත්මක වන ස්වභාවයට අනුකූලව ආශාවේ ආත්මය සද්භාවවාදී ලෙස අඩුවකින් යුක්තය (ontological lack) යන අදහස මෙහි දී මතු කෙරිණි.  මෙම සද්භාවවාදී අඩුව / හිඩැස හරහා ආත්මය ගොඩනැගී ඇති බවටත් අදහස් ඉදිරිපත් විය.
​
හෙගල්ට අනුව විඥානය වර්ධනය වීමේ ක්‍රියාවලිය පිටුපස ආශාවේ තර්කය ක්‍රියාත්මක වේ.  විඥානය අධ්‍යාපනික වන්නේ : (Buildung) ආශාවේ තර්කය හරහා ය. ආශාව තෘප්තිමත් නොවන හා අසම්පූර්ණ දෙයක් (unsatisfied and incompleted) බව හෙගල්ගේ අදහස ය.  මේ අසම්පූර්ණත්වය ය ආත්මයට අනන්‍යතාවක් ලබා දෙන්නේ.  

ආශාව සම්බන්ධයෙන් හෙගල් පවසන්නේ ආශාව යනු පිළිගැනීම ලබා ගැනීම සඳහා ආශාව බව ය :(desire for recognition). හෙගලියානු ආත්මය සොයා යන්නේ පිළිගැනීම හා පරම ඥානනය ය.  මේ සොයා යාමට පෙලඹීම ඇති කරන හේතුව නම් ආත්මය සද්භවවාදී ආකාරයට පැල්මකින් (ontological rupture) යුක්ත වීමය. ආත්මය තමන් සමඟත් ලෝකය සමඟත් බිඳීමකින් පරාරෝපණයකින් යුක්තය.  ආත්මයේ පවත්නා මේ අඩුව පියවා ගැනීමට, ආත්මය තමන්ට අහිමිව ගිය ඒකත්වය නැවත ස්ථාපනය කර ගැනීමට අරගලයක් කරමින් සිටියි.
  
හෙගල්ගේ ආශාව පිළිබඳ අදහස සාකච්ඡා වන්නේ ‘පරමාත්මයේ ප්‍රපංච විද්‍යාව’ කෘතියේ The Truth of self certainty යන කොටසේ ය.  විඥානය, ස්ව-විඥානය දක්වා පරිවර්තනය වීමේ දී ආශාව නම් ආකෘතිය ක්‍රියාත්මක වීමට පටන් ගනී. හෙගල්ගේ ප්‍රපංචවිද්‍යාව ඉදිරියට වර්ධනය වීම සඳහා ආශාවේ තර්කය ප්‍රධාන කාර්යයක් කරයි.  මෙහි දී විසඳා ගත යුතු ප්‍රශ්නය වන්නේ ආශාව නම් ආකෘතිය පැන නැඟෙන්නේ ප්‍රපංචවිද්‍යාවේ එක් මොහොතක දී පමණක් ද එසේ නැත්නම් මුළුමහත් ප්‍රපංචවිද්‍යා ක්‍රියාවලිය තුළ ම ද යන්න ය.

පරමාත්මයේ ප්‍රපංචවිද්‍යාව කෘතියේ IV වන පරිච්ඡේදයේ දී ස්වවිඥානය ලබන අත්දැකීම් ගැන සාකච්ඡා වේ. මෙය අප, අප ගැන ම අනෙකා (other) හරහා ලබන අත්දැකීම් පිළිබඳ විස්තරයකි.  අනෙකාගේ මැදිහත්වීම (mediation) නොමැතිව මට මා ගැන සම්ප්‍රජානනය විය නොහැකි ය යන්න මෙයින් සාකච්ඡා වේ. අපගේ ස්වීයත්වයේ (self) හදවත තුළ ම අනෙකා පැලපදියම් වී සිටින්නේ කෙසේ ද යන්න හෙගල් විස්තර කරයි. ආශාව නම් මානසික ප්‍රවර්ගය මත ක්‍රියාත්මක වන ආත්මයකට බලය හා පාලනය පිළිබඳ හැඟීම ඇතිවන අතර ම ‘මං දිනුවා’  වැනි මානසිකත්වයක් ඇති වේ.  ‘මං දිනුවා’ නම් හැඟීම තුළින් මෙහි දී මා තෘප්තියක් ලැබුව ද, විරුද්ධාභාසමය ලෙස ‘මට යමක් නැති වුණා’ යන අතෘප්තිකර ආශාවක් ද උදා වේ. ආශාත්මක අත්දැකීමෙහි පැති දෙකක් ඇත. එක් පැත්තකින් ආශාව තෘප්තිමත් වනවා යනු යමෙකුට ලෝකය මඟින් පිළිගැනීමක් ලැබීමකි. අනෙක් අතට ආශාව මඟින් ප්‍රකාශ කෙරෙන්නේ තමන්ව පරාරෝපිත බලයක් මඟින් පාලනය වෙනවා ය යන්න ය.  අනෙකෙකු නැත්නම් යමෙකුට ආශාව තෘප්තිමක් කර ගත නොහැකි ය.    

