​හෙට දින සංස්කෘතිය උදෙසා විවෘත වේදිකාව​...

kinihiraya.com
  • ප්‍රවර්ග
    • සාහිත්‍ය කලා
    • දර්ශනවාදය
    • වෙනත්
  • ලේඛනාගාරය
  • ලේඛක සෙවීම්
  • Bookcrow
  • Contact Us
  • සංස්කාරක සටහන්

88-89 දේශපාලනයේ ගැඹුර මතු කළ “අහීමානය”

(Sagara Wijesena's "Aheemanaya" Depth of the politics of 88 - 89)
​​​⚈ කථිකාචාර්ය චින්තක රණසිංහ - CHINTHAKA RANASINGHE
​
2020 ඔක්තෝබර් 20
Picture
ප්‍රවේශය

සිංහල කෙටිකතාව හා කවිය වර්තමානයේ යහපත් තත්වයක් අත්පත් කරගෙන ඇතත් නවකථාවේ තත්වය පවතින්නේ ඉතාමත්ම නරක මට්ටමකය. දිගින් දිගටම බිහිවන සම්මාන උළෙලවල නවකථාවට මිලක් නියම වීමත් සමඟ විශාල වශයෙන් නවකථා බිහිවෙතත් උසස් මට්ටමේ නවකථා බිහිවන්නේ නැති තරම්ය. වරක්  නීට්ෂේ  තම ශරතුස්තා දේශනාවල සඳහන් කළේ මිලක් ඇති කිසිම දෙයකට වටිනාකමක් නොමැති බවයි. නීට්ෂේගේ එම කියමන වර්තමාන සිංහල නවකථාවට බෙහෙවින්ම අදාළ වන අතර නවකථාවේ මිල වැඩිවීමත් සමඟ ඒවායේ සාහිත්‍යාත්මක අගය බෙහෙවින්ම පහත වැටී තිබේ. එහෙත් වෙළඳ අපේක්ෂා ඉතාමත්ම ඉහළින් සංවිධානාත්මක  වීම නිසා නවකථාවලට, විශේෂයෙන්ම සම්මාන උළෙලවල දී ඉදිරියට පැමිණෙන නවකථාවලට (මේවායින්  අතිබහුතරය ඉතාමත්ම පහත් සාහිත්‍යාත්මක අගයක් ගන්නා බොල් නිර්මාණයන්ය.) විශාල මාධ්‍ය ප්‍රචාරණයක්  ලබාදෙන බව පෙනේ. ලේඛකයන් ද පාඨකයන් ද එයට හැඩ ගැසී ඇති අතර ඔවුහු කිසිදු විචාරයකින් තොරව ලියති, කියවති. විශේෂයෙන් මෙහි දී පෙනී යන තත්වය වන්නේ ඒ ඒ ප්‍රකාශකයන් වෙන වෙනම තමන් යටතේ පොත් පළ කරන ලේඛකයන් සූක්ෂම ලෙස හසුරුවන බවත්, ඒ අය මුදල් හා විවිධ වරප්‍රසාද දෙමින්  තමාගේ  ලේඛකයන්  ඉස්මතු  කරගැනීම  සඳහා  ජනමාධ්‍ය  ඉතා  මැනවින්  භාවිතා  කරන  බවත්  ය.  ​
​
මෙහි ප්‍රතිඵලය ලෙස ඔවුන් අපේක්ෂා කරන්නේ තමා පළ කරන නවකථාවට අහවල් සම්මානයෙන් පිදුම් ලද නැතහොත් අහවල් උළෙලේ අවසන් වටයට පැමිණි වැනි ලේබලයක් ගසා ගැනීමය. එවිට පොත බෙහෙවින් අලෙවි වන අතර ඔවුන්ගේ වෙළඳ අපේක්ෂා පරිපූර්ණ වේ. මෙයට තවත් එක් ප්‍රධාන සාධකයක් වන්නේ සිංහල නවකථා කියවන පාඨකයන්ගෙන් බහුතරය අතිශයින් පහත් රුචිකත්වයක් ඇති පිරිසක් වීමයි. ඔවුන් තම කියවිය යුතු නවකථාව කුමක් ද යන්න තීරණය කරන්නේ විචාරාත්මක ප්‍රවේශයකින් නොව සම්මාන ලේබලය හා මාධ්‍ය ප්‍රචාරය මුල්කොටගෙනය.

