හෙට දින සංස්කෘතිය උදෙසා විවෘත වේදිකාව​...

kinihiraya.com
  • ප්‍රවර්ග
    • සාහිත්‍ය කලා
    • දර්ශනවාදය
    • වෙනත්
  • ලේඛනාගාරය
  • ලේඛක සෙවීම්
  • Bookcrow
  • Contact Us
  • සංස්කාරක සටහන්
ශ්‍රී ලාංකික සිනමා අධ්‍යක්ෂ ධර්මසේන පතිරාජ සමග සාකච්ජාවක් 
​(Conversation with Sri Lankan Director Dharmasena Pathiraja—By Brandon Wee)  -
(පරිවර්තනය මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි)
​

⚈ මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි - Prof. Desmond Mallikarachchi
2021 ජනවාරි  28
Picture
Darmasena Pathiraja
ධර්මසේන පතිරාජ නැමැති ශ්‍රි ලාංකික සිනමාවේ දේශපාලන සිනමාකරුවා තම දිවියෙන් සමුගෙන 2021 ජනවාරි 28 වන දිනට දෙවසර පිරෙණු ලබයි. KINEMA නමින් පලවන “සිනමාව සහ ශ්‍රව්‍ය-දෘශ්‍ය මාධ්‍යය සඟරාවට “ශ්‍රි ලංකා සිනමා අධ්‍යක්‍ෂක ධර්මසේන පතිරාජ සමඟ සාකච්ඡාවක්“ යන හිසින්  ලිපියක් බ්‍රැන්ඩන් වි විසින් 2004 වර්ෂයේදි ඉංග්‍රීසි බසින් අන්තර්ජාලයට මුදාහැර තිබිණි. එය සිංහල බසට මෙතෙක් පරිවර්තනය නොවී තිබිණ. පතිරාජගේ සිනමා දෘෂ්ටියේ ධනාත්මක පරිමිතිය සහ එහි ඍණාත්මක දෝෂ ඇත්නම් ඒවා වුවද සිනමාව පිළිබඳව උනන්දුවක් දක්වන සිංහල පාඨකයනට මෙසේ තිළිණ වනුයේ ධර්මසේන පතිරාජ නැමැති ශ්‍රි ලාංකික සිනමාවේ විශිෂ්ඨ දේශපාලන සිනමා කරුවාගේ දෙවර්ෂ පූර්ණ අනුස්මරණ ප්‍රාණාමය වෙනුවෙනි. 

සම්මුඛ සාකච්ඡාව බ්‍රන්ඩන් වී සහ පතිරාජ

(බ්‍රන්ඩන් වී: කැනඩාවේ ටොරොන්ටෝ හී වෙසෙන වී Asia Pacific Arts, Cinecaste, Cinescope සහ Senses of Cinema මාධ්‍යයනට සිනමාව පිළිබඳව ලිපි සපයන ප්‍රධාන පෙලේ රචකයෙකි.) ​

​ 
​අරමුණක් සහිත පෙරළිකාරයෙක්’ ලෙස ඔහු ගැන සඳහන් කර ඇත ‘සහ බිහිසුණු දරුවෙක්’ (enfant terrible) මෙන්ම 70 දශකයේ ශ්‍රී ලංකා සිනමාවේ දෙවැනි විප්ලවයේ පුරෝගාමියකු ලෙස ද ඔහුව ඒකමතිකව පිළිගනු ලැබ ඇත. කෙසේ වෙතත් ඔහුගේ කථාබහින් හා ලේඛනවලින් පෙනීයන්නේ ඔහුගේ නිර්මාණ හුදු සටන් පාඨවලින් සරසනු ලබනවාට වඩා එබඳු ජනප්‍රිය ලේබල්වලට පදනම් වූ හරයන් යළි සලකා බැලීමට කැමති බව ය. 1950 දශකයේ මැද භාගයේ ලංකාවේ දේශපාලන, සමාජ හා සාංස්කෘතික විප්ලවයත් සමග දේශිය සිනමාවක් බිහිකිරීමේ ගෞරවය ලෙස්ටර් ජේම්ස් පීරිස්ට හිමිවන්නේ නම්, එසේම ඔහුගේ පසුකාලීන නිර්මාණ කලාත්මක ඒවා ලෙස හැඳින් වේ නම් ඒවා ගතානුගතික ජනප්‍රිය සිනමාවෙන් වෙනස් වීම නිසා-  1970 දශකයේ දී ධර්මසේන පතිරාජගේ ආගමනය කේන්ද්‍රය හා පර්යන්තය අතර ද්විත්වය  විසංයෝජනය කළ අතර පුනර් විග්‍රහ කරමින් සමාජ සවිඥානතාවෙන් යුත් ‘අනෙකා‘ (The Other) පීරිස්ගේ මධ්‍යම පංතික නැතිනම් ධනේශ්වර (bourgeois)  විඥානවාදී දාෂ්ටියෙන් වෙනස් කළේය. පතිරාජගේ විකල්පය වූයේ විචාරාත්මක මැදිහත්වීමකි.
 
