හෙට දින සංස්කෘතිය උදෙසා විවෘත වේදිකාව​...​

kinihiraya.com
  • ප්‍රවර්ග
    • සාහිත්‍ය කලා
    • දර්ශනවාදය
    • වෙනත්
  • ලේඛනාගාරය
  • ලේඛක සෙවීම්
  • Bookcrow
  • Contact Us
  • සංස්කාරක සටහන්

හෙගලියානු අඩවිය 7: ස්වාමි/ සේවක දයලෙක්තිකයේ භෞතිකවාදය

​⚈ ආචාර්ය සමන් පුෂ්පකුමාර - Dr. Saman Pushpakumara
2020 දෙසැම්බර් 30
Picture
Andrew Cole​
හෙගල් පරමාත්මයේ ප්‍රපංචවිද්‍යාව කෘතිය තුළ සාකච්ඡාවට ගන්නා ස්වාමි/සේවක සබඳතාව මඟින් ඇත්ත වශයෙන් ම අදහස් කළේ කුමක්ද යන්න සම්බන්ධයෙන් ගැටලුවක් ඇත. ස්වාමි/සේවක සබඳතාව ඉතිහාසයේ එක් යුගයකට පමණක් අදාළ සංකල්පයක්ද? සෑම යුගයකටම අයත් සාර්වත්‍රික සංකල්පයක්ද? මිනිස් විඥානයට පමණක් අයත් සංකල්පයක්ද? මෙහි යම් භෞතිකවාදී අන්තර්ගතයක් තිබේද? හෙගල් විසින් වර්ධනය කළ සංකල්පය ඔහුගෙන් පසුකාලීනයන් හෙගලියානු සංදර්භයෙන් ගලවා වෙනත් විශ්ලේෂීමය කටයුතු සඳහා යොදා ගත්තේද? යන ගැටලු අප හමුවේ පවතී. මෙවන් ප්‍රශ්නවලට නිශ්චිත පිළිතුරක් සම්පදානය කිරීමට උත්සාහ ගත් අයෙකු වන්නේ ඇන්ඩෲ කෝල් ය (Andrew Cole). ඔහු විසින් 2004 ලියන ලද ‘What Hegel’s Master/Slave Dialectic Really Means’ නම් ලිපිය අතිශයින් වැදගත් ය. මේ ලිපිය තවදුරටත් දියුණු කරමින් 2014 දී ඔහු විසින් කළ The Birth of Theory කෘතියේ ‘The Lord and Bondsman’ නම් පරිච්ඡේදයත් ඉතාමත් ප්‍රයෝජනවත්ය. අපි මෙතැන් සිට හෙගලියානු ස්වාමි/සේවක සබඳතාව පිළිබඳ ගැටලුව කෙරෙහි ඇන්ඩෲ කෝල්ගේ විවරණය සාකච්ඡාවට ගනිමු.
ඇන්ඩෲ කෝල්ගේ මතය වන්නේ හෙගල්ගේ ස්වාමි/සේවක දයලෙක්තිකය වැඩවසම්වාදය සම්බන්ධයෙන් කෙරෙන භෞතිකවාදී විවරණයක් බවය. ස්වාමි/සේවක දයලෙක්තිකය යට තිබෙන දර්ශනය වන්නේ අනන්‍යතාව/වෙනස (identity/difference) පිළිබඳ ගතිකත්වය ය. අනන්‍යතාව/වෙනස මඟින් මධ්‍යකාලීන දර්ශනයේ පැවති තාර්කික හා දාර්ශනික ස්වරූපය හඳුනාගත හැකිය. කෝල් පවසන ආකාරයට හෙගල්ගේ පරමාත්වයේ ප්‍රපංචවිද්‍යාව තුළ වර්ධනය කෙරෙන ස්වාමි/සේවක දයලෙක්තිකය ඉතිහාසය තුළ දයලෙක්තිකය ක්‍රියාත්මක වු ආකාරය පෙන්නුම් කිරීමට ඇති හොඳම උදාහරණයකි. ඉතිහාසයේ එක්තරා අවධියකදී ස්වයං විඥානය පැන නැගෙන ආකාරය මෙහිදී විස්තර වේ. මෙය දර්ශනය හා ඉතිහාසය එකිනෙක මුණ ගස්වන මොහෙතකි; හෙගල් තමන්ගේ විචාරය හා තමන් වටා තිබෙන භෞතික වටාපිටාව එකිනෙක සම්බන්ධ කරන මොහොතකි. මාක්ස් ද මෙවැනි දාර්ශනික ඓතිහාසික සම්බන්ධයක් බිහිකළේය. මේ අනුව හෙගල් තුළත් පූර්ව මාක්සියානු ඡායාවක් දැක ගත හැකිය.

