හෙට දින සංස්කෘතිය උදෙසා විවෘත වේදිකාව​...

kinihiraya.com
  • ප්‍රවර්ග
    • සාහිත්‍ය කලා
    • දර්ශනවාදය
    • වෙනත්
  • ලේඛනාගාරය
  • ලේඛක සෙවීම්
  • Bookcrow
  • Contact Us
  • සංස්කාරක සටහන්
හංස සංදේශයෙන් හෙළිවන සමකාලීන සමාජ සංස්කෘතික පසුබිම ​​
​
👨 ​​​එස්. විජේසූරිය​
2021 අප්‍රේල් 24​
අංක 38, 1986 අප්‍රේල් - ජුනි මාවත කලාපයේ එස්.විජේසූරිය මහතා විසින් ලියා ඇති මෙම ලිපියෙහි වැදගත්කම සලකා ඔහු කෙරෙහි ගෞරවයෙන් යුතුව මෙහි පළකරමු.

සංස්කාරකවරු

හංස සන්දේශය ලියැවුණු පහළොස්වන සියවස, ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික ආර්ථික, පරිපාලන, සමාජ රටාවේ මෙන්ම සාහිත්‍ය සංස්කෘතික අංශ වලට මූලික වෙනස්කම් රැසක් ඇති කළ මෙරට ඉතිහාසයේ අපර වැඩවසම් යුගය ලෙස සැලකිය හැක. සමකාලීන සමාජ යථාර්ථය හංස සන්දේශය තුළින් කොතෙක් දුරට පිළිබිඹු වේ දැයි විමසා බැලීම මෙහි මූලික අරමුණයි.

එතෙක් සිංහල පද්‍ය සාහිත්‍යයෙහි ප්‍රමුඛ තේමාව බවට පත්ව තිබූ බෝසත් සිරිත හා බුදු ගුණ වැනීමේ සීමාවන් ඉක්මවා යාමට කරන ලද වෑයමක ප්‍රතිඵලයක් ලෙස සන්දේශ සාහිත්‍යය සැලකිය හැක. මෙහිදී කවියේ තේමාව හා අන්තර්ගතය යන අංශ දෙකේම මූලික වෙනස්කම් සිදු වී ඇත. අනෙක් විශේෂත්වය වන්නේ සිංහල කවියා මුල්වරට දේශීය යථාර්ථය හා පරිසරය දෙසට යොමු වීමයි. එහෙත් සන්දේශ කරුවන් සම්මත රටාවෙන් මුළුමනින්ම බිඳුණු බවක් හෝ සමකාලීන යථාර්ථය ප්‍රමාණවත් ලෙස පසක් කරගත් බවක් නොපෙනේ. 

මෙම වකවානුවෙහි සාහිත්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍රවල සිදු වූ මෙම පෙරළියට මූලික වශයෙන් බලපෑවේ තත්කාලීන ආර්ථික හා දේශපාලන අංශවල ඇති වූ ගැඹුරු  වෙනස්කම්ය.

වාරිමාර්ග ක්‍රමයෙන් වගා කරන ලද වියළි කලාපීය ස්වයංපෝෂිත කෘෂි - ආර්ථික රටාව වෙනුවට අපනයනයට බර වූ අන්තර්ජාතික වෙළඳාමට ගැටගැසුණු වගාවන්ට මේ සියවසේදී වැඩි අවධානයක් යොමුව තිබූ බව පෙනේ. දේශීය පාලකයෝද වගා අතිරික්තයට අමතරව ආනයන - අපනයන වෙළඳ අතිරික්ත කෙරෙහි වැඩ සැලකිල්ලක් දැක්වූහ. මෙහි ප්‍රතිඵලයක් වූයේ 16 වන සියවසේදී යුරෝපීය යටත් විජිතවාදීන් සිය වාණිජ අරමුණු මුල්කරගෙන මේ රටේ සෑහෙන ප්‍රදේශයක් අත්පත් කර ගැනීමයි. විදේශ ආධිපත්‍යයෙන් නිදහස් ව පැවති උඩරට රාජ්‍යයට පවා අපනයන වගාවෙන් මිදී සාම්ප්‍රදායික ආර්ථික රටාව පවත්වා ගත නොහැකි වූයේ මෙම ආර්ථික බලවේගයන්ට ගැතිවීම නිසාය.

