හෙට දින සංස්කෘතිය උදෙසා විවෘත වේදිකාව​...

kinihiraya.com
  • ප්‍රවර්ග
    • සාහිත්‍ය කලා
    • දර්ශනවාදය
    • වෙනත්
  • ලේඛනාගාරය
  • ලේඛක සෙවීම්
  • Bookcrow
  • Contact Us
  • සංස්කාරක සටහන්
හෘද සාක්ෂියක අ‍ඳෝනාව, (Under Western Eyes),ජෝසප් කොන්රඩ් පරිවර්තනය: ගාමිණී වියන්ගොඩ
​එරික් ඉලයප්ආරච්චි
2021 සැප්තැම්බර් 1
Picture
අධිරාජ්‍යවාදය හා ඊට එරෙහිව දියත් වුණු අරගල මෙන්ම අධිරාජ්‍යවාදයෙන් නිදහස ලැබීමෙන් පසු ඇති වුණු ස්වාධීන රාජ්‍යයන්ගේ පාලනය, බලයට පත් වුණු ස්වදේශීය පංතීන්ගේ ස්වභාවය, පාලනය හා දූෂණය යනාදි කාරණා පිළිබඳව ද ඉතාමත් පුළුල් සංවාදයක් ඇති වුණු රටක් තුළ ජෝසප් කොන්රඩ්ගේ සාහිත්‍යය මුළුමනින් ම අමතක කර දැමීම විවාදාත්මක කාරණයකි. ඉන් ඇති වන විමතිය අධිරාජ්‍යවාදය පිළිබඳ ජාතික විවේචනයේ පටු බව මෙන්ම එහි දෘෂ්ටිවාදය තුළ සැඟවුණු වංක ජාතික ධනේශ්වර හා මැද පංතික අරමුණු ද හෙළිදරව් කරයි.

ජෝසප් කොන්රඩ්ගේ සාහිත්‍යයේ අග්‍රඵලයන් සෑම විට ම අධිරාජ්‍යවාදය පිළිබඳ කර්කශ විවේචනයකින් යථාර්ථවාදී වූ අතර අප්‍රිකාවේ ඛේදවාචකය හා ලතින් ඇමරිකාවේ දී ඊට එරෙහිව දියත් වුණු කැරැලි හා විප්ලවයන්ගේ ව්‍යාකූලත්වය හා දූෂණය පිළිබඳ ලොමු දැහැගන්වන නිරූපණයෙන් යුතු විය. මේ සාහිත්‍ය ක්ෂේත්‍ර දෙකෙහි ලා ‘Heart of Darkness’(1899) හා ‘Nostromo’ (1904) ඔහුගේ අසාමාන්‍ය අග්‍ර කෘති වෙතත් ඔහුගේ ඒ මහා නිර්මාණ අවධියට ම අයත් ‘Under Western Eyes’(1911)' ගාමිණී වියන්ගොඩ 2003 වසරේ දී පරිවර්තනය කර ඇති අතර 2012 දී දෙවෙනි මුද්‍රණය 'සංහිඳ මුද්‍රණ හා ප්‍රකාශන' නිකුත් කර ඇත. මුහුණු පොත් විචාරයෙන් ජනප්‍රියත්වයේ මුද්‍රාව නොලද ඒ මහා කෘතිය පරිවර්තකයාගේ කීර්තිනාමය යටතේ කියවන යකෙක් කියවා ඔහේ තිබෙන්නට ඉඩ හැර තිබේ.

බටහිර සමාජයේ දී ද 'කියවන්නන්ගේ නවකථාකරුවකුට' වඩා 'නවකථාකරුවන්ගේ නවකථාකරුවකු’ ලෙස විදග්ධභාවයේ කක්ෂයට ඇතුළු වී සිටින ජෝසප් කොන්රඩ් ස්වකීය හුදකලාභාවය තුළ සදාතනිකව ජීවත්වන්නේ එය තමාගේ 'ලකුණ’ ලෙස සටහන් කරමිනි. ඔහුගේ දීර්ඝ වෘත්තීය සමුද්‍රික ජීවිතය හා යුරෝපයට පරිබාහිර මහද්වීප පිළිබඳ ඥාන සම්පත එකී හුදකලාභාවය තවත් වර්ණවත් කරයි.

පෝලන්ත ජාතිකයකු වූ ඔහු සිය නාවික වෘත්තියේ දී උගත් ඉංග්‍රීසි භාෂාවෙන් සාහිත්‍යකරණයේ යෙදුණු අතර අන්තර් මහද්වීපික සාගරය තරණයේ නිරත වෙළඳ නෞකාවක කපිතාන්වරයකු ලෙසත්, අප්‍රිකාවේ හා ලතින් ඇමරිකාවේ අසීමිත සූරාකෑමක යෙදුණු සමාරම්භක අධිරාජ්‍යවාදයේ සැබෑ රූපය හා භීෂණය සියැසින් දුටුවකු ලෙසත් සාහිත්‍යය රචනය වෙනුවෙන් වුවමනා පන්නරය ලැබී ය. ඒ දිවිය පසුකාලීනව රචිත ඔහුගේ ශ්‍රේෂ්ඨ සාහිත්‍යයෙන් වෙන් කළ නොහැකි ය. දුර්දාන්ත සමාජ ක්‍රමයක් පිළිබඳ 'සැබෑ චිත්‍රය’ පෙන්වීම ඔහුගේ සාහිත්‍ය අරමුණ වූ අතර ඔහු යාත්‍රා කළ සෑම නාවික සැතපුමක් ම, ඔහු පා තැබූ සෑම නැව් තොටක් ම ඔහුට සාහිත්‍ය සැතපුමක් හා සාහිත්‍ය තොටුපළක් විය.


අධිරාජ්‍යවාදී කතිකාවේ හා රෙටොරිකයේ හිස්කම මෙන්ම ජාතික නිදහසේ කතිකාවේ හා රෙටොරිකයේ හිස්කම ද ඔහු ග්‍රහණය කර ගත්තේ ය. ඒ අතින් ඔහුගේ සාහිත්‍ය හුදකලාවේ පාරාභෞතිකයන් හා සාහිත්‍ය ප්‍රතිලාභයන් ෆ්රාන්ස් කෆ්කාගේ හුදකලාවේ පාරභෞතිකයන්ට හා සාහිත්‍ය ප්‍රතිලාභයන්ට හාත්පසින් වෙනස් ය. ඔහු අධිරාජ්‍යවාදය විසින් නිම කරන ලද සැබෑ ආර්ථික භූමිදර්ශනයන් දුටුවේ නූතන ඉතිහාසයේ දැවැන්ත මානවීය හා පාරිසරික අපරාධ ලෙසිනි. ඒ අතින් ඔහුගේ සාහිත්‍යයේ මුල් තැන ලැබෙන්නේ බෙල්ජියමේ දෙවෙනි ලියෝපෝල්ඩ් රජු යටතේ දරුණු ව්‍යසනයකට ගොදුරු වූ 19 වෙනි ශතවර්ෂයේ අවසාන භාගයේ පැවති අප්‍රිකානු කොංගෝවට ය.

‘කියවන්නන්ගේ නවකථාකරුවකුට’ වඩා  'නවකථාකරුවන්ගේ නවකථාකරුවකු’ ලෙස සාහිත්‍ය හා භාෂාත්මක විදග්ධභාවයේ කක්ෂයට ඇතුළු වීමේ අවාසනාව අතින් ඔහු එමලි බ්‍රොන්ටේ, ජේන් ඔස්ටින්, චාල්ස් ඩිකන්ස් ආදීන්ගේ නවකථාවේ වික්ටෝරියානු යථාර්ථවාදයෙන් පසු අතිශයින් බියකරු අධිරාජ්‍යවාදී හා ජාතිකවාදී සමාජ දේශපාලනික තත්ත්වයන් ඉදිරියේ යථාර්ථවාදයේ ගමන් මඟ නිර්ණය කළ තැනැත්තා වේ. ඔහුගේ නවකථාවේ සමුද්‍රය මෙන්ම ගොඩබිම ද අතිශයින් බියකරු ය. ඒ කිසිවක් ස්වභාව ධර්මයට හෝ මානසික මායා දෘෂ්ටියකට හෝ යටත් කළ නොහැකි සමාජ හා දේශපාලනික සත්‍ය තත්ත්වයන් වේ.