මේ සන්දර්භය තුළ සිංහල නවකථාව මේ වර්ෂ කීපය තුළ පසුකරමින් පවතින්නේ අන්ධකාර යුගයකි. හුදු මුදල් සම්මාන විසින් සැබෑ නවකථාව යටපත් කර දමා ව්‍යාජ නවකථා මතු කළ යුගයකි. එම ව්‍යාජ නවකථාවල මුද්‍රණ  කීපයක් අවුරුද්දකට නිකුත් වන අතර ඉඳහිට හෝ ලියවෙන විශිෂ්ට නවකථාවක් කිසිවෙකුගේ  හෝ අවධානයට  ලක් නොවෙමින් පොත් සාප්පුවල ‘අඩු  මිල’ වට්ටම් කොටසට වැටී නොපෙනී යයි. එවන් නවකථා මතුකර  ගැනීමේ වෑයමේ කොටසක් වශයෙන් මෙවර අපගේ අවධානයට යොමු වූයේ සාගර විජේසේනගේ අහීමානය යි.

2010 දී ගොඩගේ ප්‍රකාශනයක් ලෙස පළ වූ අහීමානය වස්තු විෂය කොටගන්නේ 88-90 භීෂණ සමයේ පේරාදෙණි සරසවිය කේන්ද්‍ර කොට ගනිමින් දියත් වූ දේශපාලනික සංස්කෘතියයි. එහෙත් එය මනා ලෙස දළු රිකිලි දා  වඩවමින්  සමස්ත  රටෙහිම  දේශපාලන  විඤ්ඤාණය  නිරූපණය  කිරීමට  කතුවරයා  ඉතා  සාර්ථක  උත්සාහයක නිරත වේ. ආදරය හා දේශපාලනය, සුළු ධනේශ්වර ග්‍රාමීය දේශපාලනය හා ජාත්‍යන්තරවාදී දේශපාලන අවකාශ වැනි  ලාංකීය  සමාජයේ  80  දශකය  අග  වන  විට  මෝරා  එමින්  පැවති  ප්‍රධාන  බලවේග  පුළුල්  සමාජ  හා  මනෝ විද්‍යාත්මක පසුතලයක තබා නිරූපණය කිරීමට කතුවරයා දක්වන්නේ සුවිශාල ප්‍රතිභාවකි.

මාර්ටින්  වික්‍රමසිංහ,  සරච්චන්ද්‍ර,  අමරසේකර,  සිරි  ගුනසිංහ  හා  හේමරත්න  ලියනාරච්චි  වැනි  සිංහල නවකථාවේ විශිෂ්ටතම සෞන්දර්ය තාක්ෂණික ශිල්පීන්ගේ නාමාවලියට තම නම එක්කර ගැනීමට සාගර විජේසේන සමත්වන  බව  අහීමානයෙන්  මොනවට  පිළිබිඹු  වේ.  මෙහි  ප්‍රධාන  චරිතය  වන අගනාගරික අජිත්,  ඈත පිටිසර ගමකින් ඉංජිනේරු පීඨයට පැමිණ දේශප්‍රේමී දේශපාලනයේ අවිඤ්ඤාණික අතකොලුවක් වන  සුමිත්, රුසියානු සාහිත්‍යය ගැන ගැඹුරින් කියවන කථිකාචාර්යවරයා රොහාන්, දේශප්‍රේමී බලවේගයන්ට  නායකත්වය දෙනමහියංගනයේ හද්දා පිටිසර ගමකින් ආ ජයදේව, දේශප්‍රේමී බලවේගයෙන් ද්‍රෝහී ලේබලය ගසා මරාදමන ද්විභාෂක උගතෙකු  හා  ප්‍රභූ  සමසමාජ  ක්‍රියාකාරිකයෙකු  වන  නුගවෙල  මෙන්ම  පේරාදෙණි  සරසවියේ  ඇදුරෙකු  වන පොලිටිකල්  සිල්වා  ද  මෑත  කාලීන  සිංහල  නවකථාවේ  අමතක  නොවන  සමාජ  සංස්කෘතික  පදනම්  සහිත  චරිත ලෙස නිරූපණය කිරීමට කතුවරයා සමත් වෙයි.