1970 දශකයේ මුල්කාලයේ සමාජ වෙනස්කම් අතින් ශ්‍රී ලංකවේ පැවැතියේ ඉතා නොසංසුන්කාරී තත්වයකි. එහෙත් ඒ කාල පරිච්ඡේදයේ දි නව කලාකරුවන්, එනම්, නාට්‍ය ශිල්පීන්, කවීන් හා ලේඛකයින් පරපුරක් බිහිවිය. ඔව්හු පවතින සමාජ ව්‍යුහයට එරෙහිව නැගී සිටීමට පුලපුලා බලා සිටියහ.  ඔවුන් වටා පැවති දේශපාලන යථාර්ථයන් ගලවා ගැනීම ඔවුන්ට අවශ්‍ය විය. 1958, 1962 හා 1970 පැවති රජයන් දිගින් දිගටම ලැබූ අසාර්ථකත්වයන්ට ප්‍රතිචාර දක්වමින් පශ්චාත් නිදහස් යුගයේ ‘විප්ලවයේ’ ප්‍රතිලාභ ලබාදීමටත් එසේම සිංහල ජනප්‍රියවාදයේ නැගී ඒම, එනම් උගත් එහෙත් රැකියා විරහිත තරුණයින් ජනතා විමුක්ති පෙරමුණ සමග එකතුව 1971 දී පැවති රජය පෙරළා දැමීම සඳහා ආයුධ සන්නද්ධ කැරැල්ලක් ගැසූහ. දින කීපයක් ඇතුළත කැරැල්ල මැඩ පවත්වන ලදී. එහිදි පුද්ගලයෝ දහස් ගණනින් මරණයට පත් වූහ. තමාගේ කාලය පිළිබඳව යමක් කීමේ බලවත් ඕනෑකමකින් පෙලුණ පතිරාජ තමාට ලැබුණ ආයතනික දිරිගැන්විම් ද සමග, වසන්ත ඔබේසේකර, ඩී. බී. නිහාල්සිංහ, එච් ඩී ප්‍රේමරත්න හා ධර්මසිරි බණ්ඩාරනායක වැනි අධ්‍යක්‍ෂවරුන් සමග නැගී එමින් එකල ලංකාවේ ප්‍රශස්ත සිනමා අධ්‍යක්‍ෂවරයකුගේ තත්වයට ලඟාවිය.
​
ශ්‍රී ලංකාවේ පිහිටි ආසියානු චිත්‍රපටි කේන්ද්‍රයේ ආරාධනාවෙන්  16 වැනි සිංගප්පූරු ජාත්‍යන්තර සිනමා උළෙලේ දී පළමු වරට ධර්මසේන පතිරාජ ප්‍රත්‍යාවේක්‍ෂණ සිනමා උළෙලක් ශ්‍රී ලංකාවෙන් පිටත  පවත්වන ලදී. පතිරාජගේ වෘත්තාන්ත චිත්‍රපටි 8න් පහක් පමණක් එහි දී ප්‍රදර්ශනය සඳහා තෝරාගන්නා ලදී: අහස්ගව්ව- 1974, පොන්මණි- 1977, බමරු ඇවිත්- 1978, පාර දිගේ- 1980 හා සොල්දාදු උන්නැහේ- 1981 හා ඔහුගේ ඉතාමත් මෑතකාලීන චිත්‍රපටිය වු (2001 & Some Day in the Future /2002)  15 වැනිී  ජාත්‍යන්තර සිනමා උළෙලේ (IFF) ආරාධිත චිත්‍රපටියක් විය. එසේ ම හොඳ ම ආසියානු වෘත්තාන්ත වර්ගය යටතේ රිදී තිර සම්මානයක් සඳහා ද එය යෝජිත විය. ප්‍රත්‍යාවෙක්‍ෂණයට ඇතුළත් නොවූයේ ‘එයා දැන් ලොකු ළමයෙක් ’(1977) පමණි. එහි ප්‍රධාන නිළි චරිතය රගපෑ මාලනී ෆොන්සේකාට 1976 මොස්කව් සිනමා උළෙලේදි ඩිප්ලෝමා සහතිකයක්ද ඊට හිමිවිය.
Picture
Para Dige 1980
පිටු 28කින් යුත් An Incomplete Sentence: The Films of Dharmasena Pathiraja  ප්‍රත්‍යාවලෝකනය ඒ අවස්ථාවේ ප්‍රකාශයට පත් කරන ලදී. (සංස්කාරකවරු - රොබර්ට් කෲස් සහ ඇෂ්ලි රත්නවිභූෂණ). සිවමෝහන් සුමති සමග කළ සාකච්ඡාවක දී පතිරාජ චිත්‍රපට සෑදීමේ ඔහුගේ ආත්ම කථාව දීර්්ඝ ලෙස විස්තර කරමින් ශාස්ත්‍රිය ආඛ්‍යානමය හා ආත්ම කථන ස්වරූපයෙන් යුතුව ජීවිත කාලයක් තිස්සේ කරන ලද නිර්මාණවල සමස්තය වනුයේ කිසියම් එක් නිර්මාණයකි. එක් පඨිතයකි. හරියට පොතක් වගේ. එක් වැකියක්. එක් වාක්‍යයක්. එක් සිනමා පටයකින් තවත් සිනමාපටයකට ගලායන ඓතිහාසික රේඛාවක්. කියමනක්. ඔහු තම නැඹුරුව මතු වූ අයුරු පිළිගැනීමට පෙර මදක් කල්පනා කරයි: පතිරාජ මතක් කරයි: තාරුණ්‍යය හා චිත්‍රපටිය. ඔබට පෙනෙනවා. එතන පොඩි ප්‍රේමණීය බැඳීමක් තියෙනවා. තම පළමු වෘත්තාන්ත චිත්‍රපටිය වූ අහස් ගව්ව ආරම්භ වූ අයුරු සිහිකරමින් පතිරාජ තරුණ අපේක්‍ෂා හා පරමාදර්ශ පිළිබඳව කැලඹීමකට පත්වෙයි. තදානුභූතියකින් යුතුව සිහි කරයි:

’මගේ සිත බැඳගත් දෙයක් නම්, සමහරවිට තවමක් මගේ සිතේ හොල්මන් කරනදෙයක් නම්, පිට පළාත්වලින් ජනයා නගර තුළට ඇදී ඒම. අපේ රටේ විශේෂයෙන් ම 60 හා 70 දශකවල කොළඹ නගරය සකස්වෙන්න පටන්ගෙන තිබුණු එය අනන්‍යතාවක් ඇතිකරගනිමින් තිබුණු, පිට පළාත්වලින් කොළඹට ඇදී ආ අය තමයි මේ අනන්‍යතාව ඇති කළේ. ඒ පුද්ගලයින් සොයා ගිය දේ තමයි මටත් හොඳට ගැලපුණේ. චරිත රඟපාන්නට අවශ්‍ය තරමට පෞද්ගලික කරණය වෙලා තිබුණෙ. නියෝජනය ඇතිවෙන්න තරම්.නිදසුනක් විදියට මේ චිත්‍රපටි කතාවේ ප්‍රේමය නැහැ, මුල් කතාවම නාගරික ලක්‍ෂණ  තුළට ඇතුල් වීමට තැත්කරන තරුණයින්ගේ ප්‍රේමාලාපයක්’.