ආශාව යනු යමෙකුට (self) අන්‍ය ආත්මයක් (other) සමඟ සම්බන්ධ වීමෙන් ලබාගත හැකි දෙයකි. මාගේ ආශාව ක්‍රියාත්මක වන්නේ තමන් නොවන දෙයක් හෝ කෙනෙකු සම්බන්ධයෙනි.  යමෙකුගේ ආශාවට අභිමුඛ වන වස්තුවක් සිටිය යුතුය. මේ වස්තුව මා සඳහා ඇති වස්තුවක් ද විය යුතුය. ආශාව තෘප්තිමත් වන්නේ අනෙකෙකු මත මාගේ ආධිපත්‍යය යෙදවීමෙන් නම් යමෙකුගේ ආශාව ක්‍රියාත්මක වීමට අනෙකෙකු ආවශ්‍යක කොන්දේසියකි. හෙගල් මෙසේ ලියයි.
​

Desire and the self-certainty obtained in its gratification are conditioned by the object, for self-certainty comes from supersending this other:  in order that this supersession can take place, there must be this other (Hegel 1977, 109).

ආශාව යනු මා වස්තුවකට බැඳෙන අව්‍යවහිත හැඟීමකි. හෙගල් මෙසේ තවදුරටත් ලියයි:

It is in fact something other than self-consciousness that is the essence of desire (Hegel 1977, 109).
මේ ආශාව මා වස්තුවකට, අනෙකෙකුට බන්දවන අතර ම මා අනෙකාගේ සේවකයකු බවට ද පත් කරයි. ආශාව මඟින් අනෙකා නම් ක්ෂේත්‍රයට මාව විවෘත කරන්නේ මේ ආකාරයට ය. ආශාව මඟින් අපව පරිබාහිර ලෝකයට සම්බන්ධ කරන අතර ම අපව අපගේ අභ්‍යන්තරික ලෝකයට ද සම්බන්ධ කරයි. ආශාව මඟින් අපට හෙළිදරව් කරන්නේ අපගේ අභ්‍යන්තරික ජීවිතය ය. පරිබාහිර ස්වාභාවික ලෝකය පවතින්නේ ආශාත්මක ආත්මීයත්වයක් සඳහා ය.  

ආශාව සම්බන්ධයෙන් හෙගලියානු ප්‍රවාදයේ ප්‍රමුඛ ඉදිරිපත් කිරීමක් වන්නේ අප ආශා කරන්නේ අනෙකාගේ ආශාවට බවය (desire for other’s desire) හෙගල් දක්වන ආකාරයට,

Self-consciousness achieves its satisfaction only in another self-consciousness. (Hegel 1977, 110).
​

තවත් ස්වවිඥානයක් නැති තැනක පුද්ගලයෙකුට ස්ව-විඥානය උදා කරගත නොහැකි ය.  මම ආශාත්මක වීමට ආශා කරමි. මෙහි දී  මම මාව අනුභූතිමත් කරන්නේ අනෙකාගේ අනෙකා (other’s other)ලෙසට ය;  අනෙකාගේ ලෝකය තුළ මටත් තැනක් ලබා ගැනීමට ය. මේ ක්‍රියාවලිය වනාහි පිළිගැනීම ලබා ගැනීමට ඇති ආශාවය (desire to be recognized) අපගේ ආශාව හැඩගන්වන්නේ අනෙකා විසින් මගේ ආශාවට පිළිගැනීමක් ලැබෙන්නේ නම් ය. ආශාව ක්‍රියාත්මක වන්නේ ආශාත්මක වස්තුවක් ඇති තැනකය. ආශාව ක්‍රියාත්මක වීමේ දී වස්තුවේ අනන්‍යතාව නිෂේධ කිරීමක් ද සිදු වේ.  ආශාව ක්‍රියාත්මක වීමේ දී මා පරාරෝපිත යථාර්ථයකට යටත් වන අතර මේ යථාර්ථය මගේ ග්‍රහණයෙන් ඈත් වෙමින් පවතී. එය මගේ ග්‍රහණයෙන් ඈත් වෙන තරමට මගේ ආශාව ඉහළ යයි. මේ නිසා ම ආශාත්මක වස්තුවේ ඇති පරාරෝපණමය බව, අනන්‍යභාවය ඒ වස්තුවට ආශා කිරීම සඳහා කොන්දේසිය නිර්මාණය කරයි.  අනෙකා තුළ පවතින පරාරෝපිත බව, මගෙන් ඈත්වනසුලු බව මට හානියකි. මේ හානියෙන් ගැලවීම සඳහා මා යොමුවන්නේ අනෙකාගේ අනන්‍යතාව මැරීමට ය;  නිෂේධ කිරීමට ය. මාගේ උසස් බව නොබිඳෙනසුලු බව අනෙකාට පෙන්වීමට මා යොමු වන්නේ බලය පාවිච්චි කර අනෙකාගේ දුර්වලභාවය හෝ යටහත්භාවය ඔප්පු කර තමන්ට අනෙකාගෙන් පිළිගැනීමක් ලබාගැනීමට ය. නමුත් බලය යොදවා අනෙකා පාලනය කිරීමට උත්සාහ කළොත් මූලික විසංවාදයක් ජනිත වේ. මක් නිසා ද අනෙකාගේ  අනන්‍යතාව සම්පූර්ණයෙන් යටත් කළ තැන හෝ නිෂේධ කළ තැන මාගේ ආශාව නිර්මාණය වීමේ සද්භාවාත්මක තත්ත්වය අහෝසි වී යන නිසා ය.

ස්ව-විඥානය තුළ ස්වීයත්වයට (self) කේන්ද්‍රගත වීමක් ඇත.  ඊට කළින් අවධියේ දී ආත්මය කේන්ද්‍රගත වූයේ වස්තුවට ය. ස්ව-විඥාන මට්ටමේ දී සිදුවන්නේ ආත්මයේ ආශාවට අනුකූලව වස්තූන් සකසා ගැනීමට ය. පරමාත්මය ස්වයං විඥානය ලෙස පෙනී සිටින මොහෝතේ දී එයට ද්විත්ව වස්තුවක් ඇත. එනම් එළියේ පවතින වස්තුවක් (එනම් සංජානනය හරහා ලබාගන්නා වස්තුවක්) හා ස්වයං විඥානය ම වස්තුවක් ලෙස ගැනීම ය. මෙහි දී ස්වයං-විඥානය තමන්ට අභිමුඛ වන එළියේ පවතින වස්තුවට ප්‍රතිවිරුද්ධ ලෙස පිහිටයි. ආත්මයේ ආශාව වන්නේ අනෙකාව අහෝසි කිරීම ය.  එසේ අහෝසි කර තමන්ව පරම කර ගැනීම ය. 
 
