​හෙට දින සංස්කෘතිය උදෙසා විවෘත වේදිකාව​...

kinihiraya.com
  • ප්‍රවර්ග
    • සාහිත්‍ය කලා
    • දර්ශනවාදය
    • වෙනත්
  • ලේඛනාගාරය
  • ලේඛක සෙවීම්
  • Bookcrow
  • Contact Us
  • සංස්කාරක සටහන්

විද්‍යාව නමින් අවිද්‍යාව ඉගැන්වීම : තිස්ස ජනනායක

Teaching ignorance in the name of science
​⚈ ඒ.ඩී.ගුණසේකර  - A.D. Gunasekara
​
2020 ජූලි  4​
Picture
කුඩා කාලයේ සිටම දෙමව්පියන්, පූජකවරුන් සහ සමාජය විසින් දරුවන්ට ලබා දෙන විවිධ ආගමික විශ්වාසවලට තර්කානුකූල  බවක්  හෝ  විද්‍යාත්මක  පදනමක් හෝ නොතිබුණ  ද  එම දරුවන්ගෙන්  වැඩි  පිරිසකට  වැඩිහිටියන්  වී උගතුන්  බවට  පත්  වීමෙන්  පසුව  ද  එම  විශ්වාසවලින්  මිදීමට  නොහැකි  වේ.  මේ  නිසා  විද්‍යාව  ඉගැන්වීමේ  දී  ද ආගමික විශ්වාස විද්‍යාත්මක බව පවසා ඒවා දරුවන්ට ඉගැන්වීමට එවැනි පසුබිමක් ඇති ගුරුවරුන් නැඹුරු වන බව පෙනේ.

උසස් පෙළ පන්තිවලට ජීව විද්‍යාව උගන්වන ටියුෂන් ගුරුවරයෙකු වන තිස්ස ජනනායක මහතා එවැනි අයකු බව අන්තර්ජාලයට නිකුත් කර ඇති ඔහුගේ ටියුෂන් පන්තිවල දේශන කීපයකින් පැහැදිලි වේ.

​එක්  දේශනයක  දී  පෘථිවිය  මත  ජීවයේ  සම්භවය  ගැන  පවතින  වාද  පිළිබඳ  විස්තර  කරන  ඔහු  කොස්මොසොයික වාදය ගැන සඳහන් කරමින් පවසන්නේ එම වාදයෙන් පැවසෙන පරිදි පෘථිවියේ ජීවින්ට පැවතිය හැකි තත්වයේ දී පිටසක්වලින් ජීවීන් පෘථිවියට පැමිණ ඇති බවත්, අග්ගඤ්ඤ සූත්‍ර දේශනාව ද එම අදහසට එකඟ බවත්, දැන් නාසා ආයතනයේ  මතය  ද  කොස්මොසොයික  වාදයට  බර  බවත්  ය.  එම  වාදය  සනාථ  කරන  සාක්ෂියක්  ලෙස  ඔහු පවසන්නේ කලකට පෙර ලංකාවේ ප්‍රදේශයකට ලැබුණු ‘රතු වැස්සේ ’ සිටි ජීවියා සෙවීමට ලෝකය පුරා එම ජලය යැවූ බවත්, එම ජීවියාගේ ප්‍රවේණික සංයුතියක් තිබෙන ජීවියෙකු පෘථිවියේ නැති බව එම අධ්‍යයනයන්ගෙන් සොයා ගත් බවත් එම නිසා එම ජීවීන් පැමිණ ඇත්තේ ද වෙන ග්‍රහලෝකයකින් බව තහවුරු වන බවත් ය. අදටත් සූක්ෂම ජීවීන් මෙහි එන බව ද, මහා ජීවින් පැමිණියත් ඔවුන්ට සූක්ෂම ශරීර ඇති නිසා අපට ඔවුන් නොපෙනෙන බව ද ඔහු තව දුරටත් පවසයි.

අග්ගඤ්ඤ  සූත්‍රයේ  වායුගෝලයේ  ප්‍රතික්‍රියා  සිදු  වූ  ආකාරය  ද  ආදි  සුපය  වැනි  දෙයක්  ඇති  වූ  අන්දම  ගැන  ද වර්තමාන  ප්‍රවාදයන්ට  සමාන විස්තරයක්  ඇති බව  හා  පෘථිවියේ  රසායන  ද්‍රව්‍ය  එකතු වී  වැවක්  හිඳී  මඩ  එකතු  වූ ආකාරයට පවතින විට ආබස්සර බ්‍රහ්ම ලෝකයේ සිට ජීවීන් මෙහි පැමිණි බව   ඔහු පවසයි. ආබස්සර යන්නෙහි තේරුම ආලෝකමත් ජීවියා බව  ද, ජීවියා සූක්ෂම නිසා ආලෝකයක් එන බව පමණක් පෙනෙන බව ද,  ඒ අයට බිත්තියක්  වුව  ද  පසා  කරගෙන  යා  හැකි  බව  ද  එසේ  ආලෝකය  නිකුත්  කිරීමේ  හැකියාව  සහ  සූක්ෂම  ශරීරයක්
තිබීමට  අමතරව  ඔවුන්ට  මනසින්  පහළ  වීමේ  හැකියාව    තිබුණු  බව  ද  ඔහු  පවසයි.  එම  ජීවීන්  පෘථිවියට  විත් පොලොවේ රස තට්ටුවේ රස  බැලූ විට  එහි  රස  දැනී  එය දාල  යන්නේ කෙසේ දැයි ඔවුනට සිතුණු බව ද  ඔවුන්ට එම රසපෘථිවිය කෙරෙහි තණ්හාව ඇති වූ බව ද එනිසා එවිට ම ශරීරයේ ආලෝකය නැති වී  සූක්ෂම ශරීරය ගන වූ බව ද ඔහු පවසයි. ඔවුන් නැවත ආබස්සර බ්‍රහ්ම ලෝකයට යෑමට සිතූ නමුත් තෘෂ්ණාව නිසා ශරීර බර වීම නිසා ආපසු යාමට නොහැකිව මෙහි නතර  වූ බව ද , අපේ නෑදෑයෝ සිටින්නේ එම බ්‍රහ්ම ලෝකයේ බව ද, තණ්හාව ශුන්‍ය කළ විට එහි යා හැකි බව ද ඔහු වැඩි දුරටත් පවසයි.

උසස් පෙළ විද්‍යා විෂය නිර්දේශය අනුව සිසුන්ට ඉගැන්විය යුත්තේ ජීව රසායනික පරිණාමය පමණි. විද්‍යාඥයින් වැඩි පිරිසක් පිළිගන්නා මතය ද එය වන අතර   නාසා ආයතනයේ තාරකා ජීව විද්‍යාඥයන් වන ලෝරියා (
Lauria) , බාජ් (Barge) සහ ඔවුන්ගේ කණ්ඩායම විසින් ඔප්පු කර ඇත්තේ පෘථිවියේ ආදි කාලයේ දී මුහුදු පතුලේ පැවතියේ යයි  සැලකෙන  රසායනික  ද්‍රව්‍යවලින්  ජීවය  ඇති  වීමට  අවශ්‍ය  මූලික  රසායන  ද්‍රව්‍ය  නිර්මාණය  විය  හැකි  බව  ය. (NASA study reproduces origin of life on ocean floor: Feb 25,2019)​
Picture
(Trachelomonas)
තිස්ස  ජනනායක  මහතා  පවසන  රතු  වැස්ස  2012 නොවැම්බර්  මස  14  සහ  15  දිනවල ලැබී ඇත්තේ සෙවනගල, මොනරාගල   සහ   මනන්පිටිය   යන   ප්‍රදේශවලට   ය.   මෙම   ජලයේ   රතු   පැහැයට   හේතුව   ට්රැකිලෝමොනස් (Trachelomonas)  නමැති  ඇල්ගී  (Algae)  වර්ගයේ  බීජාණු  (Spores)  අඩංගු  වීම  නිසා  බව  වෛද්‍ය  පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය අනිල් සමරනායක මහතා විසින් ද ලංකාවේ නැනෝ ආයතනය මගින් ද සනාථ කර ඇත. කොස්මොසොයික  වාදයට  අනුව  කියවෙන්නේ    ප්‍රාක්  ප්ලාස්මය  (protoplasm)  හෙවත්  ජීව  සෛලයේ  ප්‍රධාන කොටස පෘථිවියට ලැබී ඇත්තේ ජීවාණු (spores) ලෙස හෝ විෂබීජ (germs) ලෙස හෝ වෙනත් සරල අංශු ලෙස විශ්වයේ  නොදන්නා  ප්‍රදේශයකින්  බව  ය.  එහෙත්  ජීව පදාර්ථයකට  විශ්වයේ  පවතින  දැඩි  ශීතල  වියළි  බව  හා සූර්යයාගෙන් ලැබෙන පාර ජම්බුල කිරණ ආදියෙන් විනාශ නොවී පෘථිවියට ලඟාවීමට නොහැකි නිසා මෙම වාදය නොපිලිගැනේ. ජීවවිද්‍යාව  අනුව  ජීවීන්ගේ  ශරීර  නිර්මාණය  වී  ඇත්තේ  සෛල  නැමති  ඒකක  වලිනි.  සූක්ෂම  ශරීර  ඇති  අයට තණ්හාව  ඇති  වීම  නිසා  සෛලමය  ජීවීන්  නිර්මාණය  වූ  බව  පිලිගත  හැක්කේ  ආගම්  භක්තියෙන්  අන්ධ  වූ  අයට පමණකි.
​
මිනිසාගේ පරිණාමය ගැන පැවැත් වූ දේශනයක දී තිස්ස ජනනායක මහතා පවසන්නේ එක් පුරාවෘත්තයකට අනුව සිංහලයන්  සම්භවය  වූයේ  ඔරායන්  (orion)  හෙවත්  දඩයක්කාරයා  නමැති  තරු  පද්ධතියේ  තිබෙන  තරුවක්  වන ඇල්නිලම් (Alnilum) තරුවෙන් බව ය. තරුවක් යනු සූර්යයෙක් වන නිසා එහි ජීවීන් සිටින්නේ කෙසේ දැයි සමහරු ප්‍රශ්න කරන බව ද පවසන ඔහු කියන්නේ එම ප්‍රශ්නය පැන නගින්නේ ඒ අයට අපට වැනි ශරීර තිබුනොත් බව ය. අප  ඉරෙන්  සම්භවය  වූ  අය  බව  ද  මුළු  ලොවටම  දැනුම  හා  තාක්ෂණය  බෙදා  දුන්නේ  හෙලදිවෙන්  බව  ද  ප්‍රථම රජතුමා මනු රජු බව ද ඉන්පසු රාවණා බව ද මේ රජවරු සූර්ය වංශයට සම්බන්ධ බව ද පවසන ඔහු මේවා සත්‍යදැයි සෙවීමට පුරාවිද්‍යා පර්යේෂණ කළ යුතු බවට යෝජනා කරයි.

හෝමෝ  ගණයේ  ජීවීන්ගේ  පරිණාමය  විස්තර  කරමින්  ඔහු  කියන්නේ  හෝමෝ  සේපියන්ස්  නියන්ඩර්තාලෙන්සිස් මානවයාගෙන් හෝමෝ සේපියන්ස් සේපියන්ස් මානවයා පරිණාමය වූ බවට සාක්ෂි නැති නිසා මිනිස් පරිණාමය අවසන් වූයේ හෝමෝ සේපියන්ස් නියන්ඩර්තාලෙන්සිස් ගෙන් බව සහ විද්‍යාඥයන්ගේ මතය හෝමෝ සේපියන්ස් සේපියන්ස්  පිටසක්වලක  සිට  පෘථිවියට  පැමිණි  බවත්  ය.  එමෙන්ම  අපි  පෘථිවියට  පැමිණ  අපට  තර්ජනයක්  විය හැකිව තිබූ සත්ව කොට්ඨාශය වන හෝමෝ සේපියන්ස් නියැන්ඩර්තාලෙන්සිස් මානවයන් විනාශ කර ඇති බැව් ද ඔහු පවසයි.

මෙම  දේශනයේ  දී  ඔහු  කරන  ප්‍රකාශය  වන  හෝමෝ  සේපියන්ස්  සේපියන්ස්  මානවයා  පිටසක්වලක  සිට  පැමිණ ඇති බව කිසිම විද්‍යාඥයෙකුගේ ප්‍රකාශයක් නොවේ. එය ඔහුගේ පුද්ගලික මතයක් නම් ඒ බව ප්‍රකාශ කළ යුතු ය. නූතන  මතය  නම්  හෝමෝ  සේපියන්ස්  සේපියන්ස්  සහ  හෝමෝ  සේපියන්ස්  නියන්ඩර්තාලෙන්සිස්  දෙවර්ගයම මෙයට වසර 700,000 සහ 300,000 අතර කාලයේ දී පොදු ආදි මානව වර්ගයකින් පරිණාමය වී ඇති බවයි.

ඔහු විසින් සිංහලයන් සම්භවය වූයේ යැයි පවසන ඇලිනිලම් තරුව පෘථිවියට ආලෝක වර්ෂ 1,342ක් දුරින් පිහිටා ඇත.  ආලෝකයේ  වේගය  වන  තත්පරයට  සැතපුම්  186,282.397ක  වේගයෙන්  එම  තාරුකාවේ  සිට  පෘථිවියට පැමිණීමට වුව ද අවුරුදු 1,342ක කාලයක් ගත වේ. මෙවැනි සාවද්‍ය ප්‍රකාශ ඔහු විසින් කරන්නේ ඇයි දැයි නොදනිමු. මනු රජු හා රාවණ රජු ගැන පුරාවෘත තිබුණාට ඒවාට කිසිම සාක්ෂියක් නැත. තවත් පාඩමක දී ලංකාවේ ගැහැනු ප්‍රතිශතය 52 % හා පිරිමි ප්‍රතිශතය 48% ක් වන බව පවසන ඔහු මෙසේ වීමට හේතුව සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ද නොකියන බව පවසා ඒ ගැන ඔහුගේ මතය මෙසේ ප්‍රකාශ කරයි. “ ශ්‍රී ලංකාවෙ වැඩියෙන් පන්සල් යන්නෙ කාන්තාවන්. පිරිමි යන්නෙ බාර්වලට නිසා ඔවුන්ගෙන් වැඩි සංඛ්‍යාවක් මැරිල උපදින්නෙ  අපායෙ  නැත්නම්  ප්‍රේතයෝ  වෙලා.  මේ  නිසා  සංසේචනයේ  දී  පිරිමි  කලලයක්  හැදුනත්  එයට  අවශ්‍ය පිරිමි ගන්ධබ්බයන් අඩු වෙලා. ප්‍රේතයෝ ගැන දැනගන්න ප්‍රේත වස්තුව කියවිය යුතුයි. සමහරු කියනවා ඒවා මිථ්‍යා දෘෂ්ටික කතා නිසා විද්‍යාව ඉගෙන ගන්න අයට ඒවා කියන්න එපා කියල. එතකොට බුදුහාමුදුරුවොත් මහලක්ඛණ රහතන්  වහන්සෙත්  මිථ්‍යා  දෘෂ්ටික  ද?  මහලක්ඛණ  රහතන්  වහන්සෙ  ප්‍රේතයින්  දැක  ඒ  ගැන  බුදුහාමුදුරුවන්ගෙන් ඇසූ විට දේශනා කළ දේ තමයි ප්‍රේතවස්තුව කියන්නෙ. තව ටික කාලෙකින් බටහිර විද්‍යාව කර තියාගෙන ඉන්න අය කියයි බුදුහාමුදුරුවොත් මිථ්‍යා දෘෂ්ටිකයි කියල. ඔබ උසස් පෙළින් පසු සමාජගත වූ විට මේව වැදගත් වෙනවා.”

එමෙන්ම මත්පැන් පානය කරන අය එයින් ඉවත් වීමට උත්සාහ කළත් බැරි වීමට හේතුව පිළිබඳ ඔහුගේ පැහැදිලි කිරීම  මෙසේය.  තැබෑරුම්  ආශ්‍රිතව  මත්පැන්  සුවඳට  ආසා  කරන  ප්‍රේතයෝ  සිටිති.  එතනින්  යන  අය  නොබීමට තීරණය  කළත්  සූක්ෂම  ශරීර  ඇති  මේ  ප්‍රේතයන්  ඔවුන්ගේ  ශරීරවලට  ඇතුල්  වී  මනස  වෙනස්  කර  බීමට  යොමු කරන  බැවින්  ඔවුන්ට  ඇබ්බැහියෙන්  ගැලවිය  නොහැකි  වේ.  මේ  අය  ද  මිය  ගිය  පසු  ප්‍රේතයන්  බවට  පත්  වේ. මෙයින් ගැලවීමට  බාර්  ලඟින් යන විට  ප්‍රේතයන්ට  ශරීරයට  ඇතුල් වීමට  නොහැකි වන සේ ශරීරයෙන් පිටවෙන මැග්නටික් ඕරා එක වැඩිකර ගැනීම සඳහා මනස දියුණු කර ගත යුතු ය. මේවා තවම බටහිර විද්‍යාඥයන්ට අහුවෙලා නැති බව ද තව අවුරුදු  100ක් යන විට  අහුවිය  හැකි  බව ද  දැනට  අහුවී ඇති දෙයක් නම්  ඕජාබෝඞ්  එක  (
Ouija Board) බව ද එය මඟින් ප්‍රේතයින් සමඟ සන්නිවේදනය කළ හැකි බව ද ඔහු පවසයි. මේවා පැරාසයිකොලොජිවල තිබෙන දේ  බව  ද  සාමාන්‍ය අයට  මේවා  උගන්වන්නේ  නැත්තේ  ඒ  අය  ඉන්  අමාරුවේ වැටෙන  නිසා  බව  ද ඔහු තවදුරටත් පවසයි.

පිරිමි  හා  ගැහැනු  අනුපාතය  රටින්  රට  වෙනස්  වෙන  අතර  සමහර  රටවල  ගැහැනු  ප්‍රතිශතය  අඩු  අතර  සමහර රටවල  පිරිමි  ප්‍රතිශතය  අඩු  ය.  ලෝකයේම  දරුවන  බිහිවන  සංඛ්‍යාවේ  අනුපාතය  පිරිමි  101කට  ගැහැනු  100කි. එහෙත්  අන්තර්  ලිංගික  (
Intersex)  අය  ද  0.1 %  -  1.7%  අතර  ප්‍රමාණයක්  බිහි  වේ.  ඇමරිකාවේ  කරන  ලද පර්යේෂණයකින්  හෙළිව  ඇත්තේ  සංසේචනයේ  දී  ඇතිවන  පිරිමි  හා  ගැහැනු  කලලවල  අනුපාතය  50:50  බවයි. එහෙත් ගර්භනී සමයේ දී විවිධ හේතු නිසා කලල විනාශ වීම නිසා උපතේ දී එම අනුපාතය වෙනස් විය හැකිය.
 
ඩිම්බ  සෛලයක්  ශුක්‍රාණුවකින්  සංසේචනය  වූ  විට  කලලය  සෑදීම  ආරම්භ  වේ.  ඒ  සඳහා  කිසිම  බලයක්  හෝ විඤ්ඤාණයක් හෝ ගන්ධබ්බයෙක් අවශ්‍ය නැත. ශාකවල ද ලිංගික ප්‍රජනනයේ දී සිදු වන්නේ ද ඩිම්බ සෛලයක් පිරිමි  ජන්මානුවකින්  සංසේචනය  වී  කලලයක්  සැදීමයි.  කලලයක්  ඇති  වීමට  විඤ්ඤාණයක්  හෝ  ගන්ධබ්බයෙක් අවශ්‍ය බව විශ්වාස කරන අය ශාක කලලයක් ඇති වීමට එයට පෙර මිය ගිය ශාකයක ශාක ගන්ධබ්බයෙකු හෝ ශාක විඤ්ඤාණයක් අවශ්‍ය බවත් විශ්වාස කරන්නේ ද? ස්ත්‍රියකගේ ඩිම්බ සෛල පිටතට ගෙන පරීක්ෂණ නලයකට දමා  එයට  ශුක්‍රාණු  එකතු  කර  සංසේචනය  කර  කලල  බවට  පත්  කර  ඒවා  ගර්භාෂය  තුළ  තැන්පත්  කර  වැඩීමට සැලැස්විය හැකි ය. එමෙන්ම මේ පවසන්නේ විඤ්ඤාණවල හා ගන්ධබ්බයන්ගේ ගැහැනු පිරිමි වෙනස ඇති බව ද? එසේ නම් ඒ අයට පුරුෂ ලිංගික පද්ධති හා ස්ත්‍රී ලිංගික පද්ධති තිබෙන නිසා ඒ අය අතරම ලිංගික ක්‍රියා සිදු කර නව ගන්ධබ්බයන් බිහි කිරීමට ද හැකි විය යුතු ය.

ජීවීන් සෑදී ඇත්තේ සෛලවලිනි. එම නිසා තනි සෛලයකින් සැදුණු ජීවීන් පවා ද්‍රව්‍යමය. තනි සෛලයකින් සැදුණු ජීවීන් ඉතා  කුඩා නිසා අපට නොපෙනෙන නමුත්  අන්වීක්ෂයකින් දැක ගත හැකි ය. සූක්ෂ්ම ශරීර  ඇති ප්‍රේතයින් වැනි ජීවීන් ඇතැයි කියන අදහස් මිථ්‍යා මත මිස සත්‍ය මත නොවේ.

ප්‍රේතයන් හා භූතයන් ගැන කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශාධිපති සහ මහාචාර්ය ලෙස සිටි එම්.එම්.ජේ.මාරසිංහ මහතා ‘බුදු දහම හා බුද්ධාගම’ නමැති ග්‍රන්ථයේ දක්වන අදහස් මෙසේ ය. ‘බුදුන් කිසිම අවස්ථාවක මිනිසාට හිරිහැර, කරදර, උපද්‍රව කළ හැකි දෙවිවරුන් හෝ යක්ෂ, භූත කොටස් ඇති බව ප්‍රකාශ කොට නැත. භාරතීය ජන සමාජයේ ඇති වූ දේශපාලනික හා සමාජයීය වෙනස්කම් නිසාවෙන් වෙන්ව ජීවත් වූ ගෝත්‍රික සමාජ  ප්‍රධාන  සමාජය  හා  එකතු  වීම  නිසා  යක්ෂ,  පිසාච,  නාග  ආදී  නම්වලින්  හඳුන්වන  ලද  ගෝත්‍රිකයන්ගේ අනන්‍යතාවන් නැතිව යාමෙන් පසු, ඔවුන් සම්බන්ධයෙන් සමාජයේ ඉතිරිව පැවති පුරාවෘත්ත අනුසාරයෙන් ඔවුන් පිළිබඳ ජනප්‍රවාද ඇති වූ බව තේරුම් ගත යුතුය.
පාර  මනෝ  විද්‍යාව  (
Parapsychology)  යනු  විද්‍යාත්මක  විෂයයක්  නොවේ.  එය  හඳුන්වන්නේ  ව්‍යාජ  විද්‍යාවක් (Pseudo science) ලෙසිනි. ඒ අය විවිධ මිථ්‍යා විශ්වාස ඔප්පු කරන්නට උත්සාහ කරන පිරිසකි.

මිනිසාට  ඇති  වන  හැඟීමක් වන  තණ්හාව මෙන්ම අනික් හැඟීම් ද  ඇති  වන්නේ මොළයේ ස්නායු සෛලවලිනි. ඒවා සියල්ල මිනිසාට ලැබී ඇත්තේ ඒවා මිනිස් පරිණාමයට හිතකර වූ නිසා ය. ඒවා ශුන්‍ය වන්නේ මොළය අක්‍රිය වූ විට ය. එනම් විසඤ්ඤ වූ විට හෝ මිය ගිය විට ය.
ඔහු සඳහන් කරන අග්ගඤ්ඤ සූත්‍රය  ගැන කිව යුත්තේ කවර දාර්ශනික මතයක් වුව ද එය බිහි වූ කාලයට අයත් නිසා ඒවා විද්‍යාවේ නව වර්ධනයන් සමඟ පරිවර්තනයට හසු වන බව ය.

​
Picture
ඕජා  පුවරුව  (Ouija Board)  යනු  අකුරු  හෝ  අංක  හෝ  වෙනත්  සලකුණු  ඇඳ  ඇති  පැතලි  පුවරුවකි.  එය  මත වීදුරුවක් මුනින් අතට තබා හෝ චලනය විය හැකි වෙනත් කුඩා වස්තුවක් හෝ තබා ඇත. එම වීදුරුව හෝ වස්තුව මත අත තබා යම් ප්‍රශ්නයක් විමසූ විට එය  චලනය වී අකුරු කරා ගොස් ප්‍රශ්නයට පිළිතුරු සපයන බව විශ්වාස කෙරේ.  මෙහි  චලනය පිළිබඳ පර්යේෂණ  කළ  අය  සොයා ගෙන ඇත්තේ  එම  වීදුරුව හෝ  කුඩා  වස්තුව  චලනය වන්නේ  එය  මත  අත  තබා  ගෙන  සිටින  තැනැත්තාගේ  අනිච්ඡානුගත  ක්‍රියාව  (involuntary action)  නිසා  බව  ය. මෙය ඉඩියෝ ආචරණය (ideomotor effect) ලෙස හැඳින්වේ. එය කිසිම බාහිර බලයක් නිසා සිදුවන්නක් නොවේ. මෙම පුවරු ළමා ක්‍රීඩා භාන්ඩයක් ලෙස අන්තර්ජාලය හරහා මිළ දී ගත හැකි ය.

විද්‍යාව  සමඟ  මෙසේ  මිථ්‍යාව  උගන්වන  තිස්ස  ජනනායක  මහතා  රාජ්‍ය  නාලිකාවක්  වන  ස්වාධීන  රූපවාහිනී සේවයෙන් ප්‍රචාරය වන ටෙලිවිෂන් ඉස්කෝලේ නමැති අධ්‍යාපනික වැඩ සටහනෙහි ජීව විද්‍යා ගුරුවරයා ලෙස ද කටයුතු  කරයි.  රජයේ  පාසැලකින්  විද්‍යා  ගුරුවරයෙකු  ඒ  සඳහා  තෝරා  නොගෙන  ටියුෂන්  ගුරුවරයෙකු  ඒ  සඳහා යොදා ගන්නේ ඇයි ද යන්න එහි නිෂ්පාදක ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි මහතා විසින් පැහැදිලි කළ යුතු ය.

තිස්ස  ජනනායක  මහතා  වැනි  ගුරුවරුන්  ටියුෂන්  පන්තිවල  දී  උගන්වන්නේ  විද්‍යාව  ද  අවිද්‍යාව  දැයි  දෙමව්පියන් සෝදිසි කර බැලිය යුතු ය. නැතහොත් ඒවායේ දී ශිෂ්‍යයන්ට ඉදිරිපත් කෙරෙන මිථ්‍යා අදහස් සත්‍යයයි පිළිගැනීමට ශිෂ්‍යයන්  නැඹුරු  විය  හැකි  ය.  එය  ඔවුන්ට  විද්‍යාත්මක  චින්තනයක්  ඇති  කර  ගැනීමට  බාධාවක්  වේ,  විද්‍යාව ඉගැන්වීමෙන් අධ්‍යාපනඥයින් බලාපොරොත්තු වන අභිමතාර්ථ ඉටුකර ගැනීමට නොහැකි වේ.
​
තිස්ස ජනනායක ලිපිය: ප්‍රතිචාරයක් සහ පිළිතුරක්.
​

2020 ජූලි 4 දින පළ වූ ඒ.ඩී. ගුණසේකර මහතා විසින් ලියන ලද විද්‍යාව නමින් අවිද්‍යාව ඉගැන්වීම : තිස්ස ජනනායක ලිපියට සනත් ජයලත් මහතා එවූ ප්‍රතිචාරයත් එයට ගුණසේකර මහතා එවා ඇති පිළිතුරත් පහත පළ කරමු.  

සුනිල් අල්ගම මහතා විසින් 2021 ජනවාරි 18 වන දින එවන ලද ප්‍රතිචාරය ද මෙහි පළකර ඇත.
ප්‍රතිචාරය සහ පිළිතුර වෙත පිවිසෙන්න

    ඔබගේ අදහස් අපට එවන්න.

    Max file size: 20MB
Submit
Back To Home
Powered by Create your own unique website with customizable templates.
  • ප්‍රවර්ග
    • සාහිත්‍ය කලා
    • දර්ශනවාදය
    • වෙනත්
  • ලේඛනාගාරය
  • ලේඛක සෙවීම්
  • Bookcrow
  • Contact Us
  • සංස්කාරක සටහන්