පතිරාජ තමාගේ සිනමා නිර්මාණ සමාජ විචාරසේ සලකයි: තත්කාලීන සමාජ හා දේශපාලන තත්වයන් විසින් ඇතිකරනු ලැබූ ආකල්පයන් ඒවායින් විවේචනය කෙරෙන අතර ඒත් සමග ම ඒවාට පාදක වුණ මානුෂික කම්කටොලු කෙරෙහි සානුකම්පික ද වෙයි. ‘පාරදිගේ’. පතිරාජ කැමති ම ඔහුගේ චිත්‍රපටිය. එය නැගීඑන කොළඹ නගරය පසුබිම් කරගත්තකි. එසේ ම එය තරුණයින්ගේ නොසැලකිලිමත් බව හා නොමේරු ක්‍ර්‍රිියාද විචාරාත්මකව නිරීක්‍ෂණය කරයි, බමරු ඇවිත් චිත්‍රපටියේ පතිරාජ දේශපාලනය යොදාගනුයේ ගම හා නගරය අතර ගැටුම  හෙළිකරමින්, කල්පිටියේ ධීවර ගම්මානයක උත්ප්‍රාසාත්මක සංසුන් පසුබිමකයකය. ‘පොන්මනි’ පවුල් සංස්ථාව පිළිබඳ අධ්‍යයනයකි. එහි දී ඉහළපන්තියේ තරුණියක් පහළ පන්තියේ තරුණයකු සමග පැන යාම දැක්වෙයි. ඇගේ පවුලේ අය හා හිතවතුන්ගේ දැඩි කෝපයට හා විරුද්ධත්වයට ලක් වෙන ප්‍රතිවිපාක කෙරෙහි ඈ දක්වන උදාසීන ආකල්පය මෙහි නිරූපිතය.
​

Picture
Soldadu Unnehe 1981
සොල්දාදු උන්නැහේ චිත්‍රපටියේ වස්තු විෂයය තියුණු ලෙස භාවිත කර ඇති අයුරින් පතිරාජගේ මානුෂිකත්වය හෙළිවෙයි. ශ්‍රී ලංකාවේ නිදහස් උත්සවය අද්දරව කථාව දිගහැරෙයි. එදින හවස නිවාඩු දිනයකි. ඊට පසු දිනය පීඩනයටලක් වු පුද්ගල චරිත හතරක් නිරූපණය වෙයි. දෙවෙනි ලෝක යුද්ධයේ සොල්දාදුවෙක්, ගණිකාවක්, ඇගේ පිම්පියා, පික්පොකට් කාරයෙක් සහ ලිපිකරුවෙක්.  නමුත් ජාතිකත්වයට එරෙහි ඔවුන්ගේ විරුද්ධත්වය පරයා ජාතිකත්වය මතුවේ. 

ජාතිකත්වය ගැන කථා කරන විට චිත්‍රපට හා  සිනමා අධ්‍යක්‍ෂවරුන්ට විචාරාත්මක අවධානයක් යොමු වී නැත, ඔවුන් ගැන ලියා ඇත්තේ සුලුවෙනි- ඔවුන්ගේ තොරතුරු හා ඉතිහාසය වාර්තා කරන්නට තැත්කර ඇත්තේ ඉතා සුලුවෙනි, එබැවින් අපට දැන් හිමිවී ඇත්තේ නිසරු නොවන එහෙත් නොසැලකිල්ලෙන් ලියන ලද විචාරයකි, පවත්නා තත්වය එනම් බොහෝ ආසියානු චිත්‍රපට හා අධ්‍යක්‍ෂවරුන්  සිනමා ඉතිහාසය තුළ දක්නට නොමැත්තේ, දේශීය සිනමා ප්‍රජාවන් තුළ ගවේෂණයට වාර්තාකරණයට හා තම කලාකරුවන් දිරිගැන්වීම කෙරෙහි පවත්නා උනන්දුවේ හීනභාවය නිසාවෙනි.

ජාත්‍යන්තර සිනමා උළෙලකට සහභාගීවි ලංකාවට පැමිණි දිනක උදෑසන, කොළඹ විශ්වවිද්‍යාලයේ සිනමාව පිළිබඳ කථිකාචාර්ය වරයා වූ 60 වියැති ඔහු මේ සම්මුඛ සමාකච්ඡාව සඳහා කාරුණික අවසරය ලබා දුණ.  තමාගේ නිර්මාණ පිළිබඳව ඔහුගේ අදහස් සමග  මුදු මොළොක්  ලෙස කතාකරන අධ්‍යක්‍ෂවරයා  ශිෂ්‍යකුව සිටිය දී සිනමාව ගැන පිස්සු වැටී සිටි තමාගේ ආරම්භක අවධියේ අත්දැකීම් ගැන කථාකරන අතර  තමාට අධ්‍යක්‍ෂවරයකු වශයෙන් මුහුණදෙන්නට වූ දුෂ්කරතා ගැන ද කථාකරයි.  එසේ ම නැගී එන සිනමා අධ්‍යක්‍ෂවරුන්ට හැමදා මුණ දෙන්ට වන ගැටලු ගැන ද කථාකරයි.

බ්‍රැන්ඩන් වී-  පති, ලංකාවන් පිට පැවැත්වෙන මේ පළමුවැනි ප්‍රත්‍යාවලෝකන සිනමා දැක්ම ගැන ඔබට සුබ පතනවා. ලංකාව තුළ ඔබ දැක්මක් සහිත පෙරළිකාරයෙකු ලෙස හඳුන්වනු ලබනවා. අරමුණක් සහිත පෙරළි කාරයා’ කියන ලේබලය ගැන ඔබට මොකද හිතෙන්නෙ? 

