හෙට දින සංස්කෘතිය උදෙසා විවෘත වේදිකාව​...

kinihiraya.com
  • ප්‍රවර්ග
    • සාහිත්‍ය කලා
    • දර්ශනවාදය
    • වෙනත්
  • ලේඛනාගාරය
  • ලේඛක සෙවීම්
  • Bookcrow
  • Contact Us
  • සංස්කාරක සටහන්

කීර්ති වැලිසරගේ ලියූ දිගු තත්පර කෙටිකතා සංග්‍රහය පිළිබඳ විචාරයක්

​ජස්ටින් පියරත්න - Justin Pyaratne
2020 සැප්තැම්බර් 20
Picture
I

කීර්ති වැලිසරගේ ප්‍රකට කෙටිකතාකරුවෙකි; නවකතාකරුවෙකි. 1994 දී ගස් කට්ටිය නම් කෙටිකතා සංග්‍රහය ලියමින් ආරම්භ කළ ඔහුගේ කෙටිකතා නිර්මාණාවලිය අඛණ්ඩ ව ගලා යෑම අපට දක්නට ලැබේ. “දිගු තත්පර” ඔහු ලියූ දස වෙනි කෙටිකතා සංග්‍රහය යි. කීර්තිගේ නිර්මාණ අතරෙහි උසස් කෙටිකතා ගණනාවක් වෙයි. ඒවා පාඨක විචාරක පැසසුමට නොමඳ ව ලක් වී තිබේ. ඔහු ලංකාවේ සිටින කෙටිකතාකරුවන් අතර ඉදිරි පෙළෙහි සිටින බව ගැන අපට විවාදයක් නැත.
 
කීර්තිගේ සෑම කෙටිකතා සංග්‍රහයක ම පාහේ එක්තරා සුවිශේෂ ලක්ෂණයක් පවතී. එය නම් ඒ සෑම කෘතියක ම අන්තර්ගත කතා සියල්ල ගුණාත්මක වශයෙන් යම් පොදු මට්ටමක පවත්වා ගෙන යාමට ඔහු දක්වන අපොහොසත්කම යි. ඔහුගේ කතාවල ගුණාත්මක භාවය අතිශයින් විචලනය වෙයි. ඕනෑ ම කෙටිකතා සංග්‍රහයක සෑම කතාවක් ම විශිෂ්ට කෙටිකතාවක් වන්නේ නැති බව සැබෑ ය. ඒවා ගුණාත්මක මට්ටමින් ඉහළ පහළ යෑම ස්වාභාවික ය. එහෙත් සාමාන්‍යයෙන් එසේ වන්නේ පොදු මට්ටමක් වටා ය. ගුණදාස අමරසේකරගේ “ජීවන සුවඳ” හෝ “කතා පහක්” සලකන්න. නැත් නම් එරික් ඉලයප්ආරච්චිගේ “මල් නැති උයන” හෝ “වඩදිය” වැනි මුල්කාලීන කෙටිකතා සංග්‍රහයක් සලකන්න. ඕනෑ ම රසිකයකුට මා කියන කාරණය නිතැතින් ම පැහැදිලි වනු ඇත. ඒ කතා යම් තිරස් ගුණාත්මක රේඛාවක් වටා මඳ වශයෙනි දෝලනය වන්නේ. ඒ කාලය තුළ අමරසේකර හෝ ඉලයප්ආරච්චි අතින් තවත් කොතෙකුත් කෙටිකතා නිර්මාණය වන්නට ඇත. එහෙත් ඔවුන් ඒ සෑම කතාවක් ම ඔවුන්ගේ නිර්මාණ සංග්‍රහ තුළට ඇතුළත් කළ බවට පෙනෙන ලකුණු නැත.

කතුවරයකු තමන් එලඹි ගුණාත්මක මට්ටම රැක ගැනීමටත් එම මට්ටම අතික්‍රමණය කිරීමටත් වෑයම් කිරීම කෙරෙහි සාවධානය වීමේ ඵලයකි එය. කීර්ති තුළ මේ පිළිබඳ අවධානය අඩු ය. එහෙයින් ඔහු ඉතා රසවත් ව්‍යංජන අතරට පිළුණු හෝ නීරස ව්‍යංජන ද අපට බෙදා දෙයි. කීර්ති වැලිසරගේ වැනි ප්‍රවීණයකුගෙන් රසිකයා අපේක්ෂා කරන්නේ ලියන ලියන කෙටිකතා ඇතුළු කර පළ කරන කෙටිකතා සංග්‍රහ නො ව ඔහුගේ තත්කාලීන වර්ධන මට්ටමට ගැළපෙන කතා පෙළක් අඩංගු පොතක් ය. පාඨකයාට සාධාරණයක් වන්නේ එවිට ය.

“දිගු තත්පර” වූකලි මේ සම්බන්ධයෙන් කීර්තිගේ වැඩි ම අනවධානයට පත් වූ කෙටිකතා සංග්‍රහය බව කිව යුතු ය. මෙය ඔහුගේ නිර්මාණ පෞරුෂයට කර ගත් ස්ව-පීඩාවක් ලෙස හඟිමි.

