​හෙට දින සංස්කෘතිය උදෙසා විවෘත වේදිකාව​...

kinihiraya.com
  • ප්‍රවර්ග
    • සාහිත්‍ය කලා
    • දර්ශනවාදය
    • වෙනත්
  • ලේඛනාගාරය
  • ලේඛක සෙවීම්
  • Bookcrow
  • Contact Us
  • සංස්කාරක සටහන්

සාම්ප්‍රදායික අධ්‍යාපනය තුළ මැදිරිගතවී සිටින ගුරුවරයාට පශ්චාත්  නූතනවාදී විය හැකිද? (2 කොටස)

​​⚈ සම්මානිත මහාචාර්ය රෝලන්ඩ් අබේපාල - Prof. Roland Abepala
​2020 දෙසැම්බර් 23​
පශ්චාත් නූතනවාදී යහපත

Picture
පශ්චාත් නූතන වාදයෙහි යහපත් ආභාෂයන් වනුයේ, එළඹෙන විනිශ්චයයන්ට පදනම් වන කරුණු ගැන ප්‍රශ්න කිරීමටද,  ස්ථාපිත සාහිත්‍යයෙහි පූජනීය මතය ප්‍රතික්ෂේප කිරීමටද, ගැටලුවකට අදාළව, ඉහළ සිට පහළට න්‍යාය යොදා ගැනීමට එරෙහි වීමට සහ සිද්ධීන් පිළිබඳ තරඟකාරී අර්ථකථනයන් මැද්දේ ජීවත්වීමට ද අවශ්‍ය මානසික පුරුද්ද (habit of mind) ක් සලස්වා දීමය. සමාජීය පර්යේෂණයන්හි නිගමනයන්හි ස්වභාවය පශ්චාත් නූතනවාදය විසින් දැඩි ලෙස ප්‍රශ්න කරනු ලබයි. එළඹ ඇති නොයෙකුත් නිගමනයන්හි විශ්වාසනීයත්වය සහ වලංගුතාව ප්‍රශ්නකිරීමට පශ්චාත් නූතනවාදය මගින් අපි දිරිගනුවනු ලැබ සිටිමු. 
​
භාෂාව හා සංකල්ප  භාවිතය මගින් මිනිසුන්  ගැටලු  නිර්මාණය කරගන්නා බව පශ්චාත් නූතනවාදී චින්තකයෝ පෙන්වා දෙති. තමන් දන්නා භාෂාවේ වචන හා සංකල්ප අනුව මිනිස්සු තම ගැටලුව අර්ථකථනය කර ගනිති. මනෝ උපදේශකවරුන් වෙත පැමිණෙන බොහෝ මානසික රෝගීන් තම ගැටලුව හඳුන්වා දෙන්නේ ගොතා ගන්නා ලද ”කථාන්දරයක්“ විලාශයෙනි. එහෙත් පවතින යථාර්ථයට කතාවක් නැත. බොහෝ විට පවතින එකම යථාර්ථය සේවාලාභීන් දෙදෙනෙක් එකිනෙකට වෙනස් වූ කතා දෙකක් ලෙස ප්‍රකාශ කරති. මෙහිදී සිදුවන්නේ එක් එක් පුද්ගලයා යථාර්ථය තම තමන්ගේ දෘෂ්ටිකෝණය අනුව විග්‍රහ කිරීමයි. පශ්චාත් නූතනවාදීන්ට අනුව යථාර්ථය පරම සත්‍යයක් නොවේ. එය සමාජය විසින් නිර්මාණය කරනු ලබන්නක් නිසා වෙනස්වන සුළුය. අන්ලෙසකින් පවසන්නේ නම් යථාර්ථය යනු බලය ඇත්තන්ගේ නිර්මාණයකි. ​​
​
ගුරුවරයාගේ කාර්යභාරය

