​හෙට දින සංස්කෘතිය උදෙසා විවෘත වේදිකාව​...

kinihiraya.com
  • ප්‍රවර්ග
    • සාහිත්‍ය කලා
    • දර්ශනවාදය
    • වෙනත්
  • ලේඛනාගාරය
  • ලේඛක සෙවීම්
  • Bookcrow
  • Contact Us
  • සංස්කාරක සටහන්

සිංහල සාහිත්‍ය විචාර කතිකාවේ ආරම්භක යුගය පිළිබඳ විශ්ලේෂණයක්

​​​⚈ කථිකාචාර්ය චින්තක රණසිංහ - CHINTHAKA RANASINGHE
​
2020 දෙසැම්බර් 14​
Picture
නූතන  සිංහල  සාහිත්‍ය  විචාරය  අධ්‍යයනය  කිරීමේ  දී  වැදගත්  වන  එක්  සාධකයක්  වන්නේ  එහි  ආරම්භක  අධියර පිළිබඳ  අවබෝධයක්  ලබා  ගැනීමයි.  මේ  අනුව  19  සියවස  අගභාගයේ  හා  20වන  සියවස  මුල්  භාගයේ  දී  සිංහල සාහිත්‍ය විචාරය පිළිබඳ ගොඩනැගී තිබෙන කතිකාවේ ස්වරූපය වටහා ගැනීමත්, එය විශ්ලේෂණය කර ගැනීමත් අතිශයින්ම වැදගත්ය.

මේ  ලිපියේ  දී  මා  උත්සාහ  ගන්නේ  එබඳු  හඳුනා  ගැනීමකට  හා  විශ්ලේෂණයකට  ගමන්  කිරීමටය.  මා  මෙහිදී  එම යුගය  නියෝජනය  කරන  විචාර  ප්‍රවණතා  ගෙනහැර  පාමින්  ඒවායේ  ස්වරූපය  පිළිබඳ  යම්  ආකාරයක  විග්‍රහයක නිරත  වීමට  උත්සාහ  ගනිමි.  එම  යුගයේ  පැවති  සාහිත්‍ය  විචාර  කලාව  හා  විචාර  ධාරා  සංසන්දනාත්මකව  විමසා බැලීම මෙහිදී සිදු කරමු. එය හුදෙක් සාහිත්‍ය විචාරය පිළිබඳ කාරණයක් පමණක්ම නොව යථෝක්ත යුගයේ බුද්ධි සම්ප්‍රදායන් පිළිබඳ විමසීමක්ද වනු ඇත.
​
දහනමවන  සියවසෙහි අග  භාගය  හා විසිවන සියවසෙහි මුල් භාගය  තුළ  මෙරට  ඇති වූ  විවිධ  බුද්ධි  සම්ප්‍රදායන්, චින්තන  ධාරාවන්  වෙන්  වශයෙන්  වර්ගීකරණය  කිරීම  පහසු  නැත.  මන්ද  යත්  ඒවා  වරෙක  අන්‍යොන්‍ය  වශයෙන් එකිනෙකට ප්‍රතිබද්ධව පවතින අතර තවත් විටෙන වෙන් වශයෙන් ස්වාධීන පැවත්මක්ද බජනය කරන්නා වූ බැවිනි. අධිරාජ්‍යවාදයට  එරෙහි  ස්වදේශීය  අරගලයේ  ප්‍රධාන  ශාස්ත්‍රීය  පෙරමුණක්  ලෙස  කටයුතු  කළේ  ප්‍රාචීන  උගතුන්ය. උහු  තම  කේන්ද්‍රස්ථාන  බවට  පත්කරගත්  පිරිවෙන්වල  තම  අරගලය  ආරම්භ  කළෝය.  පාලි,  සංස්කෘත  හා  සිංහල භාෂා අධ්‍යයනය විධිමත් ලෙස පිරිවෙන් තුළ ව්‍යුහගත කිරීම හා එම ව්‍යුහ ශක්තිමත් කරමින් අඛණ්ඩව පවත්වාගෙන යාම මෙහි  දී සිදුවිය. මෙම පිරිසගේ පොදු  චින්තන මාදිලිය  තුළ කේන්ද්‍රීය  චින්තන අණුව වූයේ ප්‍රතිචීන දිශානත මිෂනාරි අධ්‍යාපනයේ චින්තනයට එරෙහිව ප්‍රාචීන අධ්‍යාපනය වර්ධනය කිරීමයි. ප්‍රාචීන අධ්‍යාපනයත් ඒ හා සබැඳි ආචාර ධර්ම පද්ධතියත් ඔවුහු තම සම්ප්‍රදාය සේ දුටුවහ. ඔවුන් අතර අනුප්‍රභේද කීපයක් තිබූ බව පෙනේ. එහෙත් පොදුවේ ඔවුහු ප්‍රාචීන සංකල්ප ලෝකයක් උදෙසා පෙනී සිටියහ.