දැන් අපි “දිගු තත්පර” සංග්‍රහය වෙත හැරෙමු. එහි කෙටිකතා දහයක් අන්තර්ගත ය. මේ කතා දහය ම ඔප්පු කර සිටින එක වැදගත් කාරණයක් නම් කීර්තිට ඕනෑ ම දෙයක් ඉතා මත් ආකර්ෂණීය ලෙසින් රසික හදවත් පැහැර ගන්නා අයුරින් ලියන්නට පුළුවන් බව ය. ඒ සඳහා නිර්මාණකරුවකු වැඩිය යුතු නිරීක්ෂණ ශක්තියෙන් ඔහු අගතැන් පත් ය; ඉතා සුළු කරුණු පවා ඔහුගේ නිර්මාණාක්ෂියට හසු වේ; ඉතා සුළු ශබ්ද සහ කටහඬ පවා ඔහුගේ කනට වැටේ; ඒවා චමත්කාර ජනක ලෙස ලියා දැක්වීමෙහි ලා උචිත ඔහුට ම ආවේණික යෙදුම් සහ බස් වහරක් ඔහු සතු ව තිබේ. මේ සියල්ල මේ කෙටිකතාකරුවාගේ දීර්ඝ අභ්‍යාසයේ මාහැඟි ඵලයන් බවට සැක නැත. එම හැකියාව බොහෝ විට පොදුවේ කෘතියේ මට්ටම එසවීමේ ලා මහෝපකාරී වී තිබේ. එහෙත් ඇතැම් තැනක මෙම හැකියාව සීමා මායිම් පැන ගොස් කතා තේමාව පලුදු කොට අනර්ථකාරී බවක් කතාවලට එක් ව ඇති අයුරු ද පෙනේ.

ඍජු ව කීවොත් මට හිතෙන්නේ කීර්තිගේ අතීත විශිෂ්ට කතාවල මට්ටමෙන් ගත් කළ, “දිගු තත්පර” තුළ ඇත්තේ එක ම එක කෙටිකතාවක් පමණක් බව ය. ඒ එහි එන පළමු කෙටිකතාව වන “කහ එළිය” නම් කෙටිකතාව යි. එයට විෂය වී ඇත්තේ ජලය ගෙන යාමට උමඟක් සෑදීමේ යෝධ ව්‍යාපෘතියකි. එහි වැඩට එන්නකුගේ දෘෂ්ටි කෝණයෙනි කතාව කියනු ලබන්නේ. මේ කතාවේ සාර්ථකත්වය රඳා පවතින්නේ චීන ප්‍රාග්ධනයේ ආක්‍රමණය පිළිබඳ මහා තේමාව මත නො වේ. අතුරු තේමා මත ය. ඒ කථක සිතිවිලි ඔස්සේ කීර්ති වැලිසරගේ අපට වර්තමාන ධනේශ්වර නිෂ්පාදන රටාවේ හැටි ස්වභාවයත් සමකාලීන සමාජ විඥානයේ පවතින පරස්පර විරෝධී ස්වරූපයත් ඉතා හොඳින් චිත්‍රණය කිරීමට සමත් වීමෙනි.

කතාව ආරම්භ කරන්නේ ම “තාප්පෙ!” යන වදනෙනි. එය පාඨකයාගේ ඇස් අරවන පිවිසුමකි. අපට ඒ හරහා මුණ ගැසෙන්නේ යෝධ ප්‍රාග්ධනයේ ව්‍යසනකාරීත්වය නො වේ ද? එම තාප්පය හරියට අවබෝධ කරගත නොහැකි එකක් පමණක් නො ව පැවැත්ම සඳහා ඒ ගැන වැඩිමනත් දෙයක් නොහිතිය යුතු යැයි ස්වයං වාරණයක් ශ්‍රමිකයන් තුළ ඇති වන අයුරේ ප්‍රපංචයකි. තාප්පය පමණක් නොව ඒ හා බැඳුණු සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය ම වහංගු කෙරී ඇති අයුරු කීර්ති රසිකයා හමුවට ගෙන එන්නේ අතිශය විචිත්‍ර ආකාරයකිනි:

“අපි වැඩ කරන්නෙ මාස්ටර් ප්ලෑන් එකෙන් උප කොන්තරාත් බාර ගත්ත ඉංජිනේරු සමාගමකට. සියෝල් කන්ස්ට්‍රක්ෂන් ඉන්ටනැෂනල් කම්පනි එකට. ඒකත් මිලේනියම් ඉන්ජිනියරින් මහ සමාගම තරම් ම පැතිරිච්ච එකක් වෙන්න පුළුවන්. පැහැදිලි නෑ.”

“අනික් කිලෝ මීටර් දෙක පටන් ගන්න කොට ඊළඟ යුනිට් එක. තව යාඩ්, ඔෆීස්, ස්ටෝස් කොච්චරක් කොහෙ කොහෙ තියනව ද කියන්න, හිතන්න කාටවත් පුළුවන් කමක් නෑ.”