අතිවිශාල වූ තොරතුරු මාර්ග සමුදාය තුළ ගුරුවරයා ක්‍රියා කරනුයේ “මඟ පෙන්වන්නකු” වශයෙනි. අවශ්‍ය තොරතුරු  සොයා ගැනීමට, ඒවා විශ්ලේෂණය කරමින් සහ වැදගත්කම කිරා මැන බලමින්, තමන්ගේම මත සහ කල්පන ගොඩනඟා ගැනීමට ගුරුවරයා  ශිෂ්‍ය්‍යන්ට උදව් වෙයි. උසස් අධ්‍යාපනය තුළ, ඉගෙනුම් ක්‍රියාවලියෙහි විශේෂ ලක්ෂණය වනුයේ අනිවාර්ය වශයෙන්ම තොරතුරු සන්නිවේදන තාක්ෂණික මෙවලම් හැකිතරම් ප්‍රයෝජනයට ගැනීමය. ඒ කෙසේ වුවද, ගුරුවරයා  හා ශිෂ්‍යයන් අතර සිදුවන සන්නිවේදනයට ඒවා කොහෙත්ම සම කළ නොහැකිය. එක් අතකින්  කිසියම් දෙයක් හෝ කෙනකු පිළිබඳ තොරතුරක් තමන් විසින්ම  සොයා ගැනීමට ශිෂ්‍යයාට හැකිය. විවිධ ඓතිහාසික ක්‍රියාවලීන් ස්වාධිනව, විවිධ කෝණයන්ගෙන් විමර්ශනයට ලක් කිරීමට ද ඔහුට හැකිය. ගුරුවරයාගේ කාර්ය වනුයේ,
​
​i. අතිවිශාල තොරතුරු රාශිය තුළ ශිෂ්‍යයා ‘ගිලීයාමට’ ඉඩ නො හැරීම.
ii. වෙනත් කොණයක් ඔස්සේ අදාළ තොරතුරු දෙස බලා සංසිද්ධිය පිළිබඳව පැහැදිළි අවබෝධයක් ලබාගැනීමට  ශිෂ්‍යයාට උදව්වීම, සහ 
iii. තමන්ගේ මත සහ අදහස් ගොඩනඟා ගනිමින්, තර්ක මගින් තමාගේ මතය නිවැරදි බැව් සනාථ කර ගැනීමට ශිෂ්‍යයාට උදව්වීමත්ය.

Picture
පශ්චාත් නූතන ගුරුවරුන් විසින් වැදගත්කොට සලකනු ලබන්නේ, චින්තනයෙහි දැනුමෙහි භාවිතයෙහි සහ විෂය ධාරාවෙහි විෂමතාවන් නොව, ශිෂ්‍යයන්ගේ ඉගෙනීමෙහි දක්නට ලැබෙන විෂමතාවන් ය. ඔවුහු ශිෂ්‍යයන්ගේ විවිධ ඉගෙනුම් විලාශයන් හඳුනාගෙන ප්‍රතිචාර දක්වති. එක් එක් ළමයා තුළ ඉගෙනීම සිදුවන ආකාරයෙහි වෙනස්කම් හඳුනාගැනීම තුළින් විශේෂ අධ්‍යාපනය (Special Education) බිහිවී ඇත. නූතන අධ්‍යාපනය තුළ කැපී පෙනුණු කුසලතා සහිත ළමයින් සහආබාධිත ළමයින් පිළිබඳ ආකල්ප අද වෙනස් වී ඇත. පශ්චාත් නූතන අධ්‍යාපනය තුළ ආබාධිත සහ පසුබට ළමයින් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කෙරෙයි. මානවවාදය ඔස්සේ බලන විට, එය පශ්චාත් නූතන අධ්‍යාපනයෙහි දක්නට ලැබෙන අගය කළයුතු ලක්ෂණයකි. 
​
පශ්චාත් නූතනවාදී චින්තනය අදාළ කර ගැනීම

අප මෙතෙක් සාකච්ඡා කළ පරිදි අධ්‍යාපනය කෙරෙහි පශ්චාත් නූතනවාදී න්‍යායක් හෝ පශ්චාත් නූතන වාදය තුළ අධ්‍යාපනික න්‍යායක් හෝ නොමැති වුවද, පශ්චාත් නූතනවාදයේ ආභාෂය අධ්‍යාපන ක්‍ෂෙත්‍රයට අදාළ කර ගැනීම පිළිබඳ බාධාවක් නොමැත. විශේෂයෙන්ම මෙහි දක්වන ලද පශ්චාත් නූතනවාදයේ යහපත් ගති ලක්ෂණ අධ්‍යාපනයේ ක්‍ෂෙත්‍රයට සම්බන්ධ කරගත හැකිය. එමෙන්ම අධ්‍යාපනයේ පශ්චාත් නූතනවාදයක් නැතත් අධ්‍යාපනය ලබන පංගුකරුවන් වන ශිෂ්‍ය ප්‍රජාව (විශේෂයෙන්ම ඉහළ පංතිවල) ගුරු ප්‍රජාවේ ඇතැම් සාමාජිකයන් ද කිසිසේත් පශ්චාත් නූතනවාදී නොවන බව ඉඳුරා කිව හැකිද? 

මෙවැනි තත්වයක් හමුවේ ගුරුවරයාට මෙන්ම පාසල් සිසුන්ටද පශ්චාත් නූතනවාදයේ යහපත් ලක්ෂණ වැළඳ ගැනීමට බාධාවක් නොමැත. ගුරුවරයා පශ්චාත් නූතනවාදී ආකල්පය දැරිය යුත්තේ ස්වකීය ශිෂ්‍යයන්ගේ කාලීන මෙන්ම විශේෂයෙන්ම අනාගත අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීමට ඔවුන් සවිබල කිරීමත්, ඒ අනුව ඉගැන්වීමේ ක්‍රම ශිල්ප නවීකරණය කර ගැනීමටත්ය.