කෝල් තමන්ගේ විස්තරය තුළ දකින ආකාරයට හෙගල් මෙහිදී විෂයගත කරන්නේ වැඩවසම් ක්‍රමය තුළ ක්‍රියාත්මක වූ රදළ-ස්වාමි ක්‍රමයය (lordship and domination). රදළ ක්‍රමයට (lordship) අදාළ ජර්මන් යෙදුම වන්නේ 'Herrschaft’ යන්නය. එයට ඉඩම් හිමිකාරීත්වයද (landed lordship)(Grundherrschaft) සම්බන්ධය. 1770-1866 කාලයේදී ජර්මනියේ පැවතුණේ වැඩවසම් ලක්ෂණ සහිත සමාජ ක්‍රමයකි. මේ යුගයේ ග්‍රාමීය යුරෝපය ගත්තොත් එය මධ්‍යකාලීන යුගය හා සමාන විය. ජනතාවගෙන් බහුතර කොටසක් ජීවත් වූයේ ආහාර හිඟයකින් හා අමාරු යැපුම් මට්ටමකය. මේ කාලයේදී ප්‍රසියාවේ බටහිර හා නැගෙනහිර කොටස් දෙකම අසමාන ආර්ථික වර්ධනයක් සහිත මිශ්‍ර ආර්ථික ක්‍රමයකින් යුක්ත විය. යම් ආර්ථික වර්ධනයක් තිබුණා නම් එය සිදුවූයේ අලුත් ධනේශ්වර වර්ධනයක් සමඟ සම්බන්ධ වෙමිනි. මේ විග්‍රහයෙන් කියවෙන්නේ හෙගල් සමාජ විද්‍යාඥයකු ආකාරයට වැඩවසම් ක්‍රමයේ දත්ත වාර්තා කරමින් ක්‍රියාත්මක වූ බව නොවේ.

හෙගල් ජීවත් වූයේ යම් දුරකට තවමත් ශේෂගත වූ වැඩවසම් ක්‍රමයක ය. ඒ කාලයේදීත් වැඩවසම් ක්‍රමයේ ආයතන ඉතිරිව පැවතිණි. හෙගල් විසින් ස්වාමි/සේවක දයලෙක්තිකය වර්ධනය කරන්නේ කෘෂිකාර්මික ජර්මනියේ වැඩවසම් දේශපාලන තත්ත්වය සිත තබාගෙනය. මේ යුගයේ පැවතුණු ඉඩම් හිමිකාරීත්වය මඟින් සංකේතවත් වූයේ ස්වාමියාගේ ආධිපත්‍යය ය. මේ කාලයේදීත් වැඩවසම් ක්‍රමය යටතේ පැවතුණ නින්දගම් ක්‍රමය (serfdom) තවදුරටත් ව්‍යාප්තව පැවතුණු අතර ගොවියෝ විශාල පීඩනයකට ලක්වී සිටියහ. මේ තත්ත්වය හෙගල්ට ස්වාමි/සේවක දයලෙක්තිකය සූත්‍රගත කිරීමට වටාපිටාවක් නිර්මාණය කළේය. වැඩවසම් යෙදුම් හා ප්‍රතිරූපයන් පාවිච්චි කර එහි ගතිකත්වයන් හා තර්කණයන් අනන්‍යතාව/වෙනස නම් සූත්‍රය හරහා ඉදිරිපත් කිරීමක් මෙහිදී සිදු වී ඇත.

​මෙහිදී විශේෂත්වය වන්නේ ස්වාමි/සේවක දයලෙක්තිකය හෙගල්ගේ කෘති තුළ එක් තැනක පමණක් විස්තර කෙරී නැති බවය. පරමාත්මයේ ප්‍රපංචවිද්‍යාව කෘතියට අමතරව System of Ethical life, Philosophy of Right, Philosophy of Spirit, Lectures on the Philosophy of History යන කෘතීන්හි මේ ගැන විස්තර කෙරෙන බවය. කෙසේ නමුත් මේ සංකල්පයට වැඩි අවධානයක් යොමු වී තිබෙන්නේ පරමාත්මයේ ප්‍රපංචවිද්‍යාව කෘතිය තුළදී ය. ඉඩම් අත්පත් කර ගැනීමට වැඩවසම් ක්‍රමය තුළ සිදු වූ අරගලය (Feudal struggle for possession) බොහෝ දෙනෙක් අතින් විග්‍රහ වී තිබෙන්නේ විඥානවාදී හා වියුක්ත ආකාරයට ය. මෙය ඉතිහාසය තුළ තබා භෞතිකවාදී ලෙස විග්‍රහයක් කිරීමට හෙගල් උත්සාහ කරන බව ඇන්ඩෲ කෝල් ගේ මතය වේ.
​
Picture
​Georg Wilhelm Friedrich Hegel
ස්වාමි/සේවක දයලෙක්තිකය ගැන ඉදිරිපත් වූ විවිධ අර්ථකථන පිළිබඳ කෝල්ගේ විවේචනය