සිංහල නවකථාව තම විශිෂ්ට ජයග්‍රහණ ලබාගත් 50,60 දශකවල නැවතුණු තැනින් සමකාලීන අත්දැකීම් සෞන්දර්යාත්මකව ප්‍රතිනිර්මාණය කිරීම සාගර මුලපුරන විශිෂ්ටතම ප්‍රයත්නයයි. සමකාලීන යන විශේෂණ පදයෙන් මා අවධාරණය කරන්නේ මෑත කාලීන බොහෝ සම්මාන උළෙලවල ප්‍රකට වූ නවකථාවල පැවති මේ සමාජයේ සිදුවන සිදුවීම් නොව එම සිදුවීම්වලින් ඔබ්බට පවතින එම සිදුවීම් සිදුවන්නේ කෙසේද යන්න තීරණය කරන එහි යටි පෙළයි. බොහෝ වර්තමාන සිංහල නවකථාකරුවන්ගේ අසාර්ථකත්වය එම යටිපෙළ ග්‍රහණය නොකිරීම වන අතර ඒ සඳහා පොහෝනා සංස්කෘතික විඤ්ඤාණයක් ඔවුන් සතු නොවේ. සාගරගේ විශේෂ අනන්‍යතාව වන්නේ එබඳු  සංස්කෘතික විඤ්ඤාණයක්  ගොඩනඟා ගැනීමට ඔහු දක්වා ඇති අනන්‍යතාවයයි.  තමන් ගොඩනඟා ගත් සංස්කෘතික විඤ්ඤාණයට සාපේක්ෂව අර්ථ - සෞන්දර්ය බරකින් යුත් භාෂාවක් හා බොහෝ නවකථා කියවීමෙන් ලත් පරිචය ඔහු සතු බව අහීමානය ප්‍රකට කරයි.

ගුණදාස අමරසේකරගේ පසුකඩ ගැනීම

අමරසේකර තමන්ගේ විශිෂ්ට යුගය අවසන් කර ජාතිවාදී අතිසරල යුගය ආරම්භ කරන්නේ 80ගණන් වල දී බව නිරීක්ෂණය කළ හැකිය. 70ගණන් වල අග භාගයේ පළ කරන අසත්‍ය කථාව හා ප්‍රේමයේ සත්‍ය කථාව ඔහුගේ  අවසාන විශිෂ්ට  නවකථා ලෙස සැලකිය හැකිය. එහි කේන්ද්‍රීය චරිතය වන්නේ දකුණේ පිටිසර ගමකින් පේරාදෙණියේ ඉංජිනේරු පීඨයට යන ශිෂ්‍යයෙකු වූ නිමල් ය. නිමල් ද අහීමානයේ සුමිත්ගේ චරිතයට බෙහෙවින් සමාන වන අතර සන්සන්දනාත්මකව බැලූ විට පෙනීයන්නේ සාගර වඩාත් විශිෂ්ට ආකාරයෙන් ඉදිරියට ගෙනයන්නේ අමරසේකරගේ මෙම ප්‍රබුද්ධ ව්‍යාපෘතිය බවයි. අමරසේකර තම ප්‍රබුද්ධ ව්‍යාපෘතිය අතහරිනුයේ දෘෂ්ඨිවාදාත්මකව තමා තුළ ඇති කරගත් අතිවිශාල බිඳවැටීමක කොටසක් ලෙසය.

එනමුත් 71 කැරැල්ල හා එහි එක් සමාන්තර දිගුවක් වන ශිෂ්‍ය දේශපාලනය ගැඹුරු මනෝවිශ්ලේෂණාත්මක පදනමින් යුතුව විශ්ලේෂණය කළ ව්‍යක්තම රචකයා අමරසේකරයි. එය කිසිසේත් අමතක කළ හෝ ඉවත ලිය  හැකි සත්‍යයක් නොවේ. ඒත් 88-90 යථාර්ථය ගැඹුරින් විනිවිදීමට හෝ 80 දශකය තුළ තම නවකථාවේ සෞන්දර්යාත්මක තාක්ෂණය සුරක්ෂිත කිරීමට ඔහු අසමත් විය. සාගර 88-90 ග්‍රහණය කරගන්නා අතර අමරසේකරගෙන් ඔබ්බට තම සෞන්දර්ය තාක්ෂණය ගොඩනඟයි. මෙය අමරසේකරට සාර්ථක අනුප්‍රාප්තිකයෙකු වීමකි. එනම් අමරසේකරගේ පසුකඩ ගැනීමකි.