ශිෂ්‍ය ප්‍රජාව පශ්චාත්  නූතනවාදී විය යුත්තේ පාසලින් ලැබෙන ඉගෙනුමට පමණක් සීමා බන්ධනය නොවී අවශ්‍ය වැඩිදුර හෝ නවතම දැනුම සොයා යමින් පුළුල් පදනමක් මත තම ඉගෙනුම සංවර්ධනය කර ගැනීමටත්ය. Smart Phone, පරිගණකය,අන්තර්ජාලය, බ්ලොග් හා වෙබ් අඩවි ඔස්සේ පියාසර කිරීමෙන් ශිෂ්‍ය ප්‍රජාවට පශ්චාත් නූතනවාදී දැනුම් උපයාගත හැකිය.
​
Picture
පාසල් පෙළ පොත් හා විෂය නිර්දේශ සකස් කිරීම සම්බන්ධයෙන් අධ්‍යයන ක්‍ෂෙත්‍රයේ පවතිනුයේ මධ්‍යම රජයේ ඒකාධිකාරියකි. ඒවා ගුරුවරුන්ට හෝ සිසුන්ට උවමනා ලෙස වෙනස් කර ගැනීම සිදුකර ගත නොහැකි වීම බාධාවකි. එහෙත් ගුරුවරයා මෙන්ම ශිෂ්‍යයාද පශ්චාත් නූතනවාදී ආකල්පය දරන්නේ නම් පවතින සීමා බන්ධනය තුළ ඉන් ඔබ්බෙන්  පවතින නව දැනුම සොයා යාමට බාධාවක් නොවිය යුතුය.

පශ්චාත් නූතනවාදී ගුරුවරයා පරම සත්‍යය ලෙසින් හැඳින්වෙන   සෑම  දෙයක්  දෙසම  සැකයෙන්  බලනු  ඇත.  ග්‍රන්ථයෙහි ඇතුළත් දෙය දෙස සැක මුසු ඇසකින් බැලිය යුතු බව ඔහු අවධාරණය කරනු ඇත. ලේඛකයාගේ කල්පනයන්හි ඇති අසංගතභාවයන් පෙන්වා දෙනු ඇත. සුළුතර කණ්ඩායම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින්, වරප්‍රසාද හෝ පංතිය විසින් ඔවුන් පෙළනු ලබන අන්දම පැහැදිළි කරනු ඇත. 
​

පැහැදිළිවම 21 සියවසේ ඉගැන්වීම යනු අමුතුම විලාශයේ ප්‍රපංචයකි. අද සිදුවෙමින් පවතින ඉගෙනුම් ඉගැන්වීමේ ක්‍රියාවලියක් මින් පෙර කිසිදු අවදියක සිදු නොවන්නට ඇත. පහත පළවන්නේ 21 වැනි ශතවර්ෂයේ ගෙවී යන වකවානුව තුළ පශ්චාත් නූතනවාදි චින්තනය දරන ගුරුවරයකුගේ ගති  ලක්ෂණ කිහිපයකි. 
​​
​පශ්චාත් නූතන ගුරුවරයකුගේ ගතිලක්ෂණ

1. ශිෂ්‍ය කේන්ද්‍රීය පංතිකාමරය සහ පුද්ගලාරෝපණික ඉගැන්වීම.   

ලබාගත හැකි ඕනෑම තොරතුරක් වෙත ප්‍රවේශවීමේ හැකියාව ශිෂ්‍යයනට අද තිබෙන හෙයින්, දැනුම ‘හැන්දෙන් කැවීමේ’ අවශ්‍යතාවක් හෝ ‘ සැමටම ගැලපෙන ප්‍රමාණයකින්’ ඉගැන්වීමේ හෝ අවශ්‍යතාවක් නොමැත. ශිෂ්‍යයනට, එකිනෙකට වෙනස් පෞරුෂයන්, ඉලක්ක, සහ අවශ්‍යතා ඇති අතර, පුද්ගලාරෝපිත ඉගැන්වීම එතරම් පහසු නොවූවද, හිතකරය. තමන්ගේම තෝරා ගැනීම් කිරීමට ශිෂ්‍යයනට ඉඩ ලබා දුන්විට, ඔවුන්ගේ ඉගෙනීමෙහි අයිතිය ඔවුන්ට සතුවන හෙයින් අභිප්‍රේරණය වැඩි වී, තව තවත් ප්‍රයත්නය ඉහළ නංවාගනු ඇත. වඩාත් හොඳ ඉගෙනුම් ප්‍රතිඵල සඳහා කදිම තත්වයකි.