Picture
Joseph Conrad
ඔහු කෙරෙහි වූ නවකථාකරුවන්ගේ ආකර්ශණය කොයි තරම් ද යත් ඉරානය විසින් පනවන ලද මරණ දඬුවම ඉදිරියේ එංගලන්තයේ සැඟවුණු සල්මන් රූෂ්ඩිට අන්වර්ථ නාමයක් වුවමනා බව ඉංග්‍රීසි ආරක්ෂකයින් ඔහුට දන්වා සිටි විට ඔහු තමාගේ ප්‍රියතම ලේඛකයින් දෙදෙනාගේ නම් දෙක එකතුකොට 'ජෝසප් ඇන්ටන්’ යන නම තෝරා ගත්තේ ය. ජෝසප් නම ජෝසප් කොන්රඩ්ගෙනි. ඇන්ටන් නම ඇන්ටන් චෙකොව්ගෙනි. ඔහු තම චරිතාපදානයට ඒ නම යොදා ඇත. එපමණක් නොව ඔහුගේ 'නොස්ට්‍රොමො’ නවකථාවේ කියැවෙන දකුණු ඇමරිකානු කාල්පනික දේශය වූ 'කොස්ටගුආනාවේ’ (Republic of Costaguana) සෙවණැල්ල, පසුකාලීනව ඒ කලාපයෙන් ම බිහි වුණු ගාබ්‍රියෙල් ගාර්සියා මාකේස්ගේ 'සියක් වසරක හුදකලාව’ නවකථාවේ 'මැකොන්ඩෝ’ මත වැටී තිබේ.

‘හෘද සාක්ෂියක අ‍ඳෝනාව’ නවකථාවට සැබෑ භූමි කලාපයන් වූ රුසියාවේ පීටර්ස්බර්ග් නගරය හා ස්විට්සර්ලන්තයේ ජිනීවා නගරය පාදක වන නමුත් ඒවා ද  කාල්පනිකත්වයෙන් අනුබල ලබමින් ඉතා අරගලකාරී භෞම-දේශපාලනික යථාර්ථයන් පළ කරන සංකේතික පසුතල ලෙස ද දිග හැරේ. සංකීර්ණ භාෂා ශෛලියකින් ලියවෙන කොන්රඩ්ගේ නවකථාවක් පරිවර්තනය කිරීමේ දී පරිවර්තකයකු විසින් සිදු කරනු ලබන වියමන පහසු නිරාකූල එකක් වීම කිසිසේත් බලාපොරොත්තු විය නොහැකි ය. එකී සිංහල භාෂීය පරිවර්තනයේ අඳුරු භාෂාමය වීදුරුව (Through the Glass Darkly) තුළින් අපට හමු වන්නේ ලොමුදැහැ ගන්වන යථාර්ථයකි. එය කොන්රඩ්ගේ සෙසු නවකථා ද ඉක්මවා යන භීතියකි.
 
එම ප්‍රබන්ධ භීති‍ය මොහොතකට අමතක කරමින් කවර වෑයමක් හෝ දරා කොටස් හතරකින් යුතු එහි දීර්ඝ කථා පුවත සාරාංශ කරත හොත් මෙසේ ය. රුසියාව විප්ලවයට මුහුකුරා යමින් ඇති අතර පුද්ගල ත්‍රස්තවාදය දේශපාලන මෙවලමක් ලෙස යොදා ගන්නා තරුණ විප්ලවීය ක්‍රියා බහුල වෙමින් තිබේ. සාර් ආණ්ඩුවේ මෘග ගතිලක්ෂණ සහිත විශේෂ බලධාරී රාජ්‍ය ඇමති කෙනෙකු වූ 'ද පී’ මහතා අත්බෝම්බ ප්‍රහාරයකින් පීටර්ස්බර්ග් නුවර වීථියක දී ඝාතනය කරන වික්ටර් හාල්ඩීන් නමැති සරසවි ශිෂයයා ඔහුගේ දේශපාලන ව්‍යාපාරයට අසම්බන්ධිත හුදකලා ශිෂ්‍යයකු වූ කිරිලොව් රසුමෝව්ගේ කාමරයට හොරෙන් පැමිණ සැඟවෙයි. මාපිය පවුලක් පවා නැතිව මෙලොව හුදකලා වී සිටින රසුමෝව්ට එය පෙනෙන්නේ බලහත්කාර කඩාවැදීමක් ලෙසිනි. රුසියානු කුමාරයකුගේ අනුග්‍රහය නිසා සිය ශිෂ්‍ය ජීවිතය ගෙන යන ඔහුට මුළු රුසියාව පෙනෙන්නේ දේශපාලන විප්ලවයකින් වෙනස් කළ යුතු තැනක් ලෙස නොව තමාගේ පවුල ලෙසිනි. බෝම්බකාර සිසු හාල්ඩීන් තමාට පලා යාම සඳහා කළ යුතු යමක් ඒ කන්සවටිව්වාදී රසුමෝව්ට පවරයි. එය ඔහුගේ සම්පූර්ණ පැවැත්ම හා රුසියානු පවුල පිළිබඳ විශ්වාසය මුළුමනින් අනතුරේ හෙළන කාරණයකි.


Picture
Gamini Viyangoda
මුල දී ඊට අනුකූල වන ඔහු පසුව හාල්ඩීන් පිළිබඳ ඔත්තුව තමාට අනුග්‍රහය දක්වන කුමාරයාට හා ඒ මඟින් මිකුලින් නම් ලේකම් ජනරාල් මට්ටමේ උසස් නිලධාරියකුට ලබා දෙයි. හාල්ඩීන් අත්අඩංගුවට පත්වන අතර මරා දැමෙයි. මර්ධනකාරී සාර් රාජ්‍ය තන්ත්‍රය මඟින් රසුමෝව් දෙස ද සැකයෙන් බලන නමුත් පසුව ඔත්තු සේවා මෙවලමක් බවට පත්කොට නිදහසේ ජනරජය වූ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරට යැවේ.

මේ නවකථාවේ දී විප්ලවීය රුසියාව හා සුපිරි ප්‍රජාතන්ත්‍රවාදී ජිනීවා නිරූපණය කර ඇත්තේ එකිනෙකට හාත්පසින් වෙනස් ලෝක දෙකක් ලෙසිනි. 'බටහිර ඇස යට’ නවකථාවේ මුල් නාමය අර්ථවත් වන්නේ ඒ අන්දමිනි. ජිනීවාහි දී ඔහුට තමා විසින් පාවා දෙන ලද මිතුරාගේ මව සහ නැ‍ඟණිය මුණ ගැසේ. ඔවුන් ද රුසියාවෙන් ස්විට්සර්ලන්තයට පලා එන සංක්‍රමණික විප්ලවවාදීන් ඇසුරු කරති.

ඔවුන් ගැන ඔත්තුබැලීමේ රාජකාරිය අතරේ ගුප්ත චරිතයක් ලෙස විප්ලවවාදීන් ඇසුරේ කල් ගෙවන ඔහු සිය මිතුරා වෙනුවෙන් තවමත් වැලපෙන මව හා දියණිය ඉදිරියේ තම පාපය හෙළිදරව් කරයි. එහි ප්‍රතිඵලයක් ලෙස සංක්‍රමණික රුසියානු විප්ලවවාදීන් අතින් දරුණු ලෙස පහර කන රසුමෝව් නිත්‍ය අබල දුබලයකු බවට පත් වේ.


එලෙස කථා සාරය දොස්තොයෙව්ස්කිගේ 'අපරාධය හා දඬුවම’ නවකථාව සමඟ සමතැන් ගන්නා මහා නවකථාවක් ලෙස දිග හැරෙන අතර සාර් පාලනය මෙන් ම පුද්ගලික ත්‍රස්තය ඒකායන දේශපාලන මෙවලම බවට පත් කර ගත් නරොද්නික්වාදීන් හා බකුනින්වාදීන් ඇතුළු විප්ලවවාදීන් හා සුවපහසු ප්‍රජාතන්ත්‍රවාදයේ සුරලොව වැනි ජිනීවා ද කර්කශ විවේචනයට ලක් වේ. අතිමාරාන්තික දේශපාලන ව්‍යාපෘතියෙහි යෙදුණු රුසියානුවන් ජිනීවාහි අත්විඳින විරාමයේ හා සුරක්ෂාවේ සුරතාන්තය හා රුසියාවේ සැබැවින් දිග හැරෙන යථාර්ථය අතර වෙනස නවකථාවේ මුඛ්‍ය තේමාවකි.