විශිෂ්ටත්වය

සාගර අජිත්ගේ චරිතය නාගරික නැඹුරුවක් සහිත ඥාන මණ්ඩලයකින් යුක්තව සරසවියට පිවිසෙන තරුණයෙකු බවට පත් කරයි. එයට ප්‍රතිපක්ෂව දේශප්‍රේමී දේශපාලනයට ඉතා ඉක්මනින් නතුවන එහෙත් තම ගැමි හා පවුල් පසුබිමින් දැඩි ලෙස පීඩා විඳින, ඉංග්‍රීසි දැනුම නොමැති කමින් දේශනවල දී නන්නත්තාර වන සුමිත්ගේ චරිතය ද ගොඩනඟයි. දෙදෙනාටම නේවාසිකාගාරයේ එකම කාමරයක විසීමට සලස්වන ලේඛකයා එම සහවාසය ලාංකීය විප්ලවවාදී දේශපාලනය ප්‍රබල ලෙස සංකේතවත් කරන තීවෘ සංකේතයක් බවට පත් කරයි. ජයදේව නැමති ශිෂ්‍ය නායකයාගේ චරිතය ද යම් සංකීර්ණතා සහිතව ගොඩනඟන ඔහු ජයදේව තම ගම වූ මහියංගණය පැත්තේ දුෂ්කර ගමකට යන ගමන සඳහා සුමිත් වෙනුවට අජිත් තෝරාගැනීමෙන් ජයදේවගේ ප්‍රකට දේශපාලන හැසිරීමට යටින් දිවෙන සංස්කෘතිය හා මනුෂ්‍ය සම්බන්ධතා පිළිබඳ සූක්ෂම ඉඟි මතු කරයි.

88-90 දේශපාලනයේ පැවති ගැඹුරුම ප්‍රතිවිරෝධතා අතර සුළු ධනේශ්වර තරුණ උද්යෝගය හා එයට සරිලන ඥානමය ශක්තියේ ඌනතාව මෙම නවකථාවේ තරම් සාකච්ඡා කෙරෙන නවකථාවක් නැති තරම්ය. අජිත්, රොහාන්,  නුගවෙල  වැනි  චරිත  මඟින්  නියෝජනය  කරන්නේ  ඥානය,  විවෘත  බව  සහ  ජාත්‍යන්තර  තලයේ දේශපාලනය හා සාහිත්‍යය පිළිබඳ ඥාන මීමංසාවකි. සුමිත්, ජයදේව වැනි චරිත බුද්ධිමය රක්තහීනතාවය ලෙස හැඳින්විය  හැකි  88-90  දේශප්‍රේමී  දේශපාලනය  තුළ  පැවති  සම්භාව්‍ය  විරෝධී  ප්‍රවණතාව  නියෝජනය  කරයි.  එම අතිසරල  මෙන්ම  විනාශකාරී  වූ  මහපාරේ  දේශපාලනය  පිළිබඳ  ජයදේවගේ  මුවට  නංවන  පහත  වදන්  යථෝක්ත දේශපාලන ව්‍යාපාරයේම බුද්ධිමය හා චින්තනමය ඛේදවාචකයේ ප්‍රකාශනයක් වැන්න.

“අර්බුදය  බොහොම  දරුණුයි  කාටවත්  ඒකට  මුහුණ  නොදී  මඟඅරින්ඩ  තැනක්  නෑ.  මේක  මේ  උසස්  සාහිත්‍යය රසවිඳල සංවාද කර කර ඉන්න කාලයක් නෙමෙයි. සේරම න්‍යාය සංකල්ප මහපාරෙ අත්හදා බලන යුගයක්.”
(අහීමානය ‐ 23පිටුව)