“බටහිරින් කෙළවර වෙන්නෙ වෙරළින්. නැගෙනහිරට කොහෙන් කෙළවර වෙන්න යනවද කියල හිතා ගන්න බෑ. A-ii පාරෙ මහ කපොල්ලක් සඳහන් වුණත් ඒක මේ ප්ලෑන් එකේ නම් නෙවෙයි, සෑහෙන දුරක් ගිහින් තියන වෙන ප්ලෑනක ඇති.”

මේ ශ්‍රමිකයන් මුහුණ දී සිටින්නේ මොන තරම් කොනක් පොටක් පාදාගත නොහැකි සංකීර්ණ නිෂ්පාදන ජාලයකට ද යන්න පාඨකයාට හොඳින් දැනෙන්නට වෙයි. ඊ ළඟට මේ ශ්‍රමිකයන් ඒ හමුවේ පක්ෂාඝාත වුණු පිරිසක් බවට පත් කෙරෙන අයුරු කෙටිකතාකරුවා නිරීක්ෂණය කරයි: කොම්පැණියේ පැරණි ශ්‍රමිකයකු වන රවි කථකයාට දුන් අවවාදයක් ගැන කථක සිතිවිලි මඟින් අපට දැන ගන්නට ලැබේ:

“හිතන්න එපා. හිතන්න ගියොත් තමයි අමාරුවෙ වැටෙන්නෙ.” , “මාත් ආපු හැටියෙ කෙළවරක් නැතුව හිතුවෙ ඒක. පස්සෙ ඒ වගේ ඕන නැති ප්‍රශ්න හිතේ මතු නොකර ගෙන ඉන්න පුරුදු වුණා....අපිට වගේ ම අනික් හැමෝටමත් හිතිල දැං අපි වගේ ම නොහිතා වැඩ. වැඩට ගෙවනවනෙ....”

මුදල් ආධිපත්‍යය දැරූ සමාජයක සමාජ විඥානයේ ඛාදනය සිදු වන හැටි කතුවරයා නිරූපණය කරන්නේ ඉතා සියුම් ලෙස ය. ඒ ඉසියුම් බව පහත දැක්වෙන වචන පෙළෙහි කෙතරම් සංකේන්ද්‍රිත ව තිබේ ද?

“අපි ඉන්න ඕන...අපිට දීල තියෙන ඩොට් එකේ. නැත්නං බෑ...පිස්සු වැටෙනව.”

ප්‍රාග්ධන හිමිකරුවන් කම්කරුවන් හා පීඩිතයන් එලෙස “ඩොට් එකේ” තබන්නට වෙර දැරුව ද, සමාජ විඥානය හරස් කොට චීන මහා ප්‍රාකාර ඉදි කරන්නට තැත් කළ ද ඊට යටත් නොවන සමාජ බලවේගවල පෙරට ඒම ද අපට මෙහි දී යම්තමින් වුව දැක ගන්නට ලැබේ. නොහිතා සිටිය යුතු බව සපථ කරමින් සිටි රවි අර්බුදයට වැටී කොම්පැණියෙන් අස් වී යාමත් උමඟ නිසා විපතට පත් මිනිසුන් උද්ඝෝෂණවලට පිවිසීමත් මඟින් මානව විමුක්ති කාමය දලු ලන සැටි කතාවෙන් ධ්වනිත කෙරේ. කථකයා තුළ ඉමහත් විපර්යාසයක් අපට දකින්නට නො ලැබුණ ද ඔහු තුළ නොයෙකුත් සැකසංකා ලියලනු අපට පෙනේ: “...නොබහින උණකිනුයි මමත් ඉන්නෙ කියල රවි දන්නෙ නෑ. අවුලක් වෙයි කියලා හිතාගෙන මම ඕන නැති ඉලවුවල් කතාවට නොගිහින් ඉන්නකොට දන්නෙම නැ ආයෙම කැරකිලා එතෙන්ට එනව... අපට වැඩක් නෑ කියල කතා නොකර ඉන්න ගිවිස ගත්තු දේවල් ම ආයෙ කතාවට නිමිති වෙනව.”

රවි අස් වී ආපසු ගෙදර යන මොහොතේ කථකයාගේ සිතට නැඟෙන්නේ මෙවැනි දෙයකි: “රවි- අපි මේක බාර ගමු, මට ඒ වගේ දෙයක් කියන්න ඕනකම තිබුණත් මට ඒ වචන පිට කර ගැනීම අසීරු වුණා.” සිය පවුල් සබඳතාවල පීඩනය යටතේ පවතින තත්වයට කරබාගෙන යටත් ව සිටිය ද ඔහුගේ හෘදය සාක්ෂ්‍යයෙහි පවතින ගැටුම අපට තේරුම් ගැනීමට කතුවරයා යම්තමින් ඉඩ හසර පාදා තිබේ. කතාවේ තේමාවට ඒ හැටි ආලෝකයක් නොඑන, කථකයා චිත්‍රපට බලන්නට යාමත් දැන් චිත්‍රපට ශාලා වැසී ඇති අයුරුත් තරමක කෘත්‍රිම ස්වභාවයෙන් පටවා ඇති නූතන තාක්ෂණයේ ආගමනය පිළිබඳ අවස්ථාත් ගැන සිතෙන විට, කථකයාගේ සමාජ ආර්ථික මූලයන් එළිමහනට ගැනීම කෙරෙහි කතුවරයාගේ අවධානය මඳ වූ බවක් පාඨකයාට දැනේ.
          