ආත්මය තමන්ව ම අවබෝධ කරගැනීමේ ක්‍රියාවලියේ දී එය දෙපළු වේ. එකක් ආත්මීය පළුව ය. එය වනාහි යමක් දැන ගැනීමට උත්සාහ කරන පළුව ය. අනෙක වන්නේ දැන ගැනීමට ලක්වන පළුව ය. එනම් වාස්තවික පළුව ය. විඥානයට තමන්ව ම අවබෝධ කර ගැනීමට කැඩපතක් අවශ්‍ය ය.  විඥානයේ අරමුණ ස්වයං-විඥානය ලබා ගැනීම නම් වාස්තවිකත්වය මුලිනුපුටා දමා මේ අවබෝධය ලබාගත නොහැකි ය. ඒ වෙනුවට කරන්නේ වාස්තවිකත්වය ආත්මීය පළුව තුළ පරාවර්තනය කරගැනීම ය. වස්තූන් විඥානය නම් කැඩපත තුළ පරාවර්තනය කර ගැනීම ය. වෙනත් ආකාරයට කිවහොත් ආත්මය සෑම දෙයක් මත ම තමාගේ  මුද්‍රාව තබයි.  වාස්තවිකත්වය නම් ප්‍රවර්ගය තුළත් අපගේ මුද්‍රාව  තැබී ඇත. අපගේ ආත්මීයත්වයෙන් ගැලවුණු වාස්තවිකත්වයක් නැත. මෙහි දී සිදුවන්නේ ස්වායත්ත ව පවතින ලෝකයක් වෙනුවට අප සඳහා පවත්නා ලෝකයක් නිර්මාණය කිරීම ය. මාගේ ආශාව වන්නේ පරිපූර්ණ ස්වයං- පරාවර්තනයක් ඇති කර ගැනීම යි. පරාවර්තනය වූ වස්තුව යනු මාගේ ම දිගුවකි.

මෙසේ පරාවර්තික වස්තුවක් මා ඉදිරියේ තිබුණත් නැවතත් ආත්මයකට ප්‍රශ්නයක් මුණ ගැසේ.  එය නම් පරාවර්තනය වූ වස්තුව මාගේ කොටසක් වුවත් එය මා වැනි නොවීම ය;  වස්තුව පරාවර්තනය වුවත් එහි අඩුවක් පැවතීම යි.  මෙහි දී ආත්මය අසහනයට හා අතෘප්තියට පත් වේ.  ආත්මයට අවශ්‍ය වන්නේ තමාගේ ම ස්වභාවය, ස්වරූපය අනෙක් වස්තුව තුළ දැකීම ය. වෙනත් ලෙසකින් කීවොත් ස්වයං-විඥානය සඳහා වන පෙලඹුම තෘප්තිමත් වන්නේ ආත්මය හා සමාන සත්තාවක් ඇති තැනක ය.  යම් ආත්මයකට වෙනත් ආත්මයක්  හුදෙක් පරිකල්පනය කිරීමෙන් සිය ආශාව ඉටුවන්නේ නැත.  ආත්මයට මුණ ගැසෙන අනෙක් ආත්මය මඟින් යම් සහතිකයක් ලබා දීමද අවශ්‍ය ය.  යම් ආත්මයකට තවත් ආත්මයක් මුණ ගැසුණු විට එම අනෙක් ආත්මය තමන් හා සමාන ආත්මයක් ය යන සහතිකය අවශ්‍ය ය; පිළිගැනීම අවශ්‍ය ය. ආත්මයේ ආශාව තෘප්තිමත් වන්නේ ස්වයං-පරාවර්තනයක් සමඟ ලැබෙන පුද්ගල අනන්‍යතාව තහවුරු වීමෙන් ය; ස්වයං-පරාවර්තනයක් සමඟ ලැබෙන පුද්ගල අනන්‍යතාව තහවුරු වීමෙන් ය. ස්වයං-පරාවර්තනයක් සමඟ ආත්මය ලබා ගන්නා පළමු අනන්‍යතාව වන්නේ ස්වාමි-සේවක සබඳතාව ය. මෙය ඝනීභූත අනන්‍යතාවක් නොව දයලෙක්තික අනන්‍යතාවකි.  හෙගල් ආශාව නම් ආත්ම රූපය ගැන කතා කරන්නේ ස්වයං-විඥානය නම් කොටසේ දී වුවත් පරමාත්මයේ ප්‍රපංචවිද්‍යාව කෘතියේ සෑම විඥාන අවධියක දී ම ආශාව නම් කාරණය වෙනත් රූපකාරයන් ඔස්සේ සාකච්ඡාවට ගෙන තිබේ. පරමාත්මයේ සෑම ක්‍රියාකාරකමක් ම ඉදිරියට යන්නේ අනෙකා ඉක්මවා යාම සඳහා ගන්නා උත්සාහය නිසා ය; ආත්මයට මුණ ගැසෙන පරාරෝපිත වාස්තවික ලෝකය ඉක්මවා යාම සඳහා ගන්නා උත්සාහය නිසා ය. හෙගල්ට අනුව නිදහස උදාවන්නේ අනෙකාව ඉක්මවා යාමෙන් ය. මට පරිබාහිර පරාරෝපිත ලෝකයක් තිබෙන තැන මා අසහනයෙන් පෙළෙයි. මේ පරාරෝපිත ලෝකය ඉක්මවා යාමෙන් මට නිදහස උදා වේ.