ත්‍රස්තය කරා ගමන් කරන විප්ලවවාදීන්ගේ චරිත එහි ජීවමාන වේග විප්ලවයේ ප්‍රමෝදය ලෙස ත්‍රස්තයේ තිත්ත කටුක රස භුක්ති විඳින ඔවුන් නිරූපණය වන්නේ  සෝවියට්වාදී සාහිත්‍ය වීරයන්ට හාත්පසින් වෙනස් අයුරිනි. කතුවරයාගේ ගැඹුරු චරිත නිරූපණ ප්‍රාතිහාර්යය ඔවුන්ගේ දේශපාලනයේ නිස්සාරත්වය පිළිබිඹු කරන අතරේ නවකථාව අවසාන භාගයේ දී ඒ බව ‍අවබෝධ කර ගන්නා විප්ලවාදීන්ගේ පාදූර්භාවය ද නිරූපණය වේ.

වික්ටර් හාල්ඩීන් හැරුණු විට කොස්ටියා, පීටර් ඉවනොවිච්, ජිනීවාහි ගරාවැටෙන මැදුරක් හිමි එලියනෝර් හෙවත් එස් ආර්යාව, විප්ලවවාදීන්ට උදව් කරන සෝසිම් පියතුමා, සොෆියා අන්තනොව්නා, නිකිතා හෙවත් නෙකතෝර්, ජිනීවා පුවත්පත් කලාවේදී ලස්පාරා, විප්ලවවාදීන්ට බැල මෙහවරකම් කරන ඉගේරියා වැනි චරිත රැසකින් රුසියාවේ දේශසීමා පවා ඉක්මවා නැ‍ඟෙන සුවිශාල කැරලිකාරිත්වය නිරූපණය වේ.

රසුමෝව්ගේ ප්‍රභූ අනුග්‍රාහකයා වූ කේ කුමාරයා හා ඉහළ ශ්‍රේණියේ සාර් නිලධාරියකු වූ මිකුලින් එහි ප්‍රතිපාර්ශ්වය නිරූපණය කරති. මෙහි කථකයා මහලු ඉංග්‍රීසි සාහිත්‍ය ගුරුවරයකු වන අතරේ ජනරජවාදී හා ප්‍රබුද්ධතාවාදී 'බටහිර ඇස’ ඔහුගේ ය.

රසුමෝව්ගේ පාවාදීම නිසා ඝාතනයට ලක් වුණු වික්ටර් හාල්ඩීන්ගේ සොහොයුරිය වූ නතල්කා හෙවත් නතාලි මෙනවියට ජිනීවාහි 'දාර්ශනික මාවතේ’ දී ඉංග්‍රීසි සාහිත්‍යය ඉගැන්වීමෙන් මුළු මහත් වෘත්තාන්තයේ අක්ෂය කරා පැමිණීමට ඔහුට අවස්ථාව උදා වන අතර හාල්ඩීන්ගේ මවට හා සොහොයුරියට තම පාවාදීම පාපෝච්චාරණය කිරීමෙන් අනතුරුව රසුමෝව් විසින් අවසන් කරනු ලබන අත්පිටපත ද අන්තිමේ දී ඔහු අතට ලැබේ.

"පැතලි පාර්සලයක් අතට ගත් ඈ (නතාලි මෙනවිය) එය මා වෙත ගෙනාවාය.”

|මේක පොතක්’ හිටිහැටියේ ඇය කීවා ය. 'මගේ වේල් පොටේ ඔතලයි ඒක මට එවලා තිබුණේ. කලින් මේ ගැන මං කිසි දෙයක් කිව්වේ නැහැ. ඒත් පස්සේ මං හිතුවා මේක ඔයාට දෙන්න ඕනේ කියලා. එහෙම කරන්න මට අයිතියක් තියෙනවා. ඒක එව්වේ මට. ඒක මගේ. කියවලා ඉවර වුණට පස්සේ කැමතිනං ඔයාට ඒක තියාගන්න පුළුවන්. එහෙම නැත්තං විනාශ කරලා දාන්න පුළුවන්. හැබැයි මේක කියවන අතරේල කරුණාකරලා මතක තියාගන්න ඕනේ, මං හිටියේ අන්ත අසරණ තත්වෙක කියන එක. එතකොට එයා...” (පිටුව 452)

පූර්ව-බොල්ෂෙවික් යුගය පිළිබඳ මේ සමාජ විවරණය ලොමුදැහැ ගන්වන එකක් වන්නේ මර්ධනකාරී නිලධරයේ හා කැරැලිකරුවන්ගේ බරසාර චරිත නිරූපණය මෙන්ම ලේඛකයා රාජ්‍යය පිළිබඳව විනිවිද දකින ගැඹුරු ස්වරූපය ද නිසා ය. එය සැබැවින් ම රුසියානු නවකථාකරුවන් පවා නුදුටු බියකරු රාජ්‍ය දැක්මකි.
"ජාතීන් විසින් ආණ්ඩු හැඩගස්වා තිබෙනවා විය හැකිය. එහෙත්, එම කාසියෙන්ම ආණ්ඩු ද සිය ජනතාවට ගෙවීම් කර ඇත...” (පිටුව37)


"අත්තනෝමතික ඓතිහාසික පාලනයක් සිය දෘඪතර බලය රැක ගැනීම සහ පැවැත්ම සුරක්ෂිත කර ගැනීම සඳහා මහජන අදහස් මර්දනයේ යෙදෙන ක්‍රම සහ විධි පිළිබඳ ආවේණික පුද්ගලික හැඳිනීමක් එවැන්නෙකුට නැත. වැඩියත්ම හිතුවත්, තමා අත්තනෝමතික සේ හිරේ වැටෙන්නට පිළිවනැ යි අනුමාන කළ හැකි වූවත්, පරීක්ෂණ විධි ක්‍රමයක් වශයෙන් හෝ දඬුවමක් වශයෙන් හෝ කස පහරින් තැලුම් කන්නට වෙතැ යි මෙවැන්නකුට සිතාගත නොහැක.”(පිටුව37)

"මෙවැනි අර්බුදයක දී හිතේ ඇති වන සාමාන්‍ය බිය සහ උපද්‍රවකාරී බව නම් නිසැකව ඔහුගේ උපවිඥානයේ වැඩ කරන්නට ඇති. අත්තනේමතික ආණ්ඩුවක සියුම් උපක්‍රම මඟින් පුද්ගලයකුගේ රහස් හෙළි කර ගැනීමේ හැකියාව ගැන, කලින් ද අප දුටු පරිදි, රසුමෝව් දැන සිටියේ ය. ලෝකයේ තමන්ට හිමි තැන දිනා ගැනීම තමාගේ නිසඟ කුසලතා මතම සාක්ෂාත් කර ගන්නට වෙහෙසෙන තරුණයකුගේ ජීවිතය, හුදෙක් සරසවියෙන් නෙරපා හැරීම (එය ඔහුට සිදු විය හැකි අවම වින්නැහියයි) සහ රටේ කොතැනක හෝ ඉගෙනීමේ කටයුත්තක නිරත වීම තහනම් කිරීමෙන්, සදහටම විනාශ කළ හැක,” (පිටුව38)

"බෝතලේ නැතුව කාට කියලා මේ රටේ ඉන්න පුළුවන් ද?” (පිටුව41)

"... දුර්දාන්ත නිලධාරිවාදය, දූෂණය, අනිසි පරිහරණය ආදිය අනන්තවත් ඇත. දක්ෂ මිනිසුන් ඕනෑ කර තිබේ. දීප්තිමත් බුද්ධිමතුන්, පරිත්‍යාගශීලී හදවත් අවශ්‍ය ය. එහෙත් පරම බලය, මිනිසා වෙනුවෙන් අවැසි අවිය, අනාගතේ මහා අත්නෝමතිකයා වෙනුවෙන් රැක ගත යුතුය. රසුමෝව් ඒ පාලකයා ගැන විශ්වාසය තැබීය. ඉතිහාසයේ තාර්කිකත්වය එවැනි පාලකයකුගේ පැමිණීම අනිවාර්ය කරයි. ජනතාව සිටින තත්ත්වය විසින් එවැනි පාලකයකු ඉල්ලා සිටිනු ලැබේ...” (පිටුව 48)