Picture
Keerthi Welisarage
එහෙත් මේ කතාවෙහි අවසානයේ කේන්ද්‍රීය කරුණ ලෙසින් කීර්ති ගෙන එන චීන ප්‍රාග්ධනයේ ආක්‍රමණය පිළිබඳ නිරූපණය ගැටලු සහගත ය. මන්ද චීන ශ්‍රමිකයකු වන ෂියෑංට චීන ප්‍රාග්ධනයේ සංකේතයක් විය නොහැකි බැවිනි. කථකයා සිහිනෙන් හෝ සිය මනෝ ලෝකයෙහි දී හෝ යන ගමනේ දී මෙසේ දකියි:

“හඳ පානක් වගේ දුර කොහෙන් එන ආලෝකයක් ද හිතා ගන්න බැරි ඒ මන්දාලෝකෙ ඈතට ඇවිදගෙන යන කොට චීන මහා ප්‍රාකාරෙ විරාජමාන වුණා....ඒත් ඒ එක්කමයි මං දැක්කෙ ෂියෑං ! ෂියෑං යෝධයෙක් වගේ උසට මහතට හිටියා මහ තාප්පෙ උඩ වාඩිවෙලා. කකුල් දෙක පහළට දාගෙන.... ෂියෑං ඉන්නෙ බාච්චු අළුපාට වැඩ ඇඳුමෙන් ම, කහ පාට...දෙගුණයක ගැරුම් වට්ටියක් තරම් හෙල්මට් එක ඔළුවෙ...”

“...ඒත් එක්ක ම ෂියෑං නැඟිට්ට. මිනිහගෙ පුරුෂ ලිංගෙ ඇත් හොඬක් වගේ විහිදිලා එසවෙන්න පටන් ගන්නව මම දැක්කෙ එතකොට. මං හැරිල දුවන්න ගත්ත....”


මේ කතාවේ එන රවි පෙළෙන නෂ්ටකාමයත් සමඟ එකට ගත් කල ෂියෑංගේ ලිංගය ඇත් හොඬක් ලෙස පෙනී යාමෙන් යථාර්ථ ඥානනයට බාධා පැමිණෙයි. ෂියෑං වූකලි චීන ප්‍රාග්ධනයේ නියෝජිතයෙක් නො වේ. ඔහු ද රවි හා කථකයා මෙන් ම ප්‍රාග්ධනයේ ගොදුරකි. කම්කරුවෙකි. ඇතැම් විට, චීන ධනවාදයේ ම්ලේච්ඡ සූරාකෑම යටතේ රවිලාටත් වඩා දරුණු පීඩාවට හසු වූවෙකි. කතුවරයාගේ මේ දුර්වල සංකේතකරණයෙන් සිදු වන්නේ ලාංකික කම්කරුවන්ගේ හතුරන් චීන කම්කරුවන් ලෙස පින්තාරු කිරීම ය. ප්‍රාග්ධනය (දේශීය වේවා විදේශීය වේවා) හමුවේ මේ සියලු කම්කරුවෝ වැටුප් වහල්ලු වෙති යි යන සම්‍යක් ඥානයට දොරටු ඇහිරී ඇත්තේ එපරිද්දෙන් ය. වඩාත් දේශපාලනික භාෂාවෙන් කිව හොත් භූගෝලීය ධනවාදයට එරෙහි ව ජාත්‍යන්තර කම්කරු පන්තියේ එකමුතුවට වළ කැපීමකි. දැනට මත් විශේෂයෙන් ලාංකික මධ්‍යම පන්තිය තුළ පැළපදියම් ව ඇති පටු ජාතිකවාදී දෘෂ්ටීන් සවිබල ගැන්වීමකි. එහෙයින් කහ එළිය කෙටිකතාව කේන්ද්‍රීය තේමාවේ දී අසාර්ථක වුවත් (එය බරපතළ ය) කලින් කී පරිදි අතුරු තේමාවන් හී දී ඉහළ සාර්ථකත්වයක් පෙන්නුම් කළ කෙටිකතාවක් ලෙස මම දකිමි.

