හෙට දින සංස්කෘතිය උදෙසා විවෘත වේදිකාව​...

kinihiraya.com
  • ප්‍රවර්ග
    • සාහිත්‍ය කලා
    • දර්ශනවාදය
    • වෙනත්
  • ලේඛනාගාරය
  • ලේඛක සෙවීම්
  • Bookcrow
  • Contact Us
  • සංස්කාරක සටහන්
හෙගලියානු උරුමය 2
හෙගල් සහ මාක්ස්: ඛණ්ඩනයක් ද? අඛණ්ඩත්වයක් ද?
​​ආචාර්ය සමන් පුෂ්පකුමාර
2021 ජූලි 13
Picture
Karl Marx
ප්‍රශ්නයේ පසුබිම

ලුවී අල්තුසර් මාක්ස්වාදියකු වශයෙන් න්‍යාය සංකල්ප ගත කිරීමේ දී සාංදෘෂ්ටිකවාදයට මෙන් ම හෙගලියානුවාදයට ද විරුද්ධ විය. විශේෂයෙන් ම මේවායින් මතු කළ ආත්මීයවාදයට (subjectivism), මානවවාදයට (humanism) හා ඉතිහාසවේදයට (historicism) ඔහු එරෙහි විය. ආත්මීයවාදය සාංදෘෂ්ටිකවාදයේ ම කොටසක් විය. සාංදෘෂ්ටිකවාදී මාක්ස්වාදියකු වූ ජීන් පෝල් සාත්‍රෙ තමාගේ සතුරකු වශයෙන් අල්තුසර් සැලකී ය. අල්තුසර් 1965 දී ලියනු ලැබූ Reading Capital හා For Marx කෘති මගින් ඉදිරිපත් කළ ස්පිනෝසියානු සහ ව්‍යූහවාදී මාක්ස්වාදය සාත්‍රෙ විසින් 1960 දී ලියනු ලැබූ A Critique of Dialectical Reason හා Search for a Method වලට එරෙහි ප්‍රතිචාරයකි.

මාක්ස්ගේ 1844 දාර්ශනික අත්පිටපතෙහි (Economic and Philosophical Manuscripts of 1844) අන්තර්ගත මානවවාදය ලෙනින්ගේ මාක්ස්වාදයට බාධාවක් ලෙසට අල්තුසර් සැලකී ය. මානවවාදී මාක්ස්වාදයේ මූලය තිබෙන්නේ හෙගල් තුළ බවත් ඒ තුළ මනුෂ්‍ය සාරය පිළිබඳ ප්‍රශ්නය අන්තර්ගත බවත් අල්තුසර් පෙන්වා දුන්නේ ය. මිනිසාව තීන්දු කරන්නේ පරිසරයෙන් සහ සමාජ සමස්තයෙන් ය යන්නට මේ සාරය පිළිබඳ ප්‍රශ්නය ගැටලුවක් බව අල්තුසර්ගේ මතය විය. සාරය සහ සමාජ තත්වාරෝපණය අතර ගැටුම මූලික හේතුව කොට ගෙන ඥානවිභාගාත්මක ඛණ්ඩනය (epistemological break) නම් අල්තුසරියානු සංකල්පය බිහි විය.
1844 දාර්ශනික අත්පිටපතෙහි මාක්ස් සහ පරිණත මාක්ස් අතර ඛණ්ඩනයක් අල්තුසර් හඳුනාගත්තේ ය. හෙගලියානු ෆොයබාකියානු මාක්ස් හා මාක්ස්ගේ ජර්මන් දෘෂ්ටිවාදයේ (German Ideology) පිළිබිඹු වන ඓතිහාසික භෞතිකවාදී මාක්ස් වශයෙන් දෙදෙනෙකු සිටින බව අල්තුසර්ගේ මතය විය.

1947 තරම් කාලයේ දී අල්තුසර් ඇලෙක්සැන්ඩර් කොජෙව්ගේ හෙගලියානුවාදයත් ප්‍රශ්න කළේ ය. බෙනඩිටෝ ක්‍රෝචේ, මාලියෝ පොන්ටේ, ජීන් හිපොලීට් වැනි අය හෙගල්ව මාක්ස්වාදය තුළට ඇතුළු කිරීම සම්බන්ධයෙන් අල්තුසර් විවේචනාත්මක විය. අල්තුසර් Man that Night හා The Return to Hegel යන රචනා තුළින් මේ සම්බන්ධයෙන් විවේචනයන් රැගෙන ආවේ ය. අල්තුසර් මෙයින් කළේ හෙගලියානුවාදය සහ මාක්ස්වාදය අතර පැහැදිලි බෙදුම් රේඛාවක් ඇති කිරීම ය. අල්තුසර් තමන්ගේ ශාස්ත්‍රපති උපාධියේ හෙගල් ගැන ලියන අතර මෙහි දී අල්තුසර් කියන කාරණයක් නම් හෙගලියානු මකරාව මැරීම සඳහා තමාගේ හතුරා ගැන හොඳින් අධ්‍යයනය කළ යුතු බව ය. අල්තුසර්  ඥානවිභාගාත්මක ඛණ්ඩනය නම් සංකල්පයට පෙර ලියන ලද හෙගල් ගැන ලියවිලි The Spectre of Hegel: Early Writings යනුවෙන් පළ වී ඇත.

අල්තුසර් හෙගල්ගේ සමස්තය පිළිබඳ සංකල්පයේ බල පෑමට ලක් වුවත් එය ස්පිනෝසියානු ව්‍යූහාත්මක හේතුත්වය (structural causality) මගින් විස්ථාපනය කර දැමුවේය. ඔහු Reading Capital ග්‍රන්ථයේ පවසන්නේ මෙවැන්නකි:

Spinoza’s Philosophy introduced an unprecedented historical revolution in the history of philosophy, probably the greatest philosophical revolution of all time, in so for as we can regard Spinoza as Marx’s only direct ancestor from the philosophical stand point. (Althusser 1970, 100)

මේ අනුව, අල්තුසර් හෙගලියානු ඉතිහාසවේදය, සාරය, සමස්තය, ආත්මීයත්වය යන ඒවා බැහැර කළේ ය. හෙගල්ගේ මූලික ප්‍රවාදයක් වන සමස්තය, සාරාර්ථමය පමණක් නොව ආත්මීය ද වේ යන්න නොසලකා හැරියේ ය.      
 
අල්තුසර් හෙගල්ගේ පරමාත්මය (Spirit), සාංදෘෂ්ටිකවාදයේ පුද්ගල ආත්මය සහ ෆොයබාක්ගේ මානව විද්‍යාත්මක සාරය බැහැර කළේය. අල්තුසර් සිය Essays of Self-Criticism පොතෙහි සඳහන් කරන්නේ පහත ආකාරයේ අදහසකි:


Marxist philosophy must break with the idealist category of the subject as origin, essence and cause. For Marxist philosophy there can be no subject as an Absolute centre.(Althusser 1976, 96)

අල්තුසර්ගේ ආත්මය විරහිත හේතුඵලවාදී න්‍යාය ඔහුව ස්පිනෝසා දෙසට තල්ලු කළේය. හෙගලියානු විඥානවාදයෙන් ඈත් කළේය.

අල්තුසරියානු සංකල්පයක් වන අධිනිශ්චය (overdetermination) මඟින් කෙරුණේ ස්පිනෝසා හරහා හෙගල්ව විස්ථාපනය කිරීමක් වන අතර ඓතිහාසික භෞතිකවාදය ස්පිනෝසියානු මූලධර්ම මත තැබීමකි. අල්තුසර් අතින් සිදු වූයේ මාක්ස් හෙගල්ට ඇති ණයගැතිභාවය වෙනුවට මාක්ස් ස්පිනෝසාට ඇති ණයගැති භාවය අවධාරණය වීමකි.  මේ අනුව හෙගල් හා මාක්ස් අතර ඛණ්ඩනය පිළිබඳ මතය වඩාත් ස්ථාපිත වන්නේ අල්තුසර් හරහා ය.

හෙගල් හා මාක්ස් අතර ඇති ඛණ්ඩනය හා අඛණ්ඩත්වය පිළිබඳ කථා කළ කෙනකු වූයේ සිඩ්නි හුක් ය. ඔහු ලියන ලද From  Hegel to Marx: Studies in the Intellectual Development of (1950)  කෘතියේ පරිච්ඡේද දෙකක් නම් කර තිබෙන්නේ Hegel and Marx in Opposition හා Hegel and Marx in Continutity ලෙසට ය.

Picture
Louis Althusser
හෙගල් සහ මාක්ස් අතර ඇති අඛණ්ඩත්වය පිළිබඳ ව  අවධාරණය කළ චින්තකයන් අතරින් ප්‍රධානියකු වූයේ ඇල්ෆ්‍රඩ් ෂ්මිට් ය. ඔහු ඉපදුණේ 1931 බර්ලින්වල වන අතර මිය ගියේ 2012 දී ය. ඔහු ෆ්‍රැන්ක්ෆර්ට් පාසැල හා සමීපව වැඩ කළ අයෙකි. ඔහු 1971 දී ලියන ලද History and Structure කෘතිය මඟින් අල්තුසර්ගේ ව්‍යුහවාදී මාක්ස්වාදයට පහර දුන් අතර හෙගල් හා මාක්ස් අතර ස්ථාපිත කෙරුණු ඛණ්ඩනය (discontinuity) සංකල්පය අනුමත කළේ නැත. ඔහුගේ මූලික අදහස වූයේ හෙගලියානු විධික්‍රමයේ ප්‍රධාන ප්‍රවර්ගයන් මාක්ස් විසින් තමන්ගේ දාර්ශනික හා දේශපාලන ආර්ථික විශ්ලේෂණයේ දී අදාළ කරගෙන තිබෙන බව ය. ඔහු හඳුන්වා දුන් සංකල්පයක් වූයේ භෞතිකවාදී හෙගල් භාර ගැනීම ය (Materialistic Hegel Reception).

ලෙනින් මත් 1914 දී සිය Philosophical Notebook වල සඳහන් කළේ මාක්ස්ගේ ප්‍රාග්ධනය කෘතිය කියවීම සඳහා හෙගල්ගේ තර්ක විද්‍යාව (Science of Logic) කෘතිය කියවීම අවශ්‍ය කටයුත්තක් බව යි. මේ දැක්මට අනුව බොහෝමයක් දෙනා මාක්ස්ගේ ප්‍රාග්ධනය කෘතිය කියෙව්වා කීවාට ඔවුන් ඇත්ත වශයෙන් ම එය කියවා නැත. මේ අනුව, ලෙනින් වනාහි 20 වන සියවසෙහි මුල්භාගයේ සිටි භෞතිකවාදී හෙගල් භාර ගත් ප්‍රමුඛ ම පුද්ගලයෙකි. කෙසේ නමුත්, ප්‍රමුඛතම ස්ටාලින් අනුගාමියෙකු වූ Andrei Zhadanov (1945-48) හෙගලියානුකරණය වූ මාක්ස්වාදය සෝවියට් දෘෂ්ටිවාදයට තර්ජනයක් ලෙසට ගත්තේ ය. මේ කාලයේ දී ම ඔහු හෙගල්ව පිළිගත් බටහිර මාක්ස්වාදියකු වූ ලූකාස්ගේ History and Class Consciousness කෘතිය හෙළා දුටුවේ ය.

මේ ආකාර ප්‍රවේශයක් ගත් ප්‍රථම පුද්ගලයා ෂ්මිට් ම නො වේ. විශිෂ්ට සෝවියට් දාර්ශනිකයකු වූ ඉවාඩ් ඉලියෙන්කෝ මේ අතර ප්‍රධාන වේ. ඔහු හෙගල් හා මාක්ස් අතර පැවති සබඳතාව අවධාරණය කළේ ය. ඉලියෙන්කෝ ලෙනින්ගේ Philosophical Notebook කෘතියේ දී අන්තර්ගත හෙගල්ව ආරක්‍ෂා කළේ ය. ස්ටාලින්ගේ දයලෙක්තික භෞතිකවාදී (Diamat) හා ඓතිහාසික භෞතිකවාදී (Histomat) දාර්ශනිකවාදයන්හි ආධිපත්‍යය තිබිය දී ම හෙගලියානුකරණය වූ මාක්ස්වාදය ආරක්‍ෂා කළේය. ඔහු අවසානයේ තමන්ට එල්ල වූ පීඩනය හමුවේ සියදිවි නසා ගත්තේ ය.

චෙකොස්ලෝවැකියාවේ Karel Kosik  හා Jindrich Zeleny ද ඉලියෙන්කෝ සේ ම මාක්ස්ගේ හෙගලියානු  උරුමය ආරක්‍ෂා කළෝ ය. Kosik විසින් ලියනු ලැබූ The Dialectic of the Concrete හා Zeleny ගේ The Logic of Marx මෙයට සාක්‍ෂි සපයයි.


Picture
Train station poster in Frankfurt U-Bahn with Alfred Schmidt.
අල්තුසර්  හා ෂ්මිට් අතර වෙනස කුමක් ද? සංස්කෘතීන් දෙකක වෙනස්කම මොවුන් දෙදෙනා අතරින් ප්‍රකාශයට පත් විය. අල්තුසර්ට බල පෑවේ සොෂියර්, ලෙවි ස්ට්‍රවුස් යන අයගේ ව්‍යුහවාදය ය. එමෙන් ම ප්‍රංශ කොමියුනිස්ට් පක්‍ෂයේ මතුව පැවති ප්‍රති-හෙගලියානුවාදය ය. ෂමිට්ට බලපාන ලද්දේ හෙගලියානු ස්වයං-විඥානය පිළිබඳව සංවාදයක් මතුව පැවති ජර්මානු සංස්කෘතිය ය. ෂ්මිට් The Concept of Nature in Marx යනුවෙන් පොතක් 1962 දී ප්‍රකාශයට පත් කළේ ය. එය ඇඩානෝ සහ හොර්කයිමර් යටතේ කළ ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධනය ය. එයින් කතා කර තිබුණේ මනුෂ්‍යත්වය ස්වභාව ධර්මයට දක්වන සබඳතාව මාක්ස් තේරුම් ගත් ආකාරය ය. මෙහි දී තර්කය ගොඩනගා තිබෙන්නේ අර්නස්ට් බ්ලොක්, වෝල්ටර් බෙංජමින් වැනි අයගේ අදහස්වලට සමාන්තරව ය. ෂ්මිට්ට History and Structure පොතෙහි වර්ධනය කර තිබෙන හෙගලියානු අදහසට මාකුසේ, ලුකාස් වැනි අයගේ බල පෑම ද ලැබී ඇත.
ෂ්මිට් වනාහි මාක්ස් සම්බන්ධයෙන් තර්ක විද්‍යාත්මක-ඓතිහාසික (Logico historical) අර්ථකථනයක් බිහි කළ කෙනෙකි. මේ අදහස ඉදිරිපත් කරනු ලැබුවේ ‘භෞතිකවාදී හෙගල් භාර ගැනීම’ යන කාරණය මත ය. මෙයින් සරලව කියවුණේ මාක්ස් තමන්ගේ දැනුම වර්ධනය කිරීමේ දී සහ සිය සමාජ විග්‍රහයේ දී හෙගලියානු විධික්‍රමවාදී ප්‍රවර්ගයන් අදාළ කරගත් බව ය.

ෂ්මිට්ගේ අදහස තුළින් වර්ධනය වූ මතයක් වූයේ හෙගල්ගේ තර්ක විද්‍යාව කෘතියේ අන්තර්ගත සාරය පිළිබඳ දහම (Doctrine of Essence) මාක්ස්ගේ ප්‍රාග්ධනය කෘතියේ සාරාර්ථය වූ බව ය. මාක්ස් ඉදිරිපත් කළ වටිනාකම් පිළිබඳ අදහස හෙගල්ගේ තර්ක විද්‍යාව කෘතියේ සාරය පිළිබඳ දහමින් පෝෂණය වී ඇති බව ය. හෙගල් ඉදිරිපත් කරන ප්‍රතිවිරෝධය පිළිබඳ තර්කය (logic of contradiction) මාක්ස් විසින් වෙන්කොට දක්වන, භාණ්ඩයක ප්‍රයෝජ්‍ය වටිනාකම හා හුවමාරු වටිනාකම අතර ඇති විසංවාදය තුළ පිළිබිඹු වන බව ය. මෙම තර්ක විද්‍යාත්මක-ඓතිහාසික හෙගලියානුකරණය කරන ලද මාක්ස්වාදය කියා සිටියේ හෙගල් හා මාක්ස්ගේ අඛණ්ඩත්වය වැටී තිබෙන්නේ හෙගල්ගේ පරමාත්මයේ ප්‍රපංචවිද්‍යාව හරහා නොව තර්ක විද්‍යාව හරහා බව ය. ප්‍රපංචවිද්‍යාත්මක හෙගලියානුකරණය වූ මාක්ස්වාදය (Phenomenological Hegelianized Marxism) ආත්මය හා වස්තුව අතර ඒකත්වය තහවුරු කළ අතර තර්කවිද්‍යාත්මක හෙගලියානුකරණය වූ මාක්ස්වාදය (Logico Hegelianized Marxism) මාක්ස්ගේ විධික්‍රමය හෙගල් හරහා අඛණ්ඩත්වයට පත් වූ බව ඔහු පෙන්වා දුන්නේ ය. ෂමිට් මාක්ස්ගේ ගෲන්ඩි්‍රස් හා ප්‍රාග්ධනය තර්ක විද්‍යාත්මක හෙගලියානුකරණය සඳහා  උදාහරණ වශයෙන් දැක්වූහ.

මාක්ස් කතා කළ මනුෂ්‍ය නිෂ්පාදන ධාරිතාව හෙගල්ගේ පරමාත්මයේ  ප්‍රපංචවිද්‍යාව පොත හරහා ප්‍රකාශයට පත් වන අතර තර්ක විද්‍යාව කෘතියෙහි බලපෑම 1867 මාක්ස් ලියන ප්‍රාග්ධනය කෘතිය මඟින් ප්‍රකාශයට පත් වේ. ඇල්ප්‍රඩ් ෂමිට් තමන්ගේ History and Structure කෘතියෙහි මෙවැන්නක් සඳහන් කරයි.

On the contrary in the later Marx as is evident not least of all in the Grundrisse of 1857-58, we are dealing with a second appropriation of Hegel especially the Hegel of the Science of Logic. This work is as important for Marx’s political economic analysis in the 1850s and 18605 as the category of labor taken from The Phenomenology of Spirit was for his “self-understanding” Selbstverstandigung) in the 1840s. (Schmidt 1984, 61)

මේ අනුව හෙගල්ව පිළිගැනීමේ අවධි දෙකක් මාක්ස් තුළ ප්‍රකාශයට පත් වේ.
  1. 1840 දශකයේ පරමාත්මයේ ප්‍රපංචවිද්‍යාව මත පදනම්ව මාක්ස්ගේ ශ්‍රමය පිළිබඳ න්‍යාය බිහිවීම.
  2. 1850 දශකයේ තර්ක විද්‍යාව මත පදනම්ව මාක්ස්ගේ විධික්‍රමය පිළිබඳ අදහස බිහිවීම.

මාක්ස්ගේ හෙගල් කියවීම

හෙගල්ගේ කෘති පරිපූර්ණ වශයෙන් මුල් වතාවට ප්‍රකාශයට පත්වූයේ 1833-1836 කාලයේ Eduard Gans ගේ සංස්කරණය යටතේ ය. මේ පොත් පත් වලින් කොතරම් ප්‍රමාණයක් ගැන මාක්ස් දැන සිටියේ ද යන්න සොයා බැලිය යුතු ය. හෙගල්ගේ කෘති සම්බන්ධයෙන් මාක්ස්ගේ දැනීම පහත ආකාරයට වර්ග කළ හැකිය (Levine 2012,34-42), (Levine 2006, 11).


  1. මාක්ස්ගේ ජීවිත කාලය තුළ ප්‍රකාශයට පත් වූ මාක්ස් දැන සිටි හෙගල්ගේ පොත පත
  2. මාක්ස්ගේ ජීවිතකාලය තුළ ප්‍රකාශයට පත් වූ මාක්ස් නොදැන සිටි හෙගල්ගේ පොත පත
  3. මාක්ස්ගේ  මරණයෙන් පසු ප්‍රකාශයට පත් වූ මාක්ස් නොදැන සිටි හෙගල්ගේ පොත පත

මෙහි පළමු ප්‍රවර්ගයට හෙගල්ගේ පහත පොත පත හා ලිපි ලේඛන ඇතුළත් කළ හැකිය.
  1. Lectures on Aesthetics
  2. Encyclopedia of the Philosophical Sciences
  1. Philosophy of Spirit
  2. Philosophy of Nature
  3. Philosophy of Logic
  1. The Philosophy of Right
  2. The Phenomenology of Spirit
  3. The History of Philosophy
  4. Philosophy of Religion
  5. Philosophy of History
මෙහි දෙවන කාණ්ඩයට පහත ඒවා ඇතුළත් කළ හැකි ය.

1. The Differences of the Fichtean and Schelligean Systems of Philosophy

2. ෂෙලිං හා හෙගල් බිහි කළ The Critical Journal of Philosophy සඟරාවට හෙගල් විසින් ලියනු ලැබූ 1802-1803 කාලයට අයත් ලිපි 6ක් මාක්ස් කියවා නැත. මේවා අතර Faith and Knowledge ප්‍රධාන වේ.

3. හෙගල්ගේ එකතු කළ කෘති වෙළුම් 15,16, 17 හා 18 මාක්ස් කියවා තිබුණේ නැත.

මෙහි තුන්වන කාණ්ඩයට පහත ඒවා ඇතුළත් කළ හැකි ය. හෙගල් ජීවත් වූයේ 1770-1831 කාලය තුළ දී ය. මාක්ස් ජීවත් වූයේ 1818-1883 කාලයේදී ය. මාක්ස් මිය යාමෙන් පසු ප්‍රකාශයට පත් වූ හෙගල්ගේ අසම්පූර්ණ අත්පිටපත්, ලිපි, සටහන්, දිනපොත් මාක්ස්ගේ මරණය තෙක් ප්‍රකාශයට පත් ව තිබුණේ නැත.

1. The System of Ethical Life (1913)

2. Jenaer Realphilosophie I and II (1931) (මේවා මඟින් හෙගල්ගේ ආර්ථික චින්තනය, ධනවාදය සහ සිවිල් සමාජය ගැන කතා කර තිබිණි. මේවා ලෙනින්ට හෝ එංගල්ස්ට කියවීමට ලැබුණේ නැත. මේවා මුල්වතාවට කියවූයේ ලුකාස් ය. ලුකාස් The Young Hegel ලිවීමේ දී මේවාට අමතරව මුල් වතාවට මාක්ස්ගේ Economic and PhilosophicalManuscripts of 1844 හා ලෙනින්ගේ Philosophical Notebook කියවා තිබිණි).

3. Early Theological Writings
4. The Positivity of Christian Religion
5. The Spirit of Judaism
6. The life of Jesus
7. Morality, Love and Religion
8. The Spirit of Christianity and its Fate
9. Fragments of a System
10. The Jena Logic, Aesthetics and Philosophy of Nature
11. Hegel’s Lectures
12. Lectures on the Philosophy of Right

හෙගල්-මාක්ස් සබඳතාව හෝ අසම්බන්ධතාව හදුනාගත හැක්කේ මේ සමස්තය ගැන අවබෝධයකින් ය.

හෙගල්-මාක්ස් සබඳතාව

1843 දී මාක්ස් Critique of Hegel’s Philosophy of Right පොත ලීවේ ය. එහි දී මාක්ස් හෙගල් සම්බන්ධයෙන් ගෙන එන ප්‍රධාන විවේචනයක් වන්නේ හෙගල්ගේ තර්කණය රැඳී තිබෙන්නේ වියුක්තකරණ (abstraction) මට්ටමක බව ය. මෙහි දී හෙගල් සම්බන්ධයෙන් මාක්ස් කරන විචාරය ෆොයබාක් ආගම සම්බන්ධයෙන් කරන විචාරයට අනුකූලව ගොඩනගා ඇත. මාක්ස්ගේ පරාරෝපණ න්‍යාය ගොඩනැගෙන්නේ මේ ඔස්සේ යමින් ය. මෙහි දී මාක්ස් කියන කාරණයක් මෙසේ ය:

The criticism of all religion is the prerequisite of all criticism… it is therefore, the task of history ... to establish the truth of this world…Then the criticism of Haven turns into criticism of Earth, the criticism of religion into the criticism of law, and the criticism of theology into the criticism of politics. (Marx 1970,131)

මෙයින් පෙනෙන්නේ මාක්ස් හෙගල්ගේ විචාරය තුළ පවත්නා අවිචාරාත්මක පාර්ශ්වය විවේචනයට ලක් කරන බව ය. එමෙන් ම හෙගල් තුළ සැඟවී ඇති යථානුභූතවාදය හෙළිදරව් කිරීමක් ද කරන අතර මනුෂ්‍ය පරාරෝපණය චින්තන ආකෘතියක් ලෙසට හෙගල්ගෙන ඇති බව ද මාක්ස් පෙන්වා දෙයි.

මාක්ස්වාදය තුළ හෙගල්ව වැඩි වශයෙන් විවේචනයට ලක් වූ එක් කරුණක් වූයේ හෙගල්ගේ Philosophy of Right කෘතියේ ප්‍රසියානු ආණ්ඩුව සාධරණීකරණය කර තිබෙන බව නිසා ය. එම පොතෙහි මෙවැන්නක් කියවිණි.

What is rational is actual and what is actual is rational.(Hegel 1967, 101)

යුක්තිසහගත දේ සැබවින් පවතින්නේද සැබැවින් පවත්නා දෙය යුක්ති සහගත වේ.


Picture
G.W.F. Hegel
එංගල්ස්, ලුඩ්වික් ෆොයබාක් සහ සම්භාව්‍ය ජර්මානු දර්ශනවාදයේ අවසානය කෘතියේ හෙගල්ගේ මේ පාඨය උපුටා දක්වයි. එහි දී ඔහු කියන්නේ,
හෙගල්ගේ මේ ප්‍රකාශය තරම් පටු කල්පනාකාරී ආණ්ඩුවල කෘතඥතාවට ද එමෙන් ම පටු කල්පනාකාරී ලිබරල්වාදීන්ගේ කෝපයට ද ලක් වූ වෙනත් දාර්ශනික ප්‍රස්තුතයක් නැත... ඒ වනාහි සියලු දෙය ඒ පවත්නා ලෙසින් ම ශුද්ධත්වයට පත් කිරීමක් ද හිතුවක්කාර පාලනය, පොලිස් රාජ්‍යය, අත්තනෝමතික යුක්ති ධර්මය හා වාරණය යන මේවාට පිරිනැමූ ආශිර්වාදයක් ද වූ බව ප්‍රත්‍යක්‍ෂ ය... කෙසේ නමුත් අවශ්‍ය වූ දෙය අවසානයේ දී තමා යථාර්ථවත් බව ද ඔප්පු කරයි. තවද එහෙයින් තත්කාලීන ප්‍රසියානු රාජ්‍යය සම්බන්ධයෙන් යෙදු කල්හි හෙගලියානු ප්‍රස්තූතයේ එකම අර්ථය වන්නේ මෙය යි.... මෙසේ වර්ධනයේ ගමන් මාර්ගය තුළ දී පෙර යථාර්ථවත් වූ සියල්ල ද අයථාර්ථවත් වේ. එනම් ඒවායෙහි අවශ්‍යතාව ද, පැවතීමට ඇති අයිතිය ද, යුක්ති යුක්තභාවය ද නැති වී යයි.  (එංගල්ස් 1978, 5-6)

මෙයින් පෙනෙන්නේ කුමක් ද? හෙගලියානු දේශපාලන දැක්ම පවත්නා රාජ්‍යය සමඟ අනන්‍ය වන අතර ම එයට එරෙහි වන බව ය (identity and difference). හෙගල් ව පරිපූර්ණ වශයෙන් පද්ධතියකට අවශෝෂණය කර ගත නොහැකි බව ය. ප්‍රසියානු ආණ්ඩුව හෙගල්ව තමන්ගේ නිල දාර්ශනිකයා වශයෙන්  පිළිගත් අතරම ඔහුට එරෙහිව ඔත්තු බැලු බව ය. ඔහු හමුවන ශිෂ්‍යයන් ගැනත් ආණ්ඩුව ඔත්තු බැලුවේය; ප්‍රශ්න කළේය. Terry Pinkard ලියූ හෙගල්ගේ ජීවිත කතාවෙහි (Hegel: A Biography) මේ පිළිබඳ ව අන්තර්ගත ය.

මාක්ස්ගේ භෞතිකවාදයේ ඇති රැඩිකල්භාවය ඔහු තුළින් කියවෙන ‘saying is doing-doing is saying’යන්නෙන් තහවුරු වන බව එටනි බලිබාර් Philosophy of Marx කෘතියේ සඳහන් කරයි. මෙහි දී චින්තනය හා පැවැත්ම එකක් ම වේ. මේ කියමන සමඟ හෙගල්ගේ  ප්‍රකාශය වන 'the rational is real and the real is rational' යන්න කොතරම් දුරට සමාන්තර ද යන්න සැසඳිය හැකිය. මාක්ස් චින්තනය හා පැවැත්ම අතර විභේදනයක් නොකරන අතර මෙය හෙගල්ටත් පොදු ය. හෙගල් අනාවරණය කරන්නේ යථාර්ථය තුළ ගිලී තිබෙන සබුද්ධිකභාවය ය. වාස්තවිකත්වය තුළ ගිලී ඇති  ආත්මීයත්වය ය.

හෙගල් Philosophy of Right කෘතියේ rabble එනම් ‘කලහකාරී රංචුව’ යන සංකල්පය හඳුන්වා දෙයි. ජර්මන් භාෂාවෙන් මෙයට කියන්නේ Pöbel කියා ය. බුෂුවා පන්තිය සදාචාරාත්මක පරිහානියටත්, වැඩකරන මිනිසුන් අධ්‍යාත්මික පරිහානියටත් පත් වූ විට පරාරෝපිත මිනිස් කොට්ඨාසයක් බිහි වේ. මෙයින් නියෝජනය කෙරෙන්නේ සිවිල් සමාජයේ අවරෝධිත නිෂේධනය ය. මේ සංකල්පය හරහා මාක්ස් හෙගල් තුළ සැඟවුණු කොමියුනිස්ට්වාදියෙකු දකියි. හෙගල් පරාරෝපිත විඥානය ඉක්මවා යාම සඳහා යෝජනා කරන්නේ සබුද්ධික ප්‍රයුක්තතාවක් (rationalistic praxis) වන අතර මාක්ස් යෝජනා කරන්නේ දේශපාලන ප්‍රයුක්තතාවකි (political praxis). මේ දෙදෙනා තුළ ම ඇති කේන්ද්‍රීය ගාමක බලවේගය වන්නේ නිශේධනයේ බලය ය (power of negativity)'.

හෙගල්-මාක්ස් අඛණ්ඩත්වය පෙන්වාදීමට ප්‍රධාන වශයෙන් ඉදිරිපත් කෙරෙන කෘතිය වන්නේ මාක්ස්ගේ ආර්ථික හා දාර්ශනික අත්පිටපත ය. මේ කෘතියේ මාක්ස් ඉතාමත් වැදගත් ප්‍රකාශනයක් කරයි:

The outstanding achievements of Hegel’s Phenomenology-the dialectic of negativity as the moving and creative principle. (Marx 1962,176)

මෙය මාක්ස් විසින් සංකල්ප තුනක් ඔස්සේ අර්ථකථනය කරයි. මේ සංකල්ප තුනම නිශේධනයේ ප්‍රකාශනයන් ය.

            1.    පරිබාහිරකරණය (externalization)
            2.    වස්තුකරණය (objectification)
            3.    පරාරෝපණය (alienation)

මාක්ස් හෙගල්ව මේ කෘතියේ දී අගය කරන අතරම විවේචනයට ලක් කිරීමක් ද කරයි. මාක්ස් හෙගල්ව විවේචනය කරන්නේ ඔහු නිශේධන ක්‍රියාවලිය විඥානයට පමණක් සීමා කළාය යන පදනමේ සිට  ය. ඔහු ස්වයං-නිශේධනයක (self-negation) සිර වී සිටි නිසා මේ අභ්‍යන්තරික නිෂේධනයෙන් ඔබ්බට යාමට හෙගල් අසමත් වන බව ය. තවදුරටත් මාක්ස් කියන්නේ හෙගල් සද්භවවාදී වියුක්තකරණයක (ontological abstraction) සිර වී සිටින බව ය. මේ නිසා හෙගල්ගේ විචාරාත්මක දර්ශනය තුළම අවිචාරාත්මක පාර්ශ්වයන් ඇති බව මාක්ස් පෙන්වා දෙයි. මාක්ස් දකින ආකාරයට හෙගලියානු දයලෙක්තිකය සමන්විත වන්නේ අභ්‍යන්තරික ස්වයං-ජනනමය ගතිකයන් (inner self-generating dynamic) මතය. මේ අභ්‍යන්තරික ගතිකය මගින්ය පරිබාහිර යථාර්ථය නිර්මාණය කෙරෙන්නේ. මේ අභ්‍යන්තර ගාමකය පසු කාලයේ දී මාක්ස් ධනේශ්වර නිෂ්පාදන ක්‍රමවේදයේ අභ්‍යන්තරික ගතිකයන් තේරුම් ගැනීමට අදාළ කර ගත්තේ ය. හෙගල්ට අනුව සමස්ත පද්ධතිය වර්ධනය වෙන්නේ ඓන්ද්‍රීය ආකාරයට ය. පද්ධතියේම ඇති අසම්පූර්ණත්වය පද්ධතියේ චලනයට අවශ්‍ය තල්ලුව ලබා දෙයි.

ආර්ථික හා දාර්ශනික අත්පිටපත් කෘතිය මගින්ය මාක්ස් තමන්ගේ පරාරෝපණ න්‍යාය එනම් විගලිත ශ්‍රමය (estranged labour) පිළිබඳ අදහස ගොඩනගන්නේ. මෙහි දී මාක්ස් කොතරම් දුරට හෙගල්ගේ පරමාත්මයේ ප්‍රපංචවිද්‍යාව පොත මත පදනම් වෙනවා ද යන්න පරීක්‍ෂා කළ හැකිය. මාක්ස් මෙහි දී මෙවැන්නක් ලියයි:

The alienation of the worker in his product means not only that his labour becomes an object, assumes an external existence, but that it exists independently outside him that it stands opposed to him as an autonomous power. The life that he has given to the objects sets itself against him as an alien and hostile force... However, alienation appears, not only in the results but also in the process of production within productive activity itself. (Marx, 1962,95)

හෙගල්ගේ මුළු මහත් දර්ශනයේ පදනම නිදහස (Freedom) යන්න ය. පරමාත්මය (Geist) එයින් ම පරාරෝපණය වන්නේ මේ නිදහස අත්පත් කර ගැනීමට ය. නමුත් මාක්ස් මෙහි දී අලුත් දෙයක් කියයි. මිනිසා වාර්ගික සත්වයකු (species being) ලෙස නිෂ්පාදන ක්‍රියාවලිය හරහා නිදහස් සත්වයකු බවට පත්වීමට උත්සාහ ගත්තත් ධනේශ්වර ක්‍රමය තුළ දී ඔහු පරාරෝපිත සත්වයකු (alienated being) වන බව ය.

Picture
Friedrich Engels
මාක්ස් දාර්ශනික අත්පිටපත්වල හෙගල්ව විචාරයට ලක් කරමින් ලියන ලද පරිච්ඡේදය වන්නේ ‘Critque of Hegel’s Dialectic and General Philososphy' යන්න ය. මේ ලිපියේ දී මාක්ස් තරුණ හෙගලියානුවාදීන්ව පමණක් නොව ෆොයබාක් සහ හෙගල්වත් විවේචනයට ලක් කරයි. මේ විචාරය කරන්නේහෙගල්ගේ ප්‍රපංචවිද්‍යාව කෘතිය විමර්ශනය කරමිනි. මාක්ස් පෙන්වා දෙන ආකාරයට හෙගල්ට අනුව විඥාන ක්‍රියාවලිය පරිපූර්ණ වන්නේ සියලු ප්‍රතිවිරෝධතා විසඳුනු පරම විඥාන අවධිය තුළ දී ය. නමුත් මාක්ස් කියන්නේ මේ පරිපූර්ණ විඥාන මොහොත තවමත් පරාරෝපිත එකක් බව ය. මක්නිසා ද එය තවමත් බුෂුවා චින්තනයේ සිර වී ඇති නිසා ය. හෙගල් මෙහි දී සලකා බලා තිබෙන්නේ පරම වශයෙන් සියලු ප්‍රතිවිරෝධතා ඉක්මවා යන සද්භාවාත්මක සත්‍යයකි. නමුත් මාක්ස් කියන්නේ හෙගල් චින්තනය තුළ ප්‍රතිවිරෝධතා ඉක්මවා ගියත් සමාජ ප්‍රතිවිරෝධතාවන් තවමත් ශේෂ වී ඇති බව ය.

 මේ රචනයේ දී මාක්ස් ෆොයබාක්ව අගයයි. එය ෆොයබාක් හෙගල්ගේ දයලෙක්තික විවේචනය කිරීමට තරම් ශක්තියක් මුල්වතාවට පැවති පුද්ගලයා නිසා ය. ෆොයබාක්ට අනුව හෙගල් හුදෙක් අනාවරණය කරගත්තේ ඓතිහාසික ක්‍රියාවලිය ගැන වියුක්ත, තාර්කික, සමපේක්‍ෂණමය මූලධර්මයකි. එයින් මිනිසාගේ සත්‍ය ඉතිහාසය නියෝජනය වන්නේ නැත. දර්ශනය තුළ ඇති දේවධර්මය ඉක්මවා යාමට හෙගල් තවමත් සමත් වී නැත. ෆොයබාක්ගේ මේ විවේචනය මාක්ස් සිය භෞතිකවාදය ගොඩනගා ගැනීමේ දී උපයුක්ත කරගනී.

දාර්ශනික අත්පිටපත්වල මාක්ස් මෙවැන්නක් ලියයි:

The Phenomenology is, therefore, a hidden and mystifying criticism.  (Marx 1970, 176)හෙගල් පරාරෝපණය යන්න ඥානනය කර ගත්තත් මේ පරාරෝපණය සිදුවන්නේ ලෝක ඓතිහාසික ආත්මයක් හෝ මනසක් තුළ ය. හෙගල්ගේ විචාරය තුළ සියල්ලම අන්තර්ගත ය. නමුත් ඒ සියල්ල ගූඪවාදී ආකාරයට ප්‍රකාශයට පත් වේ. සෑම විඥාන ආකෘතියක් ම පරාරෝපිත රූපයක් ලෙසට ප්‍රකාශයට පත්වූවත් මේවා සියල්ල චින්තන ආකෘති ලෙසට ය ප්‍රකාශයට පත් වෙන්නේ. හෙගල්ට පෙනී යන්නේ සොබාදහම සහ මිනිස් ස්වභාවය ආත්මයෙන් පරාරෝපිත වියුක්ත රූපයන් ලෙසට ය. alientation, estrangment, objectificaion චින්තනයට අයත් ප්‍රවර්ගයන් ලෙසට ය හෙගල්ට පෙනී යන්නේ.

මේ අඩුපාඩුව තිබිය දී ම හෙගල්ගේ වටිනාම හා ශ්‍රේෂ්ඨතම සොයා ගැනීම ලෙස නිශේධනයේ දයලෙක්තිකය (Dialectic of Negation) හඳුනාගනී. (කවු ද?) චලන බලවේගය වන්නේ මෙයයි. මේ හෙගලියානු දැක්මට අනුව මිනිසා තමන්වම නිර්මාණය කර ගනී. සැබෑ මිනිසා යනු තම ශ්‍රමයෙන් තමන්ව නිෂ්පාදනය කර ගත් මිනිසා ය. හෙගල්ට අනුව ශ්‍රමය යනු තමන්ව ම තහවුරු කර ගන්නා මිනිස් සාරය ය (self-confirming essence of man). නමුත් මාක්ස් දකින ආකාරයට හෙගල් මෙහි දී කතා කරන්නේ ශ්‍රමයේ සර්ව ශුභවාදී, සාධනීය පැත්ත ය. වස්තූන් යනු පරමාත්මය එයින් ම පරිබාහිර වීම ය; වාස්තවික වීම ය. පරමාත්මය පරාරෝපණය වීමෙන් ය දේවල් (thinghood) සෑදෙන්නේ. එමෙන් ම පරමාත්මයට මේ පරාරෝපණය තමන් තුළට නැවත ඇද ගත හැකි ය (dealienation). මෙහි දී මාක්ස්, හෙගල් සම්බන්ධයෙන් විවේචනාත්මක වේ. මාක්ස්ට අනුව හෙගල්ගේ දේවල්මයභාවය විඥානයෙන් කළ වියුක්තකරණයකි. එනිසා ඒවා සැබෑ දේවල් නොවේ.

හෙගල්ට අනුව යමින් දාර්ශනික අත්පිටපත්වල දී මාක්ස් කියන කාරණයක් නම් මිනිසා යනු විඳවන (suffering), තත්වාරෝපණයවන (conditioned) සහ සීමිත (limited) සත්වයකු බව ය. මිනිසාට තමන්ගේ සත්තාව ප්‍රකාශ කර ගැනීමට සිදුවන්නේ සැබෑ වස්තූන් තුළ ය. උදාහරණ ලෙස බඩගින්න යන්න මිනිස් ස්වභාවයකි. මෙය සපුරා ගැනීමට සිදුවන්නේ මිනිසාගෙන් පිටස්තර දෙයක් මත පදනම් වෙමින් ය. මෙයින් කියන්නේ චින්තනයට පිටතින් වස්තූන් අවශ්‍ය බව ය. චින්තනයේ වස්තූන්ගෙන් බඩ පිරෙන්නේ නැත.

මාක්ස්ට අනුව හෙගල්ගේ ගූඪවාදය එළියට එන්නේ කොතනින් ද?හෙගල්ට අනුව ඥානනය තමන්ගේ ම ක්‍රියාවකි. එක ම වාස්තවික ක්‍රියාකාරකම චින්තනමය ක්‍රියාකාරකම ය. හෙගල් කතා කරන පරාරෝපණය චින්තනය පරාරෝපිතයක් විනා සැබෑ පරාරෝපණයක් නො වේ.

මාක්ස් දකින ආකාරයට හෙගල් ශ්‍රමය යන්න හඳුනා ගත්තත් එය ස්වයං-ආකාරයට වියුක්ත ආකාරයට නිපදවා ගත්තකි. එහි දී මිනිසා තමන්වම පරාරෝපිත කෙනෙක් ලෙස ග්‍රහණය කරගත්තත් එය මානසික ශ්‍රමය හරහා උත්පාදනය වෙන එකකි. හෙගල්ට අනුව මිනිසාගේ සාරය ස්වයං-විඥානය වේ. එය ස්වයං-නිර්මිතයකි (self-creation) මෙය හරහා ය ස්වයං-වාස්තවිකකරණය (self-objectification) ඇතිවන්නේ.


මෙහි දී මාක්ස් විසින් හෙගල්ට කරන විවේචනයක් වන්නේ හෙගල් අතින් ආත්මීයත්වය හා වාස්තවික්තවය ව්‍යාකූලත්වයට ලක්වන බව ය. සැබෑ මිනිසා හා සැබෑ ස්වභාවය හුදෙක් වාචකයක් (predicate) බවට පත් වී සැබෑ නොවන (unreal) වාච්‍යයේ තැනට ආත්මය (subject) පැමිණ තිබෙන බව ය. මේ පරම අසත් ආත්මය ක්‍රියාවලියෙහි කතෘවරයා වී ඇති බව ය. 1844 දාර්ශනික අත්පිටපතේ දී මාක්ස් කියන්නේ මිනිසාගෙන් ස්වායත්ත කර ආත්මයේ පරාරෝපිතයක් බවට පත් කර ඇති සොබාදහමින් වැඩක් නැති බව ය.

මෙහි දී අප තේරුම් ගත යුතු කාරණයක් වන්නේ හෙගල් මෙන් ම මාක්ස් ද නිෂ්පාදන ක්‍රියාවලිය ගැන කථා කරන බව ය. හෙගල්ට අනුව පරමාත්මය මගින් චින්තනය නිපදවනු ලබයි. එයින් යථාර්ථය නිර්මාණය වේ. මාක්ස්ට අනුව මිනිස් ජීවිතයම  නිෂ්පාදනීය එකකි. මේ ක්‍රියාවලියේ දී මේ දෙදෙනාම ආකාර දෙකක පරාරෝපණයක් ගැන කතා කරති.  දෙදෙනාටම පරාරෝපණයන් ඉක්මවා යාම අවශ්‍ය ය. හෙගල් මෙය චින්තනය තුළ විසඳා ගැනීමට උත්සාහ ගනියි. මාක්ස්ට අනුව පරාරෝපණය චින්තනය තුළ ජයගත හැකි එකක් නො වේ. මාක්ස්ට අනුව හෙගල් සිය න්‍යාය තුළ තමන් ම පනවා ගත් සීමාවක් ඇත (self-imposed limitation).

Picture
Ludwig Feuerbach
හෙගල්ට අනුව මිනිසාගේ සාරය ස්වයං-විඥානය ය. මේ ස්වයං-විඥානය තමන්වම සාක්ෂාත්කරණය කර ගැනීමේ දී අනිවාර්ය පරාරෝපණ ක්‍රියාවලියකට ඇතුළු වන අතර පරාරෝපණය ඉක්මවා යාම යනු නිදහස අත්පත් කර ගැනීම ය. එය පරාරෝපණයේ (alienation) සිට පරාරෝපණයෙන් නිදහස් වීම (dealienation) දක්වා ගමන් ගැනීමකි. මාක්ස්ට අනුව හෙගල්ගේ මේ පරාරෝපණ  න්‍යායෙන් සැබෑ ලෝකය සම්බන්ධයෙන් විචාරයක් කෙරෙන්නේ නැත. හෙගල් පරාරෝපණ ගැටලුවට ලබා දෙන්නේ සමපේක්‍ෂක විසඳුමකි. මාක්ස් කියන්නේ පරාරෝපණය නම් සැබෑ ගැටලුවට සැබෑ  ප්‍රායෝගික විසඳුමක් අවශ්‍ය බව ය.

හෙගල් දක්වන ආකාරයට ස්වයං-විඥානය නිසගයෙන්ම තමන්ව වස්තුකරණයට ලක් කරයි. මෙහි දී සිදුවන්නේ මිනිස් අභ්‍යන්තරික ගතිකත්වය පරිබාහිරකරණය වීම ය (externalization). එයින් දේවල් හා සමාන වස්තූන් බිහි වේ. මේ පරිබාහිර වස්තුව මනස තුළ පිළිබිඹු වන්නේ න-අන්‍යය, අනෙකා ලෙසට ය. මෙහි දී මාක්ස් පෙන්වා දෙන්නේ හෙගල් වාස්තවිකත්වය හා පරාරෝපණය අතර ව්‍යාකූලත්වයක් බිහිකරන බව ය. මෙහි දී ස්ව-වාසතවිකරණය (self-objetification) ගැන පමණක් අවධානය යොමු කර තිබෙන බව ය. මෙය පැහැදිලි කිරීමට උදාහරණයක් ගනිමු. නිර්මාණ ශිල්පියෙකු තම අභ්‍යන්තරික කලාත්මක ආත්මය කළු ගලක් තුළ පිළිමයක් ලෙස නිර්මාණය කරයි. මෙහි දී මිනිසාගේ කලාත්මක සාරය ගල මත පරිබාහිරකරණය වීම සිදු වේ. කලාකරුවාගේ කලාත්මක සූක්‍ෂමතාව ඔප්පු වන්නේ ගලෙන් නිර්මාණය වෙන පිළිමයෙහි සූක්‍ෂමතාව අනුව ය. මෙහි දී සිදුවන්නේ කලාකරුවාගේ මානසික ශ්‍රමය එළියට යාමකි. මේ තුළ සිටින්නේ හෙගල් ය. නමුත් ගල ඉදිරියේ කලාකරුවා කොතරම් සමපේක්‍ෂමය ලෙස ශ්‍රමය වැය කළත් ශාරීරිකව සිය දෙඅතින් ශ්‍රමය වගුරවන්නේ නැත්නම් පිළිමයක් සෑදෙන්නේ නැත. මේ භෞතික ශ්‍රමය ගැන ය මාක්ස් කතා කරන්නේ. ඔහුගේ භෞතික ශ්‍රමයපරිබාහිරකරණය වීම, වාස්තවික වීම මෙහි දී සිදුවේ.

හෙගල් අතින් නොකියවෙන දෙයක් මාක්ස් මතු කරයි. මාක්ස් හෙගල්ගේ පරිබාහිරකරණය වසතුකරණය පිළිගනී. නමුත් ධනේශ්වර ක්‍රමය තුළ සුවිශේෂ ආකාරයක පරාරෝපණයක් සිදුවන බව මාක්ස් කියයි (Struik 190.56-47):

1. නිෂ්පාදිතයෙන් ශ්‍රමය පරාරෝපණය වීම (Alienation of labor from the product).  මෙයින් කියවෙන්නේ, ශ්‍රමිකයාව තමන් නිෂ්පාදනය කළ නිෂ්පාදිතයෙන් පරාරෝපණය වීම ය.

2. නිෂ්පාදන ක්‍රියාවලියෙන් ශ්‍රමය පරාරොපණය වීම (Alienation of labor from the act of productivity). ධනේශ්වර ක්‍රමයක ශ්‍රමය බල කරන ලද ශ්‍රමයකි (forced labor). (Human become animal).

3.  මිනිසා ස්වභාවයෙන් පරාරෝපණය වීම (Alienation of man from nature, hence from his species, mankind)

මාක්ස් මෙහි දී කර තිබෙන්නේ හෙගල්ගේ සමපේක්‍ෂණ යෙදුම් වෙනුවට සැබෑ යෙදුම් පාවිච්චි කරමින් අප ජීවත් වන  යථාර්ථවත් ලෝකයේ සිදුවන සත්‍යය සහ පරාරෝපණ ක්‍රියාවලිය පැහැදීම ය. නමුත් මෙය කරන්නේ හෙගල්ගේ ම සංකල්ප පාවිච්චි කරමිනි.

ජෝර්ජ් ලුකාස් ලියන ලද The Young Hegel: Studies in the Relation between Dialectics and Economics කෘතියේ පැහැදිලි කරන ආකාරයට හෙගලියානු ආත්මයේ සත්‍යය පරිබාහිරකරණය විඥානවාදී කූඩුවෙන් එළියට ගැනීම ය මාක්ස් විසින් සිදු කරන්නේ (Lukacs 1975,558). පරාරෝපණයේ සිදුවන භයානක සහ අවමානුෂික පැත්ත හෙගල් ග්‍රහණය කර නැති බවත් මෙහි දී පෙන්වා දෙයි. මාක්ස් හෙගල්ගේ පාරභෞතික භාෂාව බැහැර කළත් එය ඉතාම පරිස්සම්කාරී ආකාරයට තමන්ගේ දයලෙක්තික චින්තනයට ඇතුළු කරගෙන ඇත.

Picture
György Lukács
මාක්ස් නිෂ්පාදන ක්‍රියාකාරකම (productive activity) නම් සංකල්පය වර්ධනය කරන්නේ හෙගල්ගේ පරමාත්මයේ ප්‍රපංචවිද්‍යාව කෘතියේ ඇති නිශේධනය ආශ්‍රයෙන් ය. හෙගල් නිෂ්පාදන ක්‍රියාවලිය තේරුම් ගන්නේ සද්භවවාදී දෘෂ්ටියකිනි. විඥානය තමන්වම අවබෝධ කර ගැනීම සහ සම්ප්‍රජානනය කර ගැනීම සඳහා චින්තනයේ වස්තූන් නිෂ්පාදනය කරයි. මාක්ස් ධනේශ්වර ක්‍රමය තුළ සිදුවන නිෂ්පාදන ක්‍රියාවලිය තේරුම් ගන්නේ ඓතිහාසිකව සිදුවන මැදිහත්කරණයක් (historically mediated) ලෙසට ය.

ශ්‍රමයේ ඇති නිශේධනමය බලය මාක්ස් තේරුම් ගැනීම හෙගල්ගේ පරමාත්මයේ ප්‍රපංචවිද්‍යාව කෘතියේ වර්ධනය කර තිබෙන සංකල්පයන්ට සමාන්තර ය. හෙගලියානු පරමාත්මය එහිම ඇති නිශේධනමය බලය මැදිහත්කරගෙන තමන්වම වාස්තවික කර ගන්නා අතර තමන්වම පරාරෝපණය කර ගනී. නමුත් මාක්ස් දකින ආකාරයට හෙගල් අතින් සිදුවන වරද වන්නේ වස්තුකරණය හා පරාරෝපණය ඔහුට එකක්ම වීම ය (Marx 1970, 179-180). මාක්ස්ගේ විග්‍රහය වන්නේ ඕනෑම සමාජ ක්‍රමයක දී මිනිස් ශ්‍රමය නිෂ්පාදන ක්‍රියාකාරකමක නිරත වන විට සිය ශ්‍රමය වස්තුකරණය වුවත් පරාරෝපණය ධනේශ්වර ක්‍රමයට සුවිශේෂ සංසිද්ධියක් බවය.

ඉස්ට්වාන් මෙසරෝස් තමන්ගේ Marx’s Theory of Alienationys (1970) පවසන ආකාරයට මාක්ස්ගේ ආර්ථික හා දාර්ශනික අත්පිටපත් සිට ප්‍රාග්ධනය දක්වා ගමන් කිරීමේ දී හෙගල්ගේ ස්වයං-පරාරෝපණය (self-alienation) යන්න ඉක්මවා යමින් සැබෑ ශ්‍රමය වෙත ළඟා වෙයි. මාක්ස්ට අනුව මිනිස් ආත්මයක් ශුන්‍යතාවකින් කිසිම දෙයක් නිපදවන්නේ නැත. ඕනෑම නිෂ්පාදනයක් සඳහා නිෂ්පාදන ක්‍රියාවලියට පිටින් සැබෑ වස්තූන් අවශ්‍ය ය. නිෂ්පාදන ක්‍රියාවලියේ දී මිනිසා අනෙකා කරගන්නේ තවත් මනසක් නොව සොබා දහමය. මෙහි දී මාක්ස් කරන්නේ හෙගල්ගේ ස්වයං-පරිවර්තනමය අධ්‍යාත්මික ශ්‍රමය (self-transforming spiritual labour) සොබාදහම පරිවර්තනය කරන භෞතික ශ්‍රමය බවට පත් කිරීම ය. මාක්ස්ට අවශ්‍ය වන්නේ සද් ඉන්ද්‍රීය ක්‍රියාකාරීත්වයේ නිෂේධනීය බලය පවත්නා යථාර්ථය වෙනස් කිරීමේ බලවේගය බවට පත් කිරීම ය. මාක්ස් ආර්ථික හා දාර්ශනික අත්පිටපත්වල මෙවැන්නක් සඳහන් කරයි:

Hegel grasps labor in the essence of man …The only labor which Hegel knows and recognizes is abstractly mental labor. (Marx 1970,177)

ශ්‍රමයේ ප්‍රතිජානමය පාර්ශ්වය හෙගල් දකින නමුත් නිෂේධනීය පාර්ශ්වය නොදකියි. ශ්‍රමය හරහා අතිරික්තයක් නිෂ්පාදනය වන බවත් එයින් ප්‍රාග්ධනය බිහි වන බවත්  ප්‍රාග්ධනය මනුෂ්‍යත්වයේ වර්ධනයට බාධාකාරී බවත් මාක්ස් පෙන්වා දෙයි.

මාක්ස්ගේ බොහෝමයක් දාර්ශනික සහ දේශපාලනික ආර්ථික අදහස් උපත ලබන්නේ හෙගල්ගේ පරමාත්මයේ ප්‍රපංචවිද්‍යාව හරහා ය. තරුණ මාක්ස්ව පරික්‍ෂා කළ විට පෙනී යන දෙයක් වන්නේ හෙගල්ගේ ආත්මය පිළිබඳ සද්භවවේදය මාක්ස්ට බලපා තිබෙන බව ය. නමුත් පරමාත්මයේ ප්‍රපංචවිද්‍යාව තුළ ආත්මය හා වස්තුව අතර සත්‍යය සබඳතාව ගූඪකරණයට ලක් කර ඇති නිසා එය ගූඪකරණයෙන් ගලවා ගැනීම (demystify)    මාක්ස්ගේ ව්‍යාපෘතිය වේ. විඥානවාදී සමපේක්‍ෂණයක සිට භෞතිකවාදී විචාරයක් දක්වා ගමන් කිරීම මාක්ස්ගේ අරමුණ වේ.

හෙගල්ට අනුව ස්වයං විඥානය ඕනෑ ම වෙනසක සත්‍යය කතුවරයා ය. මාක්ස් සවයං-විඥානය පරම ඓතිහාසික ආත්මය වශයෙන් පිළිගන්නේ නැත. විඥානය යන්න දැනටමත් සත්‍යය ජීවිත ක්‍රියාවලිය සමඟ සම්බන්ධිතව (mediate) පවතී. මේ ජීවිත ක්‍රියාවලිය ය ඉතිහාසයේ සත්‍යය  කතුවරයා වන්නේ. මාක්ස් මෙවැන්නක් පවසයි:

Life is not determind by consciousness but conscousness by life. (Marx 1976,3)

මාක්ස්ගේ ආර්ථික හා දාර්ශනික අත්පිටපත් කෘතියට පසු හෙගලියානු විඥානවාදය සම්බන්ධයෙන් කිසියම් ඉදිරිපත් කිරීමක් ෆොයබාක් ප්‍රවාදවලින් කෙරෙයි. දාර්ශනික අත්පිටපත් වලින් වසර 10 කට පසුවය මාක්ස් ෆොයබාක් ප්‍රවාද ලියන්නේ. මෙහි දී එක් පැත්තකින් ෆොයබාක්ගේ අනුභූතිවාදී -මානව විද්‍යාත්මක විධික්‍රමයට ගරුත්වයක් ලබා දෙයි. තවත් පැත්තකින් ෆොයබාක්ගේ සීමාවන් ප්‍රශ්න කරයි.

මාක්ස් ෆොයබාක් පළමු ප්‍රවාදයේ දී ම තමන්ට හෙගල් සමඟ ඇති සබඳතාව සහ හෙගල්ව ඉක්මවා යාම ගැන හකුළුවා පවසයි. මෙහි දී:

1. මාක්ස් එවකට පවත්නා සියලු ම විඥානවාදයන් හා භෞතිකවාදයන්ට විරුද්ධව පෙනී සිටී.

2. ෆොයබාක්ගේ ද ඇතුළුව භෞතිකවාදය, භෞතික යථාර්ථය තේරුම් ගැනීමට උත්සාහ කළත් ඒවායින් මනුෂ්‍ය ආත්මයේ ඇති අභිප්‍රායමය හා ක්‍රියාකාරී පාර්ශ්වය අත් හැරී ඇත.

3. මේ භෞතිකවාදයට වෙනස්ව කාන්ට් සහ හෙගල් වර්ධනය කළ විඥානවාදී මනුෂ්‍ය ආත්මය ජීවිතයේ ක්‍රියාකාරී පාර්ශ්වය තේරුම් ගෙන ඇත. නමුත් ඔවුන් චින්තනයේ ක්‍රියාකාරීත්වයට සීමා වී ඇත. ලෝකය චින්තන ප්‍රවර්ගයන්ගේ නිර්මාණයක් ලෙස සලකා ඇත.


Picture
Immanuel Kant
4. එයින් පසුව මාක්ස් මේ දැක්මවල් දෙක එකට එකතු කරයි. මිනිස්සු ලෝකය නිර්මාණය කරන අතර පරිවර්තනය කිරීම ද කරයි. ඒ තුළ මිනිස්සු තමුන්ව ම හඳුනා ගනී. මේ පරිවර්තනය සිදුවන්නේ චින්තනය තුළ හෝ උත්කෘෂ්ට සංකල්ප තුළ නොවේ. මිනිස්සු ලෝකය පරිවර්තනය කරන්නේ සැබෑ භෞතික ක්‍රියාකාරීත්වය මඟින් ය. මෙයින් මාක්ස් එළඹෙන්නේ තමන්ගේම වූ භෞතිකවාදයට ය. එය ඉන්ද්‍රීයමූලික ව්‍යවහාරික ක්‍රියාකාරීත්වය ය.

මේ භෞතිකවාදී මතය හෙගල්ගෙන් ඛණ්ඩනය වීමක් නො වේ. මාක්ස් ආරම්භය දෙන භෞතිකවාදය තුළත් හෙගල් අන්තර්ගත ය. මාක්ස් හඳුනා ගන්නා ආකාරයට මිනිසාගේ සැබෑ ක්‍රියාකාරී පාර්ශ්වය ෆොයබාක්ට අහිමි වී ඇත.

දෙවන ෆොයබාක් ප්‍රවාදයේ දී කියවෙන ආකාරයට න්‍යාය මේ ලෝකයේ දී භාවිතයෙන් ඔප්පු කළ යුතු ය. මාක්ස් යෝජනා කරන්නේ ක්‍රියාව දිශාභිමුඛ න්‍යායකි (action oriented theory). එයින් බලාපොරොත්තු වන්නේ ප්‍රායෝගික විමුක්තියකි. මාක්ස් හා එංගල්ස් ජර්මන් දෘෂ්ටිවාදය (German Ideology) කෘතියේ දී මෙවැන්නක් ලියයි:

One has to leave philosophy aside [...]one has to leap out of it and devote oneself like an ordinary human being to the study of activity [...] philosophy and the study of the real word have the same relation to one another as onanism and sexual love.(Marx and Engels 1976, 236)

දාර්ශනිකව ප්‍රශ්න විසඳීම ස්වයං මෛථුනයක් වැනි ය. චින්තනයෙන් සැබෑ ප්‍රශ්නය විසඳිය නොහැකි බව ය ඔහු කියන්නේ. මෙහි පළමු වැන්න ඵලදායි නොවන ව්‍යායාමයකි (unproductive). දෙවැන්න ඵලදායි ව්‍යායාමයකි (productive). විඥානවාදී දර්ශනය අදහස්වලින් පටන් ගෙන අදහස්වලින් අවසන් කරයි. මෙය ස්වයං වින්දනයක් හා සමාන ය.

        හෙගල්ගේ ස්වයං-විඥානය තුළ දේශපාලන ප්‍රයුක්තතාවක් සඳහා වන ඒජන්තයකු නැති බව මාක්ස්ගේ මතය වේ. කාන්ට් සහ හෙගල් යන අයට මේ විවේචනය පොදු ය. ජර්මන් දෘෂ්ටිවාදය කෘතියෙන් යෝජනා වන්නේ සැබෑ මනුෂ්‍ය වර්ගයාගෙන් පටන් ගත යුතු බවය. මාක්ස් යෝජනා කරගත් හෙගල්ගේ සද්භවවාදයේ විප්ලවීය ගුණය  ආරක්‍ෂා කර ගනිමින් ෆොයබාක් විසින් හෙගල් සම්බන්ධයෙන් කරන විචාරයෙන් ඔබ්බට යමින් මිනිස් ඉන්ද්‍රීය මූලික ක්‍රියාකාරී පාර්ශ්වය ඇතුළත් සැබෑ භෞතිකවාදයට ප්‍රවේශ විය යුතු බවය.

මාක්ස් ලියන ආකාරයට:

Feuerbach, not satisfied with abstract thinking, wants (sensuous) contemplation: but he does not conceive sensuousness as practical human sensuous activity. (Marx and Engels 1976,4)

මාක්ස් ෆොයබාක් කළා සේ හෙගල්ගේ ලෝක ආත්මය (World Spirit) ද්‍රව්‍යමය ලෝක සාරාර්ථයකින් (material world substance) විස්ථාපනය කරන්නේ නැත.

Picture
මෙතැන් සිට මාක්ස් විසින් සිය ජීවිතයේ දෙවන භාගයේ ලියනු ලැබූ දේශපාලන, ආර්ථික විද්‍යා පොත් තුළ හෙගල්ට ලබා දුන් තැන පිළිබඳ ව සාකච්ඡා කරමු.

මාක්ස් Preface to a Contribution to the Critique of Political Economy පොතෙහි බොහෝ අවස්ථාවල දී මතු කෙරෙන ප්‍රකාශයක් ඇත.

The totality of these relations of production constitutes that economic structure of society the real foundation, on which arises a legal and political superstructure and to which correspond definite forms of social consciousness. The mode of production of material life conditions the general process of social political and intellectual life. It is not the consciousness of men that determines their existence but their social existence that determines their consciousness.(Marx 1976, 3)

අවාසනාවන්ත ලෙස මේ ප්‍රකාශය මාක්ස්ව ඌනිතවාදියකු, ආර්ථික නිර්ණයවාදියකු, ප්‍රතිවිඥානවාදියකු බවට පත්කිරීමට බොහෝ විට පාවිච්චි වී ඇත. මේ ප්‍රකාශය ඇතුළේ තිබෙන හෙගලියානු ප්‍රවර්ගයන් ගැන අවධානය යොමු කෙරී නැත. හෙගල්ගේ ප්‍රවර්ගයන් වන සත්තාව (existence/being) විඥානය (consciousness), චින්තනය (thought) ආදිය ගැන සැලකිල්ල දක්වා නැත. මාක්ස් කතා කරන සමාජ, දේශපාලන හා බුද්ධිමය ජීවිතය හෙගල්ගේ අදහස (Idea) යන්න සමඟ සැසඳිය හැකි ය. මාක්ස් කියන්නේ මෙය සමාජීය හා ආර්ථික ලෙස තත්වාරෝපණය කෙරෙන බව ය. මාක්ස් මෙහි දී පාවිච්චි කරන ජර්මන් වචනය වන්නේ bedingen යන්න ය. එහි තේරුම තත්වාරෝපණය කරනවා යන්න ය. කෙසේ නමුත්, අර්නස්ටෝ ලැක්ලව් ඇතුළු බොහොමයක් අය මෙහි දී අඟවා තිබෙන්නේ bestimmen යන්න ය. එහි තේරුම වන්නේ to determine යන්න ය. මේ වචන දෙක අතර තියුණු වෙනසක් ඇත. මාක්ස් මේ වෙනස තේරුම් ගෙන ය වචන පාවිච්චි කර තිබෙන්නේ. කාන්ට් Critique of Pure Reason වල Transcendental Aesthetic නම් තේමාව යටතේ වියහැකියාවන්ගේ තත්වයන් (conditions of possibilities) ගැන කථා කර ඇත. මේ උරුමය හෙගල්ටත් ඇත. හෙගල් අදහස (Idea) යන්න ලෝකයෙන් කඩන්නේ නැත. එය වස්තුව හා සංකල්පය අතර ඒකත්වය ය. හෙගල් අදහස ශුද්ධ එකක් බවට පත් කරන්නේ නැත. මාක්ස් කරන්නේ අදහස සමාජ-ආර්ථික යථාර්ථය සමඟ සම්බන්ධ කිරීම ය. මෙහි කතා කෙරෙන නිෂ්පාදන ක්‍රමය (mode of production) යන්න හෙගල්ගේ පරමාත්මය (Spirit) යන්න සමඟ සැසඳිය හැකි ය. හෙගලියානු ආත්මය සමාජීය, ආර්ථික නිෂ්පාදන ජීවිතයෙන් පරිබාහිර එකක් නොවේ.

මාක්ස් හා එංගල්ස් යන දෙදෙනා ම තමන්ව අනාගතයේ දී ආර්ථික ඌනිතවාදීන් බවට පත්කිරීමට ඉඩ තිබෙන බව දැන සිටි බව 1840 දී එංගල්ස් ජේ. බ්ලොහ්ට ලියන ලිපියෙන් ඇඟ වේ. දීර්ඝ වුවත් මෙය උපුටා දැක්වීම වටින්නේ ය.

According to the materialist conception of history the determining element in history is ultimately the production and reproduction in real life. More than this neither Marx nor I have ever asserted. If therefore sombody twists this into the statement that the economic element in the  only determining one, he transforms it into a meaningless, abstract and absurd phrase. The economic situation is the basis, but the various elements of the superstructure – political forms of the class struggle and its consequences, constitutions, established by the victorious class  after a  successful leaffle, etc. – forms of law –and then even the reflexes of all these actual struggle in the brains of the combatants : political, legal, philosophial theoiries, religious ideas and their further  development into system of dogma– also exercise their influence upon the course of the historical struggles and in many cases preponderate in determining their form. There is an interaction of all  these  elements....( Engels to J. Bloch,1840)

මෙයින් පෙනී යන්නේ මාක්ස් මෙන් ම එංගල්ස් ද ප්‍රවර්ගයන් අතර පවත්නා දයලෙක්තිකය ආරක්‍ෂා කිරීම සම්බන්ධයෙන් කොතරම් දුරට සවිඥානක වූවා ද යන්නය; මේ අය නිශ්චිත කාල පරිච්ජේදවල දී තමන් අධ්‍යයනය කරන ක්ෂේත්‍රයන්ට සුවිශේෂ අවධානයක් යොමු කළ බව ය.

හෙගල් සමඟ සංසන්දනය කිරීමේ දී මාක්ස්ගේ වැඩි අවධානය යොමු වෙන්නේ පරිබාහිර වාස්තවික යථාර්ථය (outer objective reality) වෙත වෙන අතර හෙගල්ගේ අවධානය යොමු වෙන්නේ ආත්මීය පරමාත්මයේ අභ්‍යන්තරික ගාමකයන් (inner dynamic of the subjective Spirit) වෙත ය. හෙගල්ට අනුව, සමාජය චලනය කෙරෙන්නේ මේ අභ්‍යන්තර ගාමකය මගින් ය. මේ ආත්ම බලයට (power of negativity) පවත්නා තත්වය වෙනස් කිරීමේ හැකියාවක් ඇත. හෙගල්ට අනුව ආත්මය තුළත් මාක්ස්ට අනුව නිෂ්පාදන ක්‍රියාවලිය තුළත් ඇති අසම්පූර්ණත්වය නිසා ඒවා තමන්වම පරිවර්තනය කර ගනී.

හෙගල් හොඳින් දැන ගෙන සිටි කාරණයක් වූයේ තර්කබුද්ධියේ කපටිභාවය (cunning of Reason) යන්න ය. මෙයින් කියවුණේ ඉතිහාසය තමන්ගේ සබුද්ධික රටාව වක්‍ර ආකාරයට හා කපටි ආකාරයට මිනිසා හරහා ඉටු කරගන්නවා යන්න ය. නැපෝලියන් හරහා ඉතිහාසය තම අරමුණු කපටි ලෙස ඉටු කරගෙන ඇත. මෙය ගූඪමය අභ්‍යන්තරික බලයක් ලෙසට පෙනෙයි. මාක්ස් දකින ආකාරයට බුෂුවා පන්තිය, සිය අතිරික්ත වටිනාකම් ඉහළ දමා ගැනීමේ දී නොදැන ම තමන්ගේ මිනීවල කපන්නන්, එනම් කම්කරු පන්තිය ද බිහි කර ගනී.

තර්ක බුද්ධියේ කපටිභාවයට අමතරව හෙගල් කී කාරණයක් වූයේ ඉතිහාසය තමන්ට නිදහස උදාකර ගැනීමට කටයුතු කරන බව ය. ඉතිහාසය නිදහස උදා කර ගන්නේ පරිමිත මිනිස්සු, පරිමිත විඥානයන් හරහා ය. අපරිමිත ආත්මය පරිමිත ආත්මයන් හරහා සිය අරමුණු ඉටුකර ගනී. ආත්මය හැමවිට ම පරිමිත මිනිස්සු මැදිහත් කරගනියි (mediate). මාක්ස් විශ්වාසය තබන්නේ මිනිසාගේ භෞතික ජීවන ක්‍රියාකාරකම මත ය. එය විඥානයෙන් විඝටනය කරන්නේ නැත. පූර්ණ මනුෂ්‍යත්වය අත්පත් කර ගැනීම සඳහා භෞතික ශ්‍රමය උපකාරී වේ.

Picture
මාක්ස් අසංවේදනමය ලෝකය (insensate world) ගැන කථා කරයි. සොබාවික විද්‍යාවෙන් කතා කෙරෙන්නේ මේ ලෝකය ගැන ය. සොබාවික විද්‍යාවන් ක්‍රියාත්මක වෙන්නේ සමාජ, ආර්ථික ලෝකයක ය. මිනිසා සහ සොබාදහම අතර අන්තර් පරායත්ත බව මාක්ස් පෙන්වා දෙයි. හෙගල් මෙයට සමානව විඥානමය බව (Ideal) හා සත්බව (Real) පරම වශයෙන් විඝටනය කරන්නේ නැත. මේ දෙක ම එකම සමස්තයේ කොටස් දෙකක් ලෙසට ගනියි. මෙයට අනුව සොබාදහම යනු අදහසේ අනෙකා ය. තර්කය සොබාදහමට පරිවර්තනය වන අතර සොබාදහම තර්කයට පරිවර්තනය වේ. මේ අනුව යමින් ය ආත්මීයත්වය හා වාස්තවිකත්වය අතර සම්බන්ධය ගොඩනැගෙන්නේ. මේ දෙක ම සම්බන්ධ කරන පරමත්වයක් ගැන හෙගල් කථා කරන්නේ මේ නිසා ය. මාක්ස්ට අනුව ආත්මය හා වස්තුව එකතු කරන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය මඟින් ය. සංවේදනමය ස්වභාවය (sensate nature) හා අසංවේදනමය ස්වභාවය/සොබාදහම (insensate nature) එකට එකතු කරන්නේ නිෂ්පාදන ක්‍රියාකාරීත්වය ය.

හෙගල්ගේ සමස්තය (totality) තුළ සංවේදනමය බව හා අසංවේදනමය බවල සවිඥානය හා අවිඥානය යන දෙක ම අන්තර්ගත ය. අසංවේදනමය සවභාවය වෙනස් කිරීමට සංවේදනමය සවභාවයේ මැදිහත්වීම අවශ්‍යය. මේ දැක්ම මාක්ස්ටත් පොදු ය. මාක්ස් මේ ක්‍රියාවලියට කියන්නේ ලෝකය මානවීය කිරීම (humanize) කියා ය. හෙගල් මෙයට කියන්නේ ලෝකය ආධ්‍යාත්මික කිරීම (spiritualize) කියා ය.

මාක්ස් අවබෝධ කර ගත් ආකාරයට හෙගල්ගේ තර්ක විද්‍යාව කෘතිය හෙගලියානු දයලෙක්තිකයේ තෝතැන්න ය. තර්ක විද්‍යාවේ දේශපාලන ආර්ථික වටිනාකමක් තිබෙන බව මුල් වතාවට අවබෝධ කරගන්නේ මාක්ස් ය. හෙගල්ගේ විඥානවාදී පාරභෞතික භාෂාව තිබිය දී ම හෙගල්ගේ නිෂේධනයේ තර්කය ධනවාදයේ ගාමකයන් තේරුම් ගැනීමට අදාළ වන බව තේරුම ගත් ප්‍රථමයා මාක්ස් ය. මාක්ස්ගේ ගෲන්ඩි්‍රස් කෘතිය සහ ප්‍රාග්ධනය කෘතිය මෙයට සාක්‍ෂි දරයි.

හෙගල් තර්ක විද්‍යාවේ කතා කරන සත්තාව (Being) සාරය (Essence) වෙතත්, අනතුරුව සංකල්පය (Concept) වෙතත් චලනය වේ. මාක්ස් ධනේශ්වර ක්‍රමයේ ගාමකයන්ගේ චලනය තේරුම් ගැනීමට මෙය යොදා ගනී. හෙගල්ගේ සද්භවවාදී යෙදුම් වන අනන්‍යතාව (identity) හා වෙනස (difference) අතර පවත්නා අනන්‍යතාව (identity of identity and difference) ප්‍රාග්ධනයේ ගාමකයන් තේරුම් ගැනීමට මාක්ස් යොදා ගනී. නිෂ්පාදන ක්‍රියාවලිය තුළ පාරිභෝගික භාණ්ඩ නිපදවීමත් පාරිභෝගික භාණ්ඩ මුදල් බවට පරිවර්තනය වීමත් අවසානයේ ප්‍රාග්ධනය බිහි වීමත් මාක්ස් පැහැදිලි කර තිබෙන්නේ හෙගල්ගේ තර්කවිද්‍යාවේ ප්‍රවර්ගයන් අදාළ කරගෙන ය. මේ සම්බන්ධයෙන් ඉතාමත් පැහැදිලි විග්‍රහයක් ජපාන උගතෙකු වෙන හිරෝෂි උචිඩා Hegel’s Logic and Marx’s Grundrisse පොතෙහි පෙන්වා දී ඇත. ඔහු පවසන ආකාරයට හෙගල් පවසන අදහසේ ස්වයං-වර්ධනය (self-development of Idea) යන්න මාක්ස් කථා කරන ප්‍රාග්ධනයේ සවයං-වර්ධනය (self development of capital) සමඟ තුල්‍ය වේ. (Uchida 1988,20)

මාක්ස් ගෲන්ඩී්‍රස් කෘතියේ මෙවැන්නක් කියයි.

Everything has a fixed form such as a product appears as merely a moment a vanishing moment in this movments.(Marx 1973,712)

මේ තුළ තිබෙන්නේ හෙගලියානු තර්කණය යග හෙගල්ගේ මතය වන්නේ වර්ධනයේ දී කිසිදු ඝනීභූත ප්‍රවර්ගයකට ඉඩක් නැති බවත් සෑම දෙයක් ම එහි අනෙකා බවට පත්වීමට නියමිත බවත් ය. න-අනන්‍යතාව (non identity) හා විසංවාදය (contradiction) මේ ක්‍රියාවලියට ආවේණික ගාමකයන් ය. ගෲන්ඩී්‍රස් කෘතියෙහි ඉංග්‍රීසි පරිවර්තනයට හැඳින්වීම ලියන මාටින්  නිකලොස් කියන්නේ මාක්ස් හෙගල්ගෙන් ලබා ගත් ප්‍රධාන ම දයාදය, කොටස හා සමස්තය අතර පවත්නා දයලෙක්තික සබඳතාව අවබෝධ කර ගැනීම බව ය. හෙගල්ගේ සමස්තය (Absolute) ප්‍රකාශයට පත් වන්නේ අඛණ්ඩ, අසීමිත, චලනය වන එකිනෙක මත පදනම් වන ප්‍රතිවිරෝධතා හරහා ය. මාක්ස් කථා කරන ප්‍රාග්ධනයේ ක්‍රියාකාරීත්වයත් මේ හෙගලියානු ප්‍රවර්ගයන්ට අනුකූල ය යන්න ඉතාමත් වැදගත් හෙගලියානු හෙළිදරව්වක් කරයි.

In Hegel’s view, negation is the creative force. Here, the harder the worker negates himself, or is negated by  capital the more wealth goes he creates …  For Hegel, negation creates its opposite ‘position’ (to posit): and negation therefore, not only gives a thing its specific character in itself (Ansich) but also position gives it its character for others. Here in the essence of capital; as the worker negates himself, not only does he posit surplus values for others, but also creates and re-creates the relations of wage labor in themselves as wage-slave and capital as capital.  (Nicolaus 1973,31)

කම්කරුවා තමාගේ සාරය මගින් පාරිභෝගික භාණ්ඩ නිපදවන ගමන්ම (in itself) අනෙකා සඳහා අතිරික්ත වටිනාකමක් (for itself) නිපදවනු ලබයි. තමන්ගේ ශ්‍රමය වැඩි වැඩියෙන් නිෂේධනය කිරීමේ දී අනෙකා සඳහා වැඩි වැඩියෙන් අතිරික්ත වටිනාකම් සමුච්චනය වේ.  
 
හෙගල් තර්ක විද්‍යාව පටන් ගන්නේ අවිනිශ්චිත සත්තාව (indeterminate Being) මඟිනි. එහි ප්‍රතිවිරෝධය වන්නේ ශූන්‍යතාවය ය (Nothing). මාක්ස් පටන් ගන්නේ ස්වාභාවික ජීවිතයෙන් ය. ශ්‍රමය එකතු කර  මිනිසා පාරභෞතික භාණ්ඩ නිෂ්පාදනය කරයි. පාරභෞතික භාණ්ඩයකට ඒ තුළ ම කියා ආත්මයක් නැත. නිෂ්පාදනයේ ප්‍රතිවිරුද්ධත්වය පරිභෝජනය වේ. මේ දෙක අන්තර් පරායත්ත ය. මේ දෙක අතර සබඳතාව හෙගල් කියන අනන්‍යතාව හා -න-අනන්‍යතාව අතර සබඳතාව වැනි ය. මේ වෙනස්කම් තුළ ම ඇති සද්භාවාත්මක ඒකත්වය මාක්ස් ග්‍රහණය කරගන්නේ හෙගල් හරහා ය.

හෙගල්ගේ තර්ක විද්‍යාව මඟින් අනාවරණය කෙරෙන්නේ චින්තන ප්‍රවර්ගයන් තුළ ඇති ප්ලාස්ටිකභාවය ය (plasticity). ඓන්ද්‍රීය පද්ධතියක ඇති කොටස් දියවෙන ස්වභාවයක් ගනියි. මාක්ස් ගෲන්ඩි්‍රස් කෘතියේ ලියන ආකාරයට:

The dissolution of all products and activities in to exchange values presupposes the dissolution of all fixed personal (historic) relations of dependence in production as well as the all-sided dependance of the products on one another.(Marx 1973.156)       
 
හෙගල්ට අනුව චින්තනය සම්බන්ධිත කරන්නේ (mediate) ආත්මයේ ශ්‍රමය (labor of the Spirit) මඟින් ය. එය අනෙකා තුළ වාස්තවික ස්වරූපයෙන් පෙනී සිටියි. මාක්ස් තුළ මෙය සම්බන්ධිත කරන්නේ නිෂ්පාදනීය ශ්‍රමය (labor of the productive processs) මඟින් ය. එයින් නිපදවන අනෙකා පාරිභෝගික භාණ්ඩයන් ය. පසුව එය නිපදවන ආත්මයට එරෙහිව ක්‍රියාත්මක වේ. මේ පරිබාහිර වූ දෙය මුදල් බවටත්, ප්‍රාග්ධනය බවටත් රූපාන්තරණය වේ.

මේ අනුව හෙගල්ගේ සද්භවවාදී තර්කය මාක්ස්ගේ ඉතිහාසය පිළිබඳ න්‍යාය තුළ අඛණ්ඩ වේ. මාක්ස් කියන්නේ ශ්‍රමය හා ප්‍රාග්ධනය එකිනෙක බහිෂ්කරණය කර ගන්නා ගමන් ම එකිනෙක නිර්මාණය කර ගන්නා බව ය (negative unity). ශ්‍රමය තමාගේ ම සද්භවවාදී අනෙකා බවට පත් වේ. ශ්‍රමය මනුෂ්‍යත්වය ගොඩනැගීමේ සම්බන්ධිතය වන ගමන් ම මනුෂ්‍යත්වය අවමානුෂික කිරීමේ බලවේගය ද වේ.

හෙගල්ට අනුව, වාස්තවික යථාර්ථය පරමාත්මයෙන් බැහැර එකක් නොවේ. මාක්ස්ට අනුව වාස්තවික යථාර්ථය නිෂ්පාදන ක්‍රියාවලියෙන් පරිබාහිර නොවේ.    මාක්ස්ගේ පසුකාලීන කෘති තුළ මුල් කාලයේ කෘති තුළ පැවති දාර්ශනික මානව විද්‍යාත්මක යෙදුම් වෙනුවට සමාජ-ආර්ථික යෙදුම් පාවිච්චි වී ඇත. පසුකාලීනව පාවිච්චි වී තිබෙන වචන හා සංකල්ප හෙගල්ගේ තර්ක විද්‍යාව කෘතියෙන් ලබා ගත් ඒවා ය.

මාක්ස්, හෙගල් සම්බන්ධයෙන් කරන ප්‍රධාන විවේචනයක් වූයේ හෙගල් විසින් සත්‍යය මිනිසාව පාරභෞතික භූතාත්මයක් (metaphysical monster) මගින් විස්ථාපනය කර තිබෙන බව ය. මිනිසාව හුදු වාචකයක් බවට පත් කර තිබෙන බව ය. මේ විවේචනය ප්‍රාග්ධනය කෘතියේ දෙවන වෙළුමේ සඳහන් වන්නේ මෙසේ ය:

For Hegel, the process of thinking which he even transforms into an independent, subject under the name of ‘the Idea’, is the creator of the real world, and the real world is only the external appearence of the Idea. With me the reverse is true, the idea is nothing but the material reflected in the mind of man, and transformed into forms of thought. (Marx 1976, 102)

මේ විවේචනය යට තිබෙන්නේ ලෝකය චින්තනයේ පිළිබිඹුවක් ද චින්තනය ලෝකයේ පිළිබිඹුවක් ද යන නොවිසඳුණු ගැටලුව ය. මාක්ස් මෙහි දී විවේචනය කරන්නේ හෙගල් විසින් අදහස ‘පරම කිරීම’ ගැන ය. අදහස සැබෑ ඓතිහාසික හා සද්භවවාදී ආත්මය කර තිබෙන බව ය. සැබෑ මිනිස් ආත්මය හුදු යටත් වස්තුවක් බවට පත් කර තිබෙන බව ය. මාක්ස් එයට එරෙහිව සැබෑ මිනිස් ආත්මය ඓතිහාසික ක්‍රියාවලියේ කතෘකයා බවට පත් කිරීම කරයි.

හෙගල්ගේ පද්ධතියේ තර්කය-සොබාදහම-පරමාත්මය (Logic-Nature-Spirit) අතර පවත්නා විසංවාදය ගවේෂණය කරන විට, මාක්ස් කියා සිටින්නේ තමන් ඉහත සූත්‍රයට අනුකූලව සමාජ-ඓතිහාසික ප්‍රපංචයන් තුළ පවත්නා සැබෑ විසංවාදයන් ගවේෂණය කරන බව ය. එකකින් අනෙක තීන්දු කරනවා යන අර්ථයෙන් නොව එකක් තුළ අනෙකා ගිලී පවතිනවා යන තේරුමෙන් මේ දෙදෙනා ම සිය විග්‍රහය ඉදිරිපත් කරති.  සොබාවික ලෝකය සහ ඉතිහාසය තුළ තාර්කික ව්‍යූහයක් පවතී. එය බුද්ධිමය වශයෙන් ග්‍රහණය කර ගත හැකිය. තාර්කික ව්‍යුහයට ප්‍රකාශ වීම සඳහා භෞතික සැබෑ ලෝකයක් අවශ්‍ය ය.

මාක්ස් ආර්ථික හා දාර්ශනික අත්පිටපත් ලිවීමෙන් වසර 30 කට පසුය ප්‍රාග්ධනය කෘතිය පළමු වෙළුමේ දෙවන මුද්‍රණයට පසුවදන ලියන්නේ. එහි දී හෙගල්ගේ ගූඪකරණය (mystyfication) ගැන කතා කරයි. එසේ හෙළදරව් කිරීමක් කරන ගමන් ම හෙගල් තුළ පවත්නා අව්‍යාජ විචාරාත්මක සංඝටකයන් ගැන සඳහන් කරයි. මෙහි දී මාක්ස් කියන ආකාරයට අවුරුදු 30කට ආසන්න කාලයකට පෙර හෙගලියානු දයලෙක්තිකයේ ගූඪවාදී පැත්ත විවේචනය කළ බවත් මේ ගූඪවාදී පාර්ශ්වය ඒ කාලයේ දී විලාසිතාවක් බවට පත්ව තිබුණු බවත් සඳහන් කරයි. මෙහි දී මාක්ස් විවෘතව ආඩම්බර වන කාරණයක් වන්නේ තමන් හෙගල් වැනි යෝධ චින්තකයෙකුගේ ශිෂ්‍යයකු වීම ගැන ය. වටිනාකම් පිළිබඳ න්‍යාය පරිච්ඡේදයේ සෑම තැනකම හෙගල්ට විමර්ශනය වූ ප්‍රකාශනයන් අන්තර්ගතව ඇති බවත් මාක්ස් පෙන්වා දෙයි. හෙගල් අතෙහි දයලෙක්තිකය ගූඪකරණයට ලක්වී තිබුණත් හෙගල් වනාහි දයලෙක්තිකය පොදු  සහ පරිපූර්ණ ආකාරයට යොදා ගත් පුද්ගලයා ලෙස ඔහුව තේරුම් ගැනීමට එය බාධාවක් නොවේ. හෙගල් තුළ දයලෙක්තිකය ඔළුවෙන් සිට ගෙන සිටීම ආපසු හැරවීම කළ යුතු ය. එසේ කළ හැකි වන්නේ හෙගලියානු දයලෙක්තිකයේ ඇති බුද්ධිමය මදය (rational kernel) හා ගූඪවාදී පිට පොත්ත (mystical shell) සොයා ගැනීමෙන් ය. මේ කාරණය ම 1868 මාර්තු 6 දින කුගල්මාන්ට ලියන ලිපියක ඩූරිං ගැන සඳහන් කරමින් ඔහු මෙසේ කියයි:

He knows very well my method of development is not Hegelian, since I am a materialist and Hegel is an idealist. Hegel’s dialectic is the basic form of all dialectic but only after it has been stripped of its mystical form and it is precisely this which distinguishes my method. ( Marx to Kugelmann, 1868)

හෙගලියානු දයලෙක්තිකයේ ගූඪවාදී ආකෘතිය ජර්මනිය තුළ විලාසිතාවක් බවට පත්ව ඇති බවත් එසේ වන්නේ දේවල්වල පවත්නා ස්වරූපය එය මතින් උත්කර්ෂයට නැංවෙන නිසාත් ය. හෙගල්ගේ බුද්ධිමය මදය බුෂූවා පන්තියට අපකීර්තියක් හා පිළිකුලක් ජනනය කර ඇත. එසේ වන්නේ මේ බුද්ධිමය මදය මඟින් ඕනෑ ම පවත්නා දෙයක් විනාශයට පත් වීමට නියමිත බව දෝංකාරය දෙන නිසා ය. 1958 ජනවාරි 14 දින එංගල්ස්ට ලිපියක් ලියමින් මාක්ස් තම විධික්‍රමය වර්ධනය කර ගැනීමේ දී හෙගල්ගෙන් ලැබූ දායකත්වය මෙසේ ආවර්ජනය කරයි:

In the method of treatment in fact  that by mere accident I have again glanced through Hegel’s Logic has been of great service to me.

1872 දී දයලෙක්තිකය ගැන මාක්ස් මෙසේ ලියයි:

Every historical developed social forms as in fluid movement, and therefore takes into     account its transient nature no less than its momentary existence, because it lets nothing impose upon it, and is in its essense critical and revolutionary. (Marx 1976, 103)

මොෂේ පොස්ටන් විසින් මාක්ස්ගේ ප්‍රාග්ධනය කෘතිය තුළ සිටින හෙගල් සම්බන්ධයෙන් පැහැදිලි විග්‍රහයක් කරයි. ඔහු පෙන්වා දෙන ආකාරයට මාක්ස් ප්‍රාග්ධනය නම් ප්‍රවර්ගය ඉදිරිපත් කරන්නේ හෙගල්ගේ පරමාත්මය (Geist) නම් සංකල්පයට සම්බන්ධිතව ය. මෙහි දී හෙගල්ගේ තවත් ප්‍රවර්ගයක් වන සාරාර්ථය (Substance) ගැන කථා කරමින් ඔහු පවසා සිටින්නේ සාරාර්ථය මගින් ප්‍රකාශයට පත් කරන්නේ නිර්ණීත සමාජ යථාර්ථය කියා ය. ප්‍රාග්ධනයේ ඇති සමාජ යථාර්ථය වන්නේ තාර්කික ආකාරයට පාරිභෝගික භාණ්ඩ මුදල්මය ආකෘතියකට පරිවර්තනය වීමත් එයින් සංකීර්ණ සමාජ සම්බන්ධතාමය යථාර්ථයක් බිහිවීමත් එය ප්‍රාග්ධනය හරහා ප්‍රකාශයට පත්වීමත් ය. මාක්ස් ප්‍රාග්ධනය පැහැදිලි කරන්නේ වටිනාකම් (Values) හරහා වන අතර වටිනාකම් ස්වයං ආකාරයට තීන්දු වෙයි (self-valorizing value). මාක්ස් පවසන ආකාරයට වටිනාකම් එක් ආකෘතියකින් තවත් ආකෘතියකට පරිවර්තනය වේ. මේ චලනය නතර වන්නේ නැත. එය ස්වයං සිද්ධ ආත්මයක් (automatic subject) බවට පත් වේ. වටිනාකම් යනු ක්‍රියාවලියේ ආත්මය බවට පත් වේ. මාක්ස් ලියන ආකාරයට:

But now in the circulation M-C-M, value suddenly presents itself as a self-moving substance which process through a process through a processs of its own, and for       commodities and money are both mere forms. (Marx 1976, 256)

මේ අනුව ප්‍රාග්ධනය ස්වයං-ආකාරයට චලනය වන සාරාර්ථය වන අතර එය ආත්මය ද වේ. මොෂේ පොස්ටන් දක්වන ආකාරයට ‘Marx explicitly characterizes capital as the self-moving substance that is subject’ (Postone 2009, 69). මෙයින් තවදුරටත් පෙනී යන්නේ හෙගලියානු අර්ථයෙන් ඓතිහාසික ආත්මය ධනවාදය තුළ ශේෂගතව පවතින බව ය. මෙහි දී මාක්ස් ආත්මය යන්න යම් සමාජ කොට්ඨාසයකට (කම්කරුවන් වැනි) තුල්‍ය කරන්නේ නැතිව ප්‍රාග්ධනය නම් ප්‍රවර්ගය හරහා ප්‍රකාශයට පත්වන වාස්තවික භාවිතයන් තුළින් නිර්මිත සමාජ සම්බන්ධතා තුළ ම දකියි. ප්‍රාග්ධනය නම් සාරාර්ථය (Substance) තුළ ම ඓතිහාසික ආත්මය (historical subject) අන්තර්ගතව පවතී. නමුත් මෙහි දී වෙනස වන්නේ හෙගල්ගේ පරමාත්මයට ස්වයං-විඥානයක් තිබුණත් මාක්ස්ගේ ප්‍රාග්ධනය නම් ආත්මය ඓතිහාසිකව නිර්ණීත අන්ධ අවිඥානක ආත්මයකි. එමෙන්ම මාක්ස් ආත්ම-වස්තු අනන්‍යතාව හඳුනාගන්නේ නිර්ණිත සමාජ සම්බන්ධිතමය ආකෘති තුළ ය. (Postone 2009, 70)


Picture
ප්‍රාග්ධනය කෘතියේ හෙගල්-මාක්ස් සබඳතාව තවත් ගැඹුරු කිරීමට කොජින් කරටානි නම් ජපන් මාක්ස්වාදී චින්තකයා ලියා තිබෙන Capital as Spirit ලිපිය ප්‍රයෝජනවත් ය. මෙහි දී කියන ආකාරයට ප්‍රාග්ධනය කෘතියේ දී මාක්ස් විසින් හෙගලියානු දයලෙක්තිකය දෙපයින් සිටවනවා යැයි කීම නොමඟ යවනසුලු ය. කෙසේ නමුත්, ප්‍රාග්ධනය කෘතියෙහි හෙගලියානු දයලෙක්තිකයේ සුවිශේෂී මානයක් හඳුනාගත හැකිය. හෙගලියානු දයලෙක්තිකයේ පරමාත්මයේ සාරය  සාක්ෂාත්කරණය (self realization of Spirit) පාරිභෝගික භාණ්ඩ වන්දනය, අර්චනය පැහැදිලි කර ගැනීමට අදාළ ය. ආත්මයක් දෙයකට බැඳෙන්නේ කොහොම ද යන්න මෙයින් පැහැදිලි කරගත හැකිය (Spirit attached to the thing). එමෙන් ම ප්‍රාග්ධනය මත් අර්චනමය වන්නේ කොහොම ද යන්න මෙයින් පහදා ගත හැකි ය.

මාක්ස්ගේ පාරිභෝගික භාණ්ඩ අර්චනය පිළිබඳ සංකල්පය රූපකයක් ලෙස භාවිත කළත් එය සැබෑවකි. පාරිභෝගික භාණ්ඩ  අර්චනය වීම හරහා ප්‍රාග්ධනයත් අර්චනය වේ. එය සමාජය මත ද ආධිපත්‍යයක් හෙළයි.

හෙගල්ගේ ප්‍රධාන ප්‍රවර්ගයක් වන ‘අවසානය මඟින් ආරම්භය සම්බන්ධ කළ යුතුය. ‘begining must be medeated by the end’ යන්නත් හෙගල්ගේ පරමාත්මය විස්ථාපනය කරමින් ප්‍රාග්ධනය තහවුරු කරන්නේ කෙසෙද යන්නත් මෙහි දී සලකා බැලිය යුතු ය.

1873 ප්‍රාග්ධනයේ දෙවන වෙළුමේ පසුවදන ලියන කාලය යනු ජර්මනියේ උගතුන් හෙගල් වනාහි  මියගිය බල්ලෙකු (dead dog) ලෙස සලකපු යුගයක් බව මාක්ස් පෙන්වා දෙයි. මාක්ස් ම කියන ආකාරයට මෙය ලියන කාලයෙන් වසර 30 කට පෙර තමන් මත් ඉතාම බරපතළ ලෙස හෙගල්ගේ ගූඪවාදී ආකෘතිය විවේචනය කළ බව ය. නමුත් කර්ටානි දකින ආකාරයට මේ ප්‍රකාශය තුළ නොමඟ යවනසුලු පැත්තක් ඇත. මාක්ස් හෙගල්ගේ තර්කවිද්‍යාව දෙපයින් සිටුවන කාලයේ ඔහු තරුණ චින්තකයෙකි. නමුත් ප්‍රාග්ධනය ලියන කාලයේ තත්වය ඊට වඩා වෙනස් ය. 1843 ලියනු ලැබූ On Hegel’s Logic හා 1844 දී ආර්ථික හා දාර්ශනික අත්පිටපත් තුළ මාක්ස් හෙගල්ගේ විඥානවාදී දෘෂ්ටිය විවේචනය කරයි. මේ විවේචනයට ආධාර කරගෙන තිබෙන්නේ ෆොයබාක් ය. නමුත් ෆොයබාක්ගේ විවේචනය තුළ ඉන්ද්‍රියමූලික ක්‍රියාව (sensuous activity) ගිලිහී ඇතැයි මාක්ස් පෙන්වා දෙයි. මිනිස් ඉන්ද්‍රියමූලික ක්‍රියාව ඉතාමත් සාර්ථකව ග්‍රහණය කර ඇත්තේ හෙගල් ය. ඉන්ද්‍රියමූලික මිනිස් ක්‍රියාව (sensuous human activity) භාවිතය ලෙසත්, ආත්මීය ලෙසත් ග්‍රහණය කර ගැනීමට ෆොයබාක් ඇතුළු පැරණි භෞතිකවාදීන්ට නොහැකි වී ඇත.

මාක්ස් ප්‍රාග්ධනය ලිවීමේ දී හෙගල්ගේ විඥානවාදය තුළ සැඟ වී ඇති භෞතිකවාදය අදාළ කර ගෙන ඇත. මාක්ස්ගේ ප්‍රාග්ධනය කෘතියේ හෙගල්ට කරන විවේචනය අනෙක් අය හෙගල් සම්බන්ධයෙන් කරන විවේචනයට වඩා වෙනස් ය. මාක්ස් මෙහි දී කරන්නේ දයලෙක්තිකයේ වර්ධනය හෙගල්ගේ පරමාත්මයේ සිට ප්‍රාග්ධනය දක්වා විතැන් කිරීම ය. වෙනත් ලෙසකින් කීවොත් හෙගල්ගේ පරමාත්මයේ දයලෙක්තිකය පාරිභෝගික භාණ්ඩ අර්චනය සහ ප්‍රාග්ධනයේ අර්චනය දක්වා විතැන් කිරීම ය. මාක්ස් මෙහි දී කර තිබෙන්නේ හෙගල්ගේ විඥානවාදය පාවිච්චි කර ධනවාදයේ විඥානවාදී විපරිත බව, පාරිභෝගික භාණ්ඩවලට දේවමය ආත්මයක් ලබා දීමේ විපරිත බව පැහැදිලි කිරීම ය. මේ විපරිත බව ධනවාදය පදනමේ ම ඇති බව ය.

කරටානි කියන ආකාරයට ප්‍රාග්ධනය කෘතිය මාක්ස් ආරම්භ කරන්නේ නිෂ්පාදන සබඳතාවලින් නොව (ධනපතියා හා කම්කරුවා අතර පවත්නා සම්බන්ධයෙන් නොව) පාරිභෝගික භාණ්ඩවලිනි. පාරිභෝගික භාණ්ඩ හුවමාරුව මගිනි. ධනවාදී සමාජයක නිෂ්පාදන සබඳතා මුදල් සහ පාරිභෝගික භාණ්ඩ හුවමාරු සබඳතා මගින් තීන්දු වී ඇත.

ඓතිහාසික භෞතිකවාදය මඟින් කියවෙන්නේ දේශපාලන හා දෘෂ්ටිවාදාත්මක උපරිව්‍යූහය ආර්ථික අධෝව්‍යූහය මගින් තීන්දු වෙනවා යන්න ය. නමුත් මාක්ස් ප්‍රාග්ධනය කෘතිය තුළ ගෙන තිබෙන්නේ වෙනත් ප්‍රවේශයකි. ධනේශ්වර ක්‍රමය මුදල් තුළ සහ පාරිභෝගික භාණ්ඩ තුළ ඇති විඥානවාදී හා ආගමික බලයන් මගින් ව්‍යූහගත කර තිබෙන්නේ කොහොම ද යන්නය මාක්ස් සාකච්ඡා කරන්නේ.

මාක්ස් කියන්නේ ධනේශ්වර ක්‍රමයේ රහස මුදල්වල ඇති ගුප්ත ස්වභාවය මත රැඳී ඇත. හෙගල්ට ගූඪවාදයක් ආරෝපණය කළත් සුවිශේෂ ගූඪවාදයක් ප්‍රාග්ධනය තුළ ම ඇතුළත්ව ඇත. පාරිභෝගික භාණ්ඩයක් හුදෙක් වස්තුවක් ම නොවේ. එය යම් දෙයක් හුවමාරු වන විට ගන්නා ආකෘතියකි. හුදු දෙයක් ගත්තොත් එය ඉන්ද්‍රීයමූලික ද්‍රව්‍යයකි (sensuous matter). නමුත් දෙය පාරිභෝගික භාණ්ඩයක් වූ විට එහි ඉන්ද්‍රීයමුලික ස්වභාවය ඉක්මවා යන ස්වභාවයක් අත්පත් කර ගනී. දෙයකට ආත්මයක්, අවතාරයක් අරක් ගනී. මෙය මාක්ස් ‘fetishism’ලෙස නම් කරයි. ශ්‍රමයෙන් නිෂ්පාදිත දෙයක් පාරිභෝගික භාණ්ඩයක් බවට පත් වීමේ දී භූතාත්මයක් එම වස්තුවට ආරූඪ වේ. මාක්ස් ප්‍රාග්ධනය කෘතියේ කියන ආකාරයට:

The riddle of the money fetish is the riddle of the commodity fetish.(Marx 1991,187)

මේ භූතාත්මය වැහෙන්නේ හුවමාරුවේ දී ය. වටිනාකම් සාක්ෂාත් වන්නේ හුවමාරුව තුළ දී ය. මේ අනුව පාරිභෝගික භාණ්ඩයක රහස  තිබෙන්නේ නිෂ්පාදනයේ දී නොව හුවමාරුවේ දී ය.

මුදලට ඇති හුවමාරු වටිනාකම ඇතිවන්නේ එයට තිබෙන අර්චනය නිසා ය. මුදල්වලට ඇති අර්චනය අනෙකුත් පාරිභෝගික භාණ්ඩවලට ඇති අර්චනයෙන් වෙනස් ය. පාරිභෝගික භාණ්ඩ අතර එක් පාරිභෝගික භාණ්ඩයක් මුදල් ලෙසට උත්කෘෂ්ට වස්තුවක් බවට පත් වේ. මේ රහස ධනේශ්වර ක්‍රමයේ හදවතේ ම පවතී.

නිගමනය

හෙගල් සහ මාක්ස් අතර පවතින්නේ, ඛණ්ඩනයක්ද අඛණ්ඩනයක්ද යන්න පූර්ව හෙගලියානු දර්ශනයන් මගින් උපන් මතවාදයකි. හෙගල්ගේ දයලෙක්තිකය තුළ ඛණ්ඩනය මෙන්ම අඛණ්ඩත්වය එකවිට නියෝජනය වේ. සාරය/පැවැත්ම, දෘෂ්ටිවාදය/විද්‍යාව, ඛණ්ඩනය/අඛණ්ඩත්වය, ආත්මීයභාවය/භෞතිකත්වය, පරිමිතභාවය/අපරිමිතභාවය ආදි විඝටනයන් හෙගලියානු දයලෙක්තිකය තුළ අනන්‍යතාව හා න-අනන්‍යතාව අතර ඒකත්වය වශයෙන් එකට ගෙන ඇත. ඛණ්ඩනය හා අඛණ්ඩත්වය එකට එකතු කර ගැනීමේ නොහැකියාව මතු වන්නේ මේ ප්‍රශ්නය දෙස කාන්ටියානු න්‍යාය විරෝධයන් (antinomies) ඔස්සේ බැලුවොත් ය. නමුත් මේ දැක්මෙන් ඉවත් ව හෙගල්ගේ සහ මාක්ස්ගේ ව්‍යාපෘතීන් දෙස බැලූ විට ඛණ්ඩනයක් මෙන්ම අඛණ්ඩත්වයක් එක විට නියෝජනය කළ හැකි ය. මාක්ස් හෙගලියානු විඥානවාදී දර්ශනය ප්‍රශ්න කරන ගමන් ම හෙගල්ගේ විධික්‍රමය තමන්ගේ විග්‍රහයන් තුළ අඛණ්ඩ කර ගනී.

හෙගල්ගේ ප්‍රධාන ප්‍රවාදයක් වූයේ සත්‍යය, සමස්තය, පරමත්මය සාරාර්ථය ලෙස පමණක් නොව ආත්මීය ලෙසත් සලකා බැලිය යුතු බව ය. මාක්ස්ගේ මුල් යුගයේ සත්‍යය ආත්මීය ලෙස හඳුනාගෙන තිබෙන අතර පසු කාලයේ සාරාර්ථමය ලෙස හඳුනාගෙන ඇත. වෙනස් ලෙසකින් කීවොත් සත්‍යය ආර්ථික හා දාර්ශනික අත්පිටපත්වල හඳුනාගන්නා ආකාරයට පමණක් නොව ප්‍රාග්ධනය කෘතියේ ඉදිරිපත් වන ආකාරයටත් හඳුනාගත හැකි ය. එක විට ම ඛණ්ඩනමය ලෙසත් අඛණ්ඩමය ලෙසත් හඳුනා ගැනීමෙන් ය මෙය වඩාත් හොඳින් පැහැදිලි කර ගත හැක්කේ.

වෙනත් ලෙසකින් කීවොත් මාක්ස්ගේ ව්‍යාපෘතිය ස්පිනෝසියානු ලෙස පමණක් නොව කාන්ටියානු ලෙසත් හඳුනාගත හැකිය. මාක්ස්ගේ ව්‍යාපෘතිය හෙගලියානු  ප්‍රපංචවිද්‍යාත්මක ලෙස පමණක් නොව හෙගලියානු තර්ක විද්‍යාත්මක ලෙසත් හඳුනාගත හැකිය.

හෙගලියානු ප්‍රවාදය වන්නේ අඛණ්ඩත්වය තුළ ඛණ්ඩනය ගැබ් වී තිබෙන බව ය. බුද්ධි ප්‍රබෝධය තුළ ප්‍රචණ්ඩත්වය අන්තර්ගත බවය. සබුද්ධිකත්වය තුළ අතාර්කිකභාවය අන්තර්ගත ය. වස්තුව තුළ වස්තුමය නොවන භූතාත්මයක් අන්තර්ගත ය. මේ දැක්ම අනුව මාක්ස් හා හෙගල් අතර ඛණ්ඩනයක් තිබේ ද අඛණ්ඩත්වයක් තිබේ ද යන්න දයලෙක්තික විරෝධි පූර්ව හෙගලියානු මතයකි.

හෙගල්ගේ සමතික්‍රමණය (Aufhebung/ sublation) සංකල්පය තුළ හෙගල් හා මාක්ස් අතර පවත්නා සබඳතාව කුමක් ද යන්න අන්තර්ගත ය. මාක්ස් හෙගල්ගේ චින්තනයේ සමහර ලක්‍ෂණ නිෂේධනය කරන ගමන් ම තවත් සමහර ලක්‍ෂණ සංරක්‍ෂණය (preservation) කරයි. මාක්ස් හෙගලියානු දයලෙක්තිකයේ සාරාත්මක ස්වරූපයක් සංරක්‍ෂණය කර ඉහළ තලයකට ගන්නා අතර හෙගල්ගේ සමහර ලක්‍ෂණයන්ගෙන් ඛණ්ඩනය කර තවත් සමහර ලක්‍ෂණ පුනරාවර්තනය කරයි.

ආශ්‍රිත ග්‍රන්ථ හා ලිපි

  1. Althusser, and Balibar, E (1970): Reading Capital, trans. Ben Brewster, London: New Left Books.
  2. Althusser, L. (1976): Essays in Self-Criticism, trans. Graham Lock, Atlantics Highlands, N.T: New Left Books.
  3. Althusser, L. (2014): The Spectre of Hegel: Early Writings, Verso: London
  4. Arthur, C. (1986): Dialectics of Labour: Marx and his Relation to Hegel, Oxford: Basil Black well
  5. Arthur, C.J. (2004): The New Dialectic and Marx’s Capital, Leiden: Brill.
  6. Burns, T and Fraser, I (2000): The Hegel-Marx Connection, London: McMillan Press LTD.
  7. Hegel, G.W.F. (1967): Hegel’s Philosophy of Right, trans. T.M. Knox, London: Oxford University Press.  
  8. Karatani, K. (2016): ‘Capital as Spirit in Crisis and Critique, Vol. 3, Issue 3, pp. 167-189.
  9. Levine, N. (2006): Divergent Paths:Hegel in Marxism and Engelsism, Oxford: Roman and Littlefield Publishers, INC.
  10. Levine, N. (2012): Marx’s Discourse with Hegel, London, Palgrave Macmillan.
  11. Marx, K (1962):Economic and Philosophic Manuscripts in Fromm, E. Marx’s Concept of Man, trans.T.B. Bottmore, New York Frederick Ungar.
  12. Marx,K. (1970): Critique of Hegel’s Philosophy of Right, ed. A. John and J O’. Malley, Cambridge: Cambridge Univeristy Press.
  13. Marx,K. (1973): Grundrisse, trans. M.Nicolous, London: Penguin.
  14. Marx, K. (1975): Economic and Philosophic Manuscripts of 1844, trans. M. Milligan, London: Lawrence and Wishart.
  15. Marx, K. (1976): Capital, trans. B. Fowkes, London: Penguin.
  16. Marx, K. (1976): Preface and Introduction to A Contribution to the Critique of Political Economy, Peking: Foreign Language Press.
  17. Marx,K. and Engels,F (1976): German Ideology, Collected Works, Vol. 5, Moscow: Progress Publishers.
  18. Meszaros, I (1970): Marx’s Theory of Alienation, London: Merlin Press.
  19. Miseley, F and Smith, T. (eds.) (2014): Marx’s Capital and Hegel’s Logic: A Reexamination, Leiden: Brill.
  20. Necolous, M. (1973): Introduction to Marx’s Grundrisse, London: Penguin.
  21. Postone, M (2008): Histroy and Hetoronomy Japan, UTCP
  22. Pushpakumara, S. (2018): The Tremendous Power  of the Negative, Germany.Verlog Traugott Bautz Gmbit
  23. Schmidt, A. (1983): History and Structure,trans. Teffrey Herf, Cambridge: MIT Press.
  24. Uchida, H. (1988): Marx’s Grundrisse and Hegel’s Logic, London: Routledge.
  25. ෆෙඩ්රික් එංගල්ස් (1978) ලුඩ්විග් ෆොයබාක් හා සම්භාව්‍ය ජර්මානු දර්ශනයේ අවසානය පරි: සුචරිත ගම්ලත්, කම්කරු මාවත ප්‍රකාශන

    ඔබගේ අදහස් අපට එවන්න.

    Max file size: 20MB
Submit
Back To Home
ප්‍රවර්ග

​සාහිත්‍ය කලා
විද්‍යා
සමාජ විද්‍යාත්මක
​දර්ශනවාදය
​
ලේඛක සෙවීම්
​ලේඛනාගාරය
සංස්කාරක සටහන් ගොනුව
​bookcrow

Picture
www.kinihiraya.com
​kinihiraya@gmail.com
අප ගැන.    
         වර්තමාන නවකතාව, කෙටිකතාව, කවිය, සිනමාව සහ නාට්‍ය ආදිය පිළිබඳ න්‍යායික සහ විචාරාත්මක රචනා අඩංගු වේදිකාවකි. ඊට අමතර ව මෙහි සමාජ විද්‍යාත්මක ලිපි, දාර්ශනික කතිකාවන් සහිත විවාදාත්මක ලිපි පළ වේ. පුළුල් අනාගත සංස්කෘතික සංවාදයකට දොරටු හැරීම අපේ අරමුණයි..​
Contact Us

071 800 99 55
​
071 441 48 55

    අපගේ පාඨක ජාලයට එකතුවන්න.

Subscribe to Newsletter
Copyright © 2021  www.kinihiraya.com  All rights reserved.
Powered by Create your own unique website with customizable templates.
  • ප්‍රවර්ග
    • සාහිත්‍ය කලා
    • දර්ශනවාදය
    • වෙනත්
  • ලේඛනාගාරය
  • ලේඛක සෙවීම්
  • Bookcrow
  • Contact Us
  • සංස්කාරක සටහන්