පතිරාජ- ඒක ඇත්තටම අලංකාරෝක්තියක්. කිසියම් වාස්තවික වෙනසක් කරන්නට බලාපොරොත්තුවන කලාකාරයෙක් පෙරළිකාරයෙක් ලෙස හඳුන්වන එක ඒ තරං සාධාරණ නැහැ. පෙරළිකාරයා ඉන්නෙ ඔබ තුළමයි. එතකොට ඔබ කැරළිගහන්නෙ ලෝකය එක්ක නොවෙයි ඔබත් එක්කමයි. විශේෂයෙන් ම ආසියානු රටවල කෙනෙක් යථාර්ථය ග්‍රහණය කරගන්නට වෑයම් කරන්නේ  පෙරළිකාර විදියටයි.  කෙනෙක් විප්ලවීය වෙනසක් තුළින් යථාර්ථය ප්‍රතිනිර්මාණය කරනව. ඒ වෙහෙසට පත් වී තිබෙන පැරණි ආකෘතිවලින් ප්‍රකාශනයේ නිදහස රැකගන්න සහ සමාජ යථාර්ථයේ අනුභූතිය වෙනුවෙන් හුරුපුරුදු සත්‍යයන් සමග ගැටෙමින් තමන් තුළින් මේ විප්ලවය ලඟාකරගත යුතුයි.

බ්‍රැන්ඩන් වී- චිත්‍රපටි සෑදීම ඔබේ වෘත්තිය වුණේ කොහොමද?

පතිරාජ- චලන චිත්‍ර ගැන මගේ ආශාව මුලින්ම ඇතිවුණේ වයස14 දී. මම මගේ මුල්ම චිත්‍රපටිය  බැලුවාට පස්සේ. ඒ කාලෙ අපට සිනමාබලන්න යන්න තහනම්.  අපේ පවුල්වල අය හිතුවෙ ඒවායින් ළමයි නරක් වෙනව කියල. ඒක වැදගත් කලා මාධ්‍යයක් විධියට නොසැලකුවත් හොඳ විනෝදාංශයක් කියල පිළිගැනීමක් නම් තිබුණ. මුලින් ම චිත්‍රපටියක් බලනකොට මට දැනුනෙ ඒක මැජික් දර්ශනයක් වගේ. මම හොඳටම උමතුවෙල වගේ. මගේ අදහස් පිටකරගන්නෙ කොහොම ද කියල හිතාගන්නවත් බැරිවුණා. මම මන්මත්වෙල හිටියෙ. මම ඉක්මනට ම ලියන්න පටන් ගත්තා. මම කෙටිකතා, කවි, නාට්‍ය එහෙම ලියමින් වැඩි වැඩියෙන් පොත් පත් කියවන්න පටන්ගත්ත. ඒත් චලන චිත්‍ර පිළිබඳ ආශාව දිගටම හිතේ තිබුණ. ඊට පස්සේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් විදියට මම චිත්‍රපටි ගැන කියවන්න පටන්ගත්ත. සරසවියේ සිනමා සංගමය (Film Society) එකට කිටිටුවෙන් සම්බන්ධවෙලා වැඩ කළා. ඒ කාලෙ විදේශ චිත්‍රපටි රාශියක්ම බැලුව. චිත්‍රපට උගන්වන ආයතනයක් අපට තිබුණෙ නැහැ. ඒත් මම ජ්‍යෙෂ්ඨ තාක්‍ෂණික නිලධාරීන් කීපදෙනෙක් එක්ක මිත්‍රවෙලා චිත්‍රපට සෑදීම ගැන ඔවුන්ගෙන් ටිකක් ඉගෙන ගත්ත. ඒක ජීවිතය පුරා තිබුණ සිහිනයක් සැබෑවීමක් වගෙයි. මට හිතුණේ මගේ මාධ්‍යය සිනමාව තමා කියල.  මා වටා තිබුණ සත්‍යය ග්‍රහණය කරගන්න මට වෙන මාධ්‍යයක් පෙනුණෙ නැහැ. ඒ කාලෙ මම ශ්‍රී ලංකාවෙ වාමාංශික ව්‍යාපාරයට සම්බන්ධව වැඩ කළා. ඒත් මම කවදාවත් පක්‍ෂ සාමාජිකයෙක් වුණේ නැහැ. ඒ වුණත් සමහර සංවිධානවලට සමීප වෙලා ඔවුන්ට උදව්කළා. වාමාංශික දේශපාලන සංවිධාන පැවැත් වූ විරෝධතා ව්‍යාපාරවලින් මගේ සිනමා නිර්මාණවලත් කිසියම් විරෝධතා ආකල්ප ඇතුළත් කරගැනීමට තල්ලුවක් ලැබුණා. මේක ඕනැකමින් ඇතිකරගත්ත දෙයක් නොවෙයි.  ඒක යටින් දිව්ව ප්‍රවාහයක් වගේ. වම ප්‍රකටදේශපාලන  අභියෝග ක්‍ෂෙත්‍රයේ ම නොව  ආකෘතිය අතිනුත් යම් බලපෑමක් කළා.මට නම් හුරුපුරුදු දේවල සීමාවන්ගෙන් පිටත සිතන්නට ධෛර්යය ලැබීම  වාමාංශික ව්‍යාපාරයේ වැදගත් දායාදයක්. විශේෂයෙනේම  සිනමාව සම්බන්ධයෙන්.

බ්‍රැන්ඩන් වී-  .ඔබ නිතරම වැදගත් සන්ධිස්ථානවල  දී දේශපාලනික කරුණු  ඉදිරිපත් කරනව නිදසුනක් විදියට ‘අහස් ගව්වෙ’ ඔබ පීඩිත ජනතාවට ජයවේවා’ සටන් පාඨය පෙන්වනවා. ඒත් සමග අවසන් දර්ශනවල විදී පෙලපාළිය: ඒ වගේ ම බමරු ඇවිත් චිත්‍රපටියෙ පුංචි මත්තයාගෙ යාලුවා. මුලදි එයා පෙන්වන්නෙ චිත්‍රපටියෙ දිගටම පවතින විශ්වාසයක් සහ හෘදය සාක්‍ෂිය වගේ. ඒත් පස්සේ අපි දකිනව ඔහු සූරාකෑමට විරුද්ධව හඬ නගන ආකාරය. මේ පුද්ගලයා ගැන ඔබට පුලුවන් ද අදහසක් දෙන්න? 