ක්‍රිස්ටෝපර් හා විනෝගේ කතාව පිටු 24ක් පුරා දිව යන කතාවකි. එය ක්‍රිස්ටෝපර් නම් ප්‍රදර්ශක පිඹුරකු කෙරෙහි කාමශක්ත වූ විනෝ නම් තරුණියකගේ මනෝ භාවයන් හෙළි කරනු වස් රචිත යි. ප්‍රදර්ශනයේ දී දකින පිඹුරා අත පත ගෑ ඇය කවුරු වත් අහන්නෙ නැති ප්‍රශ්නයක් නඟයි: “මෙයා පිරිමි නේ ද?” පිඹුරාගේ පිරිමි බව සහතික කර ගත් පසු විනෝගේ ලිංගික ආශය වැඩෙන සැටිත් අවසානයේ එය මනෝ ව්‍යාධියක් තරමට උත්සන්න වෙන සැටිත් රවි නම් ප්‍රදර්ශනයේ හිමිකාර තරුණයාගේ දෘෂ්ටියෙන් අප වෙත ගෙන ඒමට කීර්ති සිය ලිවීමේ කුසලතාව මෙහෙයවයි. පිඹුරා ගෙලේ වෙළා ගනිද්දී “විනෝගේ උරහිස් ඉස්සෙන හැටි, ඇස් පියවෙන හැටි, මූණ අමුතු වෙන හැටි” ආදියෙන් ඈ විඳින ලිංගික තෘප්තියේ තරම තරුණයාටත් ඒ හරහා අපටත් පෙනේ. ඉන් පසු නිරුවත් කකුළේ ඌ වෙළා ගන්නට ඈට අවශ්‍ය වේ. ඒ සඳහා ඇය රවිගේ නිවසට එයි. ඈ එහි දී ඇඳුම් උනා පෑන්ටියෙන් පමණක් පෙනී සිටින්නේ කිසිදු චකිතයකින් තොර ව යි. ඈ පිඹුරා කලවා මුල වෙන තුරු වෙළා ගෙන සම්භෝග සුව කෙඳිරිළි නඟන අයුරු මෙහි නිරූපිත යි. අවසානයේ දිනක රවි දකින්නේ පිඹුරා ඇගේ මුළු මුහුණ ම ගෙල දක්වා ගිල ගෙන උරහිස්වලින් ඔබ්බට ගිල ගැනීමට බැරිව සිටින ආකාරය යි.

 කීර්ති සිය අත්දැකීම් සහ පරිකල්පන ශක්තිය මෙහෙයවමින් සිත් ඇදගන්නාසුලු ලෙස කතාව ගොඩනඟා ඇතැයි විචාරකයකු කියා තිබුණි. එය සත්‍ය ය. මේ කතාව කියවන පාඨක සිතෙහි ලිංගික ආශය දැල්වේ. සංයමයකින් වචන හසුරුවා ඇති බව බැලූ බැල්මට පෙනුන ද ඒ රුවා ඇති වදන් ඔස්සේ මනෝලෝකයට යමින් සිත් සේ සිය ආශාවන් සංතෘප්ත කරගත හැකි ය. කතාව පුරා රවි නම් තරුණයා බලෙන් යටපත් කර ගත් ආශාව [“ඇගේ පිරුණු දෙකලවා දිහා නොබල ක්‍රිස්ටෝපර් ගේන්න මම හැරුණෙ රොබෝවෙක් වගේ. හිතේ කැලඹීම නොපෙන්නා ක්‍රිස්ටෝපර් අරන් ඇවිත් වැඩේ කරල ඉක්මනින් ඈ පිටත් කරල යවන්න මට ඕන වුණා. රස්සාව. රවි ඒක අමතක කරන්න එපා.”] වචන හරහා පාඨකයා මතට මුදා හැරේ. එමඟින් පාඨක ආශාව සංතර්පණය කෙරේ. එහෙත් කෙටිකතාවකින් ඉල්ලා සිටින්නේ එබඳු තාවකාලික හැඟීම් සන්තර්පණයක් ද? මෙම කතාව අර්ථවත් වීමට නම්, විනෝගේ මෙම මානසිකත්වයට හේතුභූත වුණු සමාජ සංස්කෘතික මූලයන් ගැඹුරින් එළිමහනට ගැනීමට කතුවරයා පරිශ්‍රමයක් දැරිය යුතු ය. මේ කෙටිකතාවේ එවැනි පරිශ්‍රමයක් නැත. කතාවේ දී ඊට යම්තම් හෝ ඉඟියක් ලැබෙන්නේ ඇය අවුරුදු විස්සේ දී මිහින්තලේ තෙල් බෙහෙත්කරුවකු ළඟ සිටි පිඹුරකු දැක ගල් ගැසුණු බවත් ඒ වෙලාවේ බාප්පයි අම්මයි ඇය ඇදගෙන ගොස් වාහනේකට දා ගත් බවත් කියැවෙන වැකි තුන හතරක් තුළ ය. එතන දී රවි නම් කථකයා මෙසේ කියයි: “ඒ සිද්ධිය විස්තර කරද්දි පිළිකුලක් සමඟ ද්වේෂයක් ඇගේ ඇස්වලින් බේරුණා! ඊට පස්සෙ ඈ කිවුවෙ වාහන අනතුරකින් වෙච්ච බාප්පගෙ මරණෙ ගැන. බාප්පට එහෙම වෙන්න ඕන වගේ හැඟීමක් ඇගේ වචනවල, මුහුණෙ මතුවෙච්ච පෙනුමේ සටහන් වුණත් ඒවායේ අක්මුල් සෙවීම මට අයත් රාජකාරියක් නොවන බව මම තේරුම් ගත්තා.” බාප්පා කෙරෙහි වූ ද්වේෂයත් පිරිමි පිඹුරකු කෙරෙහි ම ඇය ලිංගික ව බන්ධනගත වීමත් අතර සම්බන්ධය පිහිටුවීමට යන හිතන මතන පාඨකයකු මේ වැකි තුන හතර ඔස්සේ යමින් වැදගැම්මකට නැති දාර්ශනික ප්‍රහේළිකාවක පැටලෙනු ඇත. එවැනි පැටලීමක විචිත්‍ර අදම්‍යතාවක් දකින අයගේ ද අද දින හිඟයක් නැති හෙයින් කීර්තිට ඔවුන්ගෙන් පැසසුම් ලැබිය හැකි ය. එහෙත් අපේ අදහස නම් සමස්ත කතාව තුළ කතුවරයා විනෝ නමැති තරුණියගේ මනෝවෘත්තියට තුඩු දුන් සමාජීය හේතු කාරණා ගවේෂණය කිරීමට අසමර්ථ වී ඇති බව ය. එහෙයින්, මේ කෙටිකතාව කිසිවකුගේ ලිංගික චර්යාවක් දෙස යතුරු හිලකින් බලා සිටීමෙන් ලබන තෘප්තියකට එහා දෙයක් පාඨකයාට පිරිනමන්නේ නැත.