ගමෙන් ඈත වෙල් යායකින් ඔබ්බේ පාළු තැනක පිහිටි මීවතුරේ බෝඩිම වටලන පොලිසිය සුමිත් ඇතුළු සැක  කටයුතු  සිසු  පිරිසක්  අත්  අඩංගුවට  ගනියි.  මෙහිදී  අජිත්  එතෙක්  තමන්  විසූ  දේශපාලන  දුරස්ථ  බවින්  මිදී ජයදේවගේ  දේශප්‍රේමී  කණ්ඩායමේ  කටයුතු  වලට  සහභාගි  වන්නේ  සුමිත්  බේරාගැනීමේ  පරමාදර්ශය  ද  පෙරටු කොටගෙනය. එයට මුළු හදින්ම කැපවීම නිසා ඔහු ඒ වන විට ආදරණීය ලෙස ගොඩනඟාගෙන තිබූ තුෂාරි හා සම්බන්ධය  බිඳවැටෙන  අතර  තුෂාරි  ඔහුගෙන්  සහමුලින්ම  ඉවත්ව  යයි.  අජිත්  ජයදේවලාගේ  දේශපාලනය  වෙත තවදුරටත් ගෙනයාමට තුෂාරිගේ වෙන්වීම බලපාන අතර මිනිසෙකු ලෙස, විශේෂයෙන්ම සංස්කෘතික විඤ්ඤාණයක් සහිත මිනිසෙකු ලෙස ඔහුගේ හෘද සාක්ෂිය මෙහි දී දැඩි ලෙස නැඟී සිටියි. උසස් නවකථාකරුවෙකුගේ එක් ප්‍රධාන ලක්ෂණයක් වන්නේ සමකාලිනත්වය සමඟ සමාන්තර තලයක පිහිටුවමින් සර්වකාලීන මිනිස් විඤ්ඤාණය වෙත අවධානය යොමු කිරීමයි.  සාගර එම  අසීරු  මායිම සාර්ථක  ලෙස  ජයගනියි.  සුමිත්  අත්අඩංගුවට  පත්වීමෙන් පසු කාමරයට එන අජිත් සුමිත්ගේ ලට්ට ලොට්ට අවුස්සා බලයි. රැඩිකල් දේශප්‍රේමී පත්‍රිකාවලට යටින් හමුවන ඔහුගේ දින සටහන් හා සෙසු මෙවලම් කියවන විට අජිත්ගේ හෘද සාක්ෂිය කෙමෙන් ඔහුට වද දීම අරඹයි. සුමිත්ගේ සටහන් අතර එකක් මෙසේයි.

“ගිය සතියේ පේරාදෙණියට ආ මා නතරව සිටින්නේ මහ මැදුරක මතු මහලක සුව පහසු කාමරයකය. මේ මුළු කාමරයටම සිටින්නේ අප දෙදෙනෙකු පමණයි. මගේම කියා මේසයක්, පුටුවක්, ඇඳක් සහිතව දහවල් වරුවේ දේශනවලට හා නොයෙකුත් විද්‍යාගාර පරීක්ෂණවලට සම්බන්ධ වෙමින් ගෙවන මේ ජීවිතය සිහිනයක්දැයි වරෙක සිතේ. පළමු දවසේ මාව ඇරලවන්නට ලොකු මාමා සමඟ මෙහි ආ අම්මා කීවේ මෙහෙම තැනකට අපේ පරම්පරාවක කෙනෙකු ඇවිත් නැති බවයි. කවද හරි දවසක උන්දැ ණය ගන්ඩ පාච්චල් වෙන කඬේ  මුදලාලියගෙ ඉඳන් අපිට කෙනෙහිලිකම් බාල්දුකම් කරන කාට කාටත් ඉහලුම් නැතිවෙන තැනකට මැරිච්ච වත්තෙ මුරකාරයගෙ කොල්ල ගියහම කොහොමට හිටීවිද?”
(අහීමානය 93-94 පිටු)

සුමිත්ගේ තවත් සටහනක් මෙසේය.

“හෙට මහපොළ. මුලින්ම ගෙදෙට්ට රුපියල් එකසිය පනහක මනිඕඩරයක් යවන්න ඕනි. ගිය මාසෙත් ඒ ගාන යවල කොහොම හරි යන්තම් අඩු කාල ගල ගාල මාසෙ ගෙවාගත්තෙ. අලුතින් ෂර්ට් එකක් ගන්න එක පස්සෙ බැලුවෑකි. මං සල්ලි නොයැව්වොත් නංගිගෙ ක්ලාස් යෑමත් නිකම්ම නතර වෙයි.” (පිටුව 95)

මෙම සටහන සමඟ අජිත්ට හමුවන්නේ අඩක් පාවිච්චි කළ සෙන්ට් කුප්පියක් හා මුහුණේ ලප කැළැල් මකන ආයුර්වේද ක්‍රීම් එකකි.