පතිරාජ- චිත්‍රපටිය තුළ මේ මිනිසාගේ චරිතයේ පෙරළියක් තියෙනවා. ඔහු වමට නැඹුරු කෙනෙක්. ඒත් ඔහුගේ චරිතයේ තරමක රොමැන්ටික් ගතියකුත් තියෙනව.ඒක පෙනෙනව එයා ගමට ගියා ම. ගමේ අයට මාක්ස්වාදයයි සූරාකෑමයි ගැන කියාදෙන්න. මේ ආකල්පයෙ ලක්‍ෂණ ඉතාමත් අවංක වූ ඒවගේම වාස්තවික ලෙස නිවැරදි වූ පරම්පරාවේ ලක්‍ෂණයක්. එත් ඔවුන් එක්තරා දුරකට ජනතාවගේ යථාර්ථයෙන් ඈත්වුණ පි්රිසක්. ඔවුන්ගේ භෞතික තත්වයන්, බලය, ඒවගේ ම ඔවුන්ට බලයක් නැතිවීම.  අපට ලංකාවේ තරුණ විප්ලවය පිළිබඳ අත්දැකීම් තියෙනව. ඒත් ඒකාටවත් බැරිවුණා ඔවුන්ගේ මාක්ස්වාදි දෘෂ්ටිය වෙතට ජනතාව ඇදගන්න. ඔවුනව් සූරාකෑමෙන් ගලවා ගන්න අදහස් කළ මේ මිනිස්සු සමාජයෙන් දූරස්ථ වූ පිරිසක්. ඒ දර්ශනයේ මම සියුම් විදියට සැලකිල්ල යොමුකරනව.  මේ චරිතය ගමේ වේදිකාවේ නැගී සිටිනව. ඒත් ඊළග මොහොතෙ ඔහු ඉවත් වෙනකොට අපිට පෙනෙන්නේ හිස් පිට්ටනියක්. ගමේ තවත් පැත්තක පොලිස් ස්ථානයක් ඉදි කෙරෙමින් තියෙනව. මේ චරිතය කටුසටහනක් නොවෙයි.ඔහු ඔබ කියනව වගේ චිත්‍රපටියේ හෘදය සාක්‍ෂිය. ඒවගේම කථකයා. ඒත් ඒකෙ ඊට වඩා යමක් තියෙනව.

බ්‍රැන්ඩන් වී- බමරු ඇවිත් චිත්‍රපටියේ නගර හා ධීවරගම අතර ඝට්ඨනය අවධාරණය කරනව. අපට කියන්නෙ, අඟවන්නෙ නාගරිකයො බමරු වගේ  නපුරුයි කියල. ඒත් මාළු වෙළෙන්දාත් ඇන්ටන්- වගේම  පරපෝෂිතයෙක්,  ඒ නිසා කෘතියේ නම අර්ථ දෙකක් අඟද්‍වන විදියෙ ඒකක් ද?

පතිරාජ- ඔව්, ඒ මොකද ඒ වෙනකොටත් එහේ බමරු ඇවිත්.  සංකේතාත්මකව චිත්‍රපටිය සූරා කෑම ගැනයි. පිරිමි චරිත අතර හා ප්‍රධාන ස්ත්‍රි චරිතය හෙලන් අතර සම්බන්ධය. සූරා කෑමේ ලක්‍ෂණයෙන් යුතුයි. මුලු චිත්‍රපටිය පුරා දිිවෙන ලිංගික තේමාවකුත් තියෙනව. ඒක හුඟක් දුරට ඒ ගැන මතම යි.

බ්‍රැන්ඩන් වී- පාර දිගේ’ ඔබ ගොඩක්ම කැමති චිත්‍රපටිය.  ඒත් ඒක පෙන්වන්න පටන්ගත්ත ම මහජනයා ඒකට කැමැත්තක් දැක්වූයේ නැහැ ඒ ඇයි?

පතිරාජ- සමහරු කීව ඒක කාලෙට ඉදිරියෙන් තිබුණ චිත්‍රපටියක් කියල. ඒත් මම ඒක විශ්වාස කරන්නෙ නැහැ. චිත්‍රපටියෙ ඉතා සරල තේමාවක් තිබුණෙ. ඒත් මිනිසුන්ට එහෙම පෙනුනෙ නැහැ,  ඒකෙ සාමාන්‍යයෙන් පෙනෙනවට වඩා නොපෙනෙන දේවල් හොයන්න මිනිස්සු කැමති වුණා.  ඒ වගේම ඒ අයට තිබුණ කලින් සිත්වල මවාගත්ත අදහස්. චිත්‍රපටියක් කොහොම වෙන්න ඕනැ ද කියල. ඒත් දැන් හුඟක් අය ඒ චිත්‍රපටිය ගැන කථා කරනව.  එයාල ඒකට ගොඩක් කැමතියි. මගේ පරම්පරාවෙ අය පවා.  දැන් ඒකෙ ශෛලිය පිළිබඳව අවබොධයක් තියෙනව. කලින් එහෙම තිබුණේ නැහැ. මම මේ චිත්‍රපටියට කැමැති යි. ඒකෙ ප්‍රධාන චරිතය වන චන්දරේත් ගමෙන් නගරයට ආ කෙනෙක්. මම වගේ. මම මධ්‍යම කඳුකරයේ ගමක උපන් කෙනෙක්.

බ්‍රැන්ඩන් වී-  පාරදිගේ චිත්‍රපටියේ එන ගබ්සා ප්‍රශ්නෙ ගැන ගැටලුවක් මතුවුණා ද?

පතිරාජ- ඔව්. ගබ්සාව ගැන ගොඩක් කථා බහ කරනව. ඒක කෙනෙක් කරගත යුතු ද නැද්ද කියල. අද පවා ඒක ශ්‍රී ලංකාවෙ නොවිසඳුණු ප්‍රශ්නයක්. මේ චිත්‍රපටියෙ ගබ්සාව ප්‍රධාන ප්‍රශ්නයක් වන අතර මම ඒක ගමේත් නගරයේත් සම්ප්‍රදායයන් විනිවිද දැකීමට උපයෝගි කරගන්නව. ගමෙන් එන අයගෙ මුල් සිඳුණ බවත් දූරස්ථ වීමත් පෙන්වන්නට මට ඕනෑ වුණා. විශේෂයෙන් ම තරුණයින් අවතැන්වීම. ඒ වගේ ම තමන්ගෙ ප්‍රශ්න විසඳා ගැනීමට ඔවුන් අසමත්වන ආකාරය. එයාල නිතරම දුවමින් ඉන්නෙ, ජීවිතේට මොනව හරි සොයාගන්න.