2. ශිෂ්‍යයන් නිෂ්පාදනයන් ලෙසින්, 

ඉහළම තත්වයෙහි නවතම මෙවලම් අද ශිෂ්‍යයන් සතුව තිබේ. එය පශ්චාත් නූත
නවාදී ලක්ෂණයකි. එහෙත් ඔවුන් ඒවා භාවිත කරන්නේ පවුලේ අය සහ මිතුරු මිතුරියන් සමග සන්නිවේදනය සඳහා පමණකි. වර්තමාන ශිෂ්‍යයන් ඩිජිටල් යුගයේ පුද්ගලයන් ලෙස සලකනු ලබන නමුදු, බොහෝ දෙනකුගෙන් කිසිදු ඩිජිටල් අන්තර්ගතයක් නිෂ්පාදනය නොවෙයි. විවිධ අධ්‍යාපනික අංග නිපදවිය හැකි මිලාධික නවීන උපකරණසිසුන් සතුව තිබුණද, ඔවුනට තවමත් නියම කරනු ලබනුයේ කඩදාසි අත් පත්‍රිකා සහ කාර්ය සටහන් උපයෝගී කරගනිමින් වැඩකිරීමටය.

3. පංතිකාමරය තුළ නව තාක්ෂණය පිළිබඳ නිපුණයකු වීම.

පංතිකාමරය තුළ තාක්ෂණය සීඝ්‍රයෙන් ඉදිරියට යමින් ඇති අතර, 21 වන සියවසෙහි ගුරුවරයාද ඒ හා සමගම ඉදිරියට යයි. පාඩම්, පැවරුම් සහ ශ්‍රේණිගත කිරීම් සම්බන්ධ තාක්ෂණය වඩාත් හොඳින් සහ වේගයෙන් ඉගෙනීම සඳහා ශිෂ්‍යයනට උපකාරී වන අයුරින් භාවිත කළ හැකිය. එමගින් ගුරුවරයාගේ කාර්යයද වඩාත් ඵලදායී වෙයි. ශිෂ්‍යයාගේ ඉගෙනීම ඉදිරියට ගෙනයාම සඳහා ප්‍රයෝජනයට ගත යුත්තේ කවර තාක්ෂණයද, කවර අන්දමින්ද යනු 21 වන සියවසෙහි ගුරුවරයා දැන සිටියි.

4. ගෝලීය වීම.

විවිධ රටවල් සහ ඒවාහි ජනතාව පිළිබඳව ඉගෙනීමට නවීන මෙවලම් බෙහෙවින් උපකාරී වෙයි. පෙළපොත් වැදගත්ය. එසේ වුවද, වෙනත් රටවල ජනයා සමග සාමීචියෙහි යෙදෙමින් මොවුනගේ සංස්කෘතීන්. භාෂාවන් සහ ජන ජීවිතය පිළිබඳව ඉගෙන ගැනීම ඊට වඩා අගය කළ යුත්තකි. මෙතරම් දියුණු උපකරණ තිබියදීත් අප අන් රටවල් පිළිබඳව තවමත්ම කරුණු දැනගන්නේ ජනමාධ්‍ය හරහා නම්, ඇත්තෙන්ම එය ලැජ්ජාවිය යුතු කරුණකි.

5.  සුහුරු(Smart) වන්න. Smartphone භාවිතය.

තමන් සතුව ඇති උපකරණ වටිනා මෙවලම් ලෙස සැලකීමට ළමයින් දිරිගන්වනු ලැබූවිට ඒවා වැඩි වැඩියෙන් ප්‍රයෝජනයට ගැනීමට ශිෂ්‍යයෝ පෙලඹෙති. සෑම අලුත් වචනයකම අක්ෂර වින්‍යාසය සහ අර්ථය ගුරුවරයා විසින් කියාදෙනු ලැබීමට වඩා, ශිෂ්‍යයන් විසින්ම, තම නවීන උපකරණ භාවිතයෙන් සොයා ගනු ලැබීම මගින්, දැනුම තහවුරු වන බව සොයා ගනු ලැබ ඇත. සැබැවින්ම එය පශ්චාත් නූතනත්වයේ ලක්ෂණයක් වශයෙන් සැලකිය හැකිය.

6. Blogවෙබ් අඩවි/Twitter Chats ඩිජිටල්කරණය 

බ්ලොග් අඩවි භාවිතය මගින් භාෂා ඥානය සහ ප්‍රකාශන හැකියාව මනාව සංවර්ධනය කෙරෙන බව පරීක්ෂා තුළින් සනාථ වී තිබේ. කඩදාසි භාවිතය අවමකර, තමන්ගේම වෙබ් අඩවිය ඔස්සේ ඉගැන්වීම සිදු කිරීමෙන් ශිෂ්‍යයන්ගේ ඉගෙනුම් අත්දැකීම් ඉහළ මට්ටමකට පත්කළ හැකිය. පශ්චාත් නූතනවාදී සමාජයක ඉදිරිගමනට ඩිජිටල් මාධ්‍ය උපයුක්ත වෙයි.