ස්වාමි/සේවක දයලෙක්තිකය සම්බන්ධයෙන් ජින් හිපොලිට් ඉදිරිපත් කළ අදහස වූයේ ස්වාමියාගේ සත්‍යය මඟින් හෙළිදරව් කෙරෙන්නේ ඔහු වහලෙකු බවත් වහලා මඟින් හෙළිදරව් කරන්නේ තමන් ස්වාමියා බවත්ය. ඇලෙක්සැන්ඩර් කොජෙව් විසින් ඉදිරිපත් කළ අර්ථකථනය වඩාත් බලපෑම් සහගතය. කොජෙව්ගේ අර්ථකථනයේ ඇති ප්‍රබලත්වය නිසාම ප්‍රංශය තුළ හෙගල් පුනර්ජීවනයක් ඇතිවීමට හේතු විය. කොජෙව්ගේ විග්‍රහයේ ශක්තිමත්භාවය වූයේ ස්වයං-විඥානය බිහිවීමේ ක්‍රියාවලියට ස්වාමි/වහල් දයලෙක්තිකය සම්බන්ධ කිරීමය. ස්වයං-විඥානයේ උදාව යනු යමෙකුගේ ආශාවට හා ආත්මීයත්වයට අනෙකාගේ පිළිගැනීම ලැබීම පමණක් නොව ස්වයං-විඥානය ලබා ගැනීමට යමෙකුගේ ජීවිතය අනතුරේ තැබීමය. කොජෙව් කියා සිටියේ ‘to speak of the ‘origin’ of self consciousness is necessarily to speak of the risk of life, (Kojeve 1967,7). මෙයින් කියවෙන්නේ  ස්වයං-විඥාණයේ උදාව ගැන කතා කිරීම යනු අවශ්‍යයෙන්ම ජීවිතය අනතුරේ දමා ගැනීම පිළිබඳ කතා කිරීමක් යන්නය. එය ශුද්ධ කීර්තිය සඳහා ජීවිතය අනතුරේ දමාගෙන කරන අරගලයක් බවය. කෙසේ නමුත් මේ අරගලයේදී එකෙකු මරණයට පත්වුවහොත් බලාපොරොත්තු වන පිළිගැනීම ලැබෙන්නේ නැත. අරගලයේ යෙදෙන පාර්ශවයන් දෙකම උත්සාහ කරන්නේ අනෙකාව පරාජයට පත් කිරීමටය. නමුත් මේ පාර්ශවයන් දෙකම තම තමන්ගේ ප්‍රශ්නය විසඳා ගන්නේ තම තමන්ගේ අනෙකා මුලිනුපුටා දැමීමෙන් නොව අසමාන සබඳතාවක් ශේෂගත කර ගැනීමෙන් ය. දෙදෙනා අතර ඇති අසමානතාව දයලෙක්තිකයේ ඉදිරි වර්ධනයට ශක්තිය සපයයි.

ඇන්ඩෲ කෝල් ස්වාමි/සේවක දයලෙක්තිකය සම්බන්ධයෙන් හිපොලිට් හා කොජෙව් යන දෙදෙනාට වෙනස් විවරණයක් ගෙන එයි. මෙහිදී ඔහු අයිතිකාරකම හෝ ස්වාමීත්වය (possession) තීරණාත්මක ප්‍රවර්ගයක් වශයෙන් පෙන්වා දෙයි. ඔහු පෙන්වා දෙන ආකාරයට හෙගල්ගේ ස්වාමි/සේවක දයලෙක්තිකය යටින් දිවයන භෞතිකමය කාරණය මෙයය. කොජෙව්ගේ විශ්ලේෂණය තුළ අත්හැරී ගොස් ඇති සාධකය මෙය ය. කෝල් කියන්නේ ස්වාමිත්වය/අයිතිකාරකම ස්වීයත්වය අත්පත් කර ගැනීමේ (possession of self) අරගලයක් බවය. දේපළ සම්බන්ධයෙන් ඇති අයිතිකාරකම යනු දේපළ මත ස්වාමිත්වය පිහිටුවා ගැනීමට ගන්නා උත්සාහයක් බවය. මේ ස්වාමිත්වය අත්පත් කරගත හැක්කේ ශ්‍රමය හරහාය. එය ප්‍රකාශයට පත්වන්නේ සමාජිය ලෝකයක් තුළය. රදලයා (lord) හා ප්‍රවේණිදාසයා (bondsman) දේපළ අයිතියට දක්වන සබඳතාව මෙහිදී පරික්‍ෂාවට ලක්වෙයි. කෝල් අන් විචාරකයන් මෙන් ‘lord’ හා ‘bondsman’ යන්න ‘master’ හා ‘slave’, එනම් ‘ස්වාමියා’ හා ‘වහලා’ ලෙසට ගන්නේ නැත. කෝල් තර්ක කරන්නේ හෙගල්ගේ විග්‍රහය තුළ තිබෙන්නේ ‘ස්වාමියා‘ සහ ‘වහලා’ පිළිබඳ කතාන්දරයක් නොවන බවය.