බ්‍රැන්ඩන් වී- මේක තරුණයන්ගේ නොසංසුන් බවත් බොළඳ බවත් පිළිබඳ විවේචනයක් ද?

පතිරාජ- ඔව්. ඒත් ඊට වඩා දෙයක් ඒකෙ තියෙනව. නගරෙ හරි ගමේ හරි රfටි කොහේ හරි ගියත් හැම කෙනෙක්ම වගේ අවතැන්වුණ බවක් ඒකෙ කියැවෙනව. ඒක පෞද්ගලික විතැන්වීම සමග බැඳුණ සමාජීය විතැන්වීමක්.

බ්‍රැන්ඩන් වී-  පොන්මනි චිත්‍රපටිය ඔය තරම් විවාදාත්මක වුණේ ඇයි?

පතිරාජ- මේ තමයි සිංහල අධ්‍යක්‍ෂ කෙනෙක් දෙමළ භාෂාවෙන් චිත්‍රපටියක් කරපු පළමුවෙනි වතාව. ඒක කළේ මම යාපනේ විශ්වවිද්‍යාලෙ උගන්වපු කාලෙ. මගේ යාලුවො එක්ක. මුලදි ඒ චිත්‍රපටියට විරුද්ධව ව්‍යාපාරයක් තිබුණ.  විවාදාත්මක බවක් ඇතිවුණේ අපි සාකච්ඡා කළ ප්‍රධාන තේමාවන් වුණේ දෑවැද්ද හා කුල ප්‍රශ්නෙ වීම නිසා.  චිත්‍රපටියෙ “පොන්මනි”  උසස් කුලයක දමිළ තරුණිය  වෙල්ලාල කුලයේ  ඇය පහත් කුලයේ කතෝලික තරුණයෙක් එක්කපැනල යනව. ඔහු ධීවර ගමක තරුණයෙක්-මේක සාමාන්‍ය පිළිගැනීම අනුව අපරාධයක්. අනිත් කාරණෙ තමයි ප්‍රෙක්‍ෂ්කයො වට්ටෝරු සිනමාවට පුරුදු වුණ අය.  ඉතිං එයාලට පුරුදු දර්ශන මේකෙ තිබුණෙ නැහැ. මිනස්සු දැක්කේ ඔවුන්ට හුරු පුරුදු නගර, ගම්, පාරවල් සහ මිනිස්සු හැමදාම දකින අය වගේ ඒක ඒ අය අපහසුතාවෙකට පත්කරන්න ඇති.
බ්‍රැන්ඩන් වී. විරෝධතා ව්‍යාපාරෙ කොච්චර ප්‍රබල වුණා ද?

පතිරාජ- එච්චර නෑ. ඒත් චිත්‍රපටිය බලන්න මිනිස්සු එනකොට තව සමහරු ඇවිත් බලන්න යන්න එපා කිව්වා. බලන්න කියපු අයත් හිටිය ඒක මටත් වුණා- පෙනවන්න  පටන්ගෙන දවස් හතරකට පස්සෙ දවසක යාපනේදි  මමත් ගියා ඒක බලන්න ඒත් මටත් යන්න එපා කිව්ව. ඒකාලෙ ඒකෙ අධ්‍යක්‍ෂ මම යි කියල ඔවුන් දැනගෙන හිටියේ නැහැ. පස්සෙ ඔවුන් ඒක සිනමාහල්වල පෙන්වන එක නතර කළා.

බ්‍රැන්ඩන් වී-  ඔබේ සමහර චිත්‍රපටිවල කාන්තා හිතවාදි ඒ කියන්නේ ස්ත්‍රීවාදී ප්‍රවාහයක් යටින් ගලනව වගේ මට දැනෙනව. ඔවුන් බලවත් නූනත් ඔබ කාන්තාවන්ට පක්‍ෂපාතියි වගේ.  ඒවගේ ම ඔවුන් කෙරෙහි සංවේදී බවත් වැඩියි වගේ. මේක ඔබ හිතාමතා කළ දෙයක් ද?

පතිරාජ- එක් අතකින් කාන්තාවෝ කේන්ද්‍රිය වෙනව. ඒ මොකද ආඛ්‍යානයෙ විසම්බන්ධකය ගමන් කරන්නෙ ඔවුන් හරහා. කේන්ද්‍රීය ලක්‍ෂ්‍යය වෙන්නෙ කාන්තාවො. කාන්තාවන් පිළිබඳ සුවිශේෂ යථාර්ථයක් තමයි කථාවෙන් පෙන්වන්නෙ,

බ්‍රැන්ඩන් වී- ඔබ හැඟීම් යටපත් කරනව වගේ පෙනෙන්නෙ ඇයි? ඇයි විශේෂයෙන් ම චිත්‍රපටියෙ අවසානෙ.

පතිරාජ- ඒකෙන් ඔවුන්ගෙ ජීවිතවල හිරවෙලා තියෙන ලක්‍ෂණ මතු කෙරෙනව.විශෙෂයෙන් ම පොන්මනි පවුලෙ අයගෙ. මේ මිනිස්සු ඉන්නෙ එකට. ඒත් එක්ක ම වෙන් විමකුත් තියෙනව.ඔවුන් දරුණු විධියට සමාජෙන් දූරස්ථ වෙලා. ඔවුන්ගෙ උසස් කුලවත් බවයි. ඒත් එක්කම කඩාවැටෙන ආර්ථික තත්වයයි. ඔවුන් තමන්ගෙම අගතිගාමිකම් බැඳීම් හා සීමාවන් අතර හිරවෙලා.

බ්‍රැන්ඩන් වී-  ශ්‍රී ලංකා සිනමාවෙ දැන් තත්වය?