ස්වාධීන බුද්ධිමතුන් පිරිසක් නිර්මාණය වීම

මෙම  යුගයේ  කැපී  පෙනෙන  තවත්  බුද්ධි  සම්ප්‍රදායයක්  වන්නේ  ප්‍රාචීනමය  චින්තන  ධාරාව  තුළ  ස්ථාන  ගත  කළ නොහැකි ස්වාධීන බුද්ධිමතුන් පිරිසක් නිර්මාණය වීමයි. මොවුන් යටත්විජිතවාදීන් විසින් ස්ථාපිත කෙරුණු ඉංග්‍රීසි අධ්‍යාපනය  යටතේ  ඉතාමත්ම  ඉහළින්  ඉංග්‍රීසි  භාෂාව  හා  එයට  අනුබද්ධ  සෙසු  අංග  (උදා.  කාව්‍ය  ශාස්ත්‍රය, ව්‍යාකරණය,  එවකට  යුරෝපයේ  ද  පුළුල්  ලෙස  පැතිර  තිබූ  තුලනාත්මක  භාෂා  අධ්‍යයනය)  ප්‍රගුණ  කළ  පිරිසකි. මොවුහු  වෘත්තීමය  වශයෙන්  යටත්  විජිත  පාලනයේ  වගකිව  යුතු  ඉහළ  නිලතල  දැරූහ.  මොවුන්  විසින්  ප්‍රාචීන අධ්‍යාපනයට අයත් භාෂා සාහිත්‍යය ප්‍රගුණ කෙරුණේ ප්‍රථමයෙන් සඳහන් කළ පිරිවෙන් කේන්ද්‍රීය ප්‍රාචීන උගතුන්ට වඩා වෙනස් දැක්මක් තුළ ඔවුන්ටම අනන්‍ය වූ ක්‍රියාකාරිත්වයක් අනුවය.

මොවුහු පාලි,සංස්කෘත,  සිංහල  පමණක් නොව  ඇතැම් විට  දෙමළ  බස  ද ප්‍රගුණ  කළහ.  එහෙත්  ප්‍රාචීන  උගතුන්ට වඩා වෙනස් චින්තන ධාරාවක් අනුගමනය කරමින් යටත් විජිත පුරවැසියන් හා සේවකයන් බවට පත්වෙමින් ඉංග්‍රීසි මාධ්‍යයෙන්  පතපොත,  ලිපි  රචනා  කළහ.  සිංහල  පතපොත  පවා  ඉංග්‍රීසියට  පරිවර්ථනය  කළහ.  එමෙන්ම  ඇතැම් විට  පැරණි  සිංහල  පොත්වලට  විවරණ  සැපයූහ,  අර්ථකථන  කළහ,  වියරණය  විමසූහ,  වාදවිවාද  කළහ.  ජේම්ස්  ද අල්විස්, ඩබ්.එෆ්.ගුණවර්ධන, ඒබ්‍රහම් ගුණසේකර මේ අතර ප්‍රමුඛ පෙළට වැටෙන්නෝය.
ප්‍රාචීන  උගතුන්  හා  ආයතන  ව්‍යුහයෙන්  ස්වාධීන  වූ  උගතුන්  යන  මේ  දෙපිරිසම  සෘජුවේ  සාහිත්‍ය  විචාර  සංකල්ප ලෝකයක් හෝ න්‍යායයක් නිර්මාණය කිරීමට දායකත්වයක් නොදැක්වූහ. එහෙත් ඔවුන්ගේ ලිපිලේඛන විමසන විට නිරීක්ෂණය  කළ  හැක්කේ  සාහිත්‍ය  විචාර  ක්‍රියාවලිය  සඳහා  දායකත්වය  සපයා  දිය  හැකි  පැහැදිලි  ශාස්ත්‍රීය ක්‍රියාවලියක්  වෙතට  ඔවුන්ගේ  අවධානය  යොමු  වූ  බවයි.  මේ  සම්බන්ධයෙන්  මනා  උදාහරණයක්  ලෙස  ජේම්ස්  ද අල්විස් විසින් 1851දී රචනා කළ The SidathSangarawa, A Grammer of The Sinhalese Language​ නැමැති කෘතිය පෙන්වාදිය හැකිය. මෙය සිදත් සඟරාව නම් සුප්‍රකට සම්භාව්‍ය සිංහල ව්‍යාකරණ ග්‍රන්ථය   ඉංග්‍රීසියට පරිවර්ථනය කරමින් ලියූ දීර්ඝ හැඳින්වීමකින් යුක්තය. එය සිංහල සාහිත්‍යය  ප්‍රාචීනමය නොවූ ඇසකින් හඳුනාගනිමින් සිංහල භාෂාවේ  ඉතිහාසය,  සිංහල  සාහිත්‍යයේ  ඉතිහාසය  යුග  අනුව  බෙදා  වර්ගීකරණයකට  ලක්  කිරීමට  ගත්  ප්‍රථම ප්‍රයත්නයයි. මෙහි සිංහල කවිය  ඉංග්‍රීසි කවිය  සමග  සන්සන්දනය කරමින් විචාරය  කිරීමට  ගත් උත්සාහයක් දැකිය හැකියි.​
Picture
James De Alwis
 