කෝල් පෙන්වා දෙන ආකාරයට බොහොමයක් දෙනා හෙගල්ව වැරදියට පරිවර්තනය කර ඇත. කොජෙව්, හිපොලිට්, ලැකාන් පමණක් නොව ජිජැක්ද මේ වැරැද්ද කර ඇත. ලැකාන් කොජෙව් මත පදනම් වී ‘ස්වාමියා’ හා ‘වහලා’ ප්‍රංශ භාෂාවෙන් නම් කර තිබෙන්නේ ‘maitre’ සහ ‘esclave’ලෙසටය. ඒවා ඉංග්‍රීසියට පරිවර්තනය වී තිබෙන්නේ ‘master’හා 'slave' ලෙසටය. ජිජැක්ගේ Sublime Object of Ideology වල පෙන්වා දෙන්නේ ආධිපත්‍යය (domination) හා ආධිපත්‍යයට යටත්වීම (servitude) අතර සබඳතාව lordship හා bondage යන්නට සම්බන්ධ බවත් එය හෙගලියානු අර්ථයෙන් තමා යොදා ඇති බවත්ය (Žižek 1989,26). ජිජැක්ගේ තවත් පොත්වල ස්වාමි කතිකාව (master discourse) ගැන සඳහන් කිරීමේදී ඒවා ලැකානියානු අර්ථයෙන් යොදා ඇත. මෙයට අමතරව The Parallax View (2006,185) සහ Metastases of Enjoyment (2005, 109) යන පොත්වල ‘master’හා ‘slave’ යන ලෙසත් පාවිච්චි කර ඇත. ජිජැක් සිය දාර්ශනික ව්‍යාපෘතිය පටන් ගන්නේ ස්වාමි/ප්‍රවේණිදාස (lord/bondsman) දයලෙක්තිකයෙනි. එයින් පසුව lord යන්න master ලෙසටත් bondsman යන්න slave ලෙසටත් ගනිමින් master/slave  දයලෙක්තිකය  ලෙසත් යොදා ඇත. මේ අනුව පෙනී යන්නේ හෙගල්ගේ ස්වාමි/සේවක දයලෙක්තිකය ජිජැක්ද අසංගත ලෙස යොදා ගෙන තිබෙන බවය. කෙසේ නමුත් හෙගල් මේ සංකල්පය ඉතිහාසයේ වැඩවසම් ක්‍රමයට සම්බන්ධ කිරීමත් ඉතාමත් සංගත ආකාරයට ඉදිරිපත් කිරීමක් දැකිය හැකිය. 

ඇන්ඩෲ කෝල්  හෙගල් කළ අවධාරණයන් සිය තර්කයට හසු කර ගනී
​
(1) හෙගල් අවධාරණය කරන්නේ ස්වාමියා/දාසයා (lord/serfහෝ lord/bondsman දයලෙක්තිකය මඟින් පෙන්නුම් කරන්නේ වැඩවසම් ස්වාමීත්වය, අයිතිකාරකම (possession) සම්බන්ධයෙන් බව ය. මෙය වචනවල පරිවර්තනයේදී මතු වූ ගැටලුවක්ම නොවේ. ජර්මන් භාෂාවේ යෙදෙන der Herr සහ der Knecht යන්න lord සහ bondage ලෙස නිවැරදිව පරිවර්තනය වී තිබියදීත් ස්වාමියා/වහලා වශයෙන් සමහර විචාරකයන් යොදා තිබෙන්නේ ඇයි ද යන්න සොයා බැලිය යුතුය. ඒ. වී. මිලර් හා ටෙරී පිංකාර්ඞ් යන හෙගල්ගේ කෘති ඉංග්‍රීසියට පරිවර්තනය කළ දෙදෙනාම යොදා ඇත්තේ ‘mastery’ සහ ‘servitude’, ලෙසටය. මයිකල් ඉන්වූඞ් එය පරිවර්තනය කර තිබෙන්නේ ‘lordship’ සහ ‘Bondage’ ලෙසටය. කෙසේ නමුත් මේ අයගෙන් වෙනස්ව බොහොමයක් ඉංග්‍රීසි අටුවාචාරීන් දක්වා තිබෙන්නේ හෙගලියානු යෙදුම්වල ඉංග්‍රීසි තේරුම ස්වාමියා (master) හා වහලා (slave) බවය. 

කෝල් පෙන්වා දෙන ආකාරයට මේ යෙදුම් පාවිච්චි කිරීමේදී හෙගල් ඉතාමත් සංගතය. හෙගල්ගේ ප්‍රධාන කෘති තුළ මේ සංගතභාවය දැක ගත හැකිය. ‘Herr’ රදලයා/ස්වාමියා සහ ‘knecht’ එනම් සේවකයා/ප්‍රවේණිදාසයා නිශ්චිත අනන්‍යතාවක් (identity) හා වෙනසක් (difference) පෙන්වීම සඳහා යොදාගත් සංකල්පනයන්ය. හෙගල් වහල් ක්‍රමය (slavery) ගැන විමර්ශනය කරන විට එයට අදාළ සංකල්පයන් යොදා ගනියි. විශේෂයෙන් ම ග්‍රීක හා රෝම සමාජවල පැවති වහල් ක්‍රමය ගැන කතා කිරීමේදී එයට අදාළ වචන පාවිච්චි කිරීමට පරිස්සම් සහගත වේ. වහල් ක්‍රමයට අදාළව ඔහු පාවිච්චි කරන වචනය වන්නේ  ‘sklave’ යන්නය. එහි ඉංග්‍රීසි පරිවර්තනය වන්නේ  ‘slave’ ය. හෙගල් සිය Philosophy of Right කෘතියේ පවසන ආකාරයට රෝමානු නීතිය යටතේ මිනිසා යන්නට අර්ථ කථනයක් නැත. එයට හේතුව නම් ‘sklave’ යන්නද  ඒ යටතට වැටෙන නිසාය. වහලා යන්න මිනිසා නම් සංකල්පය උල්ලංඝනය කිරීමට හේතු වේ යන්නය. හෙගල් Philosophy of Right කෘතියේ Sklaverei හා Herrschaft එනම් වහල්භාවය හා ස්වාමිභාවය අතර වෙනස දැක්වීමක්ද කරයි. 