Picture
"තමන්ගේ දෛවයත් එක්ක හෙට්ටු කරපු රටවල් තියෙනවා...” (පිටුව 143)

"මෙවැනි මිනිසුන් සම්බන්ධයෙන් රුසියානු අත්තනෝමතික රාජ්‍යත්වය ක්‍රියා කළ සාමාන්‍ය ක්‍රමයක් තිබුණි. ඒ අනුවල බලකොටුවක සිර කරන ලදුව, රුදුරු වද බන්ධනයට බඳුන්කොට, සාමාන්‍ය අපරාධකරුවන් සමඟ පතල්වල දණ්ඩන සේවයට යොදවන ලදී... ”(පිටුව150)

 "ඇත්තටම ප්‍රතිසංස්කරණය කරන්න දෙයක් අද ඉතුරු වෙලා නැහැ. නීතියක් නැහැ. ආයතන කියලා දෙයක් නැහැ. තියෙන තරමක් තියෙන්නෙ හිතුවක්කාර ආඥා. නියෝග... ක්‍රෑර, ඒ වගේම සමහර විට අන්ධ නිලධාරියෝ අතළොස්සක් විතරයි මෙතන ඉන්නේ.”(පිටුව 166)

"මිනිස්සු ලෝකේ වි‍ඳෝනවා. ආණ්ඩු කියන දේවල්වලට පවතින්න පුළුවන් වෙන්න. ඉහළ පන්තිවල තියෙන අපරාධය තේරුම් ගත්තට පස්සේ මට පුළුවන් වුණේ නැහැ, තව දුරටත් දෙමව්පියොත් එක්කලා ඉන්න... රුසියාවේ භාගයක් බඩගින්නේ මැරෙද්දී ආණ්ඩුවේ පඩියක් අරන් ඉන්න එක පාපයක් නොවෙයි ද? මුදල් අමාත්‍යාංශය! මොන තරම් විලිලජ්ජා නැති කුණුහරුපයක් ද? සාගතේ ඉන්න නූගත් මිනිස්සුන්ට මුදල් අමාත්‍යාංශයකින් තියෙන පලේ මොකක් ද?... වෙලාවකට මට හිතෙනවා රුසියාවේ විතරයි කියලා එහෙම මිනිස්සු ඉන්නේ. රුසියාවේ විතරයි කියලා කාලකණ්ණිකමක ඒ තරං ගැඹුරක් තියෙන්නේ... ”(පිටුව 186)

රාජ්‍යය පිළිබඳව ලේඛකයාගේ ඒ විනිශ්චය ඔහුගේ 'නොස්ට්‍රොමෝ’ නවකථාවේ ද දකුණු ඇමරිකාව පාදක කර ගනිමින් නිරූපණය වෙයි.  බොහෝ දුරට කොලොම්බියාව හා පැනමාව විය හැකි ඔහුගේ පරිකල්පිත කොස්ටගුවානා ජනරජය පිළිබඳ අඳුරු රාජ්‍ය චිත්‍රය සිතුවම් වන්නේ ද 'හෘද සාක්ෂියක අඳෝනාව’ නවකථාවේ රුසියාව මෙන් දකුණු ඇමරිකාවේ ද දේශපාලන ඉතිහාසයේ අර්බුදාත්මක නිමේෂයක දී ය.

දකුණු ඇමරිකානු යටත්විජිත සඳහා කෙරුණු ස්පාඤ්ඤ-ඇමරිකානු යුද්ධය 1898 දෙසැම්බර් ගිවිසුමෙන් අවසන් වූ අතර කියුබාව සහ පිලිප්පීනය උතුරු ඇමරිකාව විසින් අත්පත් කර ගැනිණි. 'නොස්ට්‍රාමෝ’ නවකථාවට සෘජුවම සම්බන්ධ තවත් සිද්ධියක් ද මෙකල ඇති විය. 1903 නොවැම්බර් දක්වා ම පැනමා ප්‍රදේශය තිබුණේ කොලොම්බියා ජනරජයේ කොටසක් ලෙසට ය.

1902 ජුනි මාසයේ දී අලුත් ඇළ මාර්ගයක් තනා අත්ලාන්තික් සහ පැසිෆික් සාගර එකට සම්බන්ධ කෙරෙන පැනමා ඇළ මාර්ග යෝජනාව ඇමරිකානු කොන්ග්‍රසය මඟින් අනුමත කෙරිණි. කොලොම්බියා ජනරජය එම යෝජනාව ප්‍රතික්ෂේප කළා ය. එහි ප්‍රතිවිපාකය ලෙස 'නව පැනමා ඇළ මාර්ග සමාගම’ විසින් පැනමා ස්වාධීන රාජ්‍යයක් ලෙස වෙන් කිරීමේ බෙදුම්වාදයට උදව් කළ අතර පැනමා විප්ලවය මර්ධනය කිරීම සඳහා කොලොම්බියානු හමුදා පැමිණීම උතුරු ඇමරිකානු යුද නැව් මඟින් නතර කරනු ලැබී ය. 1903 නොවැම්බර් 3 වෙනි දා පැනමා ඇළ මාර්ගය නමින් ම අද දක්වා පවතින අලුත් රටක් 'පැනමා’ යනුවෙන් බිහි විය‍.

මේ සිද්ධි දාමය ජෝසප් කොන්ඩ්රඩ්ගේ සාහිත්‍යය කෙරෙහි මහත් සේ බලපෑ අතර දකුණු ඇමරිකාවේ කටයුතු කෙරෙහි උතුරු ඇමරිකාවේ සහ යුරෝපයේ මැදහත් වීම් පිළිබඳ පුළුල් චිත්‍රයක් පිළිබිඹු කරන 'නොස්ට්‍රමෝ’ නවකථාව කෙරහි මධ්‍යම හා දකුණු ඇමරිකාවේ තත්කාලීන සිද්ධීන් උපස්තම්භක වී යැයි ලන්ඩන් සරසවි මහාචාර්ය රොබට් හැම්ප්සන් සඳහන් කරයි.*1
*1. Professor Robert Hampson, Introduction to Joseph Conrad’s Nostromo- A Tale of the Seaboard, Wordsworth Classics, 2000, p.x

එනයින් ජෝසප් කොන්රඩ් දේශපාලනික මහ නවකථා සම්ප්‍රදායේ අග්‍රයෙකි. රාජ්‍ය ස්ථාපිතය හා ඊට එරෙහි කැරැලි සහිත සමාජ ගතිකයන් ඔහුගේ සාහිත්‍යයට නොමඳව විෂය වෙයි. ඊට වුවමනා ප්‍රබන්ධමය රෙටොරිකය තනා ගැනීමේ දී ඔහුගේ 'නොස්ට්‍රමෝ’නවකථාව එෆ්. ආර්. ලීව්ස්ගේ ප්‍රශංසාවට භාජනය වූයේ 'අසහාය වෙසසියාවන්ගේ සංතෘප්ත හා මෝස්තරික ව්‍යුහයක්’ වශයෙනි. (packed and patterned structure of significances)*
*F.R. Leavis, The Great Tradition, Peregrine Books, 1983, p. 238

‘හෘද සාක්ෂියක ආ‍ඳෝනාව’ නවකථාවේ ද අසහාය වෙසසියාවන්ගේ සංතෘප්ත හා කලාත්මක මෝස්තරික ව්‍යුහයක් දැකීමට කිසිසේත් අපහසු නැත. සාහිත්‍යමය ශිල්පීය නෛපුන්‍ය බලයකින් යුතුව දිග හැරෙන මෙම දීර්ඝ නවකථාව රේඛීය විහිදුමකින් නොකියවෙන අතර කාල සංක්‍රමණල බහුවිධ දෘෂ්ටිකෝණ හා සංකේතික ක්‍රියාදාම ඔස්සේ දිග හැරේ. එය සැබැවින්ම සංකීර්ණ ආඛ්‍යානමය ඉදිරිපත් කිරීමකි.