එම කෘතිය පළ වී වසර 56කට පමණ පසු පළ වූ මුදලි ඩබ්. එෆ්. ගුණවර්ධනගේ ගුත්තිල කාව්‍ය වර්ණනාව ද මෙහි දී අතිශයින්ම අගය කළ යුතු හා අවධානයට ලක් කළ යුතු කෘතියකි. එහි ආරම්භයේ එන අලංකාර දර්ශනය නැමති දීර්ඝ ලිපිය සංස්කෘත සාහිත්‍ය විචාරයේ එක් ප්‍රධාන විචාර ධාරාවක් වන අලංකාර දර්ශනය ඉතා පුළුල් හා ගැඹුරින් විග්‍රහ කරන විශිෂ්ට ශාස්ත්‍රීය නිබන්ධයකි. එය පළ වී දැනට වසර සියයක් ඉක්මවී ඇතත් ඒ සා ශාස්ත්‍රීය ශික්ෂණයකින් යුක්ත ලිපියක් තත්  විෂය  ප්‍රදේශය  අරබයා මෙතෙක් සිංහලෙන රචනා නොවූ බව නිරීක්ෂණය කළ  හැකිය. මෙම
ලිපිය හා මුදලි ඩබ්. එෆ්. ගුණවර්ධනගේ සෙසු විවරණ ග්‍රන්ථ කියවීමෙනුත් පසක් කරගත හැක්කේ පෙරදිග විචාර කලාව පිළිබඳ ඔහු තුළ තිබූ පෘථූල දැනුම හා එය ආදේශ කරමින් නිර්මාණ කෘති විචාරයට ලක් කිරීමට දැරූ තැතය. මෙම  ප්‍රයත්නයේදී  සාහිත්‍ය  විචාරය  විශේෂයෙන්  කාව්‍ය  විචාරය  සඳහා  ඉතාමත්  අත්‍යවශ්‍ය  වූ  පාරිභාෂික  වචන නිර්මාණය වූ බව නිරීක්ෂණය කළ හැකිය. එහෙත් මෙම චින්තන ධාරාව නිරූපණය කළ බුද්ධිමත්තු නූතන සාහිත්‍යය දෙස  තම  විචාරක්ෂිය  යොමු  නොකළෝය.  ප්‍රථම  සිංහල  නවකථාව  ලෙස  සැලකෙන  ‘මීනා’  පිළිකනු  ජීවිතය නිරූපණය  කෙරෙන  කථාවක්  ලෙස  මුදලි  ඩබ්.  එෆ්.  ගුණවර්ධන  විසින්  සැලකුණු  බව  මාර්ටින්  වික්‍රමසිංහ  තම ‘උපන්දා සිට’ කෘතියේ පවසයි.
​
කුමාරතුංග හා තෙන්නකෝන්
​

Picture
Kumarathunga Munidasa
විසිවන සියවසේ මුල් දශක කීපය තුළ සාහිත්‍ය විචාරය තුළ ඉස්මතු වූ තවත් චින්තන ධාරාවක්   උසස් පාසැල් හා ගුරු  විද්‍යාල  මුල්  කොටගත්  උගතුන්  හරහා  බිහි  වූ  බව  නිරීක්ෂණය  කළ  හැකිය.  මේ  අය  අතර  ප්‍රාචීන  දිශාගත උගතුන්  මෙන්ම  ප්‍රාචීන  භාෂා  සාහිත්‍ය  කටයුතු  පිළිබඳ  ප්‍රබල  විවේචනයක්  සහිත  හෙළ  හවුලේ  උගතුන්ද  කටයුතු කළ බව පෙනේ. මෙම ධාරාව නියෝජනය කරන්නා වූ ප්‍රධාන උගතුන් දෙදෙනා වූයේ මුනිදාස කුමාරතුංග සහ රැ. තෙන්නකෝන්ය.  නිට්ටඹුව,  බලපිටිය  ආදී  ස්ථානවල  පිහිටුවා  තිබූ  ගුරු  විදුහල්  මෙහි  දී  වැදගත්ය.  මේ  විදුහල්වල දේශකයන්  හා  පාලකයන් ලෙස පත්  වූ අප  උගතුන් දෙපොළ  ඒ  ඔස්සේ  කිසියම්  සාහිත්‍ය  විචාර  ක්‍රමයක්  ව්‍යාප්ත කළ  ආකාරය  නිරීක්ෂණය  කළ  හැකිය.  ගුරු  විදුහල්  සඳහා  ඔවුන්  සම්පාදනය  කළ  පතපොත  මෙන්ම  ගුරු  විදුහල් අධ්‍යාපනය පිළිබඳ ඔවුන් තබා ඇති විවිධ මතක සටහන් වලිනුත් මෙම තත්වය මැනවින් පිළිබිඹු වේ. මෙම ධාරාව මීළඟ  පියවරේ  දී  කූඨ  ප්‍රාප්තව  ඇත්තේ  පාසැල්  අධ්‍යාපනයේ,  විශේෂයෙන්ම  පෙළ  පොත්  සම්පාදනය  හා  පැරණි පතපොත  සංස්කරණය  කිරීමේ  ක්‍රියාවලිය  ඔස්සේය.  
​
​පාසැල්  සිසුන්  සඳහා  ශික්ෂා  මාර්ගය,  කියවන  නුවණ  වැනි පතපොත  රචනා  කිරීමේදී  සාහිත්‍යය  පිළිබඳ  කුමාරතුංගගේ  දෘෂ්ටිය  ඒ  තුළ  මැනවින්  ගැබ්  විය.  නිශ්චිත  විචාර ක්‍රියාවලියක්  ඒ  තුළ  හඳුන්වා  දීමට  උත්සාහ  නොකළ  ද  සාහිත්‍ය  විචාර  ක්‍රියාවලියක්  සඳහා  ඔහු  යෝජනා  කරන මූලධර්ම පද්ධතියක සේයාව ඒ තුළ දැකිය හැකිය. මීළඟට අපගේ අවධානය යොමු විය යුත්තේ කුමාරතුංගගේ සෙසු පතපොත වෙතය. විරිත්  වැකිය, කවි ශික්ෂාව,  ශික්ෂක වෘත්තිය ආදී පතපොත මේ සඳහා නිදසුන් ලෙස පෙන්වා දිය  හැකිය.  මේවායින්  ඇතැම්  පොත්  සෘජුවේ  සාහිත්‍ය  විචාරය  සඳහාම  ලියැවුණු  පොත්ය.  තවත්  ඒවායේ  මුඛ්‍ය තේමාව සාහිත්‍ය විචාරය නොවුනද අධ්‍යාපනය (ඉගෙනීම, ඉගැන්වීම යන සංකල්ප සමඟ බැඳුණු)   හා ඒ ආශ්‍රිතව වර්ධනය කළ යුතු අත්‍යවශ්‍ය සංකල්පයක් ලෙස පතපොත රචනය හා විචාරය පිළිබඳ සඳහන් වෙයි. මෙයට කදිම උදාහරණයක් ලෙස ‘ශික්ෂක වෘත්තිය’ ග්‍රන්ථය පෙන්වා දිය හැකිය. ශික්ෂකයා හෙවත් ගුරුවරයා කළ යුතු මෙන්ම වෘත්තීය කාර්යයක් ලෙස සිත යොමු කළ යුතු කාර්යයක් ලෙස ග්‍රන්ථ විචාරය පෙන්වා දීමට කුමාරතුංගයෝ උත්සාහ දැරූහ. ශික්ෂක සංහති කටයුතු යනුවෙන් නම් කොට ඇති පස්වන පරිච්ඡේදයේ ‘අර්ථ ශුද්ධිය’ නම් අනුමාතෘකාව යටතේ මෙසේ සඳහන් වෙයි.