(2) වහල් ස්වාමීන් (slave masters) හා වැඩවසම් රදලයන් (feudal lords) අනෙකා මත තම තමන්ගේ ආධිපත්‍යයන් හෙළීම සාධාරණීකරණය කිරීම ගැන ද හෙගල්ගේ අවධානය යොමු වේ. හෙගල් මෙහිදී නිරීක්ෂණය කරන්නේ ඉතිහාසය තුළ පැවති ආකාර දෙකක ආධිපත්‍යයන්ය. මේ ආධිපත්‍යයන් දෙකම පොදුවේ බිහිසුණුය. කෙසේ නමුත් වහල් ග්‍රීක-රෝම වහල්භාවය හා වැඩවසම් ස්වාමිභාවය එක සමාන නොවන නිසාය, ඒවාට අදාළ යෙදුම් දෙකක් පාවිච්චි කරන්නේ. වහලා (sklave) හා සේවකයා (knecht/servant) අතරද වෙනසක් ඇත. හෙගල් සම්භාව්‍ය වහල්කරණය හා මධ්‍යකාලීන ප්‍රවේණිදාසකරණය අතර වෙනසද පෙන්වා දෙයි.

(3) යමෙකුව වහලෙකු වශයෙන් තබා ගැනීම සාධාරණිකරණය කළේ කුමන පදනමකින්ද යන්නත් හෙගල්ගේ විමසුමට ලක්වේ. වහලුන් වනාහි යම් යුද්ධයකදී යටත් වූවන්ය. ඔවුන්ගේ ජීවිත ආරක්‍ෂා වෙන්නේ ස්වාමියෙකු යටතේය. මිනිසා වනාහි ස්වාභාවික අන්තර්ගතයක් ය යන මතය යමෙකු වහලෙකු ලෙස තබා ගැනීමට හේතුවක් වේ. මිනිසා වනාහි සරල පැවැත්මක් ලෙසට සලකා අනෙකුත් ස්වාභාවික වස්තුවක් අත්පත් කරගන්නවා සේ මිනිසෙකුවත් යමෙකුගේ යටතට පත් කර ගත හැකිබව මෙහිදී කියවිණි.

(4) දේවල් දයලෙක්තික ලෙස පරිවර්තනය වේ. වහල් යුගය ඝනීභූත යුගයක් වූයේ නැත. එය දයලෙක්තික ලෙස පරිවර්තනය වීමට නියමිතව පැවතිණි. නිදහස පිළිබඳ ව අලුත් ලෙසින් සිතන්නට යොමු වීමත් සමඟ වහල් ක්‍රමය පරිවර්තනය වීමට ලක් විය. එයින් පසුව අලුතින් ඇති වූ තත්ත්වය තුළ දයලෙක්තිකය ක්‍රියාත්මක වූයේ පිළිගැනීම ලබා ගැනීමට කරන අරගලයක් ලෙසටය. මේ අරගලය ක්‍රියාත්මක වූයේ ස්වාමියා සහ ප්‍රවේණිදාසය අතරය. මේ දයලෙක්තික අරගලය තුළින් ඇති කළ නව අනන්‍යතාව වූයේ රදළ ස්වාමියා (Herr) සහ ප්‍රවේනිදාසයා ය (knecht). ‘Sklave’ යන්න වෙනුවට අලුත් යෙදුමක් පාවිච්චි කරන්නට පටන්ගත්තේ ඇයිද, යන්න විමසිය යුතුය. හෙගල් ‘sklaverei’ සිට​ knechtshaft දක්වා විතැන් වන්නේ ඇයිද යන්නත් විමසිය යුතුය.