ඒ ඔස්සේ මතුවන්නේ සමාජ පසුතල, බල කේන්ද්‍ර, දේශපාලනික නැමියා, ගුප්ත සංස්කෘතික යටිතල, ජීවන චේතනා හා අධිෂ්ඨාන යනාදිය අතින් හාත්පසින් එකිනෙකට වෙනස් චරිත රැසක් සහිත මහා වෘත්තාන්තයක් ගෙතීමට වුවමනා විදග්ධ තාක්ෂණයකි. සමහර සියුම් මානසික අවස්ථාවන් සහ සංකේතික උද්දීප්තයන් භාෂාත්මක කතිකාවේදයක් තුළ දිග හැරෙන්නේ සුගම ඉදිරිපත් කිරීමක් සිදු කළ නොහැකි තරමට යථාර්ථය සංකීර්ණ බැවිනි. එහි දී මෙවැනි දරුණු වෘත්තාන්තයක් එය සිදු වුණු අයුරින් ම පවසන්නට කථකයාට ප්‍රබන්ධ ශක්තියක් නැති බවක් ද හැඟවේ.

එනයින් තම හිසින් මතු කර ගත හැකි සෑම කෙංගෙඩියක් ම ප්‍රබන්ධ සාහිත්‍යය වන්නේ ය 'ස්වසන්තානමාත්‍රවාදය’ (solipsism) තරයේ ප්‍රතික්ෂේප කරන අප කතුවරයා අනෙකා සහ අනෙකාගේ ලෝකය සොයා යයි. එහි දී සෑම චරිතයකට ම තමා ප්‍රකාශමාන වීමට අවස්ථාව උදා කරමින් සාහිත්‍යකරුවා 'සාහිත්‍ය ධාරණාවාදය’ (literary Impressionism) අනුගමනය කරමින් විඥනධාරා රීතියේ මනෝ-කේන්ද්‍රීය සීමා අතික්‍රමණය කරනු අපට පෙනේ.
ඔහු සමහර කුඩා අවශේෂ චරිත ග්‍රහණය කර ගන්නේ අනෙකාගේත් අනෙකා (the Other of the Other) වශයෙනි. එම නිසා ඒ චරිත ද කොන්රඩ්ගේ වෘත්තාන්තවේදය තුළ ඉමහත් වැදගත්කමක් ලබා ගනියි. සොෆියා අන්තනොව්නා මේ සුවිශේෂ කාරණය පැහැදිලි කරනු පිණිස නිදසුන් කර ගත හැකි අපූරු චරිතයකි. කථකයාට දල කථා නායක රසුමෝව්ට ද ඇය හමු වන්නේ ජිනීවාහි රැඳී සිටින සංක්‍රමණික රුසියානු විප්ලවාදීන් රැස්වන බොරෙල් වලව්වේ දී ය.

"ගගග පැටික්කි කාලේ ඉඳං මට තිබුණේ ලස්සන කොණ්ඩයක්. ඒ කාලේ අපි කළේ කොටට කපන එක. මොකද, සමාජ අපකීර්තිය කුඩුපට්ටම් කරන මුල් පියවර ඒක කියලයි අපි හිතුවේ. අපකීර්තිය කුඩුපට්ටම් කිරීම! ලස්සන ආදර්ශ පාඨයක්! ලොකු අකුරෙන් ලියලා හිරගෙවල්වලයි, රජ මාලිගාවලයි එල්ලන්න වටිනවා... ” (පිටුව 322)

"ඇගේ සුදු කොණ්ඩය දෙස රසුමෝව් ඕනෑකමින් බැලීය. ඒ සා දුෂ්කර වසර ගණනක සලකුණක් වන එය, අපරාජිත විප්ලවීය ප්‍රාණයේ සජීවී සාක්ෂියක් විය. ...”(පිටුව 323)

"ඇගේ පෙනුම කොයි තරම් නිර්-රුසියානු දැ යි රසුමෝව්ට සිතුණි. ඇගේ මව යුදෙව් හෝ ආර්මේනියානු  වන්ට ඇති. දෙයියෝ තමයි දන්නේ, මොන තුප්පහි ද කියලා. විප්ලවවාදියා සම්මත ප්‍රමිතියට අනුගත වන්නේ කලාතුරකින් බව ඔහුට හැඟුණි...”(පිටුව 323)

විප්ලවවාදිනියක වූවත් ඇය බොරෙල් වලව්වේ දී එහි ළමාතැනීගේ මෙන්ම එහි පැමිණෙන මහා ලේඛයකුල ස්ත්‍රීවාදියකු හා විප්ලවවාදියකු වූ සද්දන්ත පීටර් ඉවනොවිච්ගේ අන්තේවාසිකාව ය. ඔහු ඇයගේ සේවය ලබා ගන්නේ ඇය වහලිකගේ මට්ටමට හෙළමිනි. ඇය කියවන විට ලිවීමෙ ක්‍රමයට ඔහුගේ පොතපත ලියයි. ස්ත්‍රීන් දේවත්වයෙහි තබන චින්තකයකු වන නමුත් ඔහු ඇය ලවා එය කරවන්නේ සහාසික ආකාරයකට ය.

"අවුරුදු දෙකක් තිස්සේ පීටර් ඉවනොවිච්ටි කියවන විට ලිවීම’ කරලා දැන් මට මොන මතයක්වත් දරන එක දුෂ්කර ප්‍රශ්නයක් වෙලා. ඉස්සෙල්ලාම, හෙල්ලෙන්නේ නැතුව ඉඳගෙන ඉන්න ඕනේ. පොඩ්ඩක් හෙල්ලුණත්, ඒක පීටර් ඉවනොවිච්ගේ කල්පනාවට බාධාවක් වෙන්න පුළුවන්. කොටින්ම හුස්ම ගන්නත් බයයි. එතකොට, කැස්සක් වගේ දෙයක් නං හිතන්නත් බැහැ. පීටර් ඉවනොවිච් මේසෙත් හැරෙව්ව බිත්තිය පැත්තට, මොකදල ඊළඟ වාක්‍යය කියන කල් මං ජනේලෙන් එළිය බලනවා කියලා. එයා කිව්වා, මං බලන්නේ ගොබ්බ විදිහට ලු. ඒක නිසා එයා දිහාවත් බලන්න තහනම්.  "බලනවා, ලියන එක දිහා” ඔන්න ඔහොමයි පීටර් ඉවනොවිච් බෙරිහන් දෙන්නේ...” (පිටුව 183)

මේ නවකථාව දොස්තොයෙව්ස්කිගේ 'අපරාධය සහ දඬුවම’ නවකථාවට දක්වන ලද ප්‍රබන්ධ ප්‍රතිචාරයක් ලෙස සාමාන්‍යයෙන් සලකනු ලබන නමුත් ඉංග්‍රීසි නවකථාවේ ප්‍රධාන කෘතියක් වශයෙන් එය ස්ථානගත වන්නේ කෙසේ දැයි විමසීම මනා ය. ඔක්තෝබර් විප්ලවයට පෙර කැලඹුණු රුසියාව, අපරාධය සහ ස්ව-දණ්ඩනය කැඳවන පාපෝච්චාරණය මෙහි ප්‍රතිරචනය වන නමුත් ඒවායේ සාරාර්ථ හැඩරුව සපුරා වෙනස් ය.

රුසියාවෙන් පිටට විහිදෙන නවකථා වෘත්තාන්තය ජිනීවාහි දී නිදහස් බටහිර අදේශපාලනික ඇසකින් නැවත කියවේ. එය සැබැවින් ප්‍රති-රුසියානු පාඨනයකි. රුසියාව තුළ සිදු වූ දෙය හා සංක්‍රමණික රුසියානු ප්‍රජාව විසින් ජිනීවාවේ බිහි කර තිබෙන 'ලා පෙතිත් රුසී’ හෙවත් 'පුංචි රුසියාව’ නමැති රැඩිකල් කොලනිය තුළ සිදු කරන දේශපාලනික ක්‍රියාකාරකම් සියල්ල අතාර්කිකත්වයල ඊනියා 'පෙරදිග’ අන්ධකාරයකින් ජනිත කෙරුණු මහා රුසියානු ආත්මය, සංහාරික චේතනා යනාදිය ලෙස බටහිර යුරෝපීය නිදහස් නිවහල් චින්තනයෙන් විලක්ෂණය කෙරේ.

එහෙයින් ඉංග්‍රීසි අර්ථයකින් මෙහි සිදු වන්නේ එක්තරා අන්ධකාර ලෝකයක් ආලෝකමත් ලෝකයක සිට කියවීමකි. එය මන්තරකාරයකු සැබෑ ලෝකය සිය මැජික් බෝලය තුළින් දක්නා අයුරකි. තවද ඒ ඔස්සේ අදටත් මානව හිමිකම් සුරැකීමේ කේන්ද්‍රය හා නිදහස් චින්තකයන්ට අභයභූමියක් වූ ජිනීවා නගරය සහ ව්‍යාකූලත්වයේ කර වටක් ගිලුණු ලතින් ඇමරිකානු, ආසියානු හා අප්‍රිකානු රටවල සැබෑ ලෝක අතර පවත්නා බියකරු අගාධමය වෙනස නිරූපණය කෙරේ.

සම්භාව්‍ය ඉංග්‍රීසි නවකථා සම්ප්‍රදාය කෙරෙහි රුසියානු නවකථාව හා ඇමරිකානු නවකථාව මඟින් ඇති කරන ලද පීඩනය විමසන ජෝර්ජ් ස්ටයිනර් පෙන්වා දෙන්නේ ඉංග්‍රීසි නවකථාව නමැති ක්ෂීර සාගරයේ අත් දෙකක් සේ විහිදෙන රුසියානු හා ඇමරිකානු නවකථාව මඟින් ඉංග්‍රීසි නවකථාවේ සුසංගතභාවය මත ආතතියක් ඇති කරන බව ය. කවර සමාජ ව්‍යාකූලත්වයක් පිළිබිඹු කරමින් වූවත් ඉංග්‍රීසි ප්‍රබන්ධය එක්තරා නිරාකූල සුසංගතභාවයක් සාක්ෂාත් කර ගන්නා අතරේ ඇමරිකානු හා රුසියානු  නවකථාව එවැනි නිෂ්ටාවකට ළඟා නොවී සියල්ල පුපුරා යන්නට ඉඩ හරියි .‘Tolstoy or Dostoevsky’  විචාර කෘතියේ දී ස්ටයිනර් මෙසේ ලියයි.

"යුරෝපීය නවකථාවේ ජේන් ඔස්ටින්ගේ සිට මාර්සෙල් පෲස්ට් දක්වා දේශපාලනික හා භෞතික න්‍යාසය (matrix) අසාමාන්‍ය ලෙස ස්ථිත ය. ඒ තුළ පවත්නා මුඛ්‍ය ව්‍යසනයෝ පුද්ගලික ඒවා වෙති. සමාජ වියමන සහමුලින් ඉරා දමා, පුද්ගලික ජීවිතය යටපත් කරන එම බලවේග ගැන කටයුතු කරන්නට සූදානම් ශරීරයක් හෝ එම බලවේග සමඟ කටයුතු කරන්නට කැඳවීමක් හෝ බල්සක්ගේ, ඩිකන්ස්ගේ හා ෆ්ලෝබෙයාගේ නවකථාවට නැත. ඒ බලවේගයන් ඉතාමත් නිර්දය ලෙස නොකඩවා ගොනු වන්නේ විප්ලවයේ හා සමස්ත යුද්ධයේ සියවසක් වෙතට ය. එනමුත් යුරෝපීය නවකථාකරුවෝ එක්කෝ ඒවා නොතකා හරිති. එසේ නැති නම් ඒවාට වැරදි අර්ථකථන සපයති. ෆ්ලෝබෙයා විසින් ජෝර්ජ් සෑන්ඩ්ට තහවුරුකොට පැවසුවේ 'පැරිස් කොමියුනය’ හුදෙක් ම මධ්‍යකාලීන කල්ලි භේදවාදය වෙත කෙටිකාලීන ආපසු ගමන් කිරීමක් පමණක් බව ය. යුරෝපීය ස්ථායිතාව බිදීයාම, එහි බිත්තියේ දෙදුරුම් පැහැදිලිව දැක්කේ ප්‍රබන්ධකරුවන් දෙනෙකු පමණිග එනම්, කැසමාසිමා කුමරිය නවකථාවේ දී හෙන්රි ජේම්ස් සහ හෘද සාක්ෂියක අ‍ඳෝනාව සහ රහස් ඒජන්තයා නවකථාවල දී ජෝසප් කොන්රඩ් පමණි. මේ නවකථාකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකුවත් බටහිර යුරෝපීය සම්ප්‍රදායේ භූමිපුත්‍රයින් නොවීම මහත් වැදගත්කමක් දරයි.” *
*George Steiner, Tolstoy or Dostoevsky, a Peregrine Book, 1967, p. 43-4.

මින් පෙනෙන්නේ ඉංග්‍රීසියෙන් නවකථා රචනා කළ පෝලන්ත ජාතිකයකු ලෙස අප කතුවරයා ඉංග්‍රීසි නවකථාව තුළට රැගෙන එන්නේ යුරෝපීය නවකථාවේ ස්ථායිතාව බිඳ දමන අන්දමේ ප්‍රබන්ධයක් බව ය. වයස අවුරදු 16 දක්වා පෝලන්තයේ විසීමෙන් ලද අත්දැකීම් ද, පෝලන්තයේ නිදහස වෙනුවෙන් සටන්කොට සාර් රුසියාවෙන් දඬුවම් ලැබූ ප්‍රසිද්ධ විප්ලවවාදියකු වූ සිය පියා පිළිබඳ වේදනාකාරී අනුස්මරණය ද රුසියානු නවකථාවෙන් ලබා ගත් ලාලසාවන්ද ඔස්සේ ඔහු මේ නවකථාව රචනා කිරීම හුදෙක් ආභාසය ලබා ගැනීමට වැඩිමනත් දෙයක් බව මින් පෙනේ. ඔහු ඉංග්‍රීසි නවකථාව තුළ වෙසෙමින් යුරෝපීය නවකථාවේ දේශපාලනික හා භෞතික න්‍යාසය ප්‍රතිරචනය කරයි.

‍ඔහුගේ නවකථාවේ  පවත්නා මුඛ්‍ය ව්‍යසනයෝ පුද්ගලික ඒවා නොවෙති. ඊට වුවමනා අමුද්‍රව්‍ය ඔහුගේ ජීවිතය තුළ ම විය. ඇපලෝ නම් තම පියා ද, ඊවා නම් තම මව ද 1863 දී උතුරු රුසියාවට පිටුවහල් කළ විට කුඩා ජෝසප් කොන්රඩ් ද ඔවුන් සමඟ ගියේ ය. මව එහි දී ක්ෂය රෝගයෙන් මියගියා ය. පසුව වෙළඳ නෞකා සේවයට බැඳුණු ඔහු අවසානයේ දී කපිතාන්වරයකු වෙමින් වසර 16 ක් සේවය ක‍ළ අතර කැරීබියානු දූපත් සහ බටහිර ඉන්දීය දූපත්ල ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, ජාවා සහ සිංගප්පූරුව වෙත යාත්‍රා කළේ ය.

ඔහුගේ ‘Heart of Darkness’ නවකථාවට පාදක වූ කොංගෝ ගංගා ගමන ඔහු 1890 දී සම්පූර්ණ කළේ ය. බ්‍රිතාන්‍ය වෙළඳ නෞකා සේවය වෙනුවෙන් තවත් ගමනක යෙදීමෙන් පසු ඔහු සාහිත්‍යකරණයෙහි නිමග්න වීමේ බලාපොරොත්තුවෙන් එංගලන්තයේ පදිංචි විය.

Picture
Carricature of conra

ජෝර්ජ් ස්ටයිනර්ගේ බස භාවිත කරමින් කියත හොත් සමාජ වියමන සහමුලින් ඉරා දමා පුද්ගලික ජීවිතය යටපත් කරන සමාජ බලවේග ගැන කටයුතු කරන්නට සූදානම් ශරීරයක් අප ලේඛකයාට පැවති අතර එම බලවේග සමඟ කටයුතු කරන්නට කැඳවීමක් ද ඔහුට ලැබී තිබුණි. එය බල්සක්ට, ඩිකන්ස්ට හා ෆ්ලෝබෙයාට නොපැවති ප්‍රබන්ධ සූදානමක් හා කැඳවීමකි.

තමා දකින බලවේගයන් ඉතාමත් නිර්දය ලෙස නොකඩවා ගොනු වන්නේ විප්ලවයේ හා සමස්ත යුද්ධයේ සියවසක් වෙතට බව ඔහු දකියි. එය ඔහුගේ රුසියානු වෘත්තාන්තයට සීමා වූවක් හෝ ඉන් ආරම්භ වූවක් හෝ නොවේ. ‘Heart of Darkness’ නවකථාවේ දී බෙල්ජියම් අධිරාජ්‍යවාදයේ ඇත්දළ හා රබර් උමතුවෙන් අමානුෂික සූරාකෑමට ලක් වූ කොංගෝවේ ද ‘Nostromo’ නවකථාවේ දී ස්පාඤ්ඤ හා ඇමරිකානු අධිරාජ්‍යවාදන්ගේ රිදී සෙවීමේ උමතුවෙන් පැහැරුණු ලතින් ඇමරිකාවේ ද ඔහු මේ තීරණාත්මක දෙදුරුම හා නායයාම දුටුවේ ය. එහි ලා ඔහු අතින් මැවුණු ප්‍රශස්ත චරිතයක් වන්නේ ශිෂ්ටත්වයේ සියලු ආරක්ෂක දැල් ඉරා ගෙන ම්ලේච්ඡත්වයේ පත්ළට වැටුණු 'කූට්ස්’ (Kurtz) ය. එහි ලා ඉංග්‍රීසි නවකථාකරුවන් අතර වඩාත් අඳුරු ලෙස සර්වඅශුභවාදී වූ නවකථාකරුවා වීමෙන් ගැලවෙන්නට ඔහු අසමත් විය. ඒ කාරණයේ දී ඔහු හෙන්රි ජේම්ස් පරාජය කරමින් ෆ්රාන්ස් කෆ්කා, ගුන්ටර් ග්‍රාස්, සැමුවෙල් බෙකට් වැන්නන්ට මඟ හෙළි කරයි.

සෙසු යුරෝපීය නවකථාකරුවෝ මෙන් ඔහු ඒ දරුණු දෙදිරීම් හා නායයාම් නොතකා නොහරියි. සිදු වන්නේ හුදෙක් ම මධ්‍යකාලීන කල්ලි භේදවාදයක් වෙත කෙටිකාලීන ආපසු ගමන් කිරීමක් නොවන බව ඔහු දකියි. ඔහු යුරෝපීය ස්ථායිතාව බිදීයාම හා එහි ගල් බිත්තියේ දෙදුරුම් පැහැදිලිව දකියි.

එලෙස මෙම රුසියානු-ස්විස් වෘත්තාන්තයේ දී තමා දකින බිහිසුණු යථාර්ථයන්ට හා සදාචාර බිත්තියේ දැදුරු වීම්වලට ඔහු සපයන්නේ වැරදි අර්ථකථනයක් බව කෙනෙකුට කිව හැකි වන්නේ ඔහු ඒවා අනුමත කිරීමෙන් වළකින බැවිනි. ඔහු ඒ සියල්ල බටහිර ඇස යටට ගෙන ඒම, රුසියානු අත්දැකීම යුරෝපියානු නවකථාවේ න්‍යාසය තුළට ගෙන ඒමකි යන මගේ නිගමනය සාධාරණ එකක් විය යුතු ය.

කතුවරයා තම නවකථාවේ කථකයා ලෙස යොදා ගන්නා 'බටහිරයා’ මහලු ඉංග්‍රීසි ගුරුවරයකු වන අතර 'රුසියානු අපාය’ දෙස බලන තමාගේ ශොන් ශාක් රූසෝගේ චින්තනයට එය දැකීම අපහසු බව ද කල්පනා කරයි. තම සොහොයුරාගේ මරණය වෙනුවෙන් සදා වැලපෙන නතාලියා මෙනවිය සහ තමා අතර පවා මහත් පරතරයක් ඇති බව දකියි.

ජිනීවාව ගොඩනැඟුණු ප්‍රබුද්ධතාවාදී රූසෝගේ චින්තනයට හාත්පසින් වෙනස් ගුප්ත පෙරදිග අන්ධකාරයක් හා අතාර්කිකත්වයක් රුසියාවේ රජ කරන බව ඔහු සිතයි. නවකථාව ගොඩනැ‍ඟෙන්නේ ඇතැම් විට පාඨකයාට එකඟ විය නොහැකි හිත හොඳ මහලු කථකයකු මාර්ගයෙනි. ඔහු රුසියාව හා ජිනීවා අතර සිදු කරන පැහැදිලි විභේදනය මඟින් නවකථාවේ ප්‍රපංචමය ව්‍යුහය ගොඩනැ‍ඟෙන අතර කථකයා එමඟින්  තම ආඛ්‍යාන සමස්තය විසංයෝජනයේ කොන්දේසියට යටත් කරයි.

නවකථා ආඛ්‍යානයෙහි ලා විශ්වාස කටයුතු නොවන කථකයකු හා සියල්ල දත් කථකයකු මඟින් ඉටු කරනු ලබන ආඛ්‍යාන සේවාව විස්තර කරන ටෙරී ඊගල්ටන් මේ කථකයා ඇතුළත් කරන්නේ පළමු ප්‍රභේදයට ය.

"ජෝසප් කොන්රඩ්ගේ සමහර කථකයෝ අර්ථකථනය සඳහා වූ තම බලයේ සීමිත ස්වභාවය ගැන අවධානය යොමු කරති. ඔවුන් විසින් පවසනු ලබන කථාන්දරය ගැන ඔවුන්ට ඇත්තේ හුදෙක් කඩින්කඩ වන, ව්‍යාකූල හැඟුමක් පමණි. කොන්රඩ්ගේ ‘Under Western Eyes’(හෘද සාක්ෂියේ අ‍ඳෝනාව) නවකථාවේ කථකයා මෙවැන්නෙකි.” *

ටෙරී ඊගල්ටන් පෙන්වා දෙන්නේ එවැනි කථකයකු තම කථාව පිළිබඳව දැන ගන්නා දේවල්වලට වඩා වැඩි යමක් කියවන්නා දැන ගන්නා බව යි.

"කථකයින්ට දකින්නට නොහැකි දේ අපි දකිමු. ඔවුන්ට දකින්නට නොහැකි වන්නේ මන්දයන බවත් සමහර විට අපි දකිමු.”*
*Terry Eagleton, How to Read Literature, Yale University Press, New Haven and London, 2013, p. 84.

එනයින් කතුවරයා ප්‍රාග්-බොල්ෂෙවික රුසියාවේ බියජනක ආලෝලන ජිනීවා දෘෂ්ටිකෝණය තුළට ගොනු කරන අතරේ නිදහසේ ජිනීවා ස්වර්ගය හා දේශපාලන සරණාගතයන්ගේ තව්තිසාව විවේචනය කරනවා පමණක් නොව ඒ සංක්‍රමණික රුසියානුවන්ගේ අලුත් පරපුරක් විසින් තම දෝෂ සහගත ත්‍රස්ත අතීතය දෙස විවේචනාත්මක ලෙස බලන්නට සමත් වන අයුරු ද අවසානයේ දී පැහැදිලි කරයි.

"... ටික කලක් ජිනීවා නුවර විසීමට ආ ලිබරල් මතධාරී, වැදගත් රුසියානුවෙකුගේ නිවසේ දී, බොහෝ දෙනාගේ විශ්වාසය දිනාගත් එක්තරා විප්ලවවාදිනියක් අහම්බෙන් මෙන් මට මුණගැසිණ.”

"මේ රුසියානුවා පීටර් ඉවනොවිච්ට වඩා බෙහෙවින් වෙනස් කීර්තිධරයෙකි. ඔහුගේ දෑස් කරුණාබර ය. හිසකේ තද කළු පාටය. දෙවුර උස්ය. ගති පැවතුම් සමාචාර සම්පන්නය. ඔහුගේ ස්වභාවයේ තිබුනේ එක්තරා නිහඬ, සාවධාන ගතියකි. වෙන කිසිවකු අසලක නැති අවස්ථාවක් බලා ඔහු මා (කථකයා) සමීපයට පැමිණියේය. ඒ පසුපස, හිසකේ ඉදුණු, තද රතු හැට්ටයක් හැඳ සිටි විමසිලිමත් කාන්තාවක් ද ආවාය.”(පිටුව 454)

"හැම ජීවිතේකම තියෙනවා හෙනහුරු දසාව කියලා දෙයක්. ව්‍යාජ හැඟීමක් මොලේට රිංගනවා. ඊට පස්සේ බය කියන එක උපදිනවා. තමන් ගැනම තියෙන බය. ඒ වගේම තමන්ටම තියෙන බය. එහෙම නැත්තං බොරු හයියක්- කවුද දන්නේ? කැමති නමකින් හැඳින්නුවාට වරදක් නැහැ. ඒත් මට කියන්න කීයෙන් කී දෙනා ද, හොරෙන්ම තමන්ගේ වරද හංගගෙන ජීවිතේ ගෙනියනවා මිසක්, කැමැත්තෙන්ම විනාශයට මුහුණ දෙන්නේ?...”(පිටුව 456)

Eric Illayapparachi
එරික් ඉලයප්ආරච්චි

අවසානයේ නවකථාව ගමන් කරන්නේ රසුමෝව්ගේ අනන්‍යතාව හා ඔහු මුහුණ දෙන සදාචාරමය පැරඩොක්සය වෙතට ය. ඔහු සේවය කරන්නේ සාර් ආණ්ඩුවට ද? අනෙකකට ද? එය ඔහුවත් නොදන්නා කාරණයකි. ඔහු ස්විට්සර්ලන්තයට පැමිණියේ විප්ලවවාදීන් පිළිබඳව ඔත්තු බැලීමට ද? පාපෝච්චාරණට ද? ඔහු එවැනි දෙබඩි තත්ත්වයකට තල්ලු කරනු ලැබුවේ ඔහුගේ රැකවරණය පතා වැරදි තැනකට බලහත්කාරයෙන් ආ බෝම්බකරුවා විසිනි. ඔහු විසින් අනතුරේ දැමූ රසුමොව් පිළිබඳ සානුකම්පික බැල්මක් හෙළන්නට ද ඇය සමත් වන්නී ය.

"ඒ වගේම, දන්නවා ඇතිනේ, මිනිහා බිලි වුණේ හදිසි කෝපයට. ඒක ව්‍යාපාරෙන් අනුමත කරපු, නිර්දේශ කරපු දෙයක් නොවෙයි. මිනිහා (රසුමෝව්) ගැන කළ යුත්තේ මොකක් ද කියලා තීරණයක් තිබුණේ නැහැ. එයා පාපෝච්චාරණය කළේ ස්වේච්ඡාවෙන්. අර නිකිතා (සද්දන්ත විප්ලවවාදියා හා ස්ත්‍රීවාදියා) පහළ තට්ටුවට බැහැලා හිතාහිතාමයි කන් අඩි පළලා තියෙන්නේ. හරියට දරාගන්න බැරි කෝපෙකින් වගේ. කොහොම හරි ඌත් නොම්මර එකේ ද්‍රෝහියෙක්. පාවාදෙන්නෙක් වුණා අන්තිමට. ඔත්තුකාරයෙක්! රසුමෝව් මට පස්සේ කිව්වා, දිවැසකින් වගේ ඒ වෙලාවේ රසුමෝව් ඌට බැනලා තියෙනවා ද්‍රෝහියෙක් කියලා.”

"මං දවසක් යාන්තමට දැක්කා ඒ තිරිසනාව’ මම (කථාකයා) කීමි. 'අඩු ගානේ එක දවසක් නෙවෙයි. එක වරුවකටවත් ඔයගොල්ලෝ ඌට රැවටුණේ කොහොමද කියන එක මට නං හිතා ගන්නත් බැහැ!”

|ඈ මගේ කතාවට බාධා කළා ය.”

"... අපි ඒ දවස්වල කියන්න පුරුදු වෙලා හිටිය දෙයක් තමයි, 'අයියෝ! මිනිහාගේ පෙනුම ගණන් ගන්න එපා’ කියන එක. ඒ මදිවාට ඌට හැම වෙලාවෙම ඕනේ කළේ කාව හරි මරන්න. ඒක ගැන සැකයක් නැහැ. ඌ හිතේ හැටියට මැරුවා. ඔව්! කඳවුරු දෙකේම එවුංව. යක්ෂයා!” (පිටුව 457-8).

ජෝසප් කොන්රඩ් මැවූ යක්ෂයින් දොස්තොයෙව්ස්කිගේ යක්ෂයින්ට හෝ ආන්ද්‍ර ජිද් විසින් ‘Vatican Cellars’ හා ‘The Counterfeiters’ නවකථාවල දී මවන යක්ෂයින් හා සමතැන් ගන්නා බවත්, ඉතිහාසයේ තර්කණය තුළ දේශපාලන දාංලෑල්ලේ ඉත්තන් අඳින්නන් බවත් සඳහන් කළ මනා ය. ඔහු 1911 දී මේ නවකථාව රචනා කරන්නේ පෝලන්තය සමඟ අත්‍යන්තයෙන් බැඳුණු රුසියාවේ 1905 විප්ලවය හා 1917 විප්ලවය අතර කාලයේ එංගලන්තයේ පදිංචි වී සිටිමිනි.

නවකථාවේ පළමුවෙනි පාඨක සමාජය 1905 විප්ලවයේ අසාර්ථකතාව දුටු පිරිසක් වූ අතර 1917 ඔක්තෝබර් විප්ලවයේ ජයග්‍රහණය මැද වඩාත් කෘතහස්ත කියවීමක යෙදෙන්නට දෙවෙනි පාඨක සමාජයට පුළුවන් විය. එහි දී විශේෂයෙන් නරෝද්නිකවාදයෙන් හා බකුනින්වාදයෙන් උත්කර්ෂය ලද පුද්ගල ත්‍රස්තවාදය පිළිබඳ ලේඛකයාගේ නිර්දය නිරූපණය හා බොල්ෂෙවික්වාදය අතර පැවතුණු පැහැදිලි වෙනස දක්නා ආකාරයේ කෘතහස්ත කියවීමක යෙදෙන්නට පාඨකයාට අවස්ථාව උදා විය.

එනමුත් එය නූතනවාදයට අනුබලය හා අවස්ථාව ලබා දුන් බොල්ෂෙවික් වසන්තයට සීමා වූවක් වූ අතර ස්ටැලින්වාදයේ නැඟීම සමඟ රුසියාව නැවතත් නවකථාවේ පෙන්නුම් කරන නිරූපණයන්ට ළං විය. නවකථාවේ රචනා සමය ලේඛකයාගේ චරිතාපදානයේ ද අඳුරු යුගයක් විය. විශේෂයෙන් දින ගණන් පවත්නා මානසික අවපාතයට ලක් වුණු ලේඛකයා නවකථාවේ චරිත සමඟ පෝලන්ත බසින් කතා කළේ ය.

ඒ අවපාත මානසිකත්වය යුරෝපා සාහිත්‍යකරණයේ අහඹු මනෝගතියක් නොවූ අතර ටී. එස්. එලියට් මුඩු බිම (The Waste Land)  රචනා කළේ ද මෙවැනි මානසික ව්‍යාකූලතාවන් මැද ය. ඒ කාව්‍යයේ දී ඔහු ද ජෝසප් කොන්රඩ්ගේ ‘Heart of Darkness’  නවකථාවට ඉඟි කරයි.

    ඔබගේ අදහස් අපට එවන්න.

    Max file size: 20MB
Submit
Back To Home
ප්‍රවර්ග

​සාහිත්‍ය කලා
විද්‍යා
සමාජ විද්‍යාත්මක
​දර්ශනවාදය
​
ලේඛක සෙවීම්
​ලේඛනාගාරය
සංස්කාරක සටහන් ගොනුව
​bookcrow

Picture
www.kinihiraya.com
​kinihiraya@gmail.com
අප ගැන.    
         වර්තමාන නවකතාව, කෙටිකතාව, කවිය, සිනමාව සහ නාට්‍ය ආදිය පිළිබඳ න්‍යායික සහ විචාරාත්මක රචනා අඩංගු වේදිකාවකි. ඊට අමතර ව මෙහි සමාජ විද්‍යාත්මක ලිපි, දාර්ශනික කතිකාවන් සහිත විවාදාත්මක ලිපි පළ වේ. පුළුල් අනාගත සංස්කෘතික සංවාදයකට දොරටු හැරීම අපේ අරමුණයි..​
Contact Us

071 800 99 55
​
071 441 48 55

    අපගේ පාඨක ජාලයට එකතුවන්න.

Subscribe to Newsletter
Copyright © 2021  www.kinihiraya.com  All rights reserved.
Powered by Create your own unique website with customizable templates.
  • ප්‍රවර්ග
    • සාහිත්‍ය කලා
    • දර්ශනවාදය
    • වෙනත්
  • ලේඛනාගාරය
  • ලේඛක සෙවීම්
  • Bookcrow
  • Contact Us
  • සංස්කාරක සටහන්