හෙට දින සංස්කෘතිය උදෙසා විවෘත වේදිකාව​...

kinihiraya.com
  • ප්‍රවර්ග
    • සාහිත්‍ය කලා
    • දර්ශනවාදය
    • වෙනත්
  • ලේඛනාගාරය
  • ලේඛක සෙවීම්
  • Bookcrow
  • Contact Us
  • සංස්කාරක සටහන්
හෙගලියානු අඩවිය 9: හෙගලියානු භෞතිකය ​​
​
​⚈ ආචාර්ය සමන් පුෂ්පකුමාර - Dr. Saman Pushpakumara
​
2021 පෙබරවාරි 26​
Picture
Georg Wilhelm Friedrich Hegel
​

දර්ශන ඉතිහාසය තුළ හෙගල්ව හඳුනා ගන්නේ විඥානවාදියෙකු ලෙසටය. වඩාත් නිවැරදිව කීවොත් පරම විඥානවාදියෙකු (Absolute Idealist) ලෙසටය. භෞතිකවාදයට ප්‍රතිවිරුද්ධ අන්තයක හෙගල්ව තැබීම සාමාන්‍ය දාර්ශනික පුරුද්දය. හෙගල් භෞතිකවාදය සම්බන්ධයෙන් විචාරයක් කර තිබෙන බවත්, ද්‍රව්‍යය (matter) සම්බන්ධයෙන් සුවිශේෂ වශයෙන් සාකච්ඡා කර තිබෙන බවත්,දියුණු භෞතිකවාදයක් ගොඩනැගීමේදී හෙගල්ව අතිශයින්ම වැදගත් බවත් හඳුනාගෙන නැත. මේ ලිපියෙන් සාකච්ඡාවට ගැනෙන්නේ මෙම ක්‍ෂේත්‍රයය.

​දාර්ශනික අර්ථයෙන්, මුල්වතාවට භෞතිකවාදය ගැන කථා කළේ ලුතරියානු ජර්මානු දේවධර්මවාදියෙකු වූ යොහාන් ජෝර්ජ් වැල්ච්ය (Johan Georg Walch). ඔහු ජීවත් වූයේත් හෙගල් සේම යිනාවල හෙගල්ට පෙරය. 1726 දී වැල්ච් Philosophises Lexicon යනුවෙන් පොතක් ලීවේය. එහිදී ඔහු භෞතිකවාදය අර්ථකථනය කළේ එය තවත් දාර්ශනික ස්ථාවරයක් ලෙසට ය. ඒ කාලය වන විට භෞතිකවාදය (materialism) යන වචනය, විද්‍යාව, විශේෂයෙන් ම භෞතිකවිද්‍යාව (physics) හා සම්බන්ධිතව සාකච්ඡාවට ගෙන තිබිණි. දර්ශනයට සම්බන්ධ කර එය විග්‍රහයට ගෙන තිබුණේ නැත. වැල්ච්ට අනුව යමෙකු භෞතිකවාදය යන්න පාවිච්චි කරන විට ඔහුට සියලු ම ආකාරයේ ආධ්‍යාත්මික සාරාර්ථයන්ගෙන් (spiritual substances) බැහැර වීමට සිදුවේ. 
​මෙහි දී  ශරීරයට පමණක් සම්බන්ධ (corporeal) දේ හැරුණු විට සියලු සාරාර්ථයන් බැහැර කිරීම සිදුවේ. ඒ අනුව, තවදුරටත් භෞතිකවාදය ලෙසට ගන්නේ සියලු ම ගුණාංගයන්, ස්වාභාවික දේහයන් සහ කෘත්‍යයන් ද්‍රව්‍යමය ව්‍යූහයකින්ව්‍යුත්පන්න වීමකි.ද්‍රව්‍යයේ හැඩය, බර, ඒවා එකිනෙක අන්තර් ක්‍රියාකාරී වීම යන සියල්ල ද්‍රව්‍යමය එකක් ලෙසට ගැනීම මෙහිදී සිදුවේ. කිසිම ආකාරයක වෙනත් ආධ්‍යාත්මික සාරාර්ථයක්, මූලධර්මයක් පිළිගන්නේ නැතිව ක්‍රියාත්මක වන මේ ස්ථාවරයට දුන් තවත් නමක් වූයේ යාන්ත්‍රිකවාදය (mechanism) යන්නය. මේ කාලයේදී යාන්ත්‍රිකවාදීන් හා ආධ්‍යාත්මිකවාදීන් අතර එකිනෙක ප්‍රතිවිරුද්ධ ස්ථාවරයන් බිහිවී තිබිණි. Lexicon කෘතිය 18 වන ශතවර්ෂයේදී නැවත නැවත මුද්‍රණය වූ අතර එයට විශාල ප්‍රසිද්ධියක්  ද ලැබී තිබිණි. 1739  දී ප්‍රංශය තුළත් 1749 දී ඉංග්‍රීසි භාෂාව තුළත් භෞතිකවාදය යන වචනය පාවිච්චි විය. 18 වන ශතවර්ෂය පුරා භෞතිකවාදය යන්න ජනප්‍රිය මාතෘකාවක් විය.
​
වැල්ච්ගේ භෞතිකවාදයේ මූලික සංකල්ප

වැල්ච්ගේ භෞතිකවාදී ප්‍රවේශය තුළ පහත ලක්‍ෂණ අන්තර්ගතව පැවතිණි. මේ ලක්‍ෂණ එකිනෙක අන්තර් සම්බන්ධිත ද වේ.

1. යාන්ත්‍රිකවාදය (mechanism) 

මේ ප්‍රවේශය යාන්ත්‍රික භෞතිකවාදය (mechanistic materialism) ලෙසට හඳුනාගන්නා ලදි. 18 වන සියවසේ භෞතිකවාදීහු මේ ලක්‍ෂණය නියෝජනය කළහ. සෑම ප්‍රපංචයක්ම දේහමය හා ආධ්‍යාත්මික භේදයකින් තොරව යාන්ත්‍රික හේතුඵලමය සම්බන්ධතා හරහා ක්‍රියාත්මක වන බව මෙහිදී පිළිගැනේ. ඩේකාට්ස් යාන්ත්‍රික හේතුඵලවාදී ඒකරූපතාවාදයක් සිය දර්ශනය මගින් ඉදිරිපත් කළේය. මේ දැක්ම අනුව සතුන් මෙන්ම යන්ත්‍රද එක හා සමාන දේවල් ය. යාන්ත්‍රික ඔරලෝසුවක් ක්‍රියාත්මක වන ආකාරයට සතුන්ද ක්‍රියාත්මක වේ. මේ යාන්ත්‍රික හේතුඵලවාදී දැක්ම සම්බන්ධයෙන් පැහැදිලි විග්‍රහයක් ෆ්‍රිට්ජොෆ් කප්රා තමන්ගේ The Turning Point: Science Society and the Rising Culture (1982) කෘතියේ ‘The  Newtoniam World-Machine' නම් පරිච්ඡේදයේ ඉදිරිපත් කරයි. කප්රා එහිදී ලියන ආකාරයට

To Descartes the material universe was a machine and nothing but a machine. There was no purpose life or spirituality in matter. Nature worked according to mechanical laws, and everything in the material world could be explained in terms of the arrangement and movement of its parts. This mechanical picture of nature became the dominant paradigm of science in the period following Descartes (Capra 1982. pp 45-46)

ඉහත උපුටනයෙන් යාන්ත්‍රික භෞතිකවාදයේ ස්වභාවය හොඳින් ම පැහැදිලි වෙනවා යැයි සිතමි. මෙයින් කියවෙන්නේ ද්‍රව්‍යමය විශ්වය යාන්ත්‍රික එකක් වන අතර එය  යන්ත්‍රයකට වඩා වැඩි දෙයක් නොවන බව ය. ද්‍රව්‍යය තුළ කිසිම ආකාරයක අරමුණක් හෝ ආධ්‍යාත්මකත්වයක් නැත. සොබාදහම ක්‍රියාත්මක වන්නේ යාන්ත්‍රික නියම වලට අනුකූලව ය. ද්‍රව්‍යමය ලෝකයේ සෑම දෙයක්ම මේ යන්ත්‍රයේ කොටස්වල චලනයට අනුකූලව පැහැදිලි කළ හැකිය. ඩේකාට්ස්ට පසුව මේ යාන්ත්‍රික ලෝක දැක්ම න ස්වාභාවික විද්‍යාව නම් සුසමාදර්ශයේ අධිපති බලවේගය බවට පත්විය. 

​
2. නිර්ණයවාදය (Determinism)

සෑම දෙයක්ම හේතූන් මඟින් නිර්ණය කෙරේ. මේ නිසා මිනිස් නිදහසට, ස්වච්ඡන්දතාවට, ආත්මීය මැදිහත්වීමකට ඉඩක් නැත.

3. ඒකත්වවාදය (Monism)
​

ද්වෛතවාදයකට (Dualism) ඉඩක් නැත. පවතින්නේ ඒකත්වවාදයක් පමණි. වෙනත් ලෙසකින් කීවොත් පවතින්නේ තනි එක් සාරාර්ථයක් පමණි. මනස හා ශරීරය වශයෙන් සාරාර්ථයන් දෙකක් නැත. මේ මතයේ පුරෝගාමී දාර්ශනිකයා ස්පිනෝසාය. ඔහු කීවේ දෙවියන් වහන්සේ හා සොබා දහම එකක්ම බවය.

4. විද්‍යාවාදය (Scientism)

මේ වනාහි විද්‍යාව මත සම්පූර්ණයෙන් පදනම් වීමය. විද්‍යාවවනාහි එකම හා හොඳම වාස්තවික ප්‍රවේශය ලෙසට මෙහිදී ඉදිරිපත් කෙරිණි. එඩ්මන්ඩ් හුසල් නම් ප්‍රපංචවිද්‍යා දාර්ශනිකයා විද්‍යාවාදයට කීවේ වාස්තවිකවාදයක් (objectivism) කියාය. හුසල් ප්‍රති-විද්‍යාවාදී අදහසක් දරමින් කියා සිටියේ ජීවිත-ලෝකය (life-world) විද්‍යාවාදයෙන් අවබෝධ කර ගත නොහැකි බවය. හුසල් පමණක් නොව හෛඩෙගර්, ෆ්‍රැන්ක්ෆර්ට් පාසැලේ දාර්ශනිකයෝ ද විද්‍යාවාදයට විරුද්ධ වූහ.
Picture
baruch spinoza

​කෙසේ නමුත් ඉහතින් සඳහන් කළ ලක්‍ෂණ හතර එවකට පැවති භෞතිකවාදය සමග ගැට ගැසී තිබිණි. බුද්ධි ප්‍රබෝධ සමයේ ‘භෞතිකවාදය’ නම් ප්‍රවේශය ඉතාමත් ඉහළට මතු වූ අතර එයින් පසුවත් තවත් සියවසක් පමණ මෙහි ආධිපත්‍යය රැඳී තිබිණි. 19 වන ශතවර්ෂය පුරා ස්වාභාවික විද්‍යාඥයන් කියා සිටියේ භෞතිකවාදය සෑම කෙනෙක්ම අනුගමනය කළ යුතු ධර්මය බව ය. මේ කාලයේදී භෞතිකවාදී මත ගැටුම (Materialismusstreit) ඇති වූ අතර එහි දී ජර්මන් විඥානවාදයට එරෙහිව සාමාන්‍ය වශයෙනුත් හෙගල්ට විරුද්ධව විශේෂ වශයෙනුත් දාර්ශනික භෞතිකවාදී පදනමක් වර්ධනය විය. මාක්ස්ටත් එහි බලපෑම ලැබී තිබිණි. ෆොයබාක් හෙගල්ව අත්හැර භෞතිකවාදයක් ගොඩනැගුවත් මාක්ස් අවබෝධ කරගත් කාරණයක් වූයේ හෙගල්ව අතහැර භෞතිකවාදයක් ගොඩනැගිය නොහැකි බවය. මේ නිසාය මාක්ස් පළමුෆොයබාක්ප්‍රවාදයේදීමෆොයබාක්ගේ භෞතිකවාදය ඇතුළු ව සියලු භෞතිකවාදයන්ගේ දෝෂය දකිමින්, (හෙගලියානු) විඥානවාදයේ ඇති ක්‍රියාකාරී පාර්ශ්වය ඇගයුමට ලක් කළේ.
​
හෙගලියානු භෞතිකවාදය

භෞතිකවාදය සම්බන්ධ විවාදයේදී හෙගල් කියා සිටියේ භෞතිකවාදය පිළිබඳ ප්‍රශ්නය භෞතිකවාදී නොවන බව ය (immaterial). එසේ සිදුවන්නේ හෙගල් අදහස (Idea) මගින් ද්‍රව්‍ය (matter) විස්ථාපනය කර දමන නිසා නොව ද්‍රව්‍යය යන්න අනිත් අදහස් අතර තවත් එක් අදහසක් පමණක් නිසා ය. හෙගල්ගේ පරමත්මයේ ප්‍රපංචවිද්‍යාව කෘතියේ ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඔහු දෙන අර්ථකථනය මෙවැන්නකි.

Matter on the contrary is not an existing thing but is, being in the form of a universal, or in the form of a Notion.(Hegel 1977, 154) 

මීට විපරීත ව, ද්‍රව්‍යය යනු පවත්නා දෙයක් නොවේ. එය සාර්වත්‍රිකයක ස්වරූපයෙන් හෝ මතියක (Notion) ස්වරූපයෙන් වන පැවැත්මකි. හෙගල් තවත් තැනක ද්‍රව්‍යය ගැන මෙසේ ලියයි.

What is seen, felt, tasted is not matter, but color, a stone, a salt, etc, Matter is rather a pure abstraction, and so what we presented with here is the pure essence of thought… (Hegel 1977, 351)

මේ විග්‍රහයට අනුව අපි දකින, හැඟෙන, රස විඳින දේ ද්‍රව්‍යය නොවේ. අපි දකින්නේ වර්ණ, ගල්, ලුණු වගේ දේවල් ය. ද්‍රව්‍යය යනු චින්තනයේ ශුද්ධ සාරයකි. හෙගල්ගේ තර්කයේ සාරය මෙයය. ‘ද්‍රව්‍යය’ දැකපු කෙනෙකු නැත. යමෙකු දැක තිබෙන්නේ සුවිශේෂ හැඩයන්, වර්ණයන් ආදිය ය. අප දකින්නේ, රස විඳින්නේ, ඇහෙන්නේ, ආග්‍රහණය කරන්නේ විසිරී ඇති ඒකතාවන් (තනි සුවිශේෂයන්)ය (singularities). ලෝකයේ පවතින්නේ බහුවිධතාවකි. මේ විවිධත්වය අපගේ චින්තනය මගින් වියුක්තකරණය කර සියල්ල ද්‍රව්‍යය යැයි නම් කරමු. මේ අනුව ද්‍රව්‍යය නාමකාරයකි (denominator). ද්‍රව්‍යය යනු යමක් සංකල්පීයව ග්‍රහණය කර ගැනීම සඳහා පාවිච්චි කරන්නකි (conceptually grasp). යම් විවිධත්වයක් තනි සංකල්පයක් යටතේ ග්‍රහණය කරගැනීමේදී ‘ද්‍රව්‍යය’ යන්න හමුවේ. ද්‍රව්‍යය චින්තනයේදී හමු වන දෙයක් විනා සංවේදනයෙන්, අනුභූතියෙන් මුණ ගැසෙන, සංවේදනයෙන් පිටත පවත්නා දෙයක් නොවේ. හෙගල් මෙහි දී භාවිත කරන ජර්මානු වචනයක් ඇත. එය නම් ‘Gedankending’ ය. එහි තේරුම චින්තනයේ නිෂ්පාදනයක් (a product of thought) යන්නය. මේ අනුව ද්‍රව්‍යය යන්නට උසස් ගරු ගම්භීර තැනක් ලබා දුන්නත් ඒ තුළ තිබෙන්නේ සංකල්පීය බවක් හා පාරභෞතික ස්වභාවයකි.
​
Picture
 හෙගල් තමන්ගේ Lectures on the History of Philosophy යහ කෘතියේ පැරණි ග්‍රීක පරමාණුවාදීන් සම්බන්ධයෙන් කථා කරයි. මෙහිදී හෙගල් ග්‍රීක පරමානුවාදීන්ව අගයන්නේ පරමාණුව සම්බන්ධයෙන් ඔවුන්ට පැවතුණු සමපේක්‍ෂණමය (speculative) දැනුම නිසාය. මේ සමපේක්‍ෂණ අදහස ගැන හෙගල් ලීවේ මෙවැන්නකිි ‘Eins kann man nicht sehen’ (one cannot see one) හෙගල්ගේ Lectures on the History of Philosophy Volume I :Greek Philosophy to Plato  කෘතියේ ඉංග්‍රීසි පරිවර්තකයා වූ ඊ. එස්. හැල්ඩොන් (E.S. Haldone) පරමාණුව සම්බන්ධයෙන් ග්‍රීකයන්ගේ දැක්මට හෙගල් දෙන අර්ථකථනය පරිවර්තනය කරන්නේ පහත ආකාරයට ය:

‘The one can neither be seen nor shown with magnifying glasses or measures because it is an abstraction of thought’

මේ සියල්ලෙන් පෙනී යන්නේ කුමක්ද? පරමාණුව යමෙකුට දැක ගත නොහැකිය. විශාල කර පෙන්වන කාචයකින්වත් එය දැක ගත නොහැකිය. මක්නිසාද පරමාණුව යන්න චින්තනයෙන් කරන වියුක්තීකරණයක් නිසාය. පරමාණුව සමපේක්‍ෂණය කළ හැකි මුත් නැරඹිය නොහැකිය. මෙහි පරමාණුකවාදය භෞතිකවාදයක් ලෙස ඉන්ද්‍රිය සංවේදනමය ක්‍ෂේත්‍රයට අයත් එකක් වන්නේ නැත. එය අනුභූතික ක්‍ෂේත්‍රයට අයත් වන්නේ ද නොවේ. හෙගල්ට අනුව ද්‍රව්‍යය යන්න ඉන්ද්‍රීය ගෝචර (sensuousness) කායික ද්‍රව්‍යාත්මකභාවයක් (corporeal materiality) නොවේ.
​
හෙගල් ද්‍රව්‍යය සම්බන්ධයෙන් ඔහුට කලින් වෙනත් අය විසින් ඉදිරිපත් නොකළ අදහසක් ගෙනහැර දක්වයි. එය නම් ද්‍රව්‍යය යනු අපරිමිත විනිශ්චයක් (infinite judgment) යන්න ය. ඕනෑම ද්‍රව්‍යාත්මකභාවයක් හඳුන්වාදීමට හෙගල් පාවච්චි කරන්නේ අපරිමිත විනිශ්චයමය ආකෘතියකි. මෙහි සාමාන්‍ය රූපය ‘ආත්මය ඇටයක්’ (Spirit is a bone) යන්න ය. මේ විනිශ්චය ගොඩනැගෙන්නේ කෙසේද? හෙගල් මේ ආකාර විනිශ්චයකට එළඹෙන්නේ ඔහු විසින් හඳුනාගන්නා තමන්ගේ කාලයේ පැවති විද්‍යාවක් ආශ්‍රයෙනි. එම විද්‍යාව නම් කපාල විද්‍යාවය (Phrenology). මේ විද්‍යාව මූලික වශයෙන් භෞතිකවාදීය. මිනිස් හිස් කබලක ඇති නෙරුම් (bumps) හරහා ඔහුගේ හෝ ඇයගේ මානසික ගතීන් අනුමාන කිරීම මෙහිදී සිදුවේ. බුද්ධි ප්‍රබෝධ භෞතිකවාදී වෛද්‍යවරයකු වූ ෆ්‍රාන්ස් ජෝසප් ගෝල් (Franze Josph Gall) 1776 දී පමණ මේ විද්‍යාව වර්ධනය කළ අතර 1810 පමණ සිට 1840 පමණ කාලය දක්වා මෙය බලපෑම් සහගත විද්‍යාවක් විය. මොහු හෙගල්ගේ සමකාලීනයකු වූ අතර ඔහුගේ විද්‍යාව අනුසාරයෙන්ය හෙගල් අපරිමිත විනිශ්චය ගොඩනගන්නේ. හෙගල් දකින ආකාරයට මෙහිදී සිදුවන්නේ මිනිස් ආත්මය මිනිස් කපාලය හරහා (ඇටයක් හරහා) ප්‍රකාශයට පත් වීමය; ආත්මය පරිබාහිර ලෙස පෙනී සිටීමය. චින්තනය නම් අද්‍රව්‍යමය දෙයක් ද්‍රව්‍යමය ලෙස පෙනී සිටීමය. මෙහිදී තවදුරටත් සිදුවන්නේ ශුද්ධ චින්තනය ශුද්ධ ද්‍රව්‍යයක් ලෙස සමපේක්‍ෂණය කිරීමකි. මේ විනිශ්චය ගොඩනැගෙන්නේ‘චින්තනය ද්‍රව්‍යමය වේල ද්‍රව්‍යය චින්තනමය වේ(thought is matter, matter is thought) ආකාරයට ය. මෙය එකිනෙක සපුරා වෙනස් අසම්බන්ධිත ප්‍රවර්ග දෙකක් එකිනෙකට සම්බන්ධ කිරීමකි. පෙනෙන ආකාරයට චින්තනය හා ද්‍රව්‍යය යන දෙකටම පොදු දෙයක් (common matter) නැත. එසේ තිබියදී මේ ප්‍රවර්ගයන් දෙක අතර අව්‍යවහිත තුල්‍යභාවයක් (immediate equation) කර ඇත. ශුද්ධ චින්තනයක් පරිබාහිර වශයෙන් පෙනී සිටින බවය මෙයින් කියවෙන්නේ. සාමාන්‍යයෙන් ද්‍රව්‍යය යන්න අර්ථකථනය කෙරෙන්නේ මනසින් පරිබාහිර දෙයක්, මනසින් ස්වායත්ත, වාස්තවික දෙයක් ලෙසට ය. නමුත් මෙයින් වෙනස්ව හෙගල් කියන්නේ අතිශයින් ආත්මීය වශයෙන් පවත්නා දෙයක් ද්‍රව්‍යය ලෙස බාහිර වශයෙන් පෙනී සිටින බවය. මේ අර්ථයෙන් ය හෙගල් ද්‍රව්‍යය යන්න ඉතාමත් වලංගු සහගත අදහසක් (Idea) යැයි පවසන්නේ. ද්‍රව්‍යය සම්බන්ධයෙන්  විරුද්ධාභාසයක් (paradox)​ හෙගල් විසින් ඉදිරිපත් කරයි. වෙනත් අය ද්‍රව්‍යය යන්න අදහසින් ස්වායත්තව පවත්නා දෙයක් ලෙස ගන්නා විට හෙගල් ද්‍රව්‍යය යනුම අදහසක් යැයි කියයි. ‘ආත්මය ඇටයක්ය’ යන්නෙහි අරුත මෙය ය. 
​
​භෞතිකවාදයට අදාළ හෙගල්ගේ සූත්‍රය වන්නේ ඉන්ද්‍රීය ගෝචර නොවන ඉන්ද්‍රීය ගෝචර සත්තාවක් (non-sensuous sensuous being/ein unsinnliches sinliches) යන්න ය. මාක්ස් පාරිභෝගික භාණ්ඩය සම්බන්ධයෙන් කරන විග්‍රහය සමඟ හෙගල් ද්‍රව්‍යය පිළිබඳ ව කරන විග්‍රහය සමාන්තර වේ. මාක්ස් පාරිභෝගික භාණ්ඩය යනු ඉන්ද්‍රීය ගෝචරත්වය ඉක්මවා ගිය ඉන්ද්‍රීයගෝචර දෙයක් (sensuous supra sensuous thing/sinnlich Übersinnliches) ලෙසට ගනී. පාරිභෝගික භාණ්ඩය වටා අර්චනකාමීත්වයක් ගොඩනැගී තිබෙන බවය මාක්ස්ගේ මතය වන්නේ. පාරිභෝගික භාණ්ඩ ය සංවේදනයට ලක්වන ඉන්ද්‍රීය ගෝචර එකක් වුවත් මේ ඉන්ද්‍රීය ගෝචරත්වය ඉක්මවා යන ස්වභාවයක් එහි ඇත. මාක්ස්ගේ භෞතිකවාදය ප්‍රකාශයට පත්වන හොඳ ම තැනක් වන්නේ පාරිභෝගික භාණ්ඩ සම්බන්ධයෙන් ඔහු කරන විග්‍රහය ය. පාරිභෝගික භාණ්ඩය නම් නිරුවත් වස්තුව තුළද්‍රව්‍යමයනොවන අවතාරමය ආත්මයක් අඩංගුව පවතී. වස්තුවට වඩා වැඩි දෙයක් එහි ඇත. ඉන්ද්‍රිය ගෝචරත්වයට ගත නොහැකි බවක්පාරිභෝගික භාණ්ඩය නම් ඉන්ද්‍රිය ගෝචර වස්තුව තුළ ඇත. මෙයට අවතාරමය භෞතිකත්වය (spectral materiality) යැයි කිව හැකිය. කෙසේ නමුත් මෙහිදී හෙගල් හා මාක්ස් අතර වෙනසක් තිබෙන බවත් අවධාරණය කළ යුතුය. හෙගල්ට අනුව ඉන්ද්‍රීය ගෝචර නොවන ඉන්ද්‍රිය ගෝචරමය බව චින්තනයේ ද්‍රව්‍යත්වයකි. එනම් චින්නයෙන් නිපන් දෙයකි. මාක්ස්ට අනුව ඉන්ද්‍රිය ගෝචර බව ඉක්මවා ගිය ඉන්ද්‍රීය ගෝචරතාව පාරිභෝගික භාණ්ඩය නම් භෞතිකත්වය හරහා නිපන් දෙයකි. කෙසේ නමුත් මේ දෙදෙනාම ද්‍රව්‍යයෙහි ඇති විරුද්ධාභාසමය ස්වරූපය හඳුනාගනී. හෙගල්ට අනුව ද්‍රව්‍යය යනු ඉන්ද්‍රීය ගෝචර වන දෙයක් නොවේ. ද්‍රව්‍යය හුදු අදහසක් පමණි. මේ අදහස මගින් ය සමස්තය නිර්මාණය කරන්නේ. යම් යථාර්ථයක් සමස්තයට ගැනීමත්, විෂමජාතීය, විවිධත්වයකින් යුත් දෙය තනි එක් මූලධර්මයකට ගෙන එය ද්‍රව්‍යය (matter) යැයි නාමකරණය කිරීමත් මෙහිදී සිදුවේ.

හෙගල් මතු කරන ප්‍රශ්නය වන්නේ සත්‍යය සාරාර්ථය යනු  ද්‍රව්‍යය වේ යැයි ගත්තොත් මතුවන ගැටලුවය. හෙගල්ගේ සූත්‍රයවන්නේ සාරාර්ථය ආත්මයද වන බවය. සාරාර්ථය ද්‍රව්‍යයෙන් පුරවා දැමීම මෙන් ම සාරාර්ථය අදහසින් පුරවා දැමීම එක ලෙසට වැරදිය. සාරාර්ථයද්‍රව්‍යයෙන්පුරවා දමන්නේ භෞතිකවාදය වන අතර සාරාර්ථය අදහසින් පුරවා දමන්නේ විඥානවාදය ය. හෙගල්ට අනුව ද්‍රව්‍යය සත්‍ය සාරාර්ථය නොවේ. සාරාර්ථය යන්නම ගැටලුවකි. මෙහි ‘matter’යනු සාරාර්ථය පිළිබඳ ප්‍රශ්නයට ලබා දෙන වැරදි පිළිතුරකි. සාරාර්ථය ආත්මයෙන් පිටතට යනවා නම් එතන ගැටලුවක් ඇතිවේ. අදහස සාරාර්ථය ලෙස ගැනීමත් ද්‍රව්‍යය සාරාර්ථය ලෙස ගැනීමත් එක ලෙසට වැරදිය. සාරාර්ථය වනාහි ආත්මය වේ යන්නෙන් පිට පැනීමක් විඥානවාදය තුළ මෙන් ම භෞතිකවාදය තුළ අන්තර්ගතය. 
සාරාර්ථය යනු මුළුමහත් දර්ශනවාදයේම කේන්ද්‍රීය වචනය වේ. එහි ප්‍රධාන ලක්‍ෂණ පහත ආකාරයට දැක්විය හැකිය.

1. එය කාලය සමඟ සම්බන්ධය. කාලයේ වෙනස්වීම තුළ සාරාර්ථය යන්න වෙනස් නොවී පවතී.
2. එය අවකාශය සමඟ සම්බන්ධය. එය මතුපිටට යටින් පිහිටා ඇත. sub-stare යන්නය. ‘substance’ යනවචනයේ තේරුම වන්නේ ‘මතුපිටට  යටින් පිහිටා ඇත’ යන්න ය.
3. සාරාර්ථය යන්නෙහි ආවශ්‍යයක (necessity) බවක් ඇත. අහඹු (contingency) වෙනස් වනසුලු මතුපිටට යටින් ආවශ්‍යයක සාරාර්ථය පිහිටා ඇත. වෙනස් වන මතුපිට යටින් ඇති නොවෙනස් සාරාර්ථය පිරිපහදු කර ගත යුතුය.
4. සාරාර්ථය පිහිටන්නේ දෘශ්‍යමානයට එරෙහි සාරයේ තැන ය. දෘශ්‍යමානය ආයාචනය කරන්නේ මායාවට ය. එහි ක්‍ෂේත්‍රය සංවේදනය වේ. (sensation). සංවේදනයට යමක සාරය හෝ හරය ග්‍රහණය කරගත නොහැකිය. එය ග්‍රහණය කරන්නේ තර්කබුද්ධිය (reason)මගින්ය. 
5. සාරාර්ථය සාර්වත්‍රිකත්වය වෙනුවෙන් පෙනී සිටි. එයට සාර්වත්‍රික ලෙස වලංගුතාවක් ඇත.
6. සාරාර්ථය හැම විට ම බහුත්වය, විවිධත්වය යටින් දිවෙන ඒකත්වය (unity) දිශාවට යොමුවී ඇත.
​
Picture
Karl Heinrich Marx FRSA ​
පැරණි දාර්ශනික ව්‍යාපෘතියේ සම්පූර්ණ ස්වභාවය ඉහත දක්වා ඇති ලක්‍ෂණයන්ගෙන් සමන්විත ය. මෙය වචන තුනකින් පැවසුවොත් ‘සියල්ල එකක් ලෙස’ ග්‍රහණය කිරීමය (to grasp all as one). භෞතිකවාදයේ දී සිදුවන්නේ සියල්ල ද්‍රව්‍යමය ලෙස ග්‍රහණය කර ගැනීමයි. පැරණි අදහස මගින් සරලව කියවෙන්නේ සාරාර්ථය ආත්මය නොවේ යන්නය. මේ පැරණි අදහසට විරුද්ධව හෙගලියානු අදහසින් කියවෙන්නේ සාරාර්ථය කුමන ආකාරයට ග්‍රහණය කළත්, එනම් ද්‍රව්‍යයක් ලෙස ගත්තත් අදහස ලෙස ගත්තත් එහි ඇති සත්‍යය ස්වභාවය වන්නේ ඒවායේ ඇති සාරාර්ථමය බව වෙනස්වීමට භාජනය වීමය. එය වෙනත් දෙයක් බවට පරිවර්තනය වන බවය. අපි සාරාර්ථය ලෙස ගන්නා දේ වෙනත් දෙයක් බවට පරිවර්තනය වන බවය. මේ ක්‍රියාවලියට හෙගල් ලබා දෙන නම වන්නේ ස්වයං-අන්‍යාත්මභාවයය (self-othering/Sichanderswerden). මේ ස්වයං-නිශේධනමයභාවය නිසාය සාරාර්ථය අත්මයද වේ යැයි හෙගල් පවසන්නේගමෙහිදී හෙගල් අතින් මුළුමහත් දර්ශනවාදය පුරා ම සාරාර්ථයට ලබා දුන් අර්ථය වෙනසකට භාජනය වේ.

1. කාලය හරහා වෙනස් නො වී පවතින සාරාර්ථය ලෙස ගන්නා දෙය විස්ථාපනයට ලක්වේ. එය චලනයට ලක් වේ. මාක්ස් හෙගල්ට පසුව කොමියුනිස්ට් ප්‍රකාශනයේදී කියූ ‘සෑම ඝන වූ දෙයක්ම වාෂ්ප වේ’ යන්න හෙගල් කලින් ම කියා ඇත.

2. අවකාශයට අනුව සාරාර්ථය මතුපිටට යටින් පවතී යන්න වෙනුවට හෙගල් කියන්නේ මතුපිටට යටින් ඇති දෙය මතුපිටින් එළියට ඒමට නියමිත බවය. සෑම අඳුරු දෙයකටම ආලෝකය වැටීමට නියමිතය.
​

3. ආවශ්‍යකතාවයන්න සෑම විටම අහඹුවේ තර්ජනයට ලක්වී ඇත.

4. සෑම සාරයක් ම හෙළිදරව් වීමට නියමිතය. සාරයේ රහස අනාවරණය වීමට නියමිතය. හෙගල්පරමාත්මයේ ප්‍රපංචවිද්‍යාව කෘතියේ මෙසේ ලියා ඇත. “The inner world or supersensible beyond, has, however, comes into being” (Hegel 1977,89).

5. සාර්වත්‍රිකය (universal), විශේෂය (particular) වීමටත්, විශේෂය ඒකවාචී (singular) වීමටත් නියමිතය.

6. එක දෙකක් බවට ඛණ්ඩනය වීමට නියමිතය. සෑම ඒකවාචී මූලධර්මයක්ම දෙකට කැඩීමට නියමිත ය.

මේවා අනුසාරයෙන් පෙනී යන්නේ හෙගල් සාරාර්ථය සම්බන්ධයෙන් අලුත් දෙයක් කියන බවය. සාරාර්ථය තුළ ස්ථිර නොවෙනස් ද්‍රව්‍යාත්මක හෝ වෙනයම් සාරයක් නොමැති බවය. සාරාර්ථය සම්පූර්ණ වූ එකක් ද නොවන බවය. එය තුළ අසම්පූර්ණත්වයක් ඇති බවය. සාරාර්ථය තුළයම් දුර්වල ස්වභාවයක් (weak nature) ඇති බව ය. මේ දුර්වල හා අසම්පූර්ණ තැනින් ආත්මය (subject) එළියට මතුවන බවය. සාරාර්ථය සමස්තයක් වීමේ නොහැකියාවෙන් පෙළෙයි. හෙගලියානු පරමත්වයේ, සත්‍යයේහෝ සමස්තයේ විරුද්ධාභාසය මෙයයි. මේ සමස්තය කලින් ම සිට එහි අපොහොසත්භාවය ඔප්පු කර ඇත. සම්පූර්ණ වීමට නොහැකි ආකාරයේ කැපුමක් (cut) සාරාර්ථය තුළම අන්තර්ගත බවය. ආත්මය යනු ම සාරාර්ථයේ ඇති අපොහොසත්භාවයට ලබා දෙන නමය. සාරාර්ථයට එකක් වීමට, සාර්වත්‍රිකවීමට, අවශ්‍යයක වීමට, සදාකාලිකවීමට ඉඩ නොදෙන්නේ මේ ආත්මය ය. ආත්මය යනු  සාරාර්ථයට සාරාර්ථය වීමට ඉඩනොදෙන බලවේගයය. හෙගල් ‘self-othering’ යැයි කියන්නේ මෙයට ය. ඕනෑම ස්වාත්මයකට තමන් බවට ම පත්විය නොහැකිය (A ≠ A). එය වෙනත් දෙයක් බවට පත්වීම අනිවාර්යයකි. යමක් යමක් බවට පත්වනවා යනු වෙනත් දෙයක් බවට පත්වනවා යන්නය. මේ අනුව ඕනෑම ස්වාත්මයක් යනු හිස් බවකි. මේ හිස්බවය යමක් බවට පත්වීමමෙන් පුරවා දැමන්නේ භෞතිකවාදීන් කර ඇත්තේ මේ හිස් බව ද්‍රව්‍යයෙන් පුරවා දැමීම ය. විඥානවාදීන් කර ඇත්තේ මේ හිස් බව පරමාදර්ශ (Ideas) වලින් පුරවා දැමීමය. හෙගල්ට අනුව ප්‍රභවය අන්තර්ගතයෙන් හිස් ය. ආත්මය යනු වාස්තවිකත්වයට එරෙහිව  වාස්තවිකත්වය ඉදිරියේ ඊට ප්‍රතිවිරුද්ධව සිටගෙන සිටින දෙයක් නො වේ. වාස්තවිකත්වය තුළ දැනටමත් ආත්මය ගිලී ඇත.   

හෙගල් කියා සිටින්නේ ආත්මය යන්න සාරාර්ථයට අභ්‍යන්තරික (internal) බව ය. වස්තුව තුළ ආත්මය ගිලී තිබෙන බව ය. හෙගලියානු පරම විඥානවාදය බර්ක්ලේගේ හෝ ෆිෂ්ටේගේ ආත්මීය විඥානවාදයවත්, කාන්ට්ගේ අනුභූති උත්තර විඥානවාදයවත්, ශෙලිංගේ වාස්තවික විඥානවාදයවත් නොවන බව ය. එමෙන් ම හෙගලියානු ප්‍රපංචවිද්‍යාව හුසල්ගේ ප්‍රපංචවිද්‍යාව නොවන බවය. හෙගල්,  චින්තනයට කලින් සත්තාව එනවා හෝ සත්තාවට කලින් චින්තනය එනවා හෝ නො කියයි. හෙගල්ගේ පරම විඥානවාදය ලෝකය ආත්මය හෝ මනසේ පවතී යැයි කියන ආත්මීය විඥානවාදයටවත්, ආත්මයෙන් හෝ මනසෙන් පරිබාහිරව ලෝකය වාස්තවික ලෙස ඇතය යන සත්වාදයටවත් අයත්වන්නේ නැත. හෙගල්ට අනුව මේ ආකාර විඥානවාදය මෙන් ම සත්වාදය ද විඥානය වර්ධනය වීමේ ක්‍රියාවලියේ මුල් අවධීන් වල ලැබූ අසම්පූර්ණ විඥාන අත්දැකීම් ය. හෙගල්ගේ පරමාත්මයේ ප්‍රපංචවිද්‍යාවේ මේවාට හිමි ස්ථානයක් ඇත. ඒවා දයලෙක්තික වශයෙන් හෙගල් විසින් සමතික්‍රමණය කර ඇත.

හෙගල් ආත්මය සහ වස්තුව අතර පවත්නා මැදිහත්කරණමය සබඳතාවෙන් (mediation) පිටයන්නේ නැත. හෙගලියානු පරමත්වය යනු විඥානවාදයේ මෙන් ම සත්වාදයේ සාරයන් උරාගනිමින් ඒවා දයලෙක්තික ලෙස නිශේධනය කරමින් හා සමතික්‍රමණය කරමින් බිහි වූ සමස්තය ආවරණය කරන පරම අවස්ථාව ය. එය අන්තර්ගතයෙන් හිස් වන අතර එය හෙගලියානු සත්‍යය වේ. මේ සත්‍යය, සාරාර්ථය ලෙස පමණක් නොව ආත්මය ලෙසත් ප්‍රකාශ වෙන බව ඔහුගේ තර්කය වේ. 
ආත්මය හා වස්තුව එකිනෙකට ප්‍රතිවිරුද්ධ ආකාරයට පිහිටනවා නොවේ. හෙගල් කියන්නේ සාරාර්ථය, සොබාදහම හෝ වස්තුව තුළ ආත්මය කැවී ඇති බව ය (inscribed). වස්තුව තුළ ආත්මය පිහිටන්නේ පැල්මක් (rift) වශයෙනි. එය සාරාර්ථය තුළ එතී ඇත (torsions). මේ අනුව ආත්මය, වස්තුව තුළගිලී තිබෙන නමුත් වස්තු සමඟ සහසබඳතාවකින් සිටින්නේ නැත.

ආත්මය හා සාරාර්ථය සම්බන්ධයෙන් හෙගල්ගේ අදහසට අනුව තිරයෙන් පිටුපස ගැඹුරක් හෝ රහසක් නැත. එය අනාවරණය වෙන්න නියමිතය. ඕනෑම දිව්‍යත්වයක් මනුෂ්‍යයකු හරහා ප්‍රකාශයට පත්වීමට නියමිතය. කුරුසය මත මිනිසකු ලෙස මිය ගියේ ලෝකයෙන් ඔබ්බෙහි සිටි දෙවියන් වහන්සේ ය. දෙවියන් වහන්සේ නම් සාරාර්ථය (ස්පිනෝසාට අනුව) ආත්මයක් ලෙස ප්‍රකාශයට පත්වීමට නියමිත ය. ඕනෑම අපරිමිතභාවයක් පරිමිත ලෙස ප්‍රකාශයට පත් වේ. හෙගල්ට අනුව කිසිම දෙයක් අසම්බන්ධිත, අව්‍යවහිත (immediate) ලෙස පවතින්නේ නැත. ඕනෑම දෙයක් සම්බන්ධිත (mediate) ලෙස ප්‍රකාශයට පත් වේ. කාන්ටියානු ස්වාත්ම-වශයෙන්-පවත්නා-දෙයට (thing-in-itself) ඉඩක් නැති අතර එය පරාත්ම-වශයෙන්-පවත්නා-දෙයක් (thing- for-itself) බවට පත්වේ. සැඟවුණු අමුත්තාට සැමදා සැඟවී සිටිය නොහැකිය.වේදිකාවේ සැඟ වී සිට රූකඩ නටවන්නාට යම් වේලාවකට පසු වේදිකාවෙන් එළියට බැසීමට සිදුවේ. සියලු විජ්ජාකාරයන් යම් මොහොතකට පසු හෙළිදරව් වීමට නියමිතය. සියලු යටිබිම් ගත මිනිසුන්ට යම් මොහොතකට පසු උඩු බිම් ගත වීමට සිදුවේ. යමෙකු නැවත භෞතිකවාදය සොයා යනවා නම් ඔහුට හෙගල් හරහා යාමට සිදු වේ. 

ආශ්‍රිත ග්‍රන්ථ හා ලිපි

Mladen Dolar (2020): ‘What’s the Matter? On Matter and Related Matters’ in Subject Lessons: Hegel, Lacan and the Future of Materialism, ed. Russell Sbriglia and SlavojŽižek, Evavston, Northwestern University Press.

Hegel, G.W.F. (1977):Phenomenology of Spirit, Oxford: Oxford University Press.

Hegel, G.W.F. (1995): Lectures on the History of Philosophy Volume I: Greek Philosophy to Plato, London: University of Nebraska Press.Fritjof

Capra (1982):The Turning Point: Science, Society and the Rising Culture, London: Fontana Paper books.

​
හෙගලියානු අඩවිය ලිපි මාලාව
-
​
⚈ හෙගලියානු අඩවිය 1:පරමාත්මය ගැන හැඳින්වීමක්.

⚈ හෙගලියානු අඩවිය 2 :  නිරපේක්‍ෂය ගැන සමපේක්‍ෂණය

⚈ හෙගලියානු අඩවිය 3: සත්‍යය, සාරාර්ථය සහ ආත්මය
​

⚈ හෙගලියානු අඩවිය 4: විඥානයෙන් ස්ව-විඥානයට

⚈ හෙගලියානු අඩවිය 5: ස්වාමි සේවක සබඳතාව

⚈ ​හෙගලියානු අඩවිය 6: මාක්ස්-කොජෙව් විසංවාදය

⚈ හෙගල් අඩවිය 7- ස්වාමි/සේවක දයලෙක්තිකයේ භෞතිකවාදය

⚈ 
හෙගලියානු අඩවිය 8: ස්වාමි/සේවක දයලෙක්තිකයේ දේශපාලන ආර්ථිකය 

    ඔබගේ අදහස් අපට එවන්න.

    Max file size: 20MB
Submit
Back To Home
Powered by Create your own unique website with customizable templates.
  • ප්‍රවර්ග
    • සාහිත්‍ය කලා
    • දර්ශනවාදය
    • වෙනත්
  • ලේඛනාගාරය
  • ලේඛක සෙවීම්
  • Bookcrow
  • Contact Us
  • සංස්කාරක සටහන්