(5) ‘knecht’ එනම් ප්‍රවේණිදාසයා යනු නව ආකාරයක සම්බන්ධතාවකි. එය නව ආකාරයක ආත්මයක් (self) හා අන්‍ය ආත්මයක් (other)  අතර සම්බන්ධතාවකි. හෙගල් විසින් ප්‍රවේණිදාසයාව වහලා හෝ වහල් ක්‍රමය සමඟ සම්බන්ධ කර යොදන්නේ නැත. හෙගල් පරමාත්මයේ ප්‍රපංචවිද්‍යාව කෘතියේදී සාකච්ඡා කරන්නේ ප්‍රවේණිදාසයා ගැන විනා වහලකු හෝ වහල්ක්‍රමය ගැන නොවේ. හෙගල් විසින් ප්‍රවේණිදාසයාව ස්වයං-විඥානයට සම්බන්ධ කිරීමක් කරයි. 1803-1804 කාලයේ හෙගල් විසින් ලියන ලද මුල්කාලීන කෘතියක් වු First Philosophy of Spirit වල ප්‍රවේණිදාසයා ගැන සඳහන් කිරීමක් නොකර වහල්භාවයට පත් කිරීම (enslavement) ගැන සඳහන් කරයි. ඔහු තවත් තැනක සඳහන් කරන්නේ මධ්‍යතන යුගයට පෙර සිටි ස්වයං-විඥානය-විරහිත වහලා (unself-consciousness slave) පිළිබඳවය. ඒ වෙනුවට වැඩවසම් ප්‍රවේණිදාසයාට (feudal serf) ස්වයං-විඥානය අත්පත් කර ගැනීමේ විභවයක් පවතී. වහලාට තමන්ගේ මුලු අයිතියම වෙනත් කෙනෙකුට පවරා දීමට සිදුවේ. වහලාගේ ප්‍රශ්නය නම් සම්පූර්ණයෙන් ම යටත්වීමට සිදුවීමත් තමාගේ ජීවිතය රැක ගන්නේ කෙසේද යන්නත්ය. මේ නිසා වහලා තුළ දයලෙක්තික චලනයක් සිදු නොවේ. එනිසාම ස්වයං-විඥානයක් උත්පාදනය වීමක්ද සිදු නොවේ. කෙසේ නමුත් ප්‍රවේණිදාසයාට/සේවකයාට අනෙකෙකු මුණගැසේ. ප්‍රවේණිදාසයාගේ අනන්‍යතාව සෑදෙන්නේ මේ අනෙකා නිසාය. lord/bondsman දයලෙක්තිකය මෙහි ප්‍රතිඵලය ය. පරමාත්මයේ ප්‍රපංචවිද්‍යාව කෘතියේ හෙගල් ලියා තිබෙන දේ ගැන පරීක්‍ෂා කරමු.

Since to begin with they are unequal and opposed and their reflection into a unity has not yet been achieved, they exist as two opposed shapes of consciousness; one is the independent consciousness whose essential nature is to be for itself, the other is the dependent consciousness whose essential nature is simply to live or to for another. The former is lord, the other is bondsman.

(Hegel 1977.115)

මේ අනුව ප්‍රවේණිදාසයා හා ස්වාමියා අතර හටගන්නා පසමිතුරුතාව හරහාය ස්වයං-විඥානය හටගන්නේ. මේ තුළ වහලකු ගැන සඳහන් කිරීමක් කරන්නේ නැත. මේ අරගලය තුළ කිසිම පාර්ශවයක් මිය යන්නේ නැත. එකෙකු ස්වායත්ත ලෙසත් තවෙකකු පරායත්ත ලෙසත් පිහිටයි. එක් පාර්ශවයක් යටත් වන නමුත් යටත් පාර්ශවය ‘වහලකු’ වන්නේ නැත.

හෙගල් තමන්ගේ Philosophy of Mind කෘතියේ මේ ප්‍රශ්නය ආමන්ත්‍රණය කරන්නේ මෙලෙසය:

The combat of recognition is thus a life and death struggle: each of the two self-consciousness puts the other’s life in danger’
(Hegel 2007, 118)

මෙහිදී හෙගල් අරගලයේ පාර්ශවයන් දෙක ගැන සඳහන් කිරීමක් කරන්නේ නැත. එහිදී වහලකු හෝ ප්‍රවේණිදාසයකු ගැන සඳහන් කරන්නේ නැත. ඉහත උපුටනය අයත් වන්නේ Philosophy of Mind කෘතියේ 432 ඡේදයටය. නමුත් මෙහි 433 ඡේදයේදී අරගලයේ පාර්ශවයන් දෙක නම් කරයි. මෙහිදී දක්වන ආකාරයටි ‘the relationship of mastery and bondage: මේ සබඳතාව පදනම් වී තිබෙන්නේ අසමාන ආකාරයකට බව හෙගල් දක්වයි.
​
හෙගල් දක්වන ආකාරයට ස්වයං-විඥානය යන්න ග්‍රීක ආත්මය අත්විඳි අනුභූතියක් නොවේ. එහදී නිදහස යන්න සාර්වත්‍රික එකක් වූයේ නැත. පැරණි වහලුන් ස්වයං-විඥානයක් අත් වින්දේ නැත. 