පතිරාජ-  ඉතාමත් සරුසාරයි. අශෝක හඳගම හා ප්‍රසන්න විතානගේ වගේ අය තුන්වැනි පරම්පරාව නියෝජනය කරනව කියල කියන්න පුලුවන්. ඔවුන් නිර්භීතයි. නිර්මාණාත්මක යි. ඒවගේ ම පුදුම ප්‍රතිභා ශක්තියකින් යුක්තයි. ඒත් අපි ඔක්කොම මුදල් ප්‍රශ්නෙන් පෙළෙනව. අපේ චිත්‍රපටි මොනවගේ වෙයි ද කියන්න බැහැ. ඒ මොකද කිසිම විදියකට සල්ලි නැත්නම් ඒකෙන් කියැවෙන්නේ ඔබට මොනව කරන්නද කියල හිතාගන්න බැරිවෙන එක. ඔබට අලුත් චිත්‍රපටියක් ගැන කල්පනා කරන්නවත් බැහැ.පහුගිය අවුරුද්දෙ ජාතික චිත්‍රපටි මණ්ඩලය චිත්‍රපටි 40 කට සල්ලි දුන්නා. ඒත් මේ අවුරුද්දෙ ඒ ගොල්ල කියනව ‘නෑ, අපට සල්ලි නැහැ. වියදම් කරපු සල්ලි අපට පියවගන්න බැරි වුණා. එතකොට ස්වාධීන නිර්මාණකරුවන්ට ආධාර කරන්නේ කවුද? රජයට බැරිනම් චිත්‍රපටි සඳහා මුදල් වැය කරන්න  එතකොට මේ තරුණ නිර්මාණකරුවන්ට කව්ද පිහිට වෙන්නෙ? මේ නිසා බලාපොරොත්තු තියාගන්න බැහැ.

බ්‍රැන්ඩන් වී- ඔබ කියන්නෙ රජය සංස්කෘතිය අගේ කරන්නෙ නැහැ කියලද?


පතිරාජ- රජය සංස්කෘතිය ගැන හිතන්නේ අපි හිතන විධියට නොවෙයි. මට හිතෙන්නෙ තත්වය ඉක්මණින් ම තවත් නරක් වී ගෙන යනව, ප්‍රධානම දේ තමයි මේ ජාතිවාදි සටන.  මේක දැන් දශක කීපයක් ම තිබුණ. මං හිතන්නෙ රජයට තමන්ගෙ පැවැත්මට අවශ්‍යය තරම්වත් සල්ලි නැහැ කියලයි.  බඩුමිල දිනපතා වේගෙන් ඉහළ යනව. මිනිසුන්ට කන්න බොන්නවත් සල්ලි නැහැ. ඒ නිසා මට හිතෙන්නෙ සංස්කෘතික කටයුතුවලට වියදම් කරන්න එයාලට සල්ලි නැහැ. අනිත් එක තමයි අද චිත්‍රපටියක් නිපදවන්න යන වියදම හරිම වැඩියි.  එකම චිත්‍රපයටිකටවත් බැහැ මුලු වියදම පියව ගන්න. තත්වය එහෙම නම් කෙනෙක් ලොකු කරදරේක වැටෙන්නෙ.

බ්‍රැන්ඩන් වී- දේශීය වශයෙන් නිෂ්පාදනය වන චිත්‍රපටි ගැන ප්‍රෙක්‍ෂ්කයින්ගෙ බලාපොරොත්තුව කොහොම ද?

පතිරාජ ඒ තරං නැහැ.  ඒත් ඒක හරිම තරඟකාරියි. ඒ මොකද පසුගිය දශක දෙකක කාලය තුළ සමාජෙ ගොඩක් වෙනස් වෙලා.  මේකෙන් කලාවෙ, සංස්කෘතියෙ දියුණුවක් නූනත් වෙනත් සමාජීය වෙනස්කම් සිදු වුණා. 1971 කැරැල්ලක් ඇතිවුණා, මිනිස්සු ගෙවල්වලින් එළියට යන්න පවා බිය වුණ කාලයක් තිබුණා.  ඒකාලෙ චිත්‍රපටිය කිව්වෙ පවුලෙ විනෝදාංශයක්. ඒක දැන් මේ ආර්ථික පරිහානියත් එක්ක මුලු පවුලට ම චිත්‍රපටියක් බලන්න යන්න බැහැ. මොකද ඒකට මුදල් ගොඩක් ඕනැ වෙනව-ඊළඟට1983 කාලෙ- දෙමළ විරෝධි කලබල ඇතිවුණා ම වෙනත් උනන්දු පක්‍ෂවල අය මෙහෙයවපු සිංහල රස්තියාදුකාරයො  රජයේ බලවත් කණ්ඩායම් ද ඇතුල්ව මුලු රටේ සිනමාහල් 50 කට වැඩි ගණනකට ගිනි තිබ්බ යුද්ධ කාලෙ  යාපනේත් උතුරු අර්ධද්වීපයේත් සිනමා හල් විනාශ කෙරුණ ඉතින් දැන් අපට ඉතා සීමිත සිනමාහල් ගණනක් තියෙන්නෙ. ඒව ප්‍රමාණවත් නැහැ. ශ්‍රී ලංකාව තුළ සිනමාවේ ඒ තරම් ප්‍රගමනයක් නැහැ.


බ්‍රැන්ඩන් වී-  ඔබ දැන් විස්තර කළ තත්වේ දැනට නිෂ්පාදනයවන ඒවයේ අන්තර්ගතය එක්ක ප්‍රතිවිරෝධියි නේද? ‘තනිතටුවෙන් පියාඹන්න‘ (2002) දර්ශනේ අවසානෙ ප්‍රශ්න පිළිතුරු වෙලාවෙ අශෝක හඳගම කිව්වෙ ඔහුගේ චිත්‍රපටියට ප්‍රෙක්‍ෂකයො උනුසුම් ප්‍රතිචාර දැක්වුවා කියලයි. එක්තරා ජන කොටසක් කොන්කිරීම පිළිබඳ කථා කිරීම එක අතකින් නිර්භීත දෙයක්. සමකාලීන සිංහල සිනමා අධ්‍යක්‍ෂවරුන් ඒවගේ තේමාවන් යොදාගන්නව ද? 