මේවා කියවන අජිත් තම හෘදය සාක්ෂිය මෙසේ අවදි කරයි.
“දැඩි  ශෝකාකූල  හැඟුමක්  සමඟ  ලාච්චුව  තිබූ  ලෙසම  ප්‍රවේශමෙන්  අසුරා  වසා  දැමූ  අජිත්  බෙලහීන  ලෙස  ඇඳේ වැතිර  ගත්තේය.  අවුරුද්දකට  ආසන්න  කාලයක්  තමන්  සමඟ  එකම  කාමරය  බෙදා  ගත්  සගයා  ගැන,  ඔහු  මේ පරිසරයේ දී මුහුණ දුන් අපමණ අතෝර, සිත්තැවුල් පිළිබඳව තමන් තුළ තිබී ඇත්තේ කෙබඳු අසංවේදී බවක්දැයි ඔහු  තමන්ගෙන්ම  අසාගත්තේය.  ඔහුගේ  පවුලේ  විස්තර  කිසිවක්  තමන්  නොදනී.  යන්තම්  ඉංග්‍රීසි  අකුරු  කීපයක් අමුණා ගැනීමට පමණක් දත් ඔහු මේ තනිකර ඉංග්‍රීසි මාධ්‍යයෙන් කෙරෙන පාඨමාලාවක් හැදෑරීමේදී විඳි පීඩනය පිළිබඳව  තමන්  තුළ  කිසි  හැඟුමක්  නොවිණි.  ඔහු  යුනිෆෝම්  මෙන්  එකම  ඇඳුම්  කෑලි  දෙකතුනක්  පට්ට  ගසද්දී, කැන්ටිමේ අන් කිසිවෙකු කෑ ඉඳුල් පිඟානකට ‘අඩුවක්’ බෙදාගෙන කා එදා වේල ගැට ගසාගෙන ගෙදරට යවන්නට කීයක් හෝ ඉතුරු කරගන්නට වෑයම් කරද්දී කෙදිනකවත් ඒ කිසිවක් නොහැඟි තමා දවසක් ඇර දවසක් හොඳට බඩ කට පුරා කෑම සඳහාම නුවර යන්නට පුරුදුව සිටියේය. සුමිත්ගේ ඇතුළාන්තය නොදැක මතුපිටින් බලා ඔහු කඨෝර, අසංස්කෘතික අධ්‍යාත්මයක් ඇත්තෙකුය යන හැඟුම
තමන් මුල් දිනයේම හිතේ කොනක ඇති කරගෙන සිටි මුත් ඇත්තෙන්ම සැබෑ කඨෝර බව, සැබෑ අසංස්කෘතික බව තිබී ඇත්තේ තමන් තුළ නොවේද?”
(අහීමානය  96-97 පිටු)

මනෝවිශ්ලේෂණය මෙන්ම පංති සමාජයේ යථාර්ථය ද එකම කාසියක දෙපැත්ත මෙන් ක්‍රියාත්මක වන බව උසස් නවකථාකරුවා අවබෝධ කරගනියි. එය දෙකට කඩා හෝ උපමා රූපකවල - සංකේතවල ශුද්‍ර අංශුවකින් පමණක්  ගෙන  තමාගේ  විසිරුණු,  අපැහැදිලි,  න්‍යායික  වදන්  සමූහයෙන්  විවේචනය  කිරීම  වර්තමාන  බොහෝ ව්‍යාකූල  විචාරක  පිරිසගේ  කාර්ය  භාරය  වී  තිබේ.  එහෙත්  අහීමානය  වැනි  කෘතියක  අඩංගු  ගුණය  එවැනි විවේචනයකට   ඔබ්බෙන්   ගමන්   කරන   සාර්ව   විශ්ලේෂණයක්   පතන්නකි.   එනම්   එය   රාජ්‍යයේත්   පුද්ගල මනෝභාවයේත් ආත්මීය හා භෞතික සංස්කෘතිය එකමිටකට තරයේ ගන්නා විචාර කලාවක් පතන පොහොසත් නවකථාවකි.