හෙගල්ගේ ඉතිහාසය පිළිබඳ විවරණය තුළ රදළ/ප්‍රවේණිදාස දයලෙක්තිකය

ඇන්ඩෲ කෝල් තර්ක කරන ආකාරයට Herr/knecht  දයලෙක්තිකය මධ්‍යකාලීන යුගයෙන් පෙරකාලයට සම්බන්ධ කිරීම දාර්ශනික වරදකි. මේ වරද හෙගල් කළේ නැත. ඉංග්‍රීසි භාෂාවෙන් යෙදී ඇති lord/bondsman දයලෙක්තිකය වහල් ක්‍රමය ගැන විමසුමක් ලෙස ගැනීම වැරදිය. එසේ ගැනීම ඉතිහාසය සම්බන්ධයෙන් හෙගල්ගේ විස්තරය නොතකා හැරීමකි. රදළ/ප්‍රවේණිදාස දයලෙක්තිකය අයත් වන්නේ රොමැන්තික යුගයටය. එසේත් නැත්නම් යුරෝපියානු ක්‍රිස්තියානි මධ්‍යතන යුගයටය. මෙය නූතනත්වය හෝ නිදහස පිළිබඳ යුගය ලෙස හඳුනාගත හැකිය. ක්‍රිස්තියානි යුගයේදි ස්වයං-විඥානය වර්ධනීය අවධියකට ප්‍රවේශ වෙයි. ක්‍රිස්තියානිය යටතේ වහල් යුගයක් තිබිය නොහැකිය. හෙගල්ට අනුව වැඩවසම් ක්‍රමය මධ්‍යකාලීන යුගයේ පැවතුණු අතර හෙගල් ජීවත් වු ජර්මනියේත් ඔහුට සමකාලීනව පැවතුණු සුවිශේෂ දේශපාලන ව්‍යූහයක් සහ සමාජ සැකැස්මකි. නූතනත්වය හා නිදහස සාක්ෂාත් වූයේ මෙම ක්‍රමය තුළ ය. මෙයින් කියවෙන්නේ නින්දගම් ක්‍රමයක් යටතේ මිනිසාට විමුක්තිය හා් නිදහස ලැබෙනවා යන්න නොවේ. ඒ වෙනුවට හෙගල් කියන්නේ ඉතිහාසය නිශ්චිත අවධියකට ප්‍රවේශ වන්නේ ප්‍රවේණිදාස යුගයේ විනා වහල් යුගයේදී නොවන බවය. වෙනත් ලෙසකින් කීවොත් නිදහස උදාකර ගත හැක්කේ ප්‍රවේණිදාසයකුට විනා වහලෙකුට නොවන බවය. මෙහිදී නිදහස යනුවෙන් අදහස් කරන්නේ ස්වයං-විඥානයය.

හෙගල්ගේ රදළ/ප්‍රවේණිදාස දයලෙක්තිකය මඟින් ප්‍රකාශයට පත්වන්නේ වැඩවසම් ක්‍රමය තුළ පැවතුණු දේපළ අත්පත් කරගැනීමේ, දේපළ මත ස්වාමීත්වය හෙළීමේ අරගලයය. වැඩවසම් ක්‍රමය යටතේ පැවතුණු දේපළ සඳහා අරගලය ගැන වෙනත් ඉතිහාසඥයන්ද කරුණු දක්වා ඇත. J.A.F. තෝමස් හා මාච් බ්ලොක් ලියන ලද ‘whose land is this’ නම් ලියවිල්ල, J.J. ශිහන් ජර්මානු තත්ත්වය පරීක්ෂා කර ලියන ලද ‘who control the land’ නම් ලියවිල්ල මේ අතරින් ප්‍රධාන වේ. මෙහිදී නඟන ප්‍රශ්නවලට ලැබෙන පිළිතුරු මඟින් වැඩවසම් ක්‍රමයේ පැවතුණු විසංවාදය ප්‍රකාශයට පත්වේ. මෙහිදී වැඩවසම් ක්‍රමය යටතේ පැවතුණු සමාජ ධුරාවලිය ගැනද හෙළිදරව් වීමත් සිදුවේ. මෙහිදී වැඩවසම් සමාජයේ යම් කණ්ඩායමක් මේ ඉඩම් තමාගේ බව කියයි. එසේ වන්නේ තමන් එම ඉඩම් පාලනය කරන නිසාය. තවත් අයට අනුව මෙම ඉඩම් තමාගේ වන්නේ තමන්ගේ පවුලේ අය පරම්පරාවන් ගණනාවක් තිස්සේ මේ ඉඩම්වල වැඩ කළ නිසාය. තවත් කෙනෙක් මේ ඉඩම තමාගේ යැයි කියන්නේ සියවස් ගණනාවක් තිස්සේ පැවතුණු ඔප්පුවක් තමා සතුව පවතින නිසා බවය. එයින් වෙනස්ව වෙනත් කෙනෙක් මෙහිදී කියන්නේ මේ ඉඩම ඔබේ නොවේ එය මගේ බවය. එයට හේතුව නම් ඔබේ ඔප්පුව ව්‍යාජ එකක් නිසාය; මොකද එම ඔප්පුව ලියා තිබෙන්නේ පූජකයකු නිසාය. මෙයින් පෙන්නුම් කරන්නේ වැඩවසම් ක්‍රමයේ ඉහළ සිට පහළට විසංවාදයන්, පරස්පරයන් පැවතුණු බවය. සමහර කොටස් ඉඩම්වල අයිතිය නෛතික හා මිලිටරි බලය හරහා තහවුරු කර ගැනීමට උත්සාහ ගත්හ. තවත් අය මෙතෙක් එම ඉඩම්වලට වැය කළ ශ්‍රමය හරහා අයිතිය තහවුරු කිරීමට උත්සාහ ගත්හ. මාක්ස්වාදී ඉතිහාසඥයන් වන පෙරී ඇන්ඩර්සන්, බැරී හින්ඩස්, පෝල් හර්ස්ට් සහ රොඞ්නි හිල්ටන් වැනි අය කියන්නේ වැඩවසම් ක්‍රමය තුළ පැවති අරගලය ගොවීන් තුළ නව ආකාරයක ස්වයං-විඥානයක් ඇති වු බවත් මේ විඥානයේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රවේණිදාසයන් තමන්ව හිරකර තැබූ බන්ධනයන්ගෙන් කැඩුණු බවත් පසු කලෙක ඔවුන් ඉඩම් හිමියන් බවට පත් වු බවත්ය.