පතිරාජ- ඔව්. ඇත්තට ම මේවගේ කොන්කිරීම් ගැන ඔවුන් හරිම සංවේදියි. මිනිස්සු ඒව ආදරෙන් භාරගන්නව. ඒත් එක්කම විරුද්ධ වීම් විශාල වශයෙන් තියෙනව. එක් විදියක ප්‍රති ප්‍රහාරයක්.  ඒවගේ ම මිනිස්සු සදාචාර ආකල්පයකුත් දරනව. අශෝකගෙ චිත්‍රපටියට ඒ කියපු විදියෙ සදාචාරවාදීන්ගේ එරෙහි වීමක් සිද්ධ වුණා. ඊට විරුද්ධව නැගුණ ප්‍රතිවිරෝධතාව ගැන නොකිවත්, ඒත් මිනිස්සු ඒ චිත්‍රපටිය හොඳින් බාර ගත්ත. සෙනග පිරුණ ශාලාවල ඒක පෙන්නුව.

බ්‍රැන්ඩන් වී-  එතකොට ඔබේ අනාගතය?

පතිරාජ-  අධ්‍යක්‍ෂ කෙනෙක් විදියට ආපහු හැරිල බලනකොට මට ම පුදුමයි මම මේ තරම් කාලයක් ජීවත්වුණේ කොහොම ද කියල. ෆිල්ම්ස් වලින් මම එච්චර හම්බ කළේ නැහැ. ඒ වුණත් පහුගිය අවුරුදු 35 ක කාලය තිස්සෙ මට විශ්වවිද්‍යලයේ මගේ රැකියාව තිබුණ. ඒකෙන් තමයි මම ජීවත්වුණෙ ඒ වුණත් චිත්‍රපටි අධ්‍යක්‍ෂණය ගැන නම් මට ස්ථිරව යමක් කියන්න බැහැ. මට මුල ඉඳන්ම ඔය කල්පනාව තිබුණ.  මගේ පළමුවැනි නිර්මාණය අහස් ගව්වෙන් ආදායමක් ලැබුණෙම නැහැ. මගේ දෙවැනි චිත්‍රපටිය පටන්ගන්න නිෂ්පාදකයෙක් ලැබෙන තුරු මට අවුරුදු දෙකක් ම බලන් ඉන්නවුණා, ඊට පස්සෙ ආයෙත් බලන් ඉන්න වුණා. මගේ අධ්‍යක්‍ෂක කාලෙ තුළ කවදාවත් එකදිගට ගලා ඒමක් තිබුණෙ නැහැ.

බ්‍රැන්ඩන් වී- ඔබේ චිත්‍රපටිවල ප්‍රතිසංස්කරණය කරපු පිටපත් කවදා ලැබෙයි ද? එතකොට ඒ වගේ පිටරටවල උළෙලවලට ගෙනයන්න පූලුවන්.

පතිරාජ-  ඔව්. ආසියානු චිත්‍රපටි කේන්ද්‍රයේ ඇෂ්ලි රත්න විභූෂණ මේ කටයුත්තටත් මුල්වුණේ. එයාට අවශ්‍යයි මේ චිත්‍රපටි සංරක්‍ෂණය කරන්න. ඔහු දැන් උත්සාහ කරමින් ඉන්නව ඒව ප්‍රතිසංස්කරණය කරන්න අවශ්‍ය මුදල් සොයාගන්න.

බ්‍රැන්ඩන් වී-  කවදා හරි ඔබේ චිත්‍රපටි DVD වලට නැගේවි ද? 

පතිරාජ- මම එහෙම හිතනව- ඒ මොකද සිංගප්පූරුවෙ මේ ජාත්‍යන්තර ප්‍රත්‍යාවලෝකන උළෙලට ගෙනෙන තුරු මගේ චිත්‍රපටි ජාත්‍යන්තරයට විවෘත වෙලා තිබුණෙ නැහැ. මම 1994 UCLA වලට  ලොස් ඇන්ජලීස් ගියා ම ‘පාරදිගේ” පෙන්නුව. එහේ ප්‍රේක්‍ෂකයො ඒකෙ ශෛලිය ගැන පුදුම වුණා. චිත්‍රපටි හා ටෙලිවිෂන් දර්ශන පිළිබඳ මහාචාර්යවරයා මගෙන් මෙහෙම ඇහුව: ‘මේක හදපු දවස්වලම ඇයි මේ චිත්‍රපටිය එව්වෙ නැත්තෙ?  සරල ම උත්තරේ මම දුන්න. ‘උපසිරැසි දාන්න මට සල්ලි තිබුණෙ නැහැ’.  අනිත් එක තමයි මට කිසිම විධියක ජාත්‍යන්තර සම්බන්ධතා නො තිබීම-  ඒ හේතු නිසා තමයි මගේ චිත්‍රපටිවලට නිසි ජාත්‍යන්තර අවධානයක් ලැබුණෙ නැත්තෙ. අවාසනාවකට වගේ මේ ප්‍රත්‍යාවලෝකන ප්‍රද්ර්ශනයටත් චිත්‍රපටි ගෙනාවෙ beta  ආකෘතියෙන් නිසා ඒ පිටපත් නරක තත්වයේ ඒව වුණා- මම ළග කිසිම චිත්‍රපටියක අනුපිටපත් තිබුණෙ නැහැ.

බ්‍රැන්ඩන් වී-  ඔබට යළිත් මගේ සුභ පැතුම්. බොහොම ස්තුතියි.

පතිරාජ- බොහොම ස්තුතියි.

Picture
පරිවර්තනය: මහාචාර්ය ඩෙස්මන්ඩ් මල්ලිකාරච්චි

    ඔබගේ අදහස් අපට එවන්න.

    Max file size: 20MB
Submit
Back To Home
Powered by Create your own unique website with customizable templates.
  • ප්‍රවර්ග
    • සාහිත්‍ය කලා
    • දර්ශනවාදය
    • වෙනත්
  • ලේඛනාගාරය
  • ලේඛක සෙවීම්
  • Bookcrow
  • Contact Us
  • සංස්කාරක සටහන්