7. සහයෝගීතාව

ගුරුවරුන් සහ ශිෂ්‍යයන් අතර සහයෝගීතාව වර්ධනය වීටම තාක්ෂණය උදව් වෙයි. ගුරුවරුන් සහ ශිෂ්‍යයන් එකතු වී ව්‍යාපෘතීන් හා වැඩසටහන් ඉදිරිපත් කිරීම මගින් පංතිකාමරය සැබෑ ලෝකය බවට පත්වෙයි. නව තාක්ෂණය ඔස්සේ, ගෝලීය වශයෙන් සබඳතා ඇතිකරගන්න. සහයෝගීතාව අපගේ ජීවිත වෙනස්කිරීමට පවා සමත්වනු ඇත. එමගින් පශ්චාත් නූතනවාදී ආකල්ප පැතිරෙයි.

8. අනුයෝජනය වීමේ හැකියාවන්  යුක්තය (Is Adaptive)

මුහුණ දීමට සිදුවන ඕනෑම තත්වයකට අනුයෝජනය වීමේ හැකියාව21 වන සියවසේදී ගුරුවරයා සතු වෙයි. ඉගැන්වීමේ සහ ඉගෙනීමේ මෙවලම අද වෙනස් වෙමින් ඇත. රටහුණු ලෑලි වෙනුවට Smart board ද,  පෙළපොත් වෙනුවට Tablets ද අද පැමිණ ඇත. එහෙත් මෙවලම් වෙනස් වුවද, භාවිතය වෙනස් වී නැත. තම ශිෂ්‍යයන්ගේ අවශ්‍යතාව අනුව, එම මෙවලම් භාවිතය 21 වන සියවසේ ගුරුවරයා වෙත පැවරෙයි. නව තාක්ෂණයට අනුගත වෙමින් තම ඉගැන්වීමේ ක්‍රම වෙනස් කර ගැනීමට ගුරුවරයාට සිදුවෙයි.

9. ගෝලීය සම්බන්ධනය

සමාන සිතුවිලි සහිත පුද්ගලයන්  සමග සම්බන්ධනය වන්න. වර්තමානයෙහි ඇති මෙවලම් ඔස්සේ, ඔනෑම වෙලාවක, 
ඕනෑම තැනක සිටින, ඕනෑම පුද්ගලයකු සමග සම්බන්ධනය වීමේ හැකියාව පෑදි තිබෙයි. විශේෂඥයකුගෙන් හෝ සහචරයකුගෙන් හෝ ඇසිය යුතු ප්‍රශ්නයක් ඔබට තිබේ නම්, සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධනය වන්න.

10. ව්‍යාපෘති පාදක ඉගෙනීම.

ලෝකයෙහි ඕනෑම තැනක සිටින විශේෂඥයන් තම විෂයය හදාරන සමපදස්ථයන් හෝ සමග සම්බන්ධනය වීමේ පහසුකම් ඇති මෙම යුගයේ, පෙළපොත් මගින් ඉගැන්වීම යල්පිනූ කාර්යයකි. තමන්ගේම ප්‍රශ්න ගොඩනගා ගනිමින්, විශේෂඥයන් ගේ සහාය ලබාගෙන. ව්‍යාපෘති නිර්මාණය කිරීමේ හැකියාව අද ශිෂ්‍යයනට තිබේ. ඔවුනට අවශ්‍ය වන්නේ ගුරුවරයාගේ මගපෙන්වීම පමණකි.

11. ඔබගේම ධනාත්මක පා සලකුණ තබන්න.

යෝග්‍ය පරිදි සමාජ මාධ්‍ය භාවිත කරන අන්දමද, අගනා අන්තර්ගතයන් නිෂ්පාදනය කර ප්‍රසිද්ධ කරන අන්දම සහ බෙදාහදාගත හැකි සම්පත් නිර්මාණය කරගන්නා අන්දමද ආදර්ශයෙන් පෙන්වා දීම වර්තමාන ගුරුවරයාට පැවරෙන කාර්යයකි. පංතියේදී මෙන්ම මාර්ගගතවද වෘත්තීය චර්යාව පවත්වා ගැනීම මගින් ශිෂ්‍යයනට ආදර්ශයක් සැලසීමටද ධනාත්මක ඩිජිටල් පා සලකුණක් ගොඩනගා ගැනීමට ගුරුවරයාට හැකි වෙයි.

12. සංකේත නිර්මාණය

තරමක් සංකීර්ණ බවක් පෙනුනද, සංකේතකරණය යනු වර්තමානයෙහි සාක්ෂරතාවයි. 20 වන සියවසෙහි මෙවලම් පෑන් සහ පැන්සල් ආදිය වූ පරිද්දෙන්ම, අද පෑන සහ පැන්සල වනුයේ පරිගණකයයි. සංකේතකරණය ඉගෙන ගැනීම උනන්දුව උපදවන කාර්යයකි. සංකේත මගින් වෙබ් පිටුවක් ලිවීම කෙතරම් උද්යෝග ජනකද? 

13. නවීකරණය වන්න.

ඔබගේ ඉගැන්වීමේ ක්‍රම ගොනුව තවත් විශාල කරමින් සමාජ මාධ්‍ය මගින් ඉගැන්වීම සහ පෙළපොත් වෙනුවට වෙබ් සම්පත් ප්‍රයෝජනයට ගැනීම වැනි නවීන ඉගැන්වීම් ක්‍රම භාවිතයට පුරුදු වන්න. ඔබ එසේ කරන්නේ හුදෙක්ම ශිෂ්‍යයන්ගේ යහපත වෙනුවෙනි.

14. ජීවිතකාලය පුරා ඉගෙනුම් කරුවෙකි. (a life long Learner)

ශිෂ්‍යයා පමණක් නොව, ගුරුවරයාද ජීවිත කාලය පුරා ඉගෙනගන්නකු විය යුතුය. නව මෙවලම් සහ නව තාක්ෂණයද ඉස්මතු වෙමින් පවත්නා තත්වයක් තුළ, ඉගෙනීම සහ හැඩගැසීමද අත්‍යවශ්‍යය.  ඇත්තෙන්ම එය විනෝදයකි. දිනකට විනාඩි 20ක් පමණ හෝ ඉගෙනීමෙහි නිරතවීම මගින්, බොහෝ දුරක් ඉදිරියට යාහැකි වනු ඇත. 

15. තමාගේ වෘත්තීය වෙනුවෙන් පෙනී සිටියි. Advocates for their Profession

21 වන සියවස යනු, අධ්‍යාපනය සහ ගුරවරයා වෙත විචාරාත්මක අවධානය යොමුවන අවදියකි. මෙතෙක් නොවුණු අන්දමින්, ජනතාව අධ්‍යාපනය සහ ගුරුවරයා වෙත අවධානය යොමු කරනු ඇත. ඉගෙනීමට අදාළ ඉතා වැදගත් ප්‍රශ්න පිළිබඳව ගුරු ප්‍රජාව එක්ව සාකච්ඡා කර, අවශ්‍ය තීරණ ගනිමින්, වෘත්තීය වෙනුවෙන් පෙනී සිටිය යුතු වෙයි.
​
Picture
ශිෂ්‍යයෝ අනාගත ලෝකය වෙනස් කරන්නෝය.

නූතන  යුගය  ශිෂ්‍යයන් (modern)  නිර්වචනය   කරනු   ලැබූයේ, වයස් කණ්ඩායම් අතර වෙනස අනුව වුවද, පශ්චාත් නූතන ශිෂ්‍යයන් හඳුනාගනු ලබනුයේ වයස් කණ්ඩායම් ඇතුළත පවත්නා වෙනස්කම් අනුවය. එයට එක් නිදසුනක් නම්, ළමයින්ගේ කාලානුක්‍රමගත වයස නොව “සංවර්ධන වයස” කෙරෙහි පාසල්හි අවධානය යොමුකළ යුතුය යන භාවිතයයි. නූතනවාදීඋපකල්පනයට අනුව, වැදගත් වනුයේ පණ්ඩිතමානි වෙහෙසකර විලාශයෙන් අන්තර්ගතය ඉගැන්වීම වුවද, පශ්චාත් නූතන පංති කාමර තුළ භාවිත වනුයේ, ක්‍රියාකාරකම් ඔස්සේ ශිෂ්‍යයන් විසින් අන්තර්ගතය ග්‍රහණය කරගනු ලබන ක්‍රමයකි. 
​
21 වන සියවසෙහි ශිෂ්‍යයන්

Z පරම්පරාව - 1995 සහ 2009 අතර කාලයෙහි උපත ලද්දෝ මොවුනතරින් වැඩිම සංඛ්‍යාවකට, අන්තර්ජාලයෙන්තොර ජීවිතයක් ගැන මතකයක් නොමැතිය. ඔවුහු ස්මාර්ට්ෆෝන්, IPads, Smart boards  ආදියට හුරුපුරුදු වූ තැනැත්තෝය.

A පරම්පරාව - 2010 පසු උපත ලද ඔවුන් Smart Phone, IPads, 3D රූපවාහිනිය, Instagram යනාදියට වඩා වයසින් බාලය. 22 වන සියවසෙහි දක්නට ලැබෙනු ඇති පළමු පරම්පරාව එයයි.

අද අපගේ පාසල්හි සිටින ශිෂ්‍යයෝ බුද්ධිමත්ය, ස්වාධීනය, බොහෝ ශක්‍යතාවන්ගෙන් යුක්තය. ඔවුහු ඉතා පහසුවෙන් අන්තර් සංස්කෘතික සන්නිවේදනයෙහි නිරතවෙති. අදට අවශ්‍ය කුසලතා හතරක් පර්යේෂකයන් විසින් හඳුන්වනු ලැබ තිබේ. එනම්,

1. නිර්මාණශීලී භාවය(Creativity)
2. විචාරාත්මක චින්තනය(Critical thinking)
3. සන්නිවේදනය(Communication) සහ
4. සහයෝගීත්වය(Collaboration)  යනුවෙනි.

අසංවේදී යැයි නිර්වචනය කරනු ලැබ නොමැති නම්, වලංගුතාවක් සහ විශ්වාසනීය භාවයක් නොමැති වුවද, සියලුම මත වැළඳගනු ලැබීම සහ අගය කරනු ලැබීම අපේක්ෂා කෙරෙයි. අතීතයේ  දැනුම රැස්කර තබාගැනීමට ශිෂ්‍යයනටකොහෙත්ම නියම නොකෙරෙනු ඇත. ශිෂ්‍යයන් සලකනු ලබන්නේ ලෝකයේ සමාජ අසාධාරණයට එරෙහිව නැගී සිටින සමාජ ශෝධකයන් ලෙසටය. මෙය මාක්ස් කියා සිටි අන්දමේ විප්ලවයක්  නොව, විසංයෝජනය වූවන් ප්‍රතිනිර්මාණය කිරීමකි.
විෂය මාලාව ක්‍රියාවලියක් වන අතර, අන්තර්ගතය පදනම් වූවක් නොවේ. ගුරුවරයාද සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටින රණශූරයෙකි. අවශ්‍ය වන්නේ, පවත්නා සමාජ තත්වය තුළ වැඩකරන්නන් නොව, එයට එරෙහිව අභියෝග එල්ල කරන්නන් ය. එම නිසා, පශ්චාත් නූතන චින්තනයට අදාළ වන්නේ STEM (විද්‍යාව, තාක්ෂණය, ඉංග්‍රීසි,ගණිතය) විෂයයන් පමණක් නොව, මිනිසුන් හා සම්බන්ධ මෘදුවිද්‍යාවන්ය. STEM මගින් අපේක්ෂා කෙරෙනුයේ නව සොයාගැනීම් කරමින්, මුදල් ඉපයීමය.  මුළු මානව  ඉතිහාසය  පුරාම  කිසි කලෙකින් ජීවිතයට සාධාරණත්වය ඉටු වී නොමැති බව, පශ්චාත් නූතනවාදයෙහි සුසමාදර්ශී ස්වභාවය මගින් ප්‍රතික්ෂේප කරනු ලබයි.

පශ්චාත් නූතන අවදියෙහි අධ්‍යාපනය විස්තර කෙරෙන තවත් වැදගත් වචනයක් වනුයේ ‘වරණය’ හෙවත් තෝරාගැනීම (Choice) යන්නය. පාසල් පරිපාලනය සහ ව්‍යුහය තුළ විවිධත්වයක් දක්නට ලැබෙයි. ගුරුවරුනට අදාළව, වරණය යන්නෙන් අදහස් වනුයේ සැලකිය යුතු මට්ටම් ස්වතන්ත්‍රතාව (autonomy) කි. විෂයමාලා ද්‍රව්‍ය සහ ඉගැන්වීමේ ක්‍රම තෝරාගැනීමේදී, පශ්චාත්නූතන අධ්‍යාපනය තුළ ගුරුවරයා  ට වැඩි නිදහසක් ඇත. එසේම,තමන්ගේ පංති කාමර තුළ වඩාත් ප්‍රබල තීන්දුගන්නන් වීමේ අවසරය ගුරුවරුනට ඇත. de Marris & Lecompte, 1999


Picture

​​බහුත්වවාදී සමාජයක  වැඩකිරීම

පශ්චාත් නූතනවාදය යන්නක් තිබේ නම් එය අධ්‍යාපනය කෙරෙහි බලපාන්නේ කෙසේද? අධ්‍යාපනයේදී දැනට යොදා ගනු ලබන ක්‍රම තුළට පශ්චාත් නූතන ක්‍රම ඒකාබද්ධ කළ හැක්කේ කෙසේද? එසේම, පශ්චාත් නූතනවාදය අපගේ සමාජය තුළ සංවර්ධනය වෙමින් පවත්නේ නම්ද, වර්තමාන තරුණ ජනයා එම පර්යාලෝකය ඔවුනගේ වැඩිහිටි අවදිය තුළට ගෙන යන්නේ නම්ද, තමන්ගේ පශ්චාත් නූතන දර්ශනයට සාපේක්‍ෂව ඔවුන් අධ්‍යාපන ක්‍රමයෙන්කුමක් අපේක්ෂා කරනු ඇත්ද? අපගේ මතය නම්, ඉගෙනීම පිළිබඳ පශ්චාත් නූතන දර්ශනයට උසස් අධ්‍යාපනය තුළ තැනක් තිබෙන බව සහ විශේෂිත ඉගැන්වීමේ ක්‍රම ඔස්සේ මෙම මතය ඵලදායී ලෙස පතුරා හැරිය හැකි බවය. මෙම ප්‍රවේශයන් අගය කළයුතු ඉගෙනුම් ආදර්ශයන් ලෙසින් හඳුනා ගත හැකිය.

පශ්චාත් නූතනවාදීන් විශ්වාසය තබන්නේ අස්මිතාව (Self) පිළිබඳ තමන්ගේම නිර්වචනය කෙරෙහිය. ඔවුන්ගේ භූමිකාව නිර්වචනය කරනු ලබන්නේද  ඔවුන්ම විසිනි. ඔවුන් ලෝකය තුළ තමා සඳහා තැනක් කූට ලෙස සලසා ගනිති. ඔවුන්ගේ අස්මිතාව, අන් කිසිවකුගේත් නිර්වචනයකෙරෙහි විශ්වාසය නොතබන හෙයින්, නොවෙනස්ව පවතිනු ඇත. පශ්චාත් නූතන ගුරුවරුන්ගේ සහ  ශිෂ්‍යයන්ගේ භූමිකාඑකිනෙකින් වෙනස් ලෙස දැක්වෙන ඒවා පිවිතුරු වන නමුත්,විචක්ෂණ ඒවා නොවෙයි. බලාධිකාරයේ වෙස් මුහුණ ඉවත ලා තමන්ගේ නියම ස්වරූපයෙන් සිටීමට ගුරුවරයාට අවසරය ඇති හෙයින්, ඉගෙනීම වෙතින් තමන්ගේම අර්ථයක් සොයා ගැනීමට ශිෂ්‍යයාට ඉඩ ලැබෙයි. පශ්චාත් නූතනවාදය මගින් ඉඟි කරනු ලබන ක්‍රමය බාහිර පරිසරයේ බලපෑමට විවෘත වූවකි. ශිෂ්‍යයා (මෙන්ම ගුරුවරුන්ගේද) තමන්ගේම ආත්ම -අනන්‍යතාව තුළ  සුරක්ෂිත විය යුතුය. මෙම නොපැහැදිළි, සාපේක්ෂ අවුල්කාරි පශ්චාත් නූතන ජීවිතය තුළ තමන්ගේ පුද්ගලික සෘජුභාවය පවත්වා ගැනීම සඳහා මෙම සුරක්ෂිත ආත්ම අනන්‍යතාව අවශ්‍යය.

කෙසේ වුවද  ගුරුවරයාට මේ සියල්ලෙහි ඇති වැදගත්කම කවරේද? එදිනෙදා ජීවිතයේදී අප ක්‍රියා කරන්නේ සාරධර්ම යනු සාපේක්ෂ ඒවාය යන උපකල්පනය සහිතවද? විෂමතාව අගය කරනු ලබන්නේ නම්, පොදුභාවය අනොන්‍යභාවය සහ සමූපකාරය ගැන කිව හැක්කේ කුමක් ද? බහු සංස්කෘතික බහු ජනවාර්ගික  බහු ආගමික සහ බහුත්වවාදී (Pluralist) සමාජයක අප කටයුතු කළ යුත්තේ කෙසේද? ඇතැම් ගුරුවරු පොදු යහපත තකා වැඩකරන්නෝ යැයි අපට කිව හැකිද? ඇත්ත වශයෙන්ම, “පොදු යහපත” යැයි දෙයක් තිබේද? අධ්‍යාපනය හා ගුරුවරයාට බලපාන මෙවැනි කුදු මහත් ප්‍රශ්න රැසක් පශ්චාත් නූතනවාදය තුළ විසඳාගත යුතුව පවතී.

    ඔබගේ අදහස් අපට එවන්න.

    Max file size: 20MB
Submit
Back To Home
Powered by Create your own unique website with customizable templates.
  • ප්‍රවර්ග
    • සාහිත්‍ය කලා
    • දර්ශනවාදය
    • වෙනත්
  • ලේඛනාගාරය
  • ලේඛක සෙවීම්
  • Bookcrow
  • Contact Us
  • සංස්කාරක සටහන්