“මම ගෙදර ගිහිල්ල ම” සහ “හෝටන්” යන කෙටිකතා දෙක වර්තමාන ගොරතර සමාජ වාතාවරණය තුළ ගොදුරු බවට පත් වන තරුණ තරුණියන්ගේ ඛේදවාචකය වස්තු විෂය කර ගනී. මින් පළමු කතාවේ එන සතී නම් තරුණියත් දෙවැන්නේ එන සචිනි නම් තරුණියත් අවසානයේ දිවි නසා ගනිති.

“මම ගෙදර ගිහිල්ල ම” කතාව දිග හැරෙන්නේ බොහෝ විට සතීගේ මරණ පරීක්ෂණයේ දී යමකු අසන ප්‍රශ්නවලට ඇය සමඟ එකට ජීවත් වූ තරුණයා දෙන පිළිතුරු ඛණ්ඩ වශයෙනි. එම ආකෘතිය ඔවුන් දෙදෙනා අතර පැවති සම්බන්ධයේ වැසුණු ස්වභාවය අනාවරණය කිරීමට උදව්කාරක වී තිබේ. සති අන්තවල දෙදෙනා ම ඔවුන්ගේ ගෙවල යති. සතියේ දිනවල ඔවුහු එකට වෙසෙති. ඔවුන් මේ ජීවිතය ගෙවන්නේ ගෙවලට හැංගිහොරා ය. තමන් විවාහක බව බෝඩිමේ ඇන්ටිට කියයි. ඔවුන් අතර යම් යම් ගැටුම් ඇති වූ බවට ඉඟි තරුණයාගේ පිළිතුරේ සැඟ වී ඇතැයි අපට සිතේ. දරුවකු සිය කුස පිළිසිඳ ගත් බව හෙළි වූ දා තරුණිය වස බී දිවි තොර කර ගනී. මේ කතාව ඉතා කෙටි ය. එය මේ තරුණ ජීවිත මුහුණ දී ඇති සංකීර්ණ ජීවන ප්‍රශ්නවල කටු සටහනක් පමණක් ගෙන දෙයි. මේ කදිම අනුභූතිය පසු පස හඹා ගොස් ඔවුන් මුහුණ දුන් සමාජ පරස්පර විරෝධයන්ගේ පත්ල විමසීමේ කලාත්මක ප්‍රයත්නයේ මදියාව මෙහි දී කැපී පෙනේ. මේ ඛේදජනක ඉරණමට පාත්‍ර වන තරුණයාත් තරුණියත් පිළිබඳ සහකම්පනයක් පාඨකයා තුළ ඇති කිරීමටත් එැවැනි ඉරණමකට ඔවුන් පාත්‍ර කළ මේ සමාජ සංවිධානයේ පීඩක යථාර්ථය පිළිබඳ අවබෝධයකින් පාඨක විඥානය ඔසොවාලීමටත් කතුවරයා අසමත් වෙන්නේ එහි  ප්‍රතිඵලයක් වශයෙනි.

“හෝටන්” කතාව “මම ගෙදර ගිහිල්ල ම” කතාවට සාපේක්ෂ ව දිග ය. එහෙත් ඒ අවකාශය කතුවරයා පාවිච්චි කර ඇත්තේ හෝටන් තැන්නෙන් පහළට පැන දිවි නසා ගන්නා සචිනිගේ ඇතුළාන්තයත් ඇගේ හැඟීම් ආදියත් ගවේෂණය කරන්නට හෝ එවැනි අතෝරයකට මේ තරුණිය ඇද හෙළුෑ ආර්ථික, සමාජ හා සංස්කෘතික මූලයන් පාදා ගැනීමට හෝ නො වේ. එහෙයින් මේ කතාව කතුවරයාගේ ලිවීමේ හපන්කම මතු කර දැක්වීමට, ජී. බී. සේනානායක කිවූ පරිදි පාඨකයාගේ ගෙලෙන් අල්ලා ගෙන කතාව දිගේ ගෙන යාමට තරම් කතුවරයා සිය නිර්මාණ තාක්ෂණය දියුණු කරගෙන ඇති බව විදහා පෑමට සීමා වී තිබේ.