මහා ආඛ්‍යානය තීව්‍ර කළ ක්ෂුද්‍රාඛ්‍යාන

ආඛ්‍යානවේදී (Narratology) ප්‍රවේශයේ එක් අංගයක් ලෙස පෙන්වා දිය හැක්කේ ප්‍රධාන කථාව හා අතුරු කථා අතර සබඳතාවය විශ්ලේෂණය කිරීමයි. එම විශ්ලේෂණයේ දී අර්ථය පිළිබඳව ද සැලකිල්ලට ලක්වන අතර අර්ථ සම්පාදනයේ විවිධ තල පිළිබඳව ද සාකච්ඡා කෙරේ. මෙය පංචතන්ත්‍රය, හිතෝපදේශය වැනි පෙරදිග ආඛ්‍යාන වල ද බෙහෙවින් දක්නට ලැබෙන සම්ප්‍රදායකි. අහීමානය පැහැදිලි අතුරු කථා සම්ප්‍රදායක් නිර්මාණය නොකරන නවකථාවක් වුව ද සමස්ත කථාවට මනා ප්‍රතිබද්ධිත අතුරු කතාමය ලක්ෂණ සහිත සිදුවීම් වලින් පෝෂිත නිර්මාණයකි.



Picture
Sagara Wijesena
මේ සඳහා උදාහරණ ලෙස පෙන්වා දිය හැක්කේ ඩොක්ටර් සිල්වාගේ තරුණ බිරිඳ හා අජිත් අතර එක් නිමේෂයක දී ඇතිවන සබඳතාවය, අජිත් ජයදේවගේ ගමට ගිය මොහොතේ දකින ඇතැම් සිදුවීම් යනාදියයි. මේවා කිසිසේත්ම අතුරු කථා ගණයට අයත් නොවුණ ද ප්‍රධාන ආඛ්‍යානය තීවෘ කරන්නා වූ ඒවා සමඟ ඓන්ද්‍රියබද්ධව බැඳී  ගිය  ලක්ෂණ  සහිත  අවස්ථාය.  මනාකොට  සියුම්  ලෙස  පිහිට  වූ  ආඛ්‍යානයක්  මේවා  මඟින්  දක්නට  ලැබේ. කථාව අවසානයේ එන ‘හමාර කීම’ කොටස දක්වා තීව්‍ර ලෙස නිර්මාණය කරන ලද ආඛ්‍යානමය ගතිකත්වයන් අහීමානයේ විශිෂ්ටත්වය වර්ධනය කරයි. මේ අනුව අහීමානය සුසංවිධිත ආඛ්‍යානයකින් සමන්විත කෘතියකි. එහි සුසංවිධිත බව ආකෘතිය අන්තර්ගතය වෙන් කළ නොහැකි ලෙස අත්‍යන්තයෙන්ම එකට බැඳී ඇති ඒකාබද්ධතාවයක විශිෂ්ටත්වය පවසයි.

සිංහල නවකථාව වඩාත් විශිෂ්ට සාහිත්‍යාංගයක් බවට පත් කළ හැක්කේ ව්‍යාජ ආකෘතිවාදී කාම ප්‍රබන්ධ කලාවක් නිර්මාණය කිරීමෙන් හා එම ප්‍රබන්ධ පශ්චාත් නූතන න්‍යායික වදන් යොදා ගනිමින් ඇගයීමෙන් නොව මෙබඳු යටපත් වන කෘති ගෙන ඒවා නිසි ආකාරයෙන් සාකච්ඡාවට ලක් කිරීම මඟින් පමණක් යැයි මම සිතමි.

    ඔබගේ අදහස් අපට එවන්න.

    Max file size: 20MB
Submit
Back To Home
Powered by Create your own unique website with customizable templates.
  • ප්‍රවර්ග
    • සාහිත්‍ය කලා
    • දර්ශනවාදය
    • වෙනත්
  • ලේඛනාගාරය
  • ලේඛක සෙවීම්
  • Bookcrow
  • Contact Us
  • සංස්කාරක සටහන්