අනෙකාව ඉක්මවා යාමේ දී සතෙකු ක්‍රියාත්මක වන්නේ සරලව අනෙකාව විනාශ කිරීමට ය;  පරිබාහිරත්වය මුලිනුපුටා දැමීමට ය. මිනිසා කරන්නේ අන්‍ය ආත්මය මත සිය ස්වාමිත්වය ස්ථාපනය කිරීම ය.  මිනිසා පරිබාහිරත්වය මුලිනුපුටා නොදමා එය අවශෝෂණය කිරීම කරයි.

ආශාව යන්න සම්බන්ධ වන්නේ මිනිසාගේ ස්ව-විඥානයට ය. එය අනෙකා විසින් තමන් පිළිගැනීම හා සම්බන්ධ වූවකි. මෙනිසා එය ලිවිය යුත්තේ ‘desire-for-recognition’ ලෙසට ය. හෙගල්ගේ ආශාව පිළිබඳ සංකල්පය වෙන ම ගෙන ඒ සම්බන්ධයෙන් ම ලියූ 20 වන සියවසේ සිටි ප්‍රමුඛ ම හෙගලියානුවාදියෙකු වූයේ ඇලෙක්සැන්ඩර් කොජෙව් ය. මෙම රුසියානු - ප්‍රංශ හෙගලියානුවා හෙගල්ගේ පරමාත්මයේ ප්‍රපංචවිද්‍යාව කෘතිය කියවා ආශාවේ දයලෙක්තිකය, පිළිගැනීම ලබා ගැනීම සඳහා අරගලය හා ස්වාමි-සේවක දයලෙක්තිකය ගැන නව අර්ථකථනයක් ඉදිරිපත් කළේ ය. ඔහු හෙගල්ගේ ප්‍රපංචවිද්‍යාව කියවූයේ මාක්ස්ගේ භෞතිකවාදී සත්භාවවේදය හා හෛඩගර්ගේ මනුෂ්‍ය සත්ත්තාව ගැන කාලික සද්භවවේදය (temporalized ontology of Dasien) ඔස්සේ ය.
​
Picture
​alexandre kojeve
පිළිගැනීම ලබා ගැනීම සඳහා කරන අරගලය ඉතිහාසය පුරාවට ක්‍රියාත්මක වන සාමාන්‍ය මූලධර්මය වේ. කොජෙව්, හෙගල්ව වඩාත් සාංදෘෂ්ටික ස්ථාවරයකට ගෙන ආවේ ය. ඔහුට අනුව සාමාන්‍ය විඥානය උපදින්නේ මේ ආකාර සාංදෘෂ්ටික තැනකින් ය. එසේ නමුත් කොජෙව් හෙගල්ගෙන් වෙනස්ව, ආත්මය (Spirit), ස්වභාවයෙන්/සොබාදහමෙන් (Nature) වෙන් කළේ ය. මිනිස් ආශාවේ අභ්‍යන්තරික ව්‍යූහය සත්ව ආශාවේ ක්‍රියාකාරීත්වයෙන් වෙන් කළේ ය. සත්ව ආශාවන් යොමුවන්නේ ස්වාභාවික වස්තූන්ට ය. නමුත් මිනිස් ආශාව හැමවිට ම අනෙකාගේ ආශාවේ මැදිහත්වීමට ලක් වේ.  ඒ නිසා මිනිස් ආශාව යොමුවන්නේ ස්වාභාවික නොවන වස්තූන්ට ය (non-natural objects). මේ අනුව කොජෙව් අතින් මිනිස් ඉතිහාසය විස්තර වන්නේ ‘human history is the history of desired desire’ ලෙසට ය.  කොජෙව්ගේ මේ අදහස වර්ධනය වන්නේ හෙගල්ගේ පහත අදහසින් යැයි සිතිය හැකිය.
​

‘Self-consciousness exists in and for itself when, and by the fact that, it so exists for another; that is, it exists only in being acknowledge. (Hegel 1977, 178)

කොජෙව් විසින් කරන්නේ හෙගල්ගේ ඉහත සංකල්පය එනම් ස්වයං-විඥානය පවතින්නේ අන්‍ය ආත්මයක් සඳහා සහ අන්‍යෝන්‍ය පිළිගැනීමක් ලබා ගැනීමට ය යන්න මුළු ඉතිහාසය සඳහා ම සාර්වත්‍රික (universal)  කිරීමකි.
 
පිළිගැනීම ලබා ගැනීම සඳහා කරන අරගලයේ දී ජයග්‍රාහකයාට ජයග්‍රහණයෙන් පසුවත් පරාජිතයා අවශ්‍ය වේ. එසේ අවශ්‍ය වන්නේ තමන්ගේ ආශාව දිගට ම පවත්වාගෙන යාම සඳහා ය.  අනෙක් අතට සේවකයාට, සිදුවන්නේ දිගින් දිගටම තමන්ගේ නිදහස හා පිළිගැනීම පිළිබඳ ආශාව අවරෝධනය කිරීමට ය. ඔහුගේ පැවැත්ම වෙනුවෙන් මේ අවරෝධනය නඩත්තු කිරීමට සිදු වේ.  කොජෙව් ලියන ආකාරයට,

He must give up his desire and satisty the desire of the other:  he must “recognize” the other without being “recognized” by him. (Kojeve 1969, 8)

සේවකයාට සිදුවන්නේ අනෙකාගේ ආශාව වෙනුවෙන් තමන්ගේ ආශාව කැපකිරීමට ය.  අනෙකාගෙන් පිළිගැනීමක් නොලබමින් අනෙකාට පිළිගැනීමක් ලබා දීමටය.