‘පොතකින් වන වැඩ මැනීමේ දී පොතෙහි පරණ බව හෝ අලුත් බව හෝ නොසැලකිය යුත්තේයැ. තමන් එයින් උගත් බව ද නොසැලකිය යුත්තේයැ. තමන් දන්නා හඳුනන අයට රිසියෙන බව ද නොසැලකියැ යුත්තේයැ. හසර නොදත්තකු  විසින්  මැනැවැයි  සම්මත  කරන  ලද  බව  නම්  කිසිසේත්  නොසැලකියැ  යුත්තේයැ.  සැලැකිය  යුත්තේ අන් එක ද පොතකින් වන්නකට වැඩි තරම් වැඩක් මේ පොතෙන් වේ ද නොවේ ද යනුයි. වේ නම් පැරැණි බව හෝ අලුත් බව වල් වදීවා! අනුනට රිසියෙන බව උනට මැ පෙනේවා! සම්මත කළ බව කසල ගොඩට ඇදේවා! ඒ පොත මැ ගත යුතුයැ.’ (ශික්ෂක වෘත්තිය 49,50 පිටු)

පතපොත  තෝරාගැනීම  හා  විචාරයට  ලක්  කිරීමේ  දී  කිසිදු  අගතියක්  එම  ක්‍රියාවලිය  වෙත  ආරෝපණය  නොකළ යුතු  බවත්  එය  මුළුමනින්ම  නිවහල්  ක්‍රියාවලියක්  විය  යුතු  බවත්  මෙහිදී  අවධාරණය  කෙරිණි.  කවි  ශික්ෂාව,  විරිත් වැකිය යන පොත් වලින් සාහිත්‍ය විචාර මූලධර්ම පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා වෙහෙසුණු කුමාරතුංග ශික්ෂක වෘත්තිය  වැනි  පොත්  වලින් උත්සාහ ගත්තේ  විචාරකයෙකුගේ  පෞරුෂය  හා ඒ  හා  සබැඳි  අදීනත්වයේ  ස්වරූපය විග්‍රහ කිරීමටය.

Picture
Repiyel Thennakoon

පැරණි පතපොතවලට සන්න ගැටපද ලිවීමේ දී කුමාරතුංග මෙන්ම රැ.තෙන්නකෝන්ද අනුගමනය කළේ වචන,පද හා වාක්‍ය විශාල වශයෙන් උදාහරණ ගෙන දීර්ඝ ලෙස විස්තාරණය කිරීමේ ක්‍රමවේදයකි. මෙම ක්‍රමවේදය විටෙක සෘජුව  මෙන්ම  තවත්  විටෙක  වක්‍රව  ද  ඉදිරිපත්  වූ  බව  නිරීක්ෂණය  කළ  හැකිය.  තෙන්නකෝන් මෙහිදී  කුමාරතුංග අභිභවමින් පුළුල් සමාජ දේශපාලන හා සංස්කෘතික ව්‍යුහ කරා කිමිදෙන ගැඹුරු විචාර ක්‍රියාවලියක් උදෙසා පදනම සකස් කළ  බව පෙන්වා දිය  යුතුය. ඔහුගේ  ‘අපේ කවි’ මෙයට  කදිම උදාහරණයකි. කෙසේ නමුත් මේ  මාතෘකාව වෙනම දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ යුතු නිසා නැවත අපගේ ප්‍රධාන මාතෘකා දෙසට ගමන් කරමු.

​
ලංකා විශ්ව විද්‍යාලය
Picture
I.A Richards
මෙම  සන්දර්භය  තුළ  ඉස්මතු  වූ  තවත්  විචාර  ධාරාවක්  ලෙස  ලංකා  විශ්ව  විද්‍යාලයේ  සාහිත්‍ය  විචාර  දායකත්වය හඳුනා  ගත  හැකිය.  යුනිවර්සිටි  කොලීජිය  ක්‍රමයෙන්  විශ්ව  විද්‍යාලයක්  බවට    පරිවර්ථනය  වීමේදී  නාට්‍යය  වැනි ක්ෂේත්‍ර තුළ යම් දේශජ ප්‍රබෝධයක් නිර්මාණය වීමට සමාන්තරව විචාර ක්ෂේත්‍රයේ ද යම් යම් මැදිහත්වීම් සිදු වූ ආකාරය  පෙන්වාදිය  හැකිය.  මෙහි  ආරම්භක  පියවර  දැකිය  හැක්කේ  ලංකා  විශ්ව  විද්‍යාලයේ  ඉංග්‍රීසි  අංශයෙනි. ඊ.එෆ්.සී.ලුඩොවයික්  මෙහි  පුරෝගාමියා  ලෙස  සැලකිය  හැකිය.  ඉංග්‍රීසි  අංශයේ  එම  යුගයේ  අධ්‍යාපනය  ලැබූ  හා පසුව විශිෂ්ට සාහිත්‍ය විචාරකයෙකු වූ රෙජී සිරිවර්ධන තම 'The pure water of poetry' කෘතියේ මෙන්ම 'Working underground' කෘතියේ ද මේ පිළිබඳ විවිධ විස්තර ගෙන හැර පා ඇත. එම විස්තර ඓතිහාසික මූලාශ්‍ර ලෙස සලකමින් ඉංග්‍රීසි අංශයේ විචාර කලාව පිළිබඳ යම් අවබෝධයක් ලැබිය හැකිය.

බටහිර  ලිබරල්  සාහිත්‍ය  විචාරය  මෙන්ම  එයට  අදාළව  උපයෝගී  කොටගත  හැකි  සාහිත්‍ය  කෘතීන්  ද  මෙහි  දී අධ්‍යයනය කෙරුණු බව නිරීක්ෂණය කළ හැකිය. රෙජී සිරිවර්ධනයේ පහත ප්‍රකාශය ඒ සඳහා කදිම සාක්ෂියකි.


'The climate of the English department of the Ceylon university in my time was strongly ‘ Leavisian’ and I soon learnt to be properly condescending towards Milton and Tennyson.Zpage 5- The pure water of poetry.

​
රෙජී සිරිවර්ධනගේ යථෝක්ත ප්‍රකාශයේ දළ අදහස වන්නේ තම කාලයේ දී ලංකා විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි අංශයේ බුද්ධිමය  වටපිටාව  තදබල  ලෙස  ලීවිස්වාදී  එකක්  වූ  නිසා  මිල්ටන්  හා ටෙනිසන්  වැනි  කවීන්  නොසලකා  හැරීමටතමන් ඉක්මනින් හුරුපුරුදු වූ බවයි. මෙමගින් කියවෙන්නේ එෆ්. ආර්. ලීවිස්ගේ සාහිත්‍ය විචාර විධික්‍රමය ඉංග්‍රීසි අංශවල ආධිපත්‍යය අත්පත් කරගෙන තිබූ ආකාරයයි. ඉංග්‍රීසි අධ්‍යයන අංශයේ තදින් මුල් බැසගත් මෙම විචාර කලාව කෙමෙන් සිංහල අංශ වලටත් , ඒ ඔස්සේ රටේ විවිධ බුද්ධිමතුන් වෙතටත් ගමන් කළ ආකාරය නිරීක්ෂණය කළ හැකිය.
Picture
F.R Leavis
එදිරිවීර සරච්චන්ද්‍ර

Picture
Prof. Ediriweera Sarachchandra
පේරාදෙණියේ එදිරිවීර සරච්චන්ද්‍ර (1914-1996) සිංහල අධ්‍යයන අංශය තුළ ස්ථාපිත කිරීමට උත්සාහ ගන්නේ මෙම විචාර කලාවේ එක් දිගංශයකි. සරච්චන්ද්‍ර ලුඩොවයික්ගේ විචාර කලාව සිංහල සාහිත්‍ය විචාරය සඳහා යොදාගැනීමට පාලි සංස්කෘත භාෂා සාහිත්‍යය පරිශීලනය කරමින් උචිත වාංමාලාවක් හා විචාර සංකල්ප නිර්මාණය කරයි.

සරච්චන්ද්‍රගේ Modern Sinhalese Fiction, සාහිත්‍ය විද්‍යාව වැනි කෘති මේ ක්‍රියාවලිය තුළ තබා විග්‍රහ කළ යුතුය. ඔහු බෙහෙවින් ප්‍රකටව ඇත්තේ නූතන සිංහල නාට්‍යයේ පියා යන විරුදාවලිය යටතේ වුවද එවකට ලංකාවේ එකම විශ්ව  විද්‍යාලය  වූ  පේරාදෙණිය  ලක්  සරසවියේ  නූතන  සාහිත්‍යය  උදෙසා  පුරෝගාමි  වූ  ශාස්ත්‍රඥයා  ලෙසද  ඔහුව හඳුනාගත  හැකිය.  1921දී  ඇරඹුණු  යුනිවර්සිටි  කොලීජියේ  ශිෂ්‍යයෙකු  ලෙස  පාලි  විශේෂ  උපාධියක්  හදාරන සරච්චන්ද්‍ර  එම  කොලීජියේ  නාට්‍ය  හා  කලා  කටයුතුවල  නිරත  වූ  ආකාරයත්  එහි  දී  ඔහු  මුහුණ  දුන්  නන්  විධ අත්දැකීම්වල ස්වරූපයත් බොහෝ තැන්වල විස්තර වී තිබේ.

සරච්චන්ද්‍ර සාහිත්‍ය විචාරයට පිවිසෙමින් සිටියේ තීරණාත්මක දේශපාලන හා සංස්කෘතික විපර්යාසයන් රැසක් සිදු වෙමින්  පැවති  වකවානුවකය.  එම  විපර්යාසයේ  ප්‍රධාන  අක්ෂය  වූයේ  යටත්  විජිත  සමාජය  හා  එහි  අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා  සමූහයයි.  එම ප්‍රතිවිරෝධතා  නන් අයුරින්  යටත්  විජිත  පාලනයට  එරෙහිව පෙළ  ගැසෙමින් තිබුණි. එහෙත්  අමතක  නොකළ  යුත්තේ  යටත්  විජිත  යුගයෙන්  අත්පත්  කරගත්  භාෂා  හා  සංස්කෘතික  දැනුම  හා  භාවිතය විශාල වශයෙන් ශික්ෂණමය ක්‍රමයක් ලෙස ක්‍රියාත්මක වූ බවයි. ලංකා ජාතික සංගමය, ලංකා සමසමාජ පක්ෂය,හෙළ හවුල, පිරිවෙන් සම්ප්‍රදාය, 43 කණ්ඩායම ආදී නොයෙක් ආකාරයේ සමාජ,දේශපාලන හා සංස්කෘතික ක්‍රියාකාරින් යටත්  විජිත  සමාජ  සංස්ථා  සමඟ  ගැටෙමින්  සිටි  අතර  ආනන්ද  කුමාරස්වාමි(1877-  1947)  වැනි  විද්වතෙකු  යම් නිශ්චිත  කණ්ඩායමක  පූර්ණ  කාලීන  නියෝජිතයෙකු  නොවූව  ද  ඔහුටම  ආවේණික  වූ  ස්වාධීන  ඥාන  මීමංසාවක් නිර්මාණය කරමින් මෙම යුගය නියෝජනය කළ ආකාරය නිරීක්ෂණය කළ හැකිය.

1924දී මාර්ටින් වික්‍රමසිංහ ගැහැනියක් කෙටිකතා සංග්‍රහයට ලියූ පෙරවදනේ නූතන කෙටිකතාව පිළිබඳ සාකච්ඡා කොට  තිබූ  අතර  පියදාස  සිරිසේන,  සයිමන්  ද  සිල්වා,  ඩබ්.  ඒ.  සිල්වා  ආදී  බොහෝ  ප්‍රබන්ධ  රචකයන්  ප්‍රබන්ධ ගණනාවක්  රචනා  කරමින්  ප්‍රබන්ධ  සාහිත්‍යය  පෝෂණය  කරමින්  සිටියහ.  එහෙත්  මෙසේ  ලියවෙන  නව  ප්‍රබන්ධ සාහිත්‍යය  ක්‍රමානුකූලව  විශ්ලේෂණය  කිරීමට  සරච්චන්ද්‍රගේ  Modern Sinhalese Fiction කෘතිය  ලියවෙන  තෙක් ඉදිරිපත් වූ ශාස්ත්‍රඥයෙක් නොපෙනේ. එනිසා මේ කෘතිය නූතන සිංහල ප්‍රබන්ධය පිළිබඳ ලියැවුණු ප්‍රමුඛ, පුරෝගාමී විචාර  කෘතිය  ලෙස  සැලකීම  සාධාරණය.  මෙය  1943 දී  Modern Sinhalese Fiction  යන  නමින්ද  1950  දී The Sinhalese Novel​ ලෙසින්ද  ඉංග්‍රීසියෙන්  පළ  වී  තිබෙන  අතර  එම  මුද්‍රණ  දෙකෙහිදීම  මලලසේකර  මහතා  විසින් ලියන ලද පෙරවදනක් යොදා තිබේ. එහෙත් පසුව ‘නූතන සිංහල නවකථා විචාරය’ නමින් සිංහලෙන් පළ වී මේ දක්වාම  නැවත  නැවතත්  මුද්‍රණය  වන  කෘතියේ  මෙම  පෙරවදන  ගැබ්  නොවේ.  මෙම  පෙරවදන  සරච්චන්ද්‍රගේ පර්යේෂණාත්මක  පුරෝගාමිත්වය  පිළිබඳ  ඉතා  වැදගත්  ශාස්ත්‍රීය  රචනයක්  වන  අතර  එය  කෘතියේ  ඓන්ද්‍රීය කොටසක් ලෙස විශාල වැදගත් කමක් එයට ලබා දෙයි. ඇත්ත වශයෙන්ම එය පර්යේෂණයෙන් වෙන් කොට පළ කිරීම යනු පර්යේෂණය එය බිහි වූ සාන්දර්භික වැදගත්කමෙන් ඔබ්බට ගෙන ගොස් ස්වාධීන විශිෂ්ට අනභිභවනීය ප්‍රපංචයක් බවට එය පත් කිරීමක් බඳුය. ඒ වනාහි සරච්චන්ද්‍ර සාහිත්‍ය විචාරකයෙකු වශයෙන් උච්ච කූටයකට නැංවීම හෝ ඔහු පුරෝගාමී යුගයේ පසුකළ  අභියෝග  ඉවත දමා වර්තමාන පාඨකයා  වෙත වෙනත්  මාදිලියක සරච්චන්ද්‍ර කෙනෙකු  මවා  දීමයි.  මෙම  පෙරවදන  සරච්චන්ද්‍රගේ  නවකථා  විචාරය  පිළිබඳ  සාකච්ඡා  කිරීමේදී  අත්‍යවශ්‍ය ලේඛනයක් ලෙස මෙහිදී මම හුවා දක්වමි. මේ කරුණ මා මෙසේ අවධාරණය කරන්නේ මේ යුගයේ විචාර කතිකාව පිළිබඳ සාකච්ඡා කිරීමේ දී මෙබඳු මඟහැරීම් පිළිබඳ අවධානය යොමු කිරීම අතිශයින්ම වැදගත් වන නිසාය.

ජී.බී. හා වික්‍රමසිංහ
Picture
Martin Wickramasinghe
ඉහත  ක්‍රියාවලියට  සාපේක්ෂව  තවත්  විශිෂ්ට  ස්වාධීන  බුද්ධිමතුන්  දෙදෙනෙකු  සාහිත්‍ය  ක්‍රියාවලියට  අවතීරණය  වී ඇති ආකාරය නිරීක්ෂණය කළ හැකිය. ඒ දෙපොළ නම් මාර්ටින් වික්‍රමසිංහ හා ජී.බී. සේනානායකයි. මේ දෙදෙනා එක විටම විශ්ව විද්‍යාල සම්ප්‍රදායෙන් මෙන්ම ප්‍රාචීන සම්ප්‍රදායෙන් ද වෙනස් වෙමින් තම අනන්‍යතාව ගොඩ නඟා ගනියි.

මෙයින් මාර්ටින් වික්‍රමසිංහගේ පෝෂණ අවකාශ බටහිර සාහිත්‍ය විචාර කතිකාවේ පටන් ජීව විද්‍යාව,මානව විද්‍යාව හා සම්භාව්‍ය සිංහල සාහිත්‍යය දක්වාම පුළුල්ව පැතිරුණේය. ජී.බී. සේනානායක පෙරඅපර දෙදිග සාහිත්‍ය මූලධර්ම හා  ඒවායේ පරිණාමය  පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක  නිරත වූ  අතර  එම  දැනුම පොදු පාඨකයා වෙත  රැගෙන  ඒමට ගැඹුරු, සරල ශෛලියක් නිර්මාණය කරගත් සුවිශේෂ චරිතයක් විය.

Picture
G.B Senanayake
​වික්‍රමසිංහ  සිංහල  සාහිත්‍යයේ  නැගීම  ,  පුරාණ  සිංහල  ස්ත්‍රීන්ගේ  ඇඳුම  වැනි  කෘති  අපගේ  අවධානයට  ලක්  වන 1956ට  පෙර  යුගයේ  රචනා  කළේය.  ජී.බී.  සේනානායක  මුල්  යුගයේ  නවකථා  කලාව  නැමැති  පොත  රචනා  කළ අතර මේ දෙදෙනාම පුවත්පත් හා සඟරා ඔස්සේ වැදගත් අදහස් ඉදිරිපත් කළ බව පෙනේ.
​
සංස්කෘති සඟරාව හා ධර්මසිරි ඒකනායක

සංස්කෘති සඟරාව ඇරඹෙන්නේත් ධර්මසිරි ඒකනායක සාහිත්‍ය විචාරකයෙකු ලෙස තමන්ටම අනන්‍ය වූ භූමිකාවක් නිර්මාණය  කර  ගන්නේත්  මෙබඳු  සාහිත්‍ය  විචාර  සන්දර්භයක්  තුළය.  එංගලන්තයේ Scrutiny සඟරාව  ආදර්ශයක් කර ගනිමින් 1953දී බිහිවන සංස්කෘති සඟරාව දේශීය චින්තනයක් පිළිබඳ පුළුල් කතිකාවක් නියෝජනය කරන අතර (මේ පිළිබඳ න්‍යායික විග්‍රහයන් අප විසින් ලියැවුණු මහාචාර්ය ධර්මසිරි රත්නසූරිය පිළිබඳ ලිපියෙහි දක්නට ලැබේ.) සාහිත්‍ය විචාරය මෙහි ප්‍රධාන තේමාව විය.

ධර්මසිරි ඒකනායක තම විචාර කලාවේ එක් ප්‍රධාන අංගයක් බවට පත් කරගත්තේ සමකාලීන සාහිත්‍ය නිර්මාණ- විශේෂයෙන්ම නවකථා- විවේචනය කිරීමයි. මෙහිදී හෙතෙම මෙතෙක් අප විසින් සාකච්ඡා කෙරුණු සියලුම විචාර ධාරා වලින්  සිදු නොකෙරුණු අභීත  භූමිකාවකට  පණ දෙයි. එම අභිනව  භූමිකාව  නම්  භාවිත  විචාරයේ මූලධර්ම වඩාත්  විස්තාරණය  කරමින්  ප්‍රායෝගික  තලයේ  වඩාත්  ව්‍යක්ත  ලෙස  එය  සිංහල  පාඨකයා  වෙත  ගෙන  ඒමේ ක්‍රියාවලියයි.

සංස්කෘති සඟරාව මුල් කොටගෙන දිගහැරෙන ධර්මසිරිගේ විචාර කලාව එදිරිවීර සරච්චන්ද්‍ර ‘ කල්පනා ලෝකය’හා ‘සාහිත්‍ය විද්‍යාව’ යන කෘති දෙක ඔස්සේ භාවිත විචාරය (Practical Criticism) ගෙන ආ ආකාරයට වඩා බහුතර ප්‍රජාවකට,  විශේෂයෙන්ම  ශිෂ්‍ය  ප්‍රජාවකට  ගෝචර  වන  ආකාරයට  සියුම්ව  හා  සංවිධානාත්මකව  නිර්මාණය  කරන ලද්දකි.  එය  එක්තරා  අන්දමකින්  සරච්චන්ද්‍ර  තම  ආරම්භක  යුගයේ  දී  පළ  කළ  අප  ඉහත  සාකච්ඡා  කළ  Modern Sinhalese Fiction​ කෘතියේම දිගුවක් ලෙස හැඳින්විය හැකිය. මන්ද යත් සරච්චන්ද්‍ර කල්පනා ලෝකය හා සාහිත්‍ය විද්‍යාව  කෘති  දෙකෙහිදීම  තම  අවධානයෙන්  විශාල  කොටසක්  යොමු  කරන්නේ  පද්‍ය  සාහිත්‍යය  හා  ඒ  හා  සබැඳි භාෂා මාධූර්යය වෙත මිස නවකථාව හා කෙටිකතාව පිළිබඳ නොවූ නිසාය.

ධර්මසිරි  ඒකනායක  තම  විචාර  කලාවේදී  ගත්  විශිෂ්ටතම  ප්‍රවේශය  විශ්ව  සාහිත්‍යයේ  සම්භාව්‍ය  කෘතිවල  අගය කුමනාකාරද  යන්න  උදාහරණ  සහිතව  සිංහල  පාඨකයාට  හඳුන්වා  දීමයි.  එය  සරච්චන්ද්‍ර,  ජී.බී.සේනානායක  හා මාර්ටින් වික්‍රමසිංහ 40 දශකයේ දී අර්ථසම්පන්න ලෙස පුරෝගාමී වූ කාර්යයක් වඩාත් සංවර්ධිතව ඉදිරියට ගෙන යාමකි. ධර්මසිරිගේ විශේෂත්වය තම විචාරවල ව්‍යුහය ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයකට සරිලන ආකාරයෙන් සකස් කිරීමට ඔහු දැක් වූ සුවිශේෂ හැකියාවයි. ඇත්ත වශයෙන්ම මෙය සිදුවිය යුතුව තිබුණේ  විශ්ව විද්‍යාල ඇදුරෙකු වූ සරච්චන්ද්‍ර අතින් වුවද ඔහුගෙන් එය මඟහැරෙද්දී ධර්මසිරි ඒකනායක වැන්නෙකු අතින් කිසියම් ආකාරයකින් එය ඉටුවීම අගය කළ යුතුය.

එක්  අතකට  එහි  පුදුමයට  කරුණක්  ද  නැත.  ධර්මසිරි  ඒකනායක  ප්‍රථම  සිංහල  මහාචාර්යවරයා  වන  ධර්මසිරි රත්නසූරියගේ ශිෂ්‍යයෙකු වන අතර ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ දී ඉංග්‍රීසි උප විෂය ලෙසත් සිංහල විශේෂ විෂය ලෙසත් අධ්‍යයනය කළ ශිෂ්‍යයෙකි. එම අත්දැකීම් මෙබඳු විචාර මාර්ගයක් නිර්මාණය කිරීමෙහි ලා ඔහුට ආලෝකය සැපයුවා වන්නට ඇත.

සමාලෝචනය
​

වර්තමානයේ  සිංහල  සාහිත්‍ය  විචාර  කතිකාව  විමර්ශනය  කිරීමේදීත්  එම  කතිකාව  පෝෂණය  කිරීම  සඳහා  නන් අයුරින්  දායකත්වය  සැපයීමේදීත්  මෙම  ඉතිහාසය  අතිශයින්ම  වැදගත්ය.  එම  වැදගත්කම  අංශ  ගණනාවක්  පුරා විහිදෙයි. ඒවා මෙසේ සංක්ෂිප්ත කරමු.
  1. සිංහල සාහිත්‍ය විචාර කතිකාව තුළ සැඟවුණු මතවාදී මූල මණ්ඩල සොයා ගැනීම.
  2. එම යුගයේ විශ්ව සාහිත්‍ය ඥානය සිංහල සාහිත්‍ය විචාරය සඳහා යොදාගත් ආකාරය විමසා බැලීම.
  3. ප්‍රායෝගික විචාරය හෙවත් භාවිත විචාරය ( Practical Criticism) සාහිත්‍ය විචාරය සඳහා දක්වන ශක්‍යතාව හඳුනා​ ගැනීම.

    ඔබගේ අදහස් අපට එවන්න.

    Max file size: 20MB
Submit
Back To Home
Powered by Create your own unique website with customizable templates.
  • ප්‍රවර්ග
    • සාහිත්‍ය කලා
    • දර්ශනවාදය
    • වෙනත්
  • ලේඛනාගාරය
  • ලේඛක සෙවීම්
  • Bookcrow
  • Contact Us
  • සංස්කාරක සටහන්