​සමකාලීන අනික් සන්දේශවල මෙන්ම හංසයේ ද මේ රටේ ආර්ථිකය හා ජන ජීවිතය පැහැදිලිව කවියට නැගී නැතත්  ඒ පිළිබඳ ඇතැම් ඉඟි තැනින් තැන දක්නට ඇත. ඊට පෙර යුගවල එතරම් ප්‍රසිද්ධියක් නොඉසුලූ අලුත් වගාවන් පැතිර තිබූ බවට මේ නිදසුනකි.  

"රඳා ගිය වළාකුළුසේ ගං දෙපස
සදා දිලෙන පොල් වතු දකු දකුණු ජස"

කැලණි නදිය, කොළඹ, වත්තල, පුත්තුරු සිට යන එන වෙළඳුන්ගේ භාණ්ඩ පිරුණු ඔරු පාරුවලින් වැසී ගිය බව දැක්වීමෙන් වාණිජ අංශයේ අලුත් නැඹුරුව දැක්වේ. වෙළෙඳ කටයුතු සඳහා ගංගාවන් විශේෂ වශයෙන් යොදාගන්න මුල් අවධිය ද මෙය බව පෙනේ. ගොතටුව පසුකරන හංසයාට මුණගැසෙන්නේ වෙළඳ ගොඩයි. ඒ නමින්ම එය ප්‍රසිද්ධ වෙළඳ මධ්‍යස්ථානයක් වූ බව සනාථ වෙයි.

ඊට පෙර පැවති වැව් සංස්කෘතිය ගැන මෙහි සඳහන් නොවේ. ඒ වෙනුවට දක්නට ලැබෙන්නේ ප්‍රභූන් විසින් ඉදි කරනු ලැබූ කුඩා පොකුණු හෝ අම්බලම්ය.

"උදය දිවාකර  මැති කරවූ රුවට
උදය දිවාකර පොකුණේ ගොසින් සිට"

දඹදෙණි, යාපහු, කුරුණෑගල, ගම්පොල යුගවලින් පසු යළිත් ලංකාවේ මධ්‍යගත පාලනයක් ඇති කළ 6 වැනි පැරකුම්බා රජු කල ලියැවුණු ජනප්‍රිය සංදේශ තුන ගිරා, හංස හා සැළලිහිණි යයි. රාජධානි කැඩී යාමෙන් හා චීන, ජාවක, දකුණු ඉන්දීය බාහිර ආක්‍රමණවලින් පසු බලයට පත් හය වන පැරකුම්බා රජ අවසාන වශයෙන් සපුමල් කුමරු යවා යාපන රාජ්‍යය ද ජය ගත් බව සැළලිහිණියේ සඳහන් වෙයි. සපුමල් කුමරු වනාහි පසුව ජයවර්ධනපුර රාජ්‍යත්වයට පත් වූ පැරකුම්බා රජුගේ පුත් තනතුරේ වැඩුණු සෙම්බගප් පෙරුමාල් නමැති ද්‍රවිඩ කුමාරයෙකි. රජුගේ දූ ලෝකනාථා කුමරිය ද උලකුඩය දේවී නමින් විවාහ වූයේ නන්නුර් තුනෙයියාර්තු නම් ද්‍රවිඩ අයෙකු සමඟය. ඇයට සැමියකු හා පසුව පුතකු ලබා දෙන ලෙස බෞද්ධ භික්ෂූන් විසින් ම සන්දේශ දෙකක් රචනා කිරීමෙන් පෙනී යන්නේ එම සම්බන්ධතාවයන්ට ජනතා අනුග්‍රහයද ලැබුණු බව ය. මේ සාධකවලින් පැරකුම්බා පාලනය කෙරෙහි ද්‍රවිඩ බලපෑම ප්‍රබල ව තිබුණු බවද සිතාගත හැක.

​ප්‍රමුඛත්වය දේවාලයට දුන් යුගයක්

හංසය රචනා කරන විට පැරකුම්බා රජුගේ පාලනය එතරම් ස්ථාවර ව නොතිබුණු බව රාජ වර්ණනාවෙන් ඉගි කෙරෙයි. රජුට සිය සතුරන් විනාශ කිරීමට හා බිය ගැන්වීමට තිබූ ශක්තිය සහතික කරනු සඳහා කවි දහයක් ම වෙන් කිරීමෙන් ඇගවෙන්නේ ඒ වන විටත් ඔහුට බලවත් සතුරන් සිටි බවකි. සංදේශෙය් අරමුණ වන්නේ ද වනරතන හිමියන් ලවා පිරිත් කියවා පින් අනුමෝදන් කරවා උපුල්වන්, සමන්, බොක්සල්, ස්කන්ධ, විභීෂණ යන දෙවියන් මගින් රජුගේ  සතුරු උවදුරු දුරු කර ඔහුට ආසිරි ලබාදීමය. එහි තේරුම එවකටත් සතුරු උවදුරු බලවත්ව පැවති බවකි. ඉන් පසුව ලියවුන සැළලිහිණි රජ වැනුමේ මෙවන් බියක් ගැන සඳහන් නොවේ. එහි දක්වා ඇත්තේ රජ ප්‍රත්‍යක්ෂ විෂ්ණු දෙවියන් මෙනි.

කවියා රජු වෙත සාම්ප්‍රදායික බෝසත් බව ආරෝපණය කිරීමට ද අමතක කර නැත. එහෙත් එයින් ගම්‍යවන්නේ හාස්‍යයකි. ඔහු දන් දුන් මද කිපුණු ඇතුන්ගෙන් යාචකයන්ට ඇති ඵලය කුමක්ද ?

"සිතසේ දෙවෙයි යදිනට තිමද ගල ඇතුන්"

මෙහි සඳහන් කළ ආර්ථික දේශපාලන බලවේග බුද්ධ ධර්මය හා බෞද්ධ අධ්‍යාපනය කෙරෙහි ද විවිධ බලපෑම් ඇති කළ බවට සාධක සමකාලීන අනෙක් සන්දේශ වලින් මෙන් ම හංසයෙන් ද සොයා ගත හැක. ලංකාවේ ඊට පෙර පැවැති හැම සිංහල රාජ්‍යයකම අගනුවර විශේෂ අංගයක් වූයේ වෙහෙර විහාර හා පිරිවෙන් ය.

එහෙත් ජයවර්ධනපුර පිහිටි වෙහෙර විහාරයක් හෝ පිරිවෙනක් ගැන සඳහන් නොවේ. රාජ්‍ය උරුමය ට බලපාන දළදා මැදුර පමණි එහි වූයේ. රජු බැහැදකින හංසයා පවා මුලින් යන්නේ දළදා මැදුරට නොව කතරගම දේවාලයටයි. ප්‍රධාන බෞද්ධ භික්ෂුවක් රජුට රැකවරණය පතන්නේද දෙවියන්ගෙනි. ජයවර්ධනපුරයට ආසන්නව පිහිටි බෞද්ධ සිද්ධස්ථානය කැලණිය බව සන්දේශ වලින් පෙනී යයි. ඒ මගින් බෞද්ධ වෙහෙර විහාර කොතෙක් වර්ණනා කළද ප්‍රමුඛත්වය ලැබෙන්නේ විභීෂණ දේවාලයටයි. එහි තේවාව දකුණු ඉන්දීය දේවදාසීන් සහිත පුද පූජාවල ස්වරූපයම ගත්තකි.

අගනුවරට ඈතින් පිරිවෙන් පිහිටීමෙන් ඇඟවෙන්නේ ඒවාට රජුන්ට වඩා ප්‍රාදේශීය ප්‍රභූන්ගේ අනුග්‍රහය ලැබුණු බවකි. ඒවා බෞද්ධ විෂයන් ඉක්මවූ පුළුල් සරසවි බවට පත්ව තිබූ බවක්ද දක්නට ලැබේ. කෑරගල පද්මාවතී පිරිවෙනේද ත්‍රිපිටකය හා සාමනේර ශික්ෂා පමණක් නොව තර්ක, ව්‍යාකරණ, ඡන්දස්, අලංකාර ආදී ලෞකික විෂයයන් ගැන්වුණි. වනරතන නාහිමි පුළුල් විශේෂයක් දැන සිටි අතර ග්‍රාමවාසී පිරිවෙන් වල ඉගැන්වූ "දසට පොරණ" ප්‍රතික්ෂේප කිරීමෙන් නිකායන් අතර වූ මතභේදයක් ද ඉගිවෙයි.

​විකල්ප මතවාදයක්

එම යුගයේ බලවත්ව සිටි ග්‍රාමවාසී හා වනවාසී නිකායන් දෙකේම නාහිමිවරුන් ලෞකික විෂයයන්, දෙවියන් හා රාජානුග්‍රහය කෙරෙහි නැඹුරු වූ බව හැම සංදේශයකින් ම කියැවේ. මීට විකල්ප පිරිසිදු බෞද්ධ මතවාදයක් මත පිහිටා දෙවියන් ඉඳුල් බුදින යාචකයන් ලෙසත්, රජුන් ජනතාව අය බදු වලින් මිරිකා හපකර දමන කළගුණ නොදන්නන් බවත් කියැවෙන විරෝධවාදී කණ්ඩායමක් ද වූ බව "බුදුගුණඅලංකාරය", "ලෝවැඩ සඟරාව" වැනි ඇතැම් සමකාලීන කෘතීන් ගෙන් හෙළි වෙයි.

පුළුල් වූ පිරිවෙන් අන්තර්ජාතික තත්ත්වයකින් පැවති බවට ඉගැන්වු නක්ෂත්‍ර, වේද වැනි විෂයයන් මෙන්ම ඒවායේ ඉගෙනීමේ හා ඉගැන්වීමේ යෙදුණු බමුණන් වැනි සාධක වලින්ද පෙනී යයි. සිරි රහල් හිමි භාෂා හයක් උගත් අයකු බව කියැවේ. ආර්ථික, පාලන, අධ්‍යාපන හා ආගමික යන සෑම ක්ෂේත්‍රයකම විවිධ වෙනස්කම් හා එක්තරා මට්ටමක හින්දු බලපෑම් වූ අවධියක් සේ මෙය සැලකිය හැක.

හංසයේ වර්ණනා අතුරින් ජයවර්ධනපුර වර්ණනාව සාම්ප්‍රදායික කවීන්ගේ මනංකල්පිත සුරපුර කරා පාඨකයා ගෙන යයි. රජු හා රාජ සභා වර්ණනාව වන්දීන් සිහිගන්වයි. එහෙත් රාජ සභාවේ නිලධාරීන් නම් කර තිබීම වැදගත් ඓතිහාසික සාධකයකි. මග වැණුමේදී දේශීය කවීන් මුල් වරට දඹදිව හිමාලයෙන් මෑත්වී මේ රටේ ගම් දනව් හා වනරොදවල් දෙසට යොමු වී ඇත. හිමාලයේ වග වලසුන් වෙනුවට මී හරකුන් දකින්නේ එහෙයිනි.

"ඇසෙයි කියන රස ගී ලිය තුඩින් තුඩින්
දි සෙ යි බසින ගව මී රැළ කඩින් කඩින්"

"අගට ගෙන රන් මැටි - සිටදිගට කුර අදිමින්
ගවයන් සිටි පොරට - ඕවිටි බලා සතුටින්"

රාජකීය උයන් කෙළි වෙනුවට වෙල් එලිවල හෝ වන රොදවල කෙළිදෙලෙන් පසුවන ගැමි තරුණ තරුණියන් කවි ඇසට ලක්වේ. කවි සිළුමිණේ වැනි රාජකීය දිය කෙළි  වෙනුවට කැලණි ගං තොට දිය බුං ගසමින් නිදහසේ පීනමින් විනෝද වන ජනතාව ගැන කෙරෙන විස්තරය හංසයේ එන රසවත්ම වර්ණනාවක් ලෙස සැලකිය හැක. ඔවුන් එයින් ලබන අහිංසක විනෝදාස්වාදය එතරම් තීව්‍ර ලෙස ඉදිරිපත් වන්නේ එය හැබෑ අත්දැකීමක් ඇසුරෙන් කෙරෙන නිර්මාණයක් හෙයිනි.

"ඉඳිමින් දිය තුළ දුර ගොස් ඉපිලෙ ති
"දියබුං දිය කෝකිල ගසමින් ය ති"

සමාජයේ එකල පැවැති පන්ති විෂමතාවන් මතු කෙරෙන එක් තැනකි මෙය.

"තුරග ගජ නැගී යන එන නිස්සෝය
සමග බර සුලා යන දැසි දස්සෝය"

සමකාලීන අනෙකුත් සන්දේශවල මෙන්ම හංස සන්දේශයෙහි ද  ජයවර්ධනපුර අවධියේ සමාජ යථාර්ථය පැහැදිලිව පිළිබිඹු නොවෙතත්, ආර්ථික, පාලන, ආගමික හා අධ්‍යාපන ක්ෂේත්‍රවලට සම්බන්ධ වැදගත් ඓතිහාසික සාධක කීපයක් එහි දැක්වේ. කවිය දේශීයත්වයට නැඹුරු වීමක් මෙන්ම නිර්මාණශීලී පරිකල්පනයක් දක්නට ලැබීම හංස සන්දේශයේ තවත් විශේෂත්වයකි.
​
​නිමි

​
චින්තක රණසිංහගේ හංසදීපනිය පිළිබඳ විචාරයක්
​👨 ​​​ආරියතිලක පීරිස්
2021 අප්‍රේල් 24
Picture
​1970 අගභාගයේ දී ලංකාවේ සුවිශේෂ ලේඛකයෙකු වූ ජී.බී සේනානායක මහතා හදිසියේ මට හමුවිය. එක වෙලාවක කතාබහ කරමින් සිටියදී ඔහු අපූරු කතාවක් කීවේය‍. එය නම් තමා ලංකාවේ පළවන කිසිදු නවකතාවක් නොකියවන අතර පැරැණි සාහිත්‍ය කෘති පමණක් නිතර නිතර කියවන බව ය. ඔහු මට උපදෙස් දුන්නේ නිතර පැරණි සාහිත්‍යය පරිශීලනය කරන ලෙස ය. එසේ කියවීමෙන් පරිකල්පන ශක්තිය ගොඩ නැගෙන බවත් භාෂාව පිළිබඳ ව මනා අවබෝධයක් ලැබෙන බවත් ඔහුගේ අදහස විය. චින්තක රණසිංහ ලේඛකයාගේ හංස දීපනිය ග්‍රන්ථය කියවන විට මට එකවර ම මතකයට ආවේ ජී. බී. සේනානායකගේ ඉහත කී ප්‍රකාශය යි. 

16 වන සියවසේ හයවන පරාක්‍රමබාහු රජ සමයේ රචනා වූ හංස සන්දේශය ඉතා හරවත් මෙහෙයක් ඉටු කළේ ය. චින්තක රණසිංහ කථිකාචාර්යවරයා මෙම කෘතිය විවරණය කිරීම සඳහා දරා ඇති වෙහෙස අපමණ ය. පැරණි සාහිත්‍ය කෘතියක් නව තරුණ පරම්පරාවකට සම්මුඛ කිරීමට ඔහු ගත් තැත අප අගය කළ යුතු ය.

 විභාග සඳහා ශිෂ්‍යයන්ට ප්‍රයෝජනයට ගත හැකි අගනා කෘතියක් පමණක් නොව ජී. බී. සේනානායක පැවසූ ලෙසට පැරණි සාහිත්‍යය වීසි කර දමා ඇති යුගයක යළිත් වරක් සන්දේශ කාව්‍ය උගෙනීම සඳහා මෙම කෘතිය අත්පොතක් වන්නේ ය. අපගේ සංදේශ කාව්‍ය ඉතිහාසය සලකා බැලීමේ දී බොහෝ විට ඉන්දියානු සාහිත්‍යය ආභාෂයෙන් අපගේ සංදේශ කාව්‍ය විකාශනය වූ බව පෙනේ. 
​

මෙම කෘතියට ආලෝකයක් ලෙස කතුවරයා සංදේශ කාව්‍ය විශාල සංඛ්‍යාවකගේ ආභාෂය ලබා ගැනීමට යොමු වී තිබීම ප්‍රශංසනීය වේ. ඒ හැම කෘතියක්ම උඩින් පල්ලෙන් අත නොගා ගැඹුරු විශ්ලේෂණයකට යොමුකරමින් ම නිර්මාණය සඳහා එම සන්දේශ කාව්‍යයන්හි නොයෙක් ආකාරයේ වැනුම් තම කෘතිය සඳහා උපයෝගී කර ගෙන තිබේ. එය ඉතාමත් වෙහෙසකාරී කටයුත්තකි.  මුළු කෘතියේ සාර්ථකත්වයට එය මනා පිටුවහලක් වී ඇති බව කීම අතිශයෝක්තියක් නො වේ. කතුවරයා ආභාෂය ලබා ඇති සංදේශ කාව්‍ය ගණන විසිපහකට වඩා අධික ය. මෙහි දී  බොහෝ විට නොවැදගත් යයි සැලකෙන සංදේශ කාව්‍යයන්ගේ පවා සුවිශේෂත්වයන් මතු කිරීමට කතුවරයා උත්සුක වී ඇති බව දැකිය හැකි ය. ඉතා ම අපහසු කාර්යයක් වන මේ ග්‍රන්ථය හැදෑරීම කතුවරයාගේ නොපසුබට  උත්සාහයට සාක්ෂියකි. තොටගමුවේ රාහුල හිමියන්ගේ සැළලිහිණි සංදේශය තරම් පාඨකයින් ඇලුම් කරන වෙනත් සන්දේශ කාව්‍යයක් සිංහල සාහිත්‍යයේ නැති තරම් ය. ඒ ද සිහියට නංවමින් හංස සංදේශයේ අහුමුලු හාරා බලමින් පාඨක අවධානයට ලක් කිරීම කතුවරයාගේ අභිප්‍රාය වී ඇත.

මෙම කතුවරයාගේ විශේෂත්වය වන්නේ හංස සන්දේශය සමඟ අනෙකුත් සන්දේශ කාව්‍ය උපුටා දක්වමින් එම කාව්‍යවල අන්තර්ගත දුර්වලකම් මනා ලෙස ඉදිරිපත් කරමින් විශ්ලේෂණාත්මක විග්‍රහයන්ට එළඹීම ය. සමහර සන්දේශ කාව්‍යවල පිළිබිඹු වන්නේ වචන සහ අක්ෂර හරඹ පමණක් බව ඔහු මෙහි ලා පෙන්වා දෙයි. එමගින් කතුවරයා අර්ථ රසයට තැනක් නොදීම නිසා එම සංදේශ කාව්‍යය පරිහාණියට ලක්වූ බව පවසා තිබේ. (උදාහරණ සැවුල් සන්දේශය)

මෙම කෘතිය හුදෙක් හංස සන්දේශය නඟාසිටුවීම සඳහා දරන ලද ප්‍රයත්නයක් පමණක් නො වේ. එය අනිකුත් සියලු ම සන්දේශ කාව්‍ය ගැඹුරින් හදාරා හංසය සමග එම කෘතීන් ගැටීමට සලස්වා මුළු සන්දේශ කාව්‍ය පිළිබඳ ව ම රචිත මාහැගි ග්‍රන්ථයකි. ජී බී සේනානායක ශූරීන් පැවසුවා සේ පැරණි සියලු ම අගනා කෘති පසෙකට දමා ඇති මේ යුගයේ පිරිහීම මදකින් හෝ අවම කර ගැනීමට මේ කතුවරයා දරා ඇති උත්සාහය ප්‍රශංසනීය ය. 
​

Picture
Ariyathilaka Peris
මෙවැනි කෘතියක් නිර්මාණය කිරීමට ප්‍රධාන කරුණු දෙකක් එක් විය යුතු යැයි මට සිතේ. එකක් වයසින් මුහුකුරා යමින් පරිණත භාවයට පත් වීම ය. දෙවැන්න පැරණි සාහිත්‍යය ඉතා ගැඹුරින් හදාරා එම දැනුම නූතන සමාජය සමඟ මුසු කර ගැනීමට සමත් වීමේ හැකියාවෙන් යුක්ත වීම ය. එතරම් වයසින් මුහුකුරා නොගිය මෙම කථිකාචාර්යවරයා තම තරුණ වියේ දී ම මෙවැනි කාර්යයක් ඉතා සාර්ථක ලෙස එළි දැක්වීම දැනට ජීවත් වෙන සාහිත්‍යකරුවන්ගේ දෑස් පෑදීමට හේතු විය යුතු ය. සම්මන්ත්‍රණ පැවැත්වීම, පාර තොටේදී වාද විවාද කිරීම හැරුණු විට අපේ සාහිත්‍යකරුවන් මේ සඳහා පොතපත ලිවීමෙන් ඒ හැටි සම්බන්ධ වී නැත. සමහර මහාචාර්යවරු විදේශ රටවල පදිංචි වී සිටින අතර තවත් සමහරු එකිනෙකාට බැණ වදිමින් කාලය කා දමති. චින්තක රණසිංහ එම අවස්ථා මග හරිමින් තම අනාගත පරපුර සඳහා කරන ලද මේ සේවය අගය කිරීමට මෙරට සාහිත්‍ය විචාරකයන් පෙරට පැමිණිය යුතු ය.
​

​නිමි​

    ඔබගේ අදහස් අපට එවන්න.

    Max file size: 20MB
Submit
Back To Home
Powered by Create your own unique website with customizable templates.
  • ප්‍රවර්ග
    • සාහිත්‍ය කලා
    • දර්ශනවාදය
    • වෙනත්
  • ලේඛනාගාරය
  • ලේඛක සෙවීම්
  • Bookcrow
  • Contact Us
  • සංස්කාරක සටහන්