කොජෙව් දක්වන ආකාරයට ස්වාමියා හා සේවකයා අතර ඇති මේ අසමානතාව ස්වයං-විඥානය බිහි වීමේ ඓතිහාසික කොන්දේසිය වේ. සේවකයා තමන්ගේ ස්වයං සංරක්‍ෂණය (self –preservation) වෙනුවෙන් වැඩ කරන විට ස්වාමියා කරන්නේ සේවකයා විසින් නිෂ්පාදනය කළ දෙයෙහි ඵලය බුක්ති විඳීම ය. කෙසේ නමුත් ස්වාමියා හැම විට ම සේවකයා මත තමා පවත්වාගෙන යන ආධිපත්‍යය ගිලිහී යාවි යයි බියෙන් පසුවේ. සේවකයාගෙන් තමන් බලාපොරොත්තු වන පිළිගැනීම තමන් අපේක්‍ෂා කරන ආකාරයට නො ලැබේ.  අනෙක් අතට සේවකයාගේ වහල්භාවය ස්වාමියාගේ පැත්තෙන් අවසන් කිරීමට ද නොහැකි ය.  එසේ කළොත් ‘ස්වාමියා’  ලෙස ඔහුගේ තත්ත්වය තවදුරටත් පවත්වාගෙන යා නොහැකි ය. මේ තත්ත්වය මත කොජෙව් පෙලඹෙන්නේ ස්වාමියා හා සේවකයා අතර පසමිතුරුතාව යම් තැනක දී සමහන් වේ යැයි පරිකල්පනයකට එළඹීම ය. කොජෙව් දක්වන ආකාරයට,

But if the opposition of “theses” and “antitheses” is meaningful only in the context of their reconciliation by “synthesis”  if history  (in the full sense of the world)  necessarily has a final term, if man who becomes must culminate in man who has become if Deisre must end in satisfaction, if the science of man must possess the quality of definitively and universally valid truth-the interaition of Master and Slave must finally end in the dialectical “overcoming” of both of them. (Kojève 1969, 9)

Picture
මෙහි දී කොජෙව් කියන්නේ, ස්වාමියා හා සේවකයා යන දෙදෙනාටම එක හා සමාන පිළිගැනීමක් (mutual recognition) ලැබෙන ඓතිහාසික මොහොතක් උදාවන බව ය. මෙය ඉතිහාසයේ අවසානයක් පිළිබඳ අදහසකට මාවත විවෘත කරයි. අන්‍යෝන්‍ය පිළිගැනීම ලැබෙන තැන ඉතිහාසයේ අවසානය වේ. ෆ්‍රැන්සිස් ෆුකුයාමා The End of History and the Last Man නම් පොත ලිවීමේ දී ඔහු ඍජුව විමර්ශනය කර ඇත්තේ හෙගල්ට වඩා කොජෙව් ගැන ය. අවසන් සහවාදයක්, සුසංවාදයක්, අවසන් ලක්ෂ්‍යයක් පිළිගැනීම ප්‍රති-හෙගලියානු දැක්මකි. කොජෙව්ට අනුව ආත්මය-වස්තුව, චින්තනය-සත්තාව අනන්‍ය වන තැන පසමිතුරුතාව ද අවසන් වේ. සද්භාවාත්මක සහවාදය හෝ අනන්‍යතාව /සුසංවාදය හෙගල් විසින් ඉදිරිපත් කරන ලද්දක් නොව කොජෙව් විසින් ඉදිරිපත් කරන ලද්දකි.  ප්‍රංශ දර්ශනයට වැඩි වශයෙන් බලපෑවේ කොජෙව් හරහා අර්ථකථනය වූ හෙගල් ය. සත්තාව (being) යන්න චින්තනයට හා සොබාදහමට එක ලෙස යෙදිය නොහැකි බව කොජෙව්ගේ මතය විය. මිනිසාට මෙන් නොව සොබා දහමට ඉතිහාසයක් නැති බවත් කියවිණි.
​

කොජෙව් පටන් ගන්නේ එක්තරා සංකල්පයකිනි. එය නම් ‘what is Hegelian person?’ යන්නෙනි. ඔහු එයට පිළිතුරු දීමේ දී ය ‘ආශාව’  නම් ප්‍රවර්ගය ගෙනහැර දක්වන්නේ. මිනිස් ආශාවේ ව්‍යූහය සතෙකුගේ අවශ්‍යතාව (needs/demands) යන්නෙන් වෙනස් බව ඔහුගේ මතය විය. මිනිසාගේ ආශාවේ සද්භාවවේදය පිළිගැනීම ලබාගැනීමේ ආශාව වන අතර සතෙකුගේ ආශාව ඍජුව යොමු වන්නේ දෙය (thing) හෝ වස්තුව වෙත ය.  සතෙකකුගේ ආශාව තවත් සතෙකුගේ ශරීරය වෙත යොමු වන විට මිනිසාගේ ආශාව යොමු වන්නේ අනෙකාගේ ආශාවට, අනෙකාගේ ආදරය ලැබීමට හා   පිළිගැනීම ලබාගැනීමට ය. මිනිසාගේ ආශාව ස්වාභාවික වස්තූන්ට යොමු වන නමුත් මෙහි දී සිදුවන්නේ අනෙකා යම් ස්වාභාවික වස්තුවකට ආශා කරන්නේ නම් (උදා: ලෙස අනෙකා හෝර්ටන් තැන්නට ආශා කරන්නේ නම්* මා ද එම ස්වාභාවික වස්තුවට ආශා කිරීමට යොමු වීම ය. මාගේ ආශාව හැම විට ම වෙනත් කෙනෙකුගේ ආශාව හරහා ගමන් කරයි. මා යම් පදක්කමකට ආශා කරන්නේ එයට වෙනත් අයත් ආශා කරන නිසා ය;  වෙනත් අයත් මේ පදක්කම දිනා ගැනීමට තරග කරන නිසා ය;  බිම වැටී තිබෙන කෝටු කෑල්ලකට මා ආශා නොකරන්නේ එයට වෙනත් අය ආශා නොකරන නිසා ය.