ඊළඟට අපි මේ කෙටිකතා සංග්‍රහයට නම් තැබීමට මුල් වුණු දිගු තත්පර කෙටිකතාව අවධානයට ලක් කරමු. මෙයට තේමාව වන්නේ බිරිඳ මිය ගොස්, පුතා විදේශයක වෙසෙන දිසාසේකරගේ ඒකාකාරී, වෙහෙසකර හා බෙලහීන වූ ජීවිතයෙන් බිඳකි. ඔබ කාටත් වැටහෙන පරිදි මෙය සුලභ ලෙස ලියැවුණු තේමාවකි. එහි අලුත් යමක් වේ නම් ඒ පිටරට වෙසෙන මිනිබිරියට වෙසක් කූඩුවක් යැවීමේ සිතිවිල්ල සමඟ ඔහුගේ ඒකතානමය ජීවිතයට නව පණක් ගෙන එන අවස්ථාව ය. ඔහු ඒ සඳහා දරන වෑයම අප තුළ සතුටක් දල්වයි. මානව අභිලාෂයන් පිළිබඳ යම් සාරදර්ශී හැඟීමකින් අප සිත් ඇළලේ. එහෙත් ඔහුගේ වෑයම ඉක්මනින් ම ව්‍යර්ථ වෙයි. ඔහුගේ අපේක්ෂා බිඳ වැටේ. වෙසක් කූඩු රාමු සැකිලි සොයා යන ගමන කෙළවර වන්නේ ඒවා නොලැබීමෙන් පමණක් නො ව, ඔහුට කලන්තය සෑදීමෙනි. කතාව නිම වන්නේ ජීවිතයේ ඒකාකාරී බව ඉස්මතු කරමින් බිත්ති ඔරලෝසුවේ තත්පර කටුවේ ගමන දෙස දිසාසේකරගේ දෙනෙත් යොමු කරවමිනි. “එය රිද්මය නොකඩවා මඳ පසු පහරකින් හා දිගු පෙර පහරකින් යුතුව තත්පරයෙන් තත්පරය වෘත්තය සම්පූර්ණ කරයි. යළි අරඹයි.”

ග්රෑන්ඩ් ෆිනාලේ කෙටිකතාවට ද තේමා වී ඇත්තේ සුලභ තේමාවකි. රියැලිටි ෂෝ ලෙස හැඳින්වෙන රූපවාහිනී වැඩසටහන්වලින් කෙරෙන සංස්කෘතික විනාශය එම තේමාව යි. කීර්තිගේ බොහෝ කතාවල අපට දක්නට ලැබුණු දෘශ්‍යමානය තලු මර මර විස්තර කිරීම මෙහි දී වඩාත් කැපී පෙනෙයි. වෙනසකට ඇත්තේ කතාව අවසානයේ අධියථාර්ථවාදී රීතියකින් මෙවැනි වැඩසටහන් මඟින් වන පුළුල් සංස්කෘතික හානිය වේදිකාවෙන් ආ ලේ දහරක් ගම් නියම්ගම් හරහා යන අයුරු දැක්වීමෙන් නිරූපණය කරන්නට උත්සාහ කිරීම ය. එය මාකේස්ගේ බාල අනුකරණයකි. ඉන් කතාවේ කලාත්මක භාවයට හානි පැමිණෙයි. එසේ වන්නේ මේ ලේ ප්‍රවාහය සමඟ බලහත්කාරයෙන් පණිවුඩයක් ගලා යාමට සලස්වා ඇති බැවිනි.

මෙහි ඇති ඉතිරි කෙටිකතා වන “වීදුරු බිඳුණු ඇස්”, “අවුලක් නෑ”, “යෑමට පෙර” හා “මතක” ගැන අප විචාරය නොකරන්නේ කීර්ති බඳු ප්‍රවීණයකු අතින් අප එවැනි මට්ටමේ කතා අපේක්ෂා නොකරන බැවිනි.

II

“දිගු තත්පර” අපේ ප්‍රවීණ නිර්මාණකරුවකු වන කීර්ති වැලිසරගේ ඉදිරිගාමී පියවරක් ය යන ව්‍යාජ ප්‍රකාශනය කර ඔහු අවමංගත කිරීම සාපරාධී වේ. අප යෝජනා කරන්නේ ඔහු ඇතුළු නිර්මාණකරුවන් ද සාහිත්‍ය රසිකයන් ද පොදුවේ අප මුහුණ දී සිටින “නිර්මාණකරණයේ පවත්නා අර්බුදය” වටහා ගැනීම දෙසට හැරිය යුතු ය කියා ය. මුළුමහත් ලෝකය අද සිටින්නේ මාරාන්තික වසංගතයක් මැද ය. ඒ බව නොදන්නා කෙනෙක් නැත. එහෙත් බොහෝ දෙනෙක් නො දන්නා දෙයක් නම් අප දැන් කාලයක සිට “ නො-සාහිත්‍ය වසංගතයකට” ගොදුරු වෙමින් පවතින බව ය. අප රටේ එහි ප්‍රභේදයේ (නො-සාහිත්‍ය ඩෙල්ටා ප්‍රභේදයේ) ප්‍රධාන රෝග ලක්ෂණය මෙසේ ය:

“කෙටිකතාකරුවා මුහුණ දෙන සැබෑ අභියෝගය උචිත අනුභූතීන් හෝ තේමාවන් හෝ සොයා ගැනීම නො වේ. එය අපූර්ව නිර්මාණයක් බවට පත් කිරීම සඳහා නව ආකෘතින් සොයා ගැනීම ය. හොඳින් වියමන් කිරීම ය.”            

Picture
Justin Piyaratne
මේ අදහස වසංගතයක් ලෙස පැතිර යනු අපි දකිමු. වසර ගණනක් තිස්සේ විශිෂ්ට නිර්මාණයන් දායාද කළ අය ද, එවැනි නිර්මාණ කරන්නට ඉමහත් පරිශ්‍රමයක යෙදුණු අය ද ක්‍රමයෙන් මෙම “නො-සාහිත්‍ය ඩෙල්ටා ප්‍රභේදය” වැලඳී  අවර ගණයේ කෘති කරන්නට නැඹුරු වී ඇත. දවසින් දවස මේ වසංගතයට අපේ ලේඛකයන් ගොදුරු වනු දකිමු. අප කියන්නේ ආකෘතිය අනවශ්‍ය ය කියා නො වේ. අප අසන්නේ කලා තාක්ෂණය වර්ධනය කරන්නට, නව ආකෘතීන් ගොඩනඟන්නට කලාකරුවකු මෙහෙය වෙන්නේ ඇයි යන්න යි. එයට අප දෙන පිළිතුර වන්නේ කලාකරුවා නව අන්තර්ගතයකින් සමන්විත සිය අනුභූතිය කලාත්මක ව සුප්‍රකාශ කිරීමේ අරමුණෙන් කරන අරගලය විසින් මෙම ආකෘතීන් ගොඩනඟන බව යි. ආකෘතිය පවතින්නේ ආකෘතිය සඳහා නො වේ. කලාත්මක භාවය උපදින්නේ ම අන්තර්ගතය සහ ආකෘතිය අතර පවත්නා අනුරූපතාවෙනි. හුදෙක් අන්තර්ගතය දෙස බලා කලා නිර්මාණයක් විචාරය කිරීම වැරදි සේ ම, හුදෙක් ආකෘතිය දෙස බලා කලා නිර්මාණයක් විචාරය කිරීම ද වැරදි ය. බරපතළ අන්තර්ගතයක් ඇති කලා නිර්මාණයක් ඊට උචිත ආකෘතියකින් නොයුතු නම් එහි කලාත්මක භාවය පළුදු වී ශාස්ත්‍රීය ලියවිල්ලක් වනු ඇත. අනෙක් අතට, පුස් අන්තර්ගතයකට කෙතරම් පලිප්පු සහිත ආකෘතියක් දුන්න ද එය විශිෂ්ට කලා නිර්මාණයක් වන්නේ ද නැත.
කීර්ති වැලිසරගේට මේ වසංගතය තව  මත් වැලඳී ඇති බවට ලකුණු පහළ වී නැත. එහෙත් ඔහුගේ නිර්මාණවලින් අපට පෙනෙන්නේ ඔහු නොදැනුවත් ව ම නො-සාහිත්‍ය ඩෙල්ටා ප්‍රභේදය වැලඳුනවුන්ගේ ආශ්‍රිතයකු බවට පත් වී ඇති බව ය.              

    ඔබගේ අදහස් අපට එවන්න.

    Max file size: 20MB
Submit
Back To Home
ප්‍රවර්ග

​සාහිත්‍ය කලා
විද්‍යා
සමාජ විද්‍යාත්මක
​දර්ශනවාදය
​
ලේඛක සෙවීම්
​ලේඛනාගාරය
සංස්කාරක සටහන් ගොනුව
​bookcrow

Picture
www.kinihiraya.com
​kinihiraya@gmail.com
අප ගැන.    
         වර්තමාන නවකතාව, කෙටිකතාව, කවිය, සිනමාව සහ නාට්‍ය ආදිය පිළිබඳ න්‍යායික සහ විචාරාත්මක රචනා අඩංගු වේදිකාවකි. ඊට අමතර ව මෙහි සමාජ විද්‍යාත්මක ලිපි, දාර්ශනික කතිකාවන් සහිත විවාදාත්මක ලිපි පළ වේ. පුළුල් අනාගත සංස්කෘතික සංවාදයකට දොරටු හැරීම අපේ අරමුණයි..​
Contact Us

071 800 99 55
​
071 441 48 55

    අපගේ පාඨක ජාලයට එකතුවන්න.

Subscribe to Newsletter
Copyright © 2021  www.kinihiraya.com  All rights reserved.
Powered by Create your own unique website with customizable templates.
  • ප්‍රවර්ග
    • සාහිත්‍ය කලා
    • දර්ශනවාදය
    • වෙනත්
  • ලේඛනාගාරය
  • ලේඛක සෙවීම්
  • Bookcrow
  • Contact Us
  • සංස්කාරක සටහන්