හෙට දින සංස්කෘතිය උදෙසා විවෘත වේදිකාව​...

kinihiraya.com
  • ප්‍රවර්ග
    • සාහිත්‍ය කලා
    • දර්ශනවාදය
    • වෙනත්
  • ලේඛනාගාරය
  • ලේඛක සෙවීම්
  • Bookcrow
  • Contact Us
  • සංස්කාරක සටහන්
හෙගලියානු අඩවිය 11: හෙගලියානු දයලෙක්තිකය
​⚈ ආචාර්ය සමන් පුෂ්පකුමාර - Dr. Saman Pushpakumara
2021 මැයි 8
Picture
Georg Wilhem Friedrich Hegel - Portrait
හෙගලියානු අඩවිය 10 වන ලිපියේ සාකච්ඡා වූ ‘හෙගලියානු දයලෙක්තිකය’ නම් තේමාව මේ ලිපිය තුළ තවදුරටත් විකාශනය කරනු ලැබේ. එම ලිපියෙන් හෙගලියානු දයලෙක්තිකය පිළිබඳ පහත දැක්වෙන කරුණු තහවුරු කෙරිණ:

(1)  හෙගලියානු දයලෙක්තිකය ගමනක් ආකාරයටත් එමෙන් ම විද්‍යාවක් ආකාරයටත් ප්‍රකාශයට පත් වෙයි.

(2) තව ද, එයට පාරකාලික මානයක් මෙන් ම සමකාලික මානයක් වශයෙන් අක්ෂ දෙකක් පවතී.

(3) එමෙන් ම, හෙගලියානු දයලෙක්තිකය වියුක්ත, නිෂේධනමය හා සමපේක්ෂණ වශයෙන් අවධි තුනක් ඔස්සේ වර්ධනය වේ.

(4) හෙගලියානු දයලෙක්තිකයට සද්භවවාදී රූපයක් මෙන් ම ඥාන විභාගාත්මක රූපයක් ද පවතී.


මෙම ලිපියෙන් හෙගලියානු දයලෙක්තියේ මූලධර්මයන් හෙගල්ගේ ම මූලාශ්‍ර ආශ්‍රය කරගෙන විස්තර කරනු ලැබේ. ​

හෙගලියානු දයලෙක්තිකය වෙත ප්‍රවේශ මාර්ග දෙකක් ප්‍රකාශයට පත් වේ:  
​
1. දයලෙක්තිකය (දයලෙක්තිය හේතුබුද්ධියේ තාර්කික සන්තතිය ලෙස) තර්කයේ, හේතුවේ තාර්කික පිළිවෙළ ලෙස (dialectic as the logical process of reason)

2. දයලෙක්තිකය එම ක්‍රියාවලියේ ගාමක බලවේගය හෙවත් ඩයිනමෝව ලෙස (dialectics as the dynamo of this process)  

දයලෙක්තිකය ප්‍රධාන ග්‍රීක මූලාශ්‍රයන් දෙකක එකතුවකි. ග්‍රීක ඊලියානු දාර්ශනික අදහස තුළින් කියවුණේ දයලෙක්තිකය හේතුමය ක්‍රියාවලියක් (reason) බව ය. මෙය නියෝජනය වූයේ සීනෝගේ විරුද්ධාභාස මඟිනි. දෙවැන්න දයලෙක්තිකය ක්‍රියාවලියක් (process) ලෙස ගත් අයෝනියානු අදහස ය. මේ ද්විත්වය එකතු වීමෙන්  ග්‍රීක දයලෙක්තික අදහස නිර්මාණය විය. හෙගලියානු පරමත්වය සබුද්ධික තාර්කික එකක් මෙන් ම ක්‍රියාවලියක් ද නියෝජනය කරයි. එය ස්වයං-උත්පාදන ක්‍රියාවලියකි (self generating). එය විසින් ම විගලිත වෙමින් එය සොබාදහම (Nature) තුළත්, ආත්මය (Spirit) තුළත් ප්‍රකාශයට පත් වේ. හෙගලියානු දයලෙක්තිකය, සීනෝගේ විරුද්ධාභාස, සොක්‍රටීසියානු සංවාද, ප්ලේටෝනික හා ඇරිස්ටෝටලියානු දයලෙක්තිකයන් හා කාන්ටියානු විචාරයන් හරහා පෝෂණය වී ඇති බව පෙනේ. 
​
දයලෙක්තික සබඳතාව හේගල්ගේ මිත්‍ර කවියකු වූ J.C.F. Hölderlin ගේ යෙදුමක් වූ Hyperion යන්න ඇසුරින් තේරුම් ගත හැකි ය. එයට අනුව දයලෙක්තික සබඳතාව ආදරවන්තයින් අතර ගැටුමක් (like the quarrel of lovers) වැනි ය. එය තමන්ට ඉතා ම සමීපතයන් සමඟ ඇති ප්‍රතිවිරෝධී සබඳතාවක් වැනි ය. 

ක්‍රියාවලියේ ඩයිනමෝව ලෙස දයලෙක්තිකය විස්තර වන්නේ හෙගල්ගේ Science of Logic කෘතියේ ය. එහි ඩයිනමෝව නම්, නිෂේධනමය බලය යග මෙම ඩයිනමෝව ක්‍රියාත්මක වන්නේ එක් එක් අවධියක ඇති අසම්පූර්ණභාවය, අඩුව, අඩු වර්ධනය නිසා ය. මේ අඩුව පුරවා ගනිමින් යම් නව දෙයක් බවට පත් වීමේ ක්‍රියාවලියක නිරත වේ (process of becoming). මෙහි දී පරිපූර්ණ වශයෙන් නනව දෙයක් බවට පත් වීමට උත්සාහ ගනී. මෙම වර්ධන ක්‍රියාවලියට ප්‍රතිවිරෝධයන් අවශ්‍ය ය. හේගල්ට අනුව සත්‍යය සමස්තමය වන අතර සමස්තය ක්‍රියාවලියකි.  මේ ක්‍රියාවලිය සබුද්ධිමය එකකි. එහි ප්‍රතිඵලය ජීවිතයට නිදහස උදාකර දීමකි. චින්තනයේ වරද වන්නේ ඒකපාර්ශ්වීය භාවය ය. මේ ප්‍රතිවිරෝධතාවන් නැති කර ගැනීම සඳහා වියුක්ත බවෙන් සංයුක්ත බව ලබා ගැනීමට චින්තනය ක්‍රියාත්මක වෙයි. මේ සඳහා දයලෙක්තික සමතික්‍රමණය (dialectical sublation=Aufhebung) සිදුවෙයි. හේගල් Aufhebung නම් වචනය යොදා ගන්නේ යම් ප්‍රවර්ගයක් යමක් අත්පත්කර ගන්නා ගමන් ම තමන්ව ඉක්මවා යාමේ ක්‍රියාවලිය ගෙනහැර දැක්වීමට ය. මෙහි දී මුලින් පැවති දෙය නිෂේධනය වුවත්  මුල් දෙයෙහි යම් සාරයක් සංරක්‍ෂණය (preservation) වීමක් ද සිදුවෙයි. 
​
මින් එක් ප්‍රවර්ගයක් තවත් ප්‍රවර්ගයක් මඟින් අහිමි කිරීමෙන් හෝ නිෂේධනය කිරීමෙන් අලුත් දෙයක් අත්පත් කර ගැනීම සහ අලුත් දෙය තුළ පරණ ප්‍රවර්ගයෙහි යම් යම් අංග ලක්‍ෂණ ශේෂ කර ගැනීම සිදු වෙයි. මෙම නිෂේධන  ක්‍රියාවලියට හේගල් කියන්නෙ නිර්ණයමය නිෂේධනය (determinate negation) කියා ය. එය පරිවර්තනමය නිෂේධනයක් ද  (transformative negation)  වෙයි. නිෂේධනයෙන් පසු ව සෑම විට ම අලුත් භවයක් (becoming) උත්පාදනය වනවා යැයි හේගල් පවසයි.  මේ නිසා සංකේතීය තර්ක ශාස්ත්‍රයේ නිෂේධනයේ නිෂේධනය (negation of negation) (~ ~) හා හෙගලියානු නිෂේධනයේ නිෂේධනය එක හා සමාන නො වේ. සංකේත තර්ක ශාස්ත්‍රයට අනුව යමක් දෙවරක් නිෂේධනය කිරීමෙන් මුල් විචල්‍යය ම නැවත ලැබේ (P=~ ~ P). නමුත් හේගලියානු නිෂේධනය එසේ නොවේ (P ≠ ~ ~ P/P<~ ~ P). P<~ ~ P යන්නෙන් අදහස් වන්නේ යමක් දෙවරක් නිෂේධනය වීමෙන් පසු ලැබෙන දෙය මුලින් පැවති දෙයට වඩා වැඩි යමක් බව ය.

දයලෙක්තික චලනය සිදුවන්නේ අරමුණක් දිශාවට ය. එයට ශක්තියක් දෙන්නේ නිෂේධනයේ බලය ය.  Science of Logic වල නිෂේධනයේ සාධනීය බව අවධාරණය වේ.

නිෂේධනයෙන් පසු නිෂේධනය කිරීමෙන් ආපසු මුල් ප්‍රවර්ගයම ලැබීම (tautology)  හෙගලියානු දයලෙක්තික සමතික්‍රමණයේ දී  සිදු වන්නේ නැත.  මුල් ප්‍රවර්ගය ම ලැබීමේ තර්කණයට භවවාදී තර්කණයක් (ontical logic) යැයි කිව හැකි ය. හෙගලියානු නිෂේධන තර්කය හැම විට ම අලුත් යමක් ශේෂගත කරන නිසා එයට සද්භවවාදී තර්කණයක් (ontological logic) යැයි ද කිව හැකි ය. මේ අනුව කිව හැක්කේ හේගලියානු දයලෙක්තික තර්කය රූපික කිරීම (formalize)  කළ නොහැකි බව ය. රූපික තර්කය වලංගු වන්නේ ගණිතය, තර්ක ශාස්ත්‍රය සහ යම් දුරකට ස්වාභාවික විද්‍යා ප්‍රපංචයන්ට ය. මේ ක්‍ෂේත්‍රයන් තුළ රජයන්නේ ස්වයං-සාම්‍ය ඒකකයන් ය (self-identical units). එවැනි අන්තර්ගතයන් අවිසංවාදී නියමය (law of non-contradiction) සමඟ එකඟ ය. එය දයලෙක්තිකය සමඟ එකඟ නැත. මේ නිසා දයලෙක්තිකය නිගාමි පද්ධතියක් (deductive system) නො වේ. හෙගල් ගණිතයේ විවිධ ශාඛාවන් ගැන දැනගෙන සිටියේ ය. හෙගල් වීජ ගණිතයේ විශ්ලේෂී ක්‍රමයත් ජ්‍යාමිතියේ සංශ්ලේෂී ක්‍රමයත් දැනගෙන සිටියේය. හෙගල්ගේ අදහස වූයේ මෙම විධික්‍රමයන් ඉහත දක්වා ඇති ක්‍ෂේත්‍ර තුළ දී සාර්ථක බවක් පෙන්නුවත් දාර්ශනික ප්‍රජානනයේ දී වලංගු නොවන බව ය. ගණිතය වියුක්ත විද්‍යාවක් වේ. එහි දී දේවල් ඒකක වශයෙන් තේරුම් ගනී. එහි තිබෙන්නේ සංකල්ප අතර වියුක්ත සාමාන්‍යයන් ය. ජීවයක් නැති සබඳතාවන් ය. හෙගල් ප්‍රකාශ කළේ 7+5=12 යන්න සත්‍ය වන්නේ සංඛ්‍යා පද්ධතියක් තුළ පමණක් බව ය. එය ගණක යන්ත්‍රයකින් පවා ලබා ගත හැකි පිළිතුරකි. දයලෙක්තික සමතික්‍රමණය ගණක යන්ත්‍රයකින් ලබා ගත නොහැකිය. අලුත් දෙයක් උත්පාදනය වීම,  අතිරේකයක් ජනනය වීම රසායන විද්‍යාවේ හයිඩ්‍රජන් පරමාණු දෙකකට ඔක්සිජන් පරමාණුවක් එකතු වී ජලය සෑදීම වැනි රසායන විද්‍යා සූත්‍රයක් නො වේ.

Picture
Johann Gottlieb Fichte
හේගල්, ෆිෂ්ටේගේ ආත්මීය විඥානවාදය, එනම් ආත්මය කේන්ද්‍රයේ තැබීමේ ෆිෂ්ටේගේ දර්ශනය පිළිගත්තේ නැත. ෆිෂ්ටේ, චින්තනයේ හා යථාර්ථයේ ඉහළ ම අවස්ථාව අවිසංවාදී නියමය (nothing can be both A and not A)  ලෙස පිළිගත්තේය. එය චින්තනයේ ඒකත්වය සමඟ අනුකූල බවත් ෆිෂ්ටේ කියා සිටියේ ය. චින්තනය සත්‍යයක් වන්නේ මෙම මූලධර්මය අනුගමනය කරන නිසා බවත් ඔහු කියා සිටියේ ය. ෆිෂ්ටේට අනුව යම් පද්ධතියක විසංවාදයක් තිබේ නම් එය සත්‍යය එකක් වන්නේ නැත. නමුත් හෙගල්, ෆිෂ්ටේගේ මෙම හේතු දැක්වීම පිළිගත්තේ නැත. ආත්මීයතාව යමක් එයට ම සමාන වීම (A=A) නම් මූලධර්මයෙන් හෝ අවිසංවාදී නියමයෙන් තේරුම් ගත නොහැකි බව හේගල්ගේ අදහස විය. ඔහු ඕනෑම අනන්‍යතාවක පදනම විසංවාදය බව ප්‍රකාශ කළේය. සමානතාවයේ සහ වෙනසේ ඒකත්වය (unity of equality and difference) යථාර්ථයේ මූලධර්මය බවත් ප්‍රකාශ කළේ ය. අනන්‍ය බව හා අනන්‍ය නොවන බව අතර අනන්‍යතාවක් ඇති වේ යන්න (identity of identity and non-identity) හේගල්ගේ අදහස විය. ෆිෂ්ටේ තමන්ගේ The Theory of Science කෘතියේ දයලෙක්තිකයේ ත්‍රිත්ව ආකෘතියක් ඉදිරිපත් කළේය. ඒ වාදය, ප්‍රතිවාදය සහ සහවාදය ය (thesis, anti-thesis and synthesis). මේ ත්‍රිත්ව ආකෘතිය ඔහු නිතර නිතර පාවිච්චි කර ඇත. ෆිෂ්ටේ මේ ආකෘතිය වියුක්ත ආකෘතික (abstract formalism) එකක් ලෙස යොදා ගෙන 
​

ඇත. ෆිෂ්ටේ මම (I)  සහ මම-නොවන්න (not I) අතර වෙනසක් ඇති කළ අතර වාදය හා ප්‍රතිවාදය අතර ඇති වෙනස ඊනියා සහවාදය තුළ දිය වී යන බව දැක්වී ය.  ෆිෂ්ටේට අනුව ආත්මය සරල සහ මුල සිට අග දක්වා ම ස්වයං-තදාත්මය ඝනීභූත (fixed) එකකි. ෆිෂ්ටේ ආරම්භ කරන්නේ ‘මම’, අහංභාවය (I) තුළිනි.  එහි දෙවන පියවර මා නොවන්න ය (not I)' එනම් මම නොවන සත්තාව ය. සත්තාව යනු මම නොවන ලෝකය සහ වස්තූන් ය. ෆිෂ්ටේ ට අනුව තමන් සහ තමන් නොවන ලෝකය අතර ප්‍රතිවිරෝධය තුන්වන අවධිය වන සහවාදය තුළ විසඳී යයි. මේ සහවාදය නව ප්‍රවාදයක් වන අතර එයින් නව ප්‍රතිවිරෝධතා ජනනය කෙරේ. 
​​
කාන්ට්ගේ Critique of Pure Reason  කෘතියේ ‘The Pure Concept of the Understanding of Categories’ නම් කොටසෙහි අවබෝධයේ පදාර්ථ දොළහක් ගැන සඳහන් වේ. මෙය කාන්ට් සිය Prolegomena to any Future Metaphysics කෘතියෙහි දී ‘Transcendental Table of the Concepts of the Understanding’ ලෙස නම් කර ඇත.  මේ පදාර්ථ දොළහ සෑදෙන්නේ තුන බැඟින් වූ පදාර්ථ හතරක් (3x4) ගුණනය වීමෙන් ය. මෙහි සමස්තය (Totality) වනාහි ඒකත්වයේ (Unity) සහ බහුත්වයේ (Plurality) සහවාදයක් ලෙසට ගෙන ඇත. සීමාව (Limitation) වනාහි යථාර්ථය (Reality) සහ නිෂේධනය (Negation) අතර සහවාදයක් ලෙසට ගෙන ඇත. 

හේගල් කාන්ට්ගේ මෙන් ම ෆිෂ්ටේගේ වියුක්ත දයලෙක්තික සූත්‍ර ප්‍රශ්න කළේ ය. හේගල් ෆිෂ්ටේගෙන් වෙනස් ව ආත්මය වනාහි ප්‍රතිපක්‍ෂවල එකතුවක් (unity of opposites)  ලෙස ගත්තේ ය. ෆිෂ්ටේගේ විධික්‍රමය දයලෙක්තික නොවන (non-dialectical) එකක් යැයි දැක්වී ය. කාන්ට්ගේ හෝ ෆිෂ්ටේගේ හෝ ප්‍රතිවිරෝධතා එකිනෙක විනිවිදින්නේ නැත. මේ නිසා හේගල් ෆිෂ්ටේ ගේ වාදය, ප්‍රතිවාදය සහ සහවාදය යන ත්‍රිත්ව ආකෘතිය යොදා ගත්තේ නැත. නමුත් අද දක්වා බොහෝමයක් දෙනා හේගලියානු දයලෙක්තිකය ලෙස යොදා ගන්නේ මෙම ත්‍රිත්ව ආකෘතිය ය. දයලෙක්තිකයේ මෙම ඊනියා ආකෘතිය හෙගල් විසින් විවේචනය කරන්නේ පහත ආකාරයට ය.
​
Of course, the triadic form must not be regarded as scientific when it is reduced to a lifeless schema, a mere shadow, and when scientific organization is degraded into a table of terms. (Hegel 1977, 29)

දයලෙක්තිකයේ ත්‍රිත්ව ආකෘතිය විද්‍යාත්මක එකක් ලෙසට ගත නොහැකිය. දයලෙක්තිකයේ ත්‍රිත්ව ආකාරයට ජීවයක් නැත. හේගල්ට අනුව, දයලෙක්තිකය ත්‍රිත්ව ආකෘතියකින් ප්‍රකාශ කළ නොහැක. මෙහි සහවාදය යන්න ඉතාමත් නොමඟ යවනසුලු යෙදුමකි. හේගල්ට අනුව කිසිවිටක අවසන් සහවාදයකට පැමිණිය නොහැකි ය. ඕනෑම සහවාදයක් තුළ කලින් අවධියේ සංඝටක අන්තර්ගත වන අතර ම කලින් සංඝටක ඉක්මවා යාමේ ගුණාංගය ද අන්තර්ගත ය. දයලෙක්තිකය ඉදිරියට තල්ලු කරන්නේ ප්‍රතිවිරෝධතා හරහා ය; අතිරේකයන් හරහා ය. මේ අනුව සහවාදයක් ඇති තැනක දයලෙක්තිකය මිය යයි. දයලෙක්තිකයට වාදය, ප්‍රතිවාදය සහ සහවාදය වැනි රූපික සූත්‍රයක් ලබා දීම දයලෙක්තික විරෝධී ය. දයලෙක්තිකය විධික්‍රමයකට (method) හෝ ආකෘතික ව්‍යූහයකට (formal structure) කොටු කිරීම දයලෙක්තික විරෝධී ය. දයලෙක්තිකයේ සැබෑ රූපය නිෂේධනය විනා ත්‍රිත්ව රූපික ව්‍යූහයක් නො වේ. දයලෙක්තිකය හැම විට ම ඉඩ දෙන්නේ අසම්පූර්ණත්වයට ය.

දයලෙක්තික තර්කය ආකෘතියට (form) හෝ අන්තර්ගතයට (content) සීමා කිරීමට ගන්නා ඕනෑම උත්සාහයක් දයලෙක්තික විරෝධී ය. පරමත්වයට රූපයක් නැත. එය ආකෘතික වශයෙන් හිස් ය. එය සද්භවවාදී ය. දයලෙක්තිකය සද්භවවාදී තර්කයක් විනා භවවාදී රූපික එකක් නොවේ. හේගලියානු දයලෙක්තිකය දෙන ලද අන්තර්ගතයකට ‘පිටතින්’ යෙදිය හැකි ක්‍රමයක් නො වේ. හේගල්ට අනුව දයලෙක්තිකය හුදෙක් දර්ශනය තුළ සොයා ගත හැකි මූලධර්මයක් නො වේ. සොබාදහම පරමත්වයේ පරිබාහිර වීමකි;  පරාරෝපණයකි. දයලෙක්තිකය සොබාදහම තුළ ප්‍රකාශයට පත් විය හැකි නමුත් එය සොබාදහම තුළ සැඟවී ඇති යථාර්ථයක් නො වේ. හේගල් Phenomenology of Spirit කෘතියේ සොබාදහමේ සංසිද්ධියක් ගැන දයලෙක්තික විස්තරයක් කරයි. 

The bud disappears in the bursting forth of the blossom, and one might say that the former is refuted by the latter: similarly, when the fruit appears, the blossom is shown up in its turn as a false manifestation of the plant, and the fruit now emerges as the truth of it instead. (Hegel 1977, 02)
​
​මෙයින් කියවෙන්නේ සොබාදහම චින්තනයෙන් පරිබාහිර එකක් නොවන බව ය; චින්තනය හා බැදුණූ සමස්තයක් බව ය. දයලෙක්තිකය සොබාදහමේ මල් පොහොට්ටු, ගෙඩි තුළ සැඟවී තිබෙන මූලධර්මයක් ද නො වේ. හේගල් මෙහි දී විද්‍යාවෙන් පහදා දිය හැකි මල්, පොහොට්ටු ඇතුළත ඇති රසායනික විද්‍යාත්මක යථාර්ථයක් ගැන නො කියයි. භවවාදී යථාර්ථය (ontical reality)  ගැන කතා නො කරයි. ඒ වෙනුවට හේගල් කතා කරන්නේ සත්භවවාදී යථාර්ථයක් (ontological reality) ගැන ය. පොහොට්ටුව මල බවට පත් වන විට මල තුළ පොහොට්ටුවේ යමක් ශේෂ ගත කෙරෙන අතර පොහොට්ටුව ඉක්මවා යාමක් ද  සිදු වේ. පිරිමි ගැහැනු පරාග එක් වී නව සංවාදයක් ලෙස ඵලයක් ජනිත වනවා ය යන ව්‍යාජ දයලෙක්තික සූත්‍රයක් හෙගල් මතු කරන්නේ නැත. මේ අනුව ඉස්ගෙඩියා ගෙම්බා බවට පත් වීම හෝ ඕක් ගෙඩිය ඕක් ගසක් බවට පත්වීමට ඇත්තේ සත්භවවාදී දයලෙක්තික පදනමක් විනා රසායන විද්‍යාත්මක පදනමක් නො වේ. දයලෙක්තිකය තාර්කික (Logical) ලෙස, ආධ්‍යාත්මික (Spiritual) ලෙස ස්වාභාවික (Natural) ලෙස ප්‍රකාශයට පත් විය හැකි ය.
​
Picture
Immanuel Kant (1724-1804)
සාරය පිළිබඳ දහම ඇසුරෙන් දයලෙක්තිකය

හේගල්ගේ Science of Logic කෘතියේ එන සාරය පිළිබඳ දහම (The Doctrine of Essence) හේගලියානු දයලෙක්තිකය අවබෝධ කර ගැනීමට ඇති ප්‍රධාන මූලාශ්‍ර ය. Science of Logic කෘතිය මඟින් සමස්තයක් වශයෙන් ආවරණය කරන්නේ සත්තාව (Being), සාරය (Essence) සංකල්පය (Concept) යන දයලෙක්තික සබඳතාවය ය. සත්තාව යනු දේවල්හි දෙන ලද තත්ත්වය ය (givenness of things). මෙම දෙන ලද තත්ත්වය හිස් එකකි. සත්තාව තුළින් අපට ලබාදෙන්නේ අව්‍යවහිත (immediate)  සත්‍යයන් ය. එයින් ගැඹුරු සත්‍යයක් හෙළිදරව් කරන්නේ නැත. සමස්තය පිළිබඳ අවබෝධයක් ලබා දෙන්නේ නැත. සත්තාවේ සිට සාරයට පැමිණීම යනු සත්තාවෙන් විචාරාත්මක තැනකට පැමිණීම ය. සත්තාවේ සිට සාරයට පැමිණිම යනු සත්‍යයේ වඩාත් ගැඹුරු තලයකට කාන්දු වීමකි. සත්තාවේ සිට සාරයට පැමිණීම යනු පොදුජන විඥානයෙන් ඔබ්බට ඇති අනුභූති උත්තර දැනුමක් වෙත ප්‍රවේශ වීමය. හේගල් පවසන ‘the truth of being’ යනු මෙම සාරය ය. ඒ වනාහි පොදු ජන විඥානයට පිටුපසින් ඇති අභ්‍යන්තර සත්‍යයක් අවබෝධ කර ගැනීම ය. සාරයේ ප්‍රවර්ගයක් ලෙස හේගල් ‘Reflection’ යන්න දක්වයි.  එයට දිය හැකි සිංහල පරිවර්තනය ‘ප්‍රත්‍යවේක්‍ෂණය’ යන්න ය.  අපි යම් මතුපිටක් දුටු විට මතුපිට ඒ ආකාරයෙන් දිස් වන්නේ ඇයි ද යන්න සෙවීමට පෙලඹෙමු. මෙය හරහා ය දෘශ්‍යමානය හා සාරය (යථාර්ථය) යන බෙදීම මතු වන්නේ ය. මේ පිළිබිඹුවෙන් ඔබ්බට යාම සඳහා හේගල් සමපෙක්‍ෂණය (Speculation) යෝජනා කරයි. ‘Specualtion’ යන්නෙහි ජර්මන් වචනය  Spekulation ය. ලතින් වචනය වන්නේ speculum ය. එහි තේරුම ‘පිළිබිඹු කිරීම’ (mirror) යන්න ය. වෙනත් ලෙසකින් ප්‍රකාශ කළහොත් දේවල්වල දෘශ්‍යමානයෙන් ඔබ්බට ගොස් අව්‍යාජත්වයට ළඟා වීමේ අර්ථයක් මෙහි ඇත. හේගල් සහ ශෙලිං යන දෙදෙනා ම සමපේක්‍ෂණය සාධනීය ලෙස භාර ගත්තේ කාන්ට්ගේ දෘශ්‍යමානය (ප්‍රපංචය) ඉක්මවා නිෂ්ප්‍රපංචය දැන ගැනීමේ ක්‍රමවේදයක් වශයෙනි. චින්තනය තුළ මතුවිය හැකි දෙබෙදුම් ඉක්මවා යාම සඳහා සමපේක්‍ෂණය යෙදා ගැනීමට සිදු වේ. සමස්තයෙන් කොටසක් පමණක් අවබෝධ වන ඒකපාර්ශ්වීය චින්තනයෙන් ගැලවීම සඳහා මෙය යෝජනා කරයි. සමපේක්‍ෂණය ඇතුළත් දයලෙක්තික චින්තනයේ දී දේවල්වලට ආවේණිකව  ඇති විසංවාදය තේරුම් ගනී.

හේගල් දෘශ්‍යමානය වනාහි සැඟවුණු සාරයක වසඟකාරී පිටපොත්ත ලෙස නො ගනියි. මෙහි දී දෘශ්‍යමානය සමස්තයේ එනම් පරමත්වයේ ස්වයං-ප්‍රදර්ශනයක් ලෙස ගනියි. මතුපිට පෙනුම සමස්තයේ ම කොටසක් ලෙස තේරුම් ගත යුතු බව මෙහි දී කියැවේ. සමස්තය සහ කොටස අභ්‍යන්තරික වශයෙන් සම්බන්ධ වී තිබෙන ආකාරය හේගල් පහදයි. සමස්තය (whole) යන්නට හේගල් ලබා දෙන නාමය සාරාත්මක (essential) යන්න ය. කොටසක් කොටසක් වන්නේ මේ සමස්තය අනුව ය. කොටස් දෘශ්‍යමාන (appearance) වන්නේ සමස්තය හරහා ය. කොටස් එක්සත් කරන මූලධර්මය සමස්තය වෙයි. උදාහරණ ලෙස අතපය, ඇඟිලි යන දෘශ්‍යමාන කොටස් ඒකාබද්ධ කරන්නේ ශරීරය නම් සමස්තය මඟින් ය. ශරීරය යන්න සද්භවවාදී වූවකි. සාරය අව්‍යවහිත ලෙස අපට නො පෙනේ. එය අව්‍යවහිත ලෙස පෙනෙන දෙයට යටින් ඇති සමස්තයකි. ඒ ක්‍ෂේත්‍රයට යෙදෙන්නේ ‘mediacy’ යන වචනය ය. බාහිර පරිවර්තනය අනුගමනය කරන්නේ ඇතුළත අභන්තර චලනය වේ. පිටත දිස් වන්නේ ස්වයං-දිගහැරුමකට ලක් වන (self-unfolding) අභ්‍යන්තර සාරය යි. පිටත ප්‍රකාශ වන්නේ ඇතුළත අවශ්‍යතාවකි. මෙහි දී අවධාරණය කරන කාරණයක් නම් පිටත පෙනෙන දෘශ්‍යමානය අභ්‍යන්තර සාරය දැකීමට බාධාවක් නො වන බව ය. එමෙන් ම දෘශ්‍යමානය, සාරය වසාගෙන සිටින යකඩ තිරයක් ද නො වේ. එය අභ්‍යන්තර යථාර්ථයෙන් ආවශ්‍යක ලෙස එළියට  දමන දෙයකි. මතුපිට පෙනුම අභ්‍යන්තර සාරයේ ම කොටසකි.  බාහිර යථාර්ථයට හේගල් යොදා ගත් වචනය වූයේ ‘Shein’ යන්න ය. එය ඉංග්‍රීසි භාෂාවට shine ලෙස පරිවර්තනය වේ. එහි සිංහල තේරුම ‘දිලිසෙනවා’ යන්න ය.

දැනුම අව්‍යවහිත මතුපිටකින් නතර නොකිරීම හේගලියානු දයලෙක්තිකයේ ප්‍රධාන භූමිකාවකි. අව්‍යවහිත බවෙන් ඔබ්බෙහි යමක් ඇතැයි උපකල්පනය කරමින් ඒ දෙසට ගමන් කිරීම හෙගල් mediated knowledge ලෙස හැඳින්වීය. දයලෙක්තිකය ක්‍රියාත්මක වන්නේ වෙනත් දෙයක ආධාරයෙන් කෙලින් ම යා නොහැකි ක්‍ෂේත්‍රයකට පියමන් කිරීමේ දී ය. මෙයින් කියැවෙන්නේ අපට යමක් අව්‍යවහිත ලෙස මෙන් ම වෙනත් දෙයක් මාධ්‍ය කරගෙන දැනගත හැකි බව ය. මෙම දෙවැනි අර්ථයට ‘reflect’ යන්න යෙදේ.  positing reflection, external reflection, determining reflection  වශයෙන් දැක්වෙන ත්‍රිත්වයෙන් සමස්ත සාරයේ තර්කය අනාවරණය කෙරේ.
​
​අනන්‍යතාවය, වෙනස සහ ප්‍රතිවිරෝධය

හෙගලියානු දර්ශනයේ එන ප්‍රධාන නැවුම් ඉදිරිපත් කිරීමක් වූයේ යමක අනන්‍යතාව අනෙක් දේවල්වලට ඇති සබඳතා හා වෙනස්කම් හරහා බිහිවන බව ය. අපගේ සාමාන්‍යය චින්තනයේ දී අනන්‍යතාව සහ වෙනස එකිනෙකකින් පරස්පර ය. නමුත් හෙගලියානු සමපේක්‍ෂණ දැක්ම තුළ අනන්‍යතාව සහ වෙනස්කම් එකට පවතී. මේ අනුව හේගල් කියන්නේ යම් අනන්‍යතාවක් ලබා ගැනීම (to be something or to possess identity) යනු අනෙක් දේවල්වලින් වෙනස් වීම ය. මෙයින් කියවෙන්නේ යම් වස්තුවක අනන්‍යතාව යනු එයට ආවේණික වශයෙන් ඇති දෙයක් නො වන අතර අන් දෙවල් වලට ඇති සබඳතාව අනුව අනන්‍යතාව බිහිවන බව ය. මේ අනුව අපට කතා කළ හැක්කේ වෙනස්කම් තුළ ඇති අනන්‍යතාවන් ය (identity in difference). මනුෂ්‍යයා නම් අනන්‍යතාව විවිධ ශාරීරික කොටස් හා ඒවායේ විවිධ ක්‍රියාකාරීත්වයන්ගේ එකතුවෙන් බිහි වී ඇත. අතපය, ඇඟිලි, හිස, බඩ ආදී කොටස්වල වීජීය එකතුවෙන් මනුෂ්‍යයා ගොඩනැගෙන්නේ නැත. මනුෂ්‍යයා යනු ඒවා අතර සබඳතාවය ය.  අනන්‍යතාවට අදාළ මූලධර්මය හේගල් කතා කරන්නේ Sicence of Logic කෘතියේ ‘Essence’ කොටසෙහි ය. හේගල් මෙහි දී මතු කරන්නේ ඕනෑම අනන්‍යතාවක් යනු අනෙකාට (other) දක්වන සබඳතාව හරහා නිර්මාණය වන බව ය.

හේගල්ගේ ප්‍රවේශයට අනුව ප්‍රතිවිරෝධතාවලට එකට පැවතිය හැකි ය. Everything is inherently contradictory…there is nothing in contradictory … (Hegel 1969, 439)

විසංවාදය ඕනෑ ම දෙයකට ආවේණික ලක්‍ෂණයක් බවත් විසංවාදී නොවන කිසිවක් නොමැති බවත් මෙයින් කියැවේ. විසංවාදය හේගලියානු දයලෙක්තිකයේ මූලධර්මය ය; චින්තනයේත් යථාර්ථයේත් මූලධර්මය ය. මෙමඟින් ඝනීභූත අනන්‍යතාවන් දියකර හරී. මෙහි විසංවාදය යනු නිෂේධනය ය. එය යථාර්ථයේ වාහකයා ය. මෙම විසංවාදී  මූලධර්මය ඔස්සේ චින්තනය හෝ අදහස වර්ධනය වෙයි. ඕනෑම අවධියක් ගැටුම (conflict) ප්‍රතිවිරෝධය (opposition) සහ නිෂේධනය හරහා වෙනත් අවධියක් වෙත ගමන් කරයි. ඕනෑ ම සංකල්පයක් ඊට ආවේණික ලෙස විසංවාදී වේ. ඕනෑ ම අදහසක් එහි අර්ථය ලබා ගන්නේ එහි ප්‍රතිවිරුද්ධ අදහස්වලින් ය. නිෂේධනය සහ ප්‍රතිවිරෝධය ඕනෑ ම දෙයක වර්ධනයෙහි මූලධර්මය වේ. වෙනස තුළ අනන්‍යතාව Science of Logic හි මෙසේ දක්වා ඇත. මෙම ස්ථානය හෙගලියානු දයලෙක්තිකය තේරුම් ගැනීමට ඇති හොඳ ම ස්ථානයක් ලෙස ගත හැකි ය. මෙය ඉංග්‍රීසි භාෂාවෙන් ම උපුටා දක්වමි.

Father is the other of son, and son the other of father, and each only is as this other of the other; and at the same time, the one determination only is, in relation to the other; their being is a single subsistence. The father also has an existence of his own apart from the son-relationship; but then he is not father but simply man;  just as above and beow, right and left, are each also a reflection-into-self and re something apart from their relationship, but then only places in general, opposites, therefore,  contain contradiction in so far they are, in the same respect negatively related to one another to one another or sublate each other and are indifferent to one another.   (Hegel 1969, 441)

මෙම දයලෙක්තික විග්‍රහයෙන් හේගල් ප්‍රකාශ කරන්නේ විසංවාදය, ප්‍රතිවිරෝධය ක්‍රියාත්මක වන්නේ පියා සහ පුතා අතර නොවන බව ය. මා වනාහි මගේ පුතාට පියෙකි.  එමෙන් ම මා වනාහි මගේ පියාට පුතා ය. හෙගල් කතා කරන්නේ මා තුළ එක විට පියා සහ පුතා අන්තර්ගත වීමේ විසංවාදී පැවැත්ම ගැන ය. අවිසංවාදී නියමයට අනුව නම් මට එක විට පියා සහ පුතා විය නොහැක. නමුත් හේගල්ට අනුව විය හැකි ය. හේගල් මෙහි දී කතා කරන්නේ මා අනෙකාට දක්වන සබඳතාව ගැන ය. අනෙකාට අනුව මා කවුද? පියා ද?  පුතා ද?  මාගේ අනන්‍යතාව හිස් ය. එම හිස් බව පියාගෙන් මෙන් ම පුතාගෙන් ද පිරවිය හැකි ය.

ආශ්‍රිත ග්‍රන්ථ: 


  1. Hegel, G.W.F. (1969): Science of Logic, Tr. by A.V. Miller, London: George Allen and Unwin.
  2. Hegel, G.W.F. (1975): Hegel’s Logic: Part One of the Encyclopedia of PhilosophicalSciences, in Basic Outline: Part I: Science of Logic, eds. K. Brinkmann and D.O. Dahlstrom, Cambridge: Cambridge University Press.
  3. Hegel, G.W.F. (1977): Phenomenology of Spirit, Tr. by A.V. Miller, Oxford: Oxford University Press.
  4. Yovel, Y. (2005): Hegel’s Preface to the Phenomenology of Spirit, Princton: Princeton University Press.

    ඔබගේ අදහස් අපට එවන්න.

    Max file size: 20MB
Submit
Back To Home
Powered by Create your own unique website with customizable templates.
  • ප්‍රවර්ග
    • සාහිත්‍ය කලා
    • දර්ශනවාදය
    • වෙනත්
  • ලේඛනාගාරය
  • ලේඛක සෙවීම්
  • Bookcrow
  • Contact Us
  • සංස්කාරක සටහන්