කොජෙව් ආශාව ගැන සංකල්ප ගත කිරීමේ දී ඔහු මෙවැන්නක් කියයි. ආශාව වනාහි ‘the presence of an absense’ යන්න ය. මිනිසාගේ ආශාවේ වස්තුව හිස් (empty/absence) එකකි.  සතෙකුගේ වස්තුව පරිපූර්ණ එකකි. සතෙකු විසින් තමන්ට අභිමුඛ වන වස්තුව සම්පූර්ණයෙන් පරිභෝජනය කර දමන  නමුත් මිනිසා වස්තුවක් සම්පූර්ණයෙන් පරිභෝජනය කිරීම හෝ නිෂේධ කිරීම සිදුකරන්නේ නැත. ඔහුට අභිමුඛ වන වස්තුවේ යම් අඩුවක් අසම්පූර්ණතාවක් ඇත. එහෙයින් මිනිසා වස්තුව නිෂේධනය නොකර වස්තුවෙන් ආපසු යමක් බලාපොරොත්තු වේ (return). ආදරය, පිළිගැනීම යනු වස්තුවෙන් පෙරළා ආපසු ලැබෙන දෙයකි. යම් පදක්කමක වටිනාකම යනු වෙනත් කෙනෙකු විසින් එය අගය කිරීම ය.  කඩයක  විකිණීම සඳහා තබා ඇති පදක්කමක ඇති වටිනාකමක් නැත. එවන් පදක්කමක් මා ගෙදර ගෙනැවිත් තබාගන්නේ නැත. මට අවශ්‍ය වන්නේ වෙනත් කෙනෙකුගේ පිළිගැනීමට ලක් වූ පදක්කමකි.  කොජෙව් කියන්නට යන කාරණාවන් බොහෝමයක් පහත උපුටනයේ අන්තර්ගත ය.

Therefore, to desire the Desire of another is in the final analysis to desire that the value that I am or that I “represent” be the value desired by other: I want him to “recognized”  my value as his value.  (Kojève 1969, 7)

මේ පිළිගැනීම ලබා ගැනීමේ ක්‍රියාවලිය සිදුවන්නේ තමන්ගේ ජීවිතය අනතුරේ දමාගෙන ය.  මේ අනතුර හරහා ය ස්වයං-විඥානය ප්‍රභවය ලබන්නේ. මේ අරගලය නැති තැනක මිනිස් ජීවිත යනුවෙන් දෙයක් ද නැත. මේ අරගලය අවසන්  වන්නේ අනෙකාව විනාශ කිරීම නොව අනෙකා ජීවත් ව සිටිය දී ම ඔහුගෙන් පිළිගැනීම ලබාගැනීම ය. මේ තත්ත්වය මත හෙගල්ගේ පරමාත්මයේ ප්‍රපංචවිද්‍යාව කෘතිය ඇතුළු ඔහුගේ සියලු කෘතීන් තුළත්, මිනිස් ඉතිහාසයේත් ගාමක බලවේගය බවට පත්වන්නේ ස්වාමි-සේවක දයලෙක්තිකය බව කොජෙව්ගේ මතය විය. ස්වාමියාගේ අනන්‍යතාව ක්‍රියාත්මක වීමට සේවකයා අවශ්‍ය ය. ස්වාමියා සිය තෘප්තිය ලබාගන්නේ තවත් යමක ආධාරයකින් මැදිහත්වීමකින් නොවේ. සේවකයා තමාගේ ආශාව තෘප්තිමක් කරගන්නේ තම ශ්‍රමය මැදිහත් කර ගෙනය. ස්වාමියා සේවකයාගේ වැඩ හරහා තෘප්ත කරගන්නේ ඔහුගේ සත්ව ආශාව ය. කොජෙව් කියන ආකාරයට ස්වාමියා මිනිසෙකු ලෙස පිළිගැනීම සඳහා අරගල කළත් ඔහු පරිභෝජනය කරන්නේ සතෙකු ලෙසය.  ඔහු වැඩක් නොකර ය පිළිගැනීම ලබා ගැනීමට උත්සාහ කරන්නේ.  ස්වාමියා මිනිසෙකු ලෙස ජීවත් වූවත් මැරෙන්නේ සතෙකු ලෙසටය.  

දෙන ලද ලෝකය ඉක්මවා යා හැක්කේ සේවකයාට පමණක් ය. සේවකයාට තමන්ව ම පරිවර්තනය කර ගත හැක්කේ තමා මත පැටවී ඇති වැඩ හරහා ය. සේවකයා තමන්ගේ නිර්මාණ හරහා ස්වයං-විඥානයක් වර්ධනය කර ගන්නා අතර තමන්ගේ වැඩ දෙස බලා තෘප්තියක් අත්පත් කර ගනී. මේ නිසා සේවකයාගේ ආශාව ඉතිහාසය තුළ ප්‍රගතිශීලීය. එය ඉතිහාසයට චලනයක් ලබා දෙයි. මේ නිසා ම ය කොජෙව් ස්වාමි - සේවක ගතිකත්වය ඉතිහාසයේ චලන බලවේගය ලෙසට ගන්නේ. 
 
මනුෂ්‍යයකු වීම යනු අරගලයක ප්‍රතිඵලයකි. ස්වාමි-සේවක අරගලය පරාරෝපණයක් හෝ පුද්ගලික විඳවීමක් නොව ශාරීරික ගැටුමකි. බිය, පිළිගැනීමට ඇති ආශාව, මරණය වැනි ගාමකයන් මේ අරගලයට යටින් ක්‍රියාත්මක වේ. මේ ක්‍රියාවලිය අවස්ථා තුනක් හරහා කොජෙව් කියවයි.

1.    ලේ වැකි ගැටුම (Bloody Battle)
2.    ස්වාමියාගේ රාජාධිපත්‍යය (Reign of the Master)
3.    සේවකයාගේ/වහලාගේ ජයග්‍රහණ1.      (Triumph of the Slave)

කොජෙව් ස්වාමි-සේවක අරගලය සංකල්පගත කිරීමේ දී තෝමස් හොබ්ස්ගේ ‘සියලු දෙනා සියලු දෙනාට එරෙහිව යුධ වැදී සිටින ප්‍රකෘති තත්ත්වය (state of nature as a war all against all) පිළිබඳ අදහස විමර්ශනය කළා යැයි සිතිය හැකි ය. ආශාව යන්න ක්‍රියාත්මක වන්නේ අනෙකා සමඟ ප්‍රචණ්ඩ අභිමුඛ වීමක් ලෙසට ය. යුද්ධ හා විප්ලව යනු මේ ආකාර ලේ වැකි අරගලයන් ය. ඉතිහාසය ලියවෙන්නේ ජයග්‍රහාකයන්ගේ අරගල හරහා ය. මේ අරගලයේ දී මිනිසා ජීව විද්‍යාත්මක නොවන ආශාවන් තෘප්තිමත් කර ගැනීම සඳහා තමන්ගේ ජීව විද්‍යාත්මක ආශාවන් කැප කිරීමක් ද කරයි. කොජෙව් ප්‍රචණ්ඩත්වය පිළිගනී. ජයග්‍රාහකයන්ගේ ජයපැන් බීම දාර්ශනික ලෙස අගයයි. කොජෙව් කියා සිටින්නේ තමන් හෙගල් සම්බන්ධයෙන් මාක්ස්වාදී කියවීමක් කරන බව ය. කෙසේ නමුත් කොජෙව්ගේ මේ විඥානයට කාල් ෂ්මිට්ගේ බලපෑමක් ලැබී තිබෙන බව සිතිය හැකි ය. කොජෙව්ගේ පොත්වල කාල් ෂ්මිට් උපුටා ඇත.  කාල් ෂ්මිට්ගේ ආරාධනාවන් මත කොජෙව් ‘යටත් විජිතවාදය හා ධනවාදය’ යන දේශන ද පවත්වා ඇත. ෂ්මිට් මෙන් ම කොජෙව් අතින් ප්‍රචණ්ඩත්වය සද්භාවවාදී කිරීමත් (ontologize violence)  සිදුවී ඇත.  

අරගලයේ දී මරණයට බය කෙනා අරගලය අත්හරින අතර ඔහු හෝ ඇය සේවකයකු හෝ වහලෙකු බවට පත් වේ. කොජෙව් විසින් ම කියා ඇති පරිදි ස්වාමි-සේවක දයලෙක්තිකය ප්‍රතිනිර්මාණය කිරීම සඳහා හෛඩගර් බලපා ඇත. කොජෙව් කියන ආකාරයට හෛඩගර්ගේ Being and Time කෘතිය හෙගල්ගේ Phenomenology of Spirit කෘතිය කියවීමට හොඳ පහසුකමක් නිර්මාණය කර දෙයි. විශේෂයෙන් ම Being amd Time කෘතියේ ඇති මනුෂ්‍ය පරිමිතභාවය (Human finitude) ලෝකය-තුළ-පැවැත්ම (Being-in-the world) සම්බන්ධයෙන් තීරණාත්මක කාර්යභාරයක් සිදු කරයි. මෙහි මනුෂ්‍ය පරිමිතභාවය මරණය පිළිබඳ සවිඥානකභාවයට තුල්‍ය කළ හැකි ය. කොජෙව්ට අනුව ස්වාමි-සේවක අරගලයේ දී සේවකයා ඉගෙන ගන්නා පාඩමක් වන්නේ මනුෂ්‍ය  පරිමිතභාවයේ ආවශ්‍යක භාවය යි.  ලේ වැකි අරගලයේ දී සේවකයාගේ යටත් වීම ඓතිහාසික ප්‍රගමනයට ශක්තියක් ලබා දෙයි. ඔහු පරාජය භාරගෙන වැඩ කරන්නට පටන් ගනී. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ විඥානය වර්ධනය වේ.  ස්වාමියා ජයගත්ත ද ඔහු සාංදෘෂ්ටික හිරවීමකට ලක් වේ. ස්වාමියාට සේවකයාගෙන් පිළිගැනීමක් ලැබුණත් මේ පිළිගැනීම ලැබෙන්නේ හුදෙක් පැරදුනු සේවකයෙකුගෙනි. මේ නිසා ස්වාමියාට තමන් බලාපොරොතතු වූ ආකාරයේ සතුටක් ලැබෙන්නේ නැත. ස්වාමියා වැඩ කරන කෙනෙකු නො වේ.  මේ නිසා ම ඔහුගේ විඥාන මට්ටම ඉහළ යන්නේ ද නැත.  ඔහු අනෙකෙකු සමඟ ලේ වැකි අරගලයක නිරත වුවත් ඔහු තුළ කිසිදු ප්‍රගතියක් වර්ධනය වන්නේ නැත. ස්වාමියාගේ පැත්තෙන් තමන්ව වෙනස් කර ගැනීමට කිසිදු කොන්දේසියක් නිර්මාණය වන්නේ ද නැත. ස්වාමියාට ජීවත් වීමට සිදුවන්නේ අනතුරුදායක තත්ත්වයක ය. අනෙක් අතට සේවකයාගේ විඥානය වර්ධනය වීම සඳහා කොන්දේසියක් නිර්මාණය වී ඇත. ඔහු සිය ආශාව යටපත් කර ගැනීමට ඉගෙන ගන්නා අතර ඔහු තමාගේ ආශාවට  අනුව වැඩ කරනවා වෙනුවට වෙනත් කෙනෙකුගේ ආශාව වෙනුවෙන් වැඩ කිරීමට පෙලඹේ. මෙහි දී සේවකයා වැඩ හරහා තමන්ව අධ්‍යාපනික කර ගනී. එමෙන් ම ඔහු සොබා දහම මත තමන්ගේ ශ්‍රමය ආශ්‍රයෙන් සිය ආධිපත්‍යය ස්ථාපනය කරයි. ඔහු සිය වැඩ හරහා තමන්ව මත් වෙනස් කර ගනී. ඔහු සොබා දහම මානවකරණයට ලක් කරයි. මේ අදහස කොජෙව් ලබා ගන්නේ මාක්ස්ගේ Economic and Philosophical Manuscripts of 1844 කියවීමෙන් යැයි සිතිය හැකිය. මාක්ස් හෙගල්ගේ පරමාත්මයේ ප්‍රපංචවිද්‍යාව කියවා මෙවැන්නක් ලීවේ ය:

He (Hegel) grasps labor as the essence of man –as man’s essence in the act of proving itself.  (Marx 1959, 177)
​

කොජෙව් පැහැදිලි කළ පරිදි, සේවකයා ආධිපත්‍යය හෙළන්නේ සොබාදහම මත විනා තවත් මිනිසෙකු මත නො වේ. සේවකයා සිය තෘප්තිය ලබාගන්නේ තමන්ගේ ශ්‍රමයෙන් ලබාගත් අස්වැන්න හරහා ය. සේවකයා සේවකයකු වන්නේ ස්වාමියාගේ දෘෂ්ටිකෝණය අනුව පමණි. එයට ප්‍රතිවිරුද්ධව ‘පොළොව කොටන තැන, පාර කපන තැන, ගිනියම් අව්වේ මහ වරුසාවේ ඉන්නේ දෙවිවරුන් ය;  දෙවියන්ගේ රුව දැකිය හැක්කේ සේවකයන් තුළ ය. ඓතිහාසික වෙනස්කම් කළ හැක්කේ සේවකයාට ය. නිදහස දිනාගත හැක්කේත් අනෙකාට නිදහස දිනා දිය හැක්කේත් සේවකයාට ය.  

කොජෙව්ට අනුව නිදහස යන්න අරගලය හා වැඩ හරහා ලබාගත හැකි එකකි. මෙහි දී  සොබාදහම මත සේවකයා සිය ආධිපත්‍යය පිහිටුවයි. සමාජවා රාජ්‍යයක දී ආශාව යන්න පූර්ණ වශයෙන් තෘප්තිමත් වේ. පිළිගැනීම ලබා ගැනීම සඳහා ඇති ආශාව සාර්වත්‍රික වශයෙන් තෘප්ත වේ.  මෙවන් රාජ්‍ය ක්‍රමයක ස්වාමි-සේවක දයලෙක්තිකය සම්පූර්ණ වේ. මෙහි දී ඉතිහාසය සම්පූර්ණ වේ.  කොජෙව්ට අනුව ඉතිහාසයේ අවසානය යනු පාරභෞතික අවසානයක් නො ව මනුෂ්‍යත්වය පරිපූර්ණත්වයට ළඟා වීම ය.

ආශ්‍රිත ග්‍රන්ථ

1.   Hegel, G.W.F. (1977), Phenomenology of Spirit, Oxford: Oxford University Press.
2.   Kojève, A (1980) Introduction to Reading of Hegel, Ithaca: Cornell Univeristy Press.
3.   Roth, M.S. (1988) Knowing and History: Appropriation of Hegel in Twentieth – Century France, Ithaca: Corneel Univeristy Press.
 4.  Butler, J. (2012) Subject of Desire: Hegalian Reflections in Twentieth -Century France NewYork:  Colombia University Press.
 5.  Kalkavage, P. (2007) The logic of Desire: An Introduction to Hegel’s Phenomenology of Spirit, Philadelphia: Paul Dry Books.
 6.  Marx, K. (1970) Economic and Philosophical Manascripts of 1844, London: Lawrance  and Wishart Ltd.

    ඔබගේ අදහස් අපට එවන්න.

    Max file size: 20MB
Submit
Back To Home
Powered by Create your own unique website with customizable templates.
  • ප්‍රවර්ග
    • සාහිත්‍ය කලා
    • දර්ශනවාදය
    • වෙනත්
  • ලේඛනාගාරය
  • ලේඛක සෙවීම්
  • Bookcrow
  • Contact Us
  • සංස්කාරක සටහන්