හෙගල් රදළ/ප්‍රවේණිදාස දයලෙක්තිකය ගැන ලියන්නේ මේ ඉතිහාසය ගැන අවබෝධයෙන් යුක්තවය. හෙගල් මෙහිදී කථා කරන්නේ ඉඩම් අයිතිය සඳහා අරගලය හා ඒ තුළ ක්‍රියාත්මක වන විසංවාදයය. හෙගල් දකින ආකාරයට වැඩවසම් සමාජ සැකැස්මක කේන්ද්‍රිය ප්‍රශ්නය වන්නේ රදළ/ප්‍රවේණිදාස දයලෙක්තිකයය. තමන්ගේ ප්‍රධාන කෘතින් තුනක් වන System of Ethical life, Philosophy of Right yd Phenomenology of Spirit  වලදී වැඩවසම් ක්‍රමයේ ප්‍රධාන ප්‍රශ්න වූ ශ්‍රමය, භුක්තිය, පරාරෝපණය, අතිරික්තය ආදිය ගැන සාකච්ඡාවට ගනී. මේ දැනුවත්භාවය සමඟ හෙගල්ගේ පරමාත්මයේ ප්‍රපංචවිද්‍යාව කෘතිය කියවීමෙන් එහි යෙදී ඇති සංකල්පවල සංදර්භය හඳුනාගත හැකිය.

මේ දක්වා විග්‍රහයෙන් පැහැදිලි වන්නේ හෙගල්ගේ විග්‍රහය වැඩවසම් සමාජ සැකැස්මක පැවතුණු ස්වාමි/සේවක දයලෙක්තිකයට යොමු වී තිබෙන බවය. ඒ වෙනුවට ස්වාමි/වහල් දයලෙක්තිකයක් ගැන කතා නොකෙරෙන බවය. නමුත් එයින් වෙනස්ව ප්‍රමුඛ හෙගලියානු දාර්ශනිකයන් ස්වාමි/වහල් දයලෙක්තිකයක් ගැන කතා කර ඇති බවත්, ඇන්ඩෲ කෝල් මේ වැරැද්ද හෙළදරව් කර ඇති බවත් පැහැදිලිය. මේ ලිපි මාලාවේ ඊළඟ කොටසේදී කෝල් වැඩවසම් ක්‍රමයේ දේශපාලන ආර්ථිකමය කාරණාවන් සමඟ ස්වාමි/සේවක දයලෙක්තිකය සම්බන්ධ කරන ආකාරය සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමි.
​

ආශ්‍රිත ග්‍රන්ථ
  1. Andrew Cole (2004): ‘What Hegel’s Master/Slave Dialectic Really Means’ in Journal of Medieval and Early Modern Studies, Volume 34. Number 3, pp. 577-610.
  2. Andrew Cole (2014):The Birth of Theory, Chicago: The Universtity of Chicago Press.
  3. Hegel G.W.F. (1967):Hegel’s Philosophy of Right, London: Oxford University Press.
  4. Hegel G.W.F. (1977):Phenomenology of Spirit, Oxford: Oxford University Press.
  5. Hegel G.W.F. (2007): Hegel’s Philosophy of Mind, Oxford: Oxford University Press.
  6. Hegel G.W.F. (1979): System of Ethical life (1802/3) and First Philosophy of Spirit, Albany: State University of NewYork Press
  7. Alexander Kojeve (1969) Introduction to the Reading of Hegel, Ithaca: Cornell University Press

    ඔබගේ අදහස් අපට එවන්න.

    Max file size: 20MB
Submit
Back To Home
Powered by Create your own unique website with customizable templates.
  • ප්‍රවර්ග
    • සාහිත්‍ය කලා
    • දර්ශනවාදය
    • වෙනත්
  • ලේඛනාගාරය
  • ලේඛක සෙවීම්
  • Bookcrow
  • Contact Us
  • සංස්කාරක සටහන්