​හෙට දින සංස්කෘතිය උදෙසා විවෘත වේදිකාව​...

kinihiraya.com
  • ප්‍රවර්ග
    • සාහිත්‍ය කලා
    • දර්ශනවාදය
    • වෙනත්
  • ලේඛනාගාරය
  • ලේඛක සෙවීම්
  • Bookcrow
  • Contact Us
  • සංස්කාරක සටහන්

මාංශ අනුභවය හා ඇන්ත්‍රොපොලොජි (Anthropology and meat eating) 

​​⚈ තාරක වරාපිටිය - Tharaka Warapitiya
​2020 ජූලි 19​
Picture
​covid 19 virus
ලොව මෙතෙක් වාර්තා වූ වසංගත අතුරින් කොවිඩ්-19 තරම් වේගවත්, ලෝක ව්‍යාපී වෛරස් වසංගතයක් නොවුණි. එහෙත් මීට වසර 100 ක් එපිට ඉතිහාසය පරීක්ෂා කර බැලූවිට, වසංගත රෝගවලින් එක් රටක හෝ එක් ප්‍රදේශයක පමණක් මිනිසුන් දස දහස් ගනනක් මියගිය අවස්ථා  ඇත. 20 වැනි සියවසේ මුල් භාගයේදී ශ්‍රි ලංකාවේ පැතිරුනු මැලේරියා වසංගතයෙන් පවා 50,000 කට අධික ලක්වැසියන් ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා වේ. එදා ලෝකයට වඩා වෙනස් නූතනයේ, ලෝකවාසීන් නිරන්තර බාහිර සංක්‍රමනයක නියැලෙන සන්දර්භයක් තුළ වේගවත් ව්‍යාප්තියක් අත්කරගත් මෙවැනි වෛරසයක් තුළින් ඇති කළ හැකි විනාශය දැන් අප අත්විඳ ඇත.

නිසිලෙස නොපිසින ලද මාංශ ආහාරයකින් මේ වෛරසය මිනිස් ශරීරයට ඇතුළු වන්නට ඇතැයි දැනට අනුමාන කෙරෙයි. ඒ අනුමානය මත, මාංශ අනුභවය අරබයා අපේ සමාජය තුල කථා-බහක් ගොඩනැගී ඇත. එහෙත් ඒ සංවාදයේ යම් ආන්තික අදහසක්ද ප්‍රවර්ධනය වෙමින් ඇත.ඒ ඔස්සේ සමාජය කෙරෙහි සන්නිවේදනය වන පනිවුඩයක් වන්නේ මිනිස් වර්ගයාට මෙවන් උපද්‍රවයකට මුහුණ පෑමට සිදුවූයේ මාංශ අනුභවය හේතුවෙන් බවයි;මේ කාරණය පාඩමක් ලෙස සලකා මිනිසුන්හට මාංශ අනුභවයෙන් මුලුමනින්ම වැළකී සිටීමට කරනු ලබන නිර්දේශයක් ඒ තුල අඩංගු වෙයි.
මාංශ අනුභවය අරබයා ගෙනෙන මේ කථාව, නිර්-මාංශ සැදැහැවත් උපාසිකාවන් මහත් ආහ්ලාදයෙන් උත්කර්ශයට නංවන්නේ, අතීතයේ විසූ සැදැහැවත් ජනීජනයා අනුගමනය කල නිර්-මාංශ ප්‍රතිපත්තිය වෙනස් වූයේ නූතන පරිභෝජනවාදී සමාජය නිසාය යනුවෙන් කල්පනා කරමිනි. ඇත්තෙන්ම ගත්විට මීට සියවසකට එපිට-මෙපිට වකවානුවේ අපේ ගම්මාන වල සිටි සමහර මිනිසුන් රිලවුන්, තලගොයින්, ගෝනුන්, උගුඩුවන්, ඉත්තෑවුන්, මොනරුන්, වල් ඌරන් හා හාවුන්ද ආහාරය පිනිස ගත්හ.

නිර්-මාංශ වීම හෝ සත්ත්ව අවිහිංසාව යනු පරාර්ථකාමී අදහසකි. තම ආහාරය වෙනුවෙන් තවත් ප්‍රාණියෙකු වේදනාවට ලක්වීම ප්‍රතික්ෂේප කිරීම යහපත් කාරණයකි. හුදෙක් අපාගත වීමේ භීතිකාවකින් තොරව සතුන් කෙරෙහි වන අනුකම්පාවෙන් යුතුව නිර්-මාංශ වීම හෝ ඒ අදහස ප්‍රවර්ධනය කිරීම ප්‍රතිපත්ති ගරුක තීරණයකි.(හාල් මැස්සන් හා හරක් මස් පිලිබඳව බොහෝ නිර්-මාංශයින් අතර ඇති දෙබිඩි අර්ථදැක්වීම මෙහිදී සාකච්ජාවට නොගනිමි.) එහෙත්මාංශ අනුභවය, මානව වංශ ඉතිහාසය සමග පටලවා මිත්‍යා අදහස් ගොඩනැගීම සමාජය නොමග යැවීමකි.

මානව විද්‍යාව හෙවත් ඇන්ත්‍රොපොලොජි (Anthropology) හදාරණ විට, අනෙක් වානර වර්ග වලින් වෙනස්ව මිනිස් පූර්වජයා තම අත්-පා වඩා කාර්‍යක්ෂමව මෙහෙය වන්නට පෙළැඹුණේ හා එළැඹුණේ දඩයමේ නියැලුනු නිසා බව පැහැදිලිවේ.
​
Picture
දඩයමක් සාර්ථක කරගැනීමට සාමූහිකව සැලසුම් කිරීම, ඊට අවශ්‍ය මෙවලම් නිර්මාණය කිරීම හා ඒවා ක්‍රම-ක්‍රමයෙන් වැඩිදියුණු කරගැනීම තුලින් තම මොලයේ ක්‍රියාකාරිත්වය ඉහල නංවා ගත්තේය. තමන්ට වඩා වේගවත් සතෙකු මෙවලම් භාවිතයෙන් දඩයම් කිරීමට, කාලය හා අවකාශය තුල මිනුම් සැලසුම් කිරීම (දුර-වේගය-කාලය පිලිබඳ අදහස) විසින් ප්‍රාග් ඓතිහාසික යුගයේ මිනිස් පූර්වජයාගේ පරිකල්පනය ඉහල නැංවීමට ඉවහල් වන්නට ඇත.

ගොඩබිම වසන සාර්ථක දඩයම් සතුන් වන බිළාල වර්ගයේ (Big Cats) අය මෙන්ම සාගරයේ ඩොල්ෆින්, මෝරුන් වැනි මත්සයින් එසේ සාර්ථක ලෙස පරිණාමය වී ඇත්තේ ඔවුන්ගේ වේගය, ශරීර ශක්තිය හා විශේෂයෙන් නිය/හණු (Jaws & Claws)වල තියුණු බව ඉවහල් කර ගනිමිනි. එහෙත් ප්‍රාග් ඓතිහාසික යුගයේ මිනිස් පූර්වජයාට එවන් වාසිදායක අවයව නොවුනි. ඔවුන්ට එනිසා තම ඉලක්කය සපුරාගන්නට, උපායශීලී ලෙස තම ඉදිරි ගාත්‍රා මෙහෙයවීමට හා මෙවලම් වල ආධාරය පැතීමට පවතින තත්ත්වය විසින් බලකෙරුනි. එම පෙළඹවීම මොලයේ ක්‍රියාකාරිත්වය ඉහල නැංවීමට උදවු කළේය. මිනිස් පූර්වජයා සෙසු සියලු සත්ත්වයින් අභිබවා ලෝකය ජයගත්තේ ශ්‍රමය (උපායශීලී ක්‍රියාකාරිත්වය) හා සාමූහිකත්වය තුළිනි.

ගොඩබිම වසන බිළාල වර්ගයේ දඩයම් සතුන්ගේ ගාත්‍රා ක්‍රියාත්මක වන්නේ සමමිතික (Symmetrical)  ආකාරයටයි. මිනිස් පූර්වජයාට සමීප ජාන-ඥාතීත්වයක් ඇති චිපන්සින් වැනි වානර වර්ග පමණක් අ-සමමිතික(Asymmetrical) ආකාරයට තම ගාත්‍රා මෙහෙයවීමට සමත්වෙයි. සංකීර්ණ ලෙස ගාත්‍රා මෙහෙයවීමටයොමුවීම  තුළිනි. ක්‍රම-ක්‍රමයෙන් සංකීර්ණ දේවල් වෙනුවෙන් මිනිස් පූර්වජයාගේ මොළය හා ස්නායු පද්ධතියක් සකස්වූයේ, පරිණාමය වූයේ.

ප්‍රාග් යුගයේ මිනිස් පූර්වජයා, වෙනත් ශක්තිමත් හා අදට වඩා විශාල මාංශ භක්ෂකයින් (Predators) හා තරඟකාරී ලෙස පැවැත්ම ආරක්ෂා කර ගනිමින්ම දඩයමින් ආහාරය සම්පාදනය කරගත්තේ ‘බාහු බලයෙන්’ නොව මොළය වර්ධනය කරගනිමින් අභියෝග ජයගනිමිනි.
සදාචාරාත්මක අර්ථයෙන් සත්ත්ව ඝාතනය (දඩයම) යහපත් එකක් නොවුවත් මානව වර්ගයා විශිෂ්ට බුද්ධි  වර්ධනයක් අත්පත් කරගත්තේ දඩයම් යුගයේදීය.
​
නූතනයේ අප හැකි තරම් දුරකට සත්ත්ව හිංසනය අත් හැරීම දෙසට යොමුවෙමින් සිටියි. සමහර බටහිර රටවල්, මාංශ  නිෂ්පාදනයේ දී සතුන්ට අත්වන බිය හා වේදනාව අවම වන ආකාරයේ උපක්‍රම අනුගමනය කරයි. අනාගතයෙදී විද්‍යාව විසින් සත්ත්ව ඝාතනයකින් තොරව කෘත්‍රිම අයුරින් මාංශ  නිපදවීමටද සමත්වනු ඇත. එවිට සත්ත්ව හිංසනයකින් තොරව තම රස-ස්නායු සන්තර්පණ​ය කරගන්නට අපට හැකියාව ලැබෙනු ඇත.

    ඔබගේ අදහස් අපට එවන්න.

    Max file size: 20MB
Submit
Back To Home
Powered by Create your own unique website with customizable templates.
  • ප්‍රවර්ග
    • සාහිත්‍ය කලා
    • දර්ශනවාදය
    • වෙනත්
  • ලේඛනාගාරය
  • ලේඛක සෙවීම්
  • Bookcrow
  • Contact Us
  • සංස